දුකින් නිදහස්වීම
බත්තරමුල්ල, පන්නිපිටිය පාරේ
සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි ප්‍රධාන අනුශාසක ආචාර්ය
මිරිස්සේ ධම්මික හිමි
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
“ උපාදානීයේසු භික්ඛවේ ධම්මේසු
අස්කදානුපස්සිනො විහරතෝ තණ්හා පවඩ්ඪති”
“ මහණෙනි, උපාදානයන්ට හේතු වූ ධර්මයන් විෂයෙහි
ආස්වාදය අනුව බලමින් වාසය කරන්නහුගේ තෘෂ්ණාව බෙහෙවින්ම වැඩෙයි. ”
කාරුණික වූ පින්වත්නි,
ඉහත සඳහන් කරනු ලැබුවේ සංයුත්ත නිකායෙහි අභිසමය සංයුත්තයේ සඳහන් උපාදාන
සූත්‍ර දේශනාවේ ධර්ම කොට්ඨාශයකුයි.භාග්‍යවතුන් වහන්සේ විසින් භික්‍ෂූන්
වහන්සේලා ආමන්ත්‍රණය කරන ලදහ. මහණෙනි, උපාදානයන්ට හේතු වූ ධර්මයන්
විෂයෙහි ආස්වාද අනුව බලමින් වෙසෙන්නහුගේ තෘෂ්ණාව බෙහෙවින්ම වැඩෙයි.
තෘෂ්ණාව නිසා උපාදානය හෙවත් “ අල්ලා ගැනීම “ වෙයි. ඒ උපාදානය නිසා භවය
වෙයි. භවය නිසා ජාතිය හෙවත් ඉපදීම සිදුවෙයි. ඉපදීම නිසා ජරා මරණ සෝක
පරිදේව, දුක් දොම්නස්, සිත්තැවුල් හටගනිත්. මෙසේ මෙයම සියලු දුක්
හටගැනීම වෙයි.
මෙහිදී උපාදානයන්ට හේතු වූ ධර්ම යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද ? ඇස
උපාදාන ධර්මයකි. රූපය උපාදාන ධර්මයකි. චක්ඛු විඤ්ඤාණය උපාදාන ධර්මයකි.
ඵස්ස හෙවත් ස්පර්ශය උපාදාන ධර්මයකි. වේදනාව හෙවත් විඳීම ද උපාදාන
ධර්මයකි. මේ උපාදාන ධර්මයන්ගේ අවසාන ඵලය වන්නේ තණ්හාවයි. මේ ආදී වශයෙන්
කණ සහ ශබ්දය ද, නාසය සහ ආඝ්‍රහණය ද, දිව සහ රසය ද, කය සහ ස්පර්ශය ද,
සිත සහ සිතිවිලි ද උපාදාන ධර්ම වන්නේ ය. මෙම උපාදාන ධර්ම හෙවත්
වස්තූන්, අස්සාදය හෙවත් ආස්වාද අනුව බලමින් වාසය කිරීම යනුවෙන් අදහස්
කරන්නේ කුමක්ද ? එම උපාදාන වස්තූන් “ මගේය” “ මම වෙමි” “ ස්ථිර
ආත්මයක්ය හෝ මෙය නිත්‍යයි” යනුවෙන් සිතීම සහ නැවත නැවත මෙනෙහි කිරීමය.
(එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තා ) එමෙන්ම එම උපාදාන ධර්ම කෙරේ
ආස්වාදය පැතිරවීමේදී වණ්ණ, ගන්ධ, රස, ඕජා ඔස්සේ ද සිත පැවැත්වීමයි. මෙම
අදහස තව දුරටත් ලිහිල් කොට බලමු. පරමාර්ථ ධර්මය නොදන්නා සහ එම ධර්මය
පුරුදු නොකළ සිත් අශ්‍රැතවත් පෘථග්ජන ලෙස හැඳින්විය හැකිය.
එවැනි අශ්‍රැතවත් පෘථග්ජන සිතකට දැනෙන්නේ ඇසින් අරමුණු කරගත් හෙවත්
දුටු රූපය ස්ථිරයි කියාය. එයට කැමති නම් මගේය, මමය, ස්ථිරයි යනුවෙන්
සතුටු වෙයි. ඇලෙයි, ඒ ගැනම පවසයි. සිතෙහි තැන්පත් කර ගනී. ( අභිනන්දති,
අභිවදති, අජ්ඣෝසාය තිට්ඨති. ) ඇසෙන් දකින රූපයට අකැමැති නම් පටිඝ හෙවත්
ගැටීමක් ඇතිවෙයි.
එනම් තරහව, පිළිකුළ, අමනාපය ඇතිවෙයි. කැමැත්ත හෝ අකැමැත්ත නොමැති
අරමුණෙහි මධ්‍යස්ථ අවස්ථාවන් ද පැවතිය හැකිය.
අස්සාද අවස්ථාවේදී සිදුවන්නේ අනිච්ච, දුක්ඛ, අනත්ත අවස්ථාවන් අමතක කොට
මගේය, මම වෙමි, ස්ථිරය යන සොම්නසින් යුතු ආස්වාදය පැවැත්වීමය. මෙය
ආරම්භ වන්නේ තමා කැමතියි යනුවෙන් උපාදානය කරගත් අරමුණක් සමඟය. මෙම
අවස්ථාව පරමාර්ථ ධර්ම විවරණයේදී පැහැදිළි කරන්නේ තණ්හා, මද මාන ආත්ම
දෘෂ්ඨියෙන් යුතුව උපාදාන හෙවත් දැඩිව අල්ලා ගැනීමක් ලෙසය. “ මම
කැමතියි, ඒක මගේ” යනුවෙන් සිතාගත් රූපය, එනම් යම් පුද්ගලයෙක් හෝ
වස්තුවක් වෙනස් වන විට, දිරාගෙන යනවිට, අත් හැරෙන විට, සිදුවන්නේ
කුමක්ද ? “ මගේ” යයි සිතාගෙන සිටි ජීවී හෝ අජීවී වස්තුවේ අනිත්‍ය බව
පිළිගන්නට නොහැකිව පටිඝයට හසුවෙයි. එනම් තමාගේ මනසෙහිම ගැටීමක්
හටගනියි. එයද තමා කෙරේද, අන්‍යයන් කෙරේද, අරමුණ කෙරේද ඇතිවෙන්නා වූ
අමනාපයකි. තරහවකි. පිළිකුලකි. මෙවිට සිදුවන්නේ කුමන කායික මානසික
ස්වභාවයක්ද ? සෝචති - ශෝක කරයි
පරිදේවති – විලාප කියා හඬයි
උරත්තාලිං කන්දති - ළයේ අත් ගසා ගනී.
කිලමති – ක්ලාන්ත වෙයි
සම්මෝහති – මුලාවට පත් වෙයි
මේ ආකාරයෙන් ඇස, කණ, නාසය, දිව, ශරීරය, මන ආදී ඉන්ද්‍රිය සය ඔස්සේම
දුක් ගෙනදිය හැකිය. ඇසයි රූපයයි නිසාද කනයි ශබ්දයයි නිසාද, නාසයයි
ආඝ්‍රහණයයි නිසාද, දිවයි රසයයි නිසාද කයයි ස්පර්ශයයි නිසාද සිතයි
සිතිවිලියි නිසාද සියලු දුක්වල හටගැනීම සිදුවෙයි. භාග්‍යවතුන් වහන්සේ
එය පැහැදිළි කළේ මෙසේය. “ආස්වාදය පමණක්ම මෙනෙහි කිරීම නිසා තෘෂ්ණාව
බෙහෙවින් වැඩෙයි.
තෘෂ්ණාව නිසා ඇස ආදී ඉන්ද්‍රියයන්ගෙන් රූපාදී අරමුණු දැඩිව මනසින්
අල්ලා ගනී. එසේ අල්ලා ගැනීම නිසා භවය හටගනී. භවය නිසා ඉපදීම සිදුවෙයි.
ඉපදීම හේතු කොටගෙන ජරා මරණ, සෝක පරිදේව, දුක්ඛ දෝමනස්ස උපායාස
හටගනිති”. භාග්‍යවතුන් වහන්සේ දෙසූ උපමාව ද අපි එකතු කර ගනිමු. “
මහණෙනි, යම් සේ දර ගැල් දහයක් හෝ දර ගැල් විස්සක් හෝ දර ගැල් තිහක් හෝ
දර ගැල් හතළිහක් හෝ පමණ දර ප්‍රමාණයක් දැල්වෙන්නේ ද, යම් පුරුෂයෙක්
කලින් කල වියලි තණ, වියලි ගොම, වියලි දර එයට දමන්නේද, ඒ මහා ගිනි කඳ
ආහාර ලැබුවා මෙන් ඉතා දීර්ඝ කාලයක් දැල්වෙන්නේය. මහණෙනි, එසේම උපාදානීය
– ධර්මයන්හි ආස්වාදය නැවත නැවත මෙනෙහි කරමින් වෙසෙන්නහුගේ තෘෂ්ණාව
වැඩේ. තෘෂ්ණාව නිසා දැඩිව අල්ලා ගැනීම වේ.
එම අල්ලා ගැනීමෙන් භවය වේ. භවය නිසා ඉපදීම වේ. ඉපදීම නිසා ජරා මරණාදී
සියලු දුක්වල හටගැනීම වේ.”
භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේසනා කරන්නේ දුකින් නිදහස් වීම පිණිසය. ඒ මේ
ආකාරයෙනි. උපාදානීය ධර්මයන්හි දෝෂ නැවත නැවත දකිමින් වාසය කරන්නාගේ
තෘෂ්ණාව නිරුද්ධ වෙයි. එනම් නිමාවෙයි. තෘෂ්ණාව නිමාවීම නිසා උපාදානය
කිරීමක් නැතිවෙයි. උපාදානය නැතිවීමෙන් භවය නැතිවීමද භවය නැතිවීමෙන්
ඉපදීම නිරුද්ධවීමද ඉපදීම අවසන්වීම නිසා ජරා මරණාදී සියලු දුක් රැසේ
නිමාව සිදුවෙයි. එය මුලින් සඳහන් කළ උපමාවටම අනුව ගැල් දහයේ සිට හතළිහක
පමණ දර ගොඩකට දර, තෘණ, ගොම නැවත නැවත නො දමන්නාසේය. මහ ගිනි කඳ
පිළිස්සී අවසන් වෙයි. නැවත දර, තෘණ, වියලි ගොම නො දැමීම නිසා ගිනි කඳ
නතර වෙයි. ගින්නට දර ආදී ප්‍රත්‍යයක් නැත. ජරා මරණාදී දුක් ඇවිලීමට
ආස්වාද තෘෂ්ණා ආදී හේතු ප්‍රත්‍යයන් ද නැත. දුකෙහි නිමාව ද එයමය.
මේ නිසා සම්මුති ලෝකයෙහි සවිඤ්ඤාණක හෝ අවිඤ්ඤාණක වස්තූ®න් කෙරේ, ජීවිත
පැවැත්ම පිණිස, සීලයෙහි පිහිටා ආස්වාදයක් ඇති කරගත්ත ද, පරමාර්ථය ගැන
මනා අවබෝධයක් ලැබිය යුතුමය. එනම් එම උපාදානීය වස්තුවල ගැබ්ව ඇති ආදීනවය
යි. එනම් අනිච්ච, දුක්ඛ, අනත්ත නම් ත්‍රිලක්‍ෂණ ධර්මයට යටත් කොට දැකීමේ
හැකියාවයි.
මෙය විදර්ශනා භාවනා අවස්ථාවයි. එමෙන්ම හැම අරමුණකම ඇති උප්පාද, ඨිති,
භංග ( හටගැනීම, පවත්නා ලෙස දකින වෙනස, නැතිව යාම ) අවස්ථා අවබෝධයෙන්
මෙනෙහි කිරීමයි. එවිට සියලු උපාදානීය ධර්මයෝ මගේ නොවේ ( නේතං මම ) මම
නොවෙමි ( නේසෝ හමස්මි ) මගේ ආත්මය හෝ ස්ථිර යමක් නොවේ ( නමේසෝ අත්තා )
යනුවෙන් ආදීනවයන් වැටහෙන්නට පටන් ගනී. මීළඟ අවස්ථාව නම් නිස්සරණය යි.
එනම් උපාදානයෙන් හෙවත් දැඩිව අල්ලා ගැනීමෙන් නිදහස් වීමයි. සසරින්
ගැළවෙයි. දුකින් ගැළවීම හෙවත් සියලු දුකින් නිදහස් වෙයි. රූප, වේදනා,
සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ නම් වූ පඤ්ච උපාදානස්කන්ධ සහ එයට උපාදානය වන
සියලු බාහිර අරමුණු ද පරමාර්ථ ධර්මයට යටත් නම් “ මමවත් මගේ වෙන්නේ
කොහොමද ? මමවත් මට හිමි නැති ලොවක බාහිර කිසිවක් ද, බාහිර කිසිවෙක් ද
මගේ වෙන්නේ කොහොමද ? හටගත් සියල්ල නැතිව යයි. නිස්සරණයම පුරුදු කරමු.”
උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා, නිවනින් නිවේවා. |