ලිලියන් කමලා
පනංගල
විශ්‍රාමික ගුරු
සුළඟින් සැලෙන සුදු රෙදි කඩක දැවටී අහසේ පාවෙන මේ කළු අකුරු අපි නිතර
දෙවේලේ දැක ඇත්තෙමු. මේ ගැඹුරු බණ පදය අපගේ දෙසවනට වඩා දෙනෙතට හොඳින්
හුරු පුරුදුය. ගමක් ගානේ පාරේ තොටේ සිය දහස් ගණනින් මෙය අපගේ නෙත ගැටී
ඇත. මහ පාරේ ලයිට් කණුවල තාප්පවල ඇලී ගැලී සිටින බොහෝ දෙනා සිනාමුසු
මුහුණින් අපට මෙය පෙන්වා දෙති. ඔවුන් එසේ සිනාසෙන්නේ තමන්ටම ද නැතහොත්
ජීවත් වන අපටදැයි වටහා ගැනීම අමාරුය. මන්දයත් අප කවුරුත් මේ බණ පදය
හරිහැටි තේරුම් ගෙන නැති නිසාවෙනි. තව නොබෝ දිනකින් අපටද ඔවුන් අතරට වී
සිනාසෙන්නට සිදුවනු ඇත.
ජාති, ජරා, ව්‍යාධි, මරණ යනු අභිනිෂ්ක්‍රමණයේ පෙරනිමිතිය. බණ පොතේ
සඳහන් අන්දමට අපට ජීවිතයේ යථාර්ථය කියාදෙන දේව දූතයන්ය. ව්‍යාධිය නමැති
දේව දූතයා මා රෝහල් ගිලන් ඇඳකට ගෙන දැම්මේය. මරණයේ සෙවනැලි ඇඳ මත පතිත
වන්නට විය. දෑස නොපෙනී ගියද කථා කිරීම ඇණ හිටියද මට හොඳින් සිහිය
තිබුණි. හොඳින් කන ඇසුණි. හෙදියක් පැමිණ මට බෙහෙතක් එන්නත් කර යන්නට
ගියාය. මම නින්දත් නොනින්දත් අතරින් රිංගා කල්පනා ලෝකයට පිවිසියෙමි.
මේ උතුම් බණ පදය මළවුන්ගේ ලෝකයට ඇද වැටුණේ කුමක් නිසාද? එහි සැබෑ අරුත
මරණයට පමණක් සීමා වුවක් ද? මේ බණ පදයත් මරණයත් දෙකක් නොව එකක් ම යයි
සිතා ගන්නා තරමට බොහෝ බෞද්ධයො මුලාවී සිටිනවා නොවේද? නිවෙසක මේ ගාථා
පාඨය කියැවෙන්නේ පාංශුකූලයක් දීමේදී පමණි. පාසල් දරුවකු පාඩම් කර
ගැනීමටවත් මෙය ශබ්ද නගා කියවතොත් ගෙදර ඇත්තන්ගේ ඇඟ හිරි වැටෙන්නේය. මහ
සඟ රුවන මෙය දේශනා කරන්නේ ගල් ගැසුණු ශීතල මළ කඳට නොවේ. අවමංල්‍යය සඳහා
රැස්ව සිටින පිරිසටය. එහෙත් යකඩ කටකින් කන් පෙළෙන හඬින් බණ දහම් දෙසුවද
ඔවුන්ට ඒවා නො ඇසේ. ජීවිතය නමැති අධිවේගී ධාවන පථයෙන් මොහොතකට හෝ ඉවත්
වී මේ ලද නිදහස ඔවුනට මසුරන්ය. බොහෝ දෙනා තම තමන්ගේ වගතුග කියා ගනිති.
මියගිය තැනැත්තාගේ නුගුණ කසුකුසුවක්ද වටින් පිටින් පාවී යයි. පදමට
ලුණු ඇඹුල් වැදුණු මෙවන් රස කතා මැද කවර නම් බණ දහම් ද? මේ නිසා ජීවිත
කාලය තුළ ඉතා අඩුවෙන් හිතට වදින ගාථා පාඨයද මෙයයි. දුක් කරදර
විපත්වලින් අපට අඩුවක් නැත. සතුරු උපද්‍රව නිසා නොමැරී මැරෙන අවස්ථාද
නැත්තේ නොවේ. නින්දා අපවාද මහ වැහිවලට අසුවී ගසාගෙන යද්දී දෛවය අපව
ගොඩට අදින්නේය. ආදරය, කරුණාව දයාව අපට පිහිට වන අවස්ථාද එමටය. මේ
සියල්ල විවිධ හේතූන් නිසා හට ගන්නා සංස්කාර ධර්මයෝ ය. මවුපිය දූ දරුවන්
පමණක් නොව ජීවිතය පුරාවට අප අසන දකින විඳින සියල්ලම ‘අනිච්චා වත
සංඛාරා’ ගණයට අයත්ය. මරණය නිත්‍ය වූවකි. අනිත්‍ය වන්නේ ජීවිතයයි.
එහෙයින් මේ බණ පදයේ සැබෑ අරුත අපගේ සම් මස් ලේ නහර ඔස්සේ ඇටමිදුළු තුළට
කා වැදී ගිය තරමට සිත සුවපත් වන්නේ ය. කෙලෙස් මලින් මිදී ධර්ම මාර්ගයට
පිවිසිය හැකි තරමට තැන්පත් වන්නේ ය. බිය වන්නට කාරණා නැත. එය මරණයේ
සංකේතය නොවේ. මරණය ගැන සඳහනක් එහි අරුත්හි නැත. විශ්වය පුරා ඇති සියලුම
ජීවි අජීවී වස්තූන්ගේ ඇතිවීම හා නැතිවීම එයින් අදහස් කෙරේ. එකී ඇතිවීම
නැති කළ කල්හි සියල්ල නැත්තටම නැති වන්නේ ය. ඒ විමුක්ති සුවයයි.
දහම් අමා බිඳක් දෙසවනට ඇසුන පමණකින් මගේ ගතට සවියක් ලැබුණි. සිතට
සහනයක් දැනුණි. මම ආපසු ජීවිතයට කැඳවනු ලැබ සිටිමි. මට දුන් බෙහෙත් ඖෂධ
නිෂ්ඵල වූවායයි මම නොකියමි. එහෙත් ඒවා පත්තියන් වූයේ ධර්මය නම් වූ
දිව්‍ය ඖෂධය හා මුසු වීමෙන් යයි මට සිතේ.
සත්‍යය සුමධුරය. එහි රස දැනෙන්නේ මනාව වටහා ගතහොත් පමණි. විමුක්තිය
සොයා යන මේ දිගු ගමනේදී අපගේ සිතිවිලි වැල්වල මල් පිපෙනු ඇත. ඒ මල්
සුවඳ දිගේ් තව බොහෝ දුර යා යුත්තේ ය. ඒ නිසා මළ ගෙදරට පාර කියන සුදු
කොඩියේ නොව මේ ගැඹුරු බණ පදය රඳවා ගතයුත්තේ අපගේ සිරුර පුරා දිවෙන ලේ
වැල් තුළය. එය බොහෝ දුක්ඛ දෝමනස්සයන් නිවාරණයට ප්‍රතිශක්තිකරණයකි. නිතර
දෙවේලේ ඇස ගැටෙන තැනක ලියා තබාගෙන සුළු මොහොතකට හෝ කියවීම අනිත්‍ය
සංඥාව වැඩීමකි. රෝහල් පන්සල් ආදී පොදු ස්ථානවල ප්‍රදර්ශනය කිරීම ධර්ම
දානමය පින්කමකි. මංසන්ධියක් ගානේ නෙළා ඇති දැවැන්ත බුදුපිළිම වහන්සේලා
අබියස සටහන් කර තැබීමද මහත්ඵල මහානිශංස වන්නේ ය. එය කෝපාග්නියෙන් දැවෙන
හදවත්වලට අමාවතුරකි. තම සතුරා බිම හෙළන්නට ඉණ තුරෙහි සඟවාගත් අවිය
එකෙණෙහිම නිෂ්ක්‍රීය වනු ඇත. තවද අනාගත පටාචාරලාට කිසාගෝතමිලාට සුන්දර
වූ නවාතැනක් වනු ඇත. එහෙයින් සාමකාමී සහජීවනයේ තේමා ගීතය ලෙස අපි මෙය
හදාරමු.
එදා දහම්සොඬ රජතුමාගේ ධර්ම පිපාසය සංසිදුනේද ශක්‍ර භවනයේදී දේශීත මෙම
ගාථා රත්නය ඇසිමෙන් යයි පොත පතෙහි සඳහන් ය. අබුද්ධෝත්පාද කාලයක
දෙදෙව්ලොව ගිඟුම් දෙමින් මේ උතුම් ධර්මපාඨය නින්නාද වූයේ පෙර බුදුවරුන්
විසින් පවා දේශිත වූවක් නිසාය. මතුවටද ගෞතම බුද්ධ ශාසනය ඇවෑමෙන් දෙව්
බඹුන් විසින් මෙය සුරක්ෂිත වනු ඇත. පිරූ පිළිවෙතින් සරුපල නෙළා ගන්නට
අපටද මේ ගාථාව නැතිවම බැරිය. අපි මෙය වඩ වඩාත් තේරුම් ගැනීමට උත්සාහ
කරමු. ඒ තුළින් අපට ධර්මය දැකගත හැකි වුවහොත් එය බුදුන් දැක්කා හා
සමානය.
අනිච්චාවත සංඛාරා
උප්පාද වය ධම්මිනෝ
උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති
තෙසං වුපසමො සුඛො
|