යසස වැඩෙන අයුරු
ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝනායක
ප්‍රංශයේ ජේතවනාරාමාධිපති
මුරුංගාගස්යායේ
ඤාණිස්සර නා හිමි
නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
“උට්ඨානවතො සතිමතො
සුචිකම්මස්ස නිසම්මකාරිණො
සඤ්ඤතස්සච ධම්මජීවිනො
අප්පමත්තස්ස යසොහි වඩ්ඩති”
කාරුණික පින්වත්නි,
ශ්‍රී ලාංකේය සංස්කෘතියේ මහා පරිවර්තනයකට ලක් වූ ඓතිහාසික දිනයක්
වශයෙන් උඳුවප් පුර පසළොස්වක පොහොය දිනය සැලකිය හැකි ය. එමෙන්ම අනුබුදු
මිහිඳු මහරහතන් වහන්සේ සිරිලකට සම්බුදුදහමේ පණිවුඩයද රැගෙන වැඩම කළ
පොසොන් පොහොය දිනය මෙන්ම වැදගත් සන්ධිස්ථානයකි මෙම පසළොස්වක පොහොය
දිනය. එනම් සංඝමිත්තා මහරහත් මෙහෙණින් වහන්සේ ජය ශ්‍රී මහ බෝධීන්
වහන්සේ මෙරටට වැඩම කර වූ ඓතිහාසික සිදුවීම මුල්කරගෙනය.
ශ්‍රී ලාංකේය කාන්තාවගේ විමුක්තිය සලසාදුන් දිනය මෙන්ම අප රටට, සමාජයට,
ආර්ථික, සාමාජික සහ සංස්කෘතික වශයෙන් ද ඉතා වැදගත් දිනයක් ලෙස ඉහත
සිදුවීම් සඳහන් කළ යුතුව ඇත.
ඉහත ගාථාවට අනුව උත්සාහයෙන් කටයුතු කිරීමෙන්, මනා සිහියෙන්
යුක්තවීමෙන්, කළ යුතු නොකළ යුතු දේ පිළිබඳ අවබෝධයෙන් ක්‍රියා කිරීමෙන්,
සංයමයෙන් යුක්ත වීමෙන් දැහැමි ජීවිතයක් ගත කිරීමෙන් නොපමා තැනැත්තාගේ
යසස, කීර්තිය, අභිවෘද්ධිය සැලසේ.
ඉගෙන ගන්නා වයසේ පසුවන පාසල් දරුවාගේ සිට යොවුන් වියේ පසුවන තරුණ
තරුණියන් ඇතුළු වියපත් තැනැත්තා දක්වාම උත්සාහයෙන් කටයුතු කළ යුතු වේ.
එසේ උත්සාහය අතහැර අලසකමෙන් කම්මැලිකමෙන් කටයුතු කරන අයකුට දියුණුව
යහපත අභිවෘද්ධිය සලසා ගත නොහැකිය.
අභිවෘද්ධිය සලසා ගැනීම උත්සාහවන්තයාගේ ලක්‍ෂණයයි. එසේ උත්සාහ කළ යුත්තේ
මෙලොව හා පරලොව යන දෙලොවම සැනසීම සඳහා ය.
එමෙන්ම තමා යහපත් ක්‍රියාවක නිරත විය යුතු අතර ඒ සඳහා මනා සිහියෙන්
කටයුතු කළ යුතු ය. ලාංකේය ජන සමාජය ස්වකීය ජීවිත සාර්ථකත්වයට පත් කර
ගන්නේ ඉහත කී කරුණු නිසි අයුරින් පිළිපැදීම නිසා ය.
ලොව පුරා අද දක්නට ලැබෙන මානසික ආතතියට වර්තමානයේ දී මානසික
විශේෂඥවරුන් භෞතික ඖෂධ වලට වඩා අධ්‍යාත්මික ප්‍රතිකාර සෙවීමට උනන්දුවී
ඇත්තේ ද එබැවිනි. ඔවුන් විවිධ පර්යේෂණ සිදු කරමින් සොයා ගන්නා
ක්‍රමවේදයන් පිළිබඳ විමසුම් නුවණින් බලන විට පෙනී යන්නේ එහි බොහෝ දේ
වසර දෙදහස් ගණනක් පුරා බෞද්ධ ජනතාව අනුගමනය කළ ප්‍රතිපදාවන් බවද
පැහැදිලි වේ.
වර්තමානයේ දී ඇතැම් විට ඒවා බෞද්ධ නාමයෙන් හැඳින් වූයේ නැතත්, බුදුදහමේ
ඉගැන්වෙන ආධ්‍යාත්මික හරයන් බව ඒවා පරීක්‍ෂා කරන විට පෙනී යයි.
එමෙන්ම නිරවුල් මනසින් තමා කරන ක්‍රියාව මඟින් තමාට මෙන්ම සමාජයටද යහපත
පිණිස හේතු වේ.
නිවැරැදි මනසින් නිවැරැදිව කරන ක්‍රියාවෙන් ජීවිතයේ බලාපොරොත්තු සාර්ථක
කරගත හැකි වේ.
ජීවිතයක් සාර්ථකත්වය කරා ගමන් කිරීමට නම් සංයමයෙන් යුක්ත විය යුතු ය.
සිත, කය, වචනය යන තිදොර සංවරය ජීවිතයක ‘සතුට’ සැනසීම උදාකරන උදාර
ගුණාංග වෙති. බොදුනුවන් ලෙස යහපත් ජීවිතයක්, සාර්ථක ජීවිතයක් අපේක්‍ෂා
කරන්නේ නම් හැකිතාක් දැහැමි දිවිමගම අනුගමනය කළ යුතු ය.
එබැවින් ඉහතින් සඳහන් කළ දහම් කරුණු තම තමන්ගේ ජීවිතයට මෙලොව මෙන්ම
පරලොවද යහපත උදාකර දෙයි.
දහමට නැඹුරු වී තිදොර සංවරයෙන් ජීවිතයේ සාර්ථකත්වය වෙත ළඟාවීමට උත්සාහ
කරමු.
ඔබට සම්මා සම්බුදු සරණයි, |