UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ආගමක් හෝ ජීවන මාර්ගයක් හුදෙක් එයින් ප්‍රකාශ කැරෙන සත්‍යයෙන් හෝ සිද්ධාන්තයන්ගෙන් පමණක් විවරණය කරනු නො ලැබේ. එහි අදාළත්වය තීරණය කරනු ලබන්නේ එය අනුගමනය කරන්නන්ගේ ජීවිතයේ සිදුවන ධනාත්මක වෙනස අනුව යි. මෙයට අදාළ පරීක්ෂණයට අනුව අව්‍යාජ සතුටක් හෝ තෘප්තියක් ලද හැකි පරිදි බුදුදහම ජයග්‍රහණයක් වාර්තා කර ඇත. බුදුදහම කවර තරමේ පුළුල් වපසරියක ව්‍යාප්ත වුවත්, එහි කරුණාන්විත බලපෑම කෙතරම් විනිවිද ගියත්, ඒ හැම විටම, හැම අතින් අපේ ජීවිතය විශිෂ්ටත්වයට පත් කරන්නට හැකි වූ අතර, එය අපේ ජීවිතයට සතුටත්, අවබෝධයත් ලබාදී ඇත. බුදුදහම මානව සංහතියට වඩා යහපත් වඩා පරිපූර්ණවූත් ජීවන මාර්ගයකට අදාළ පරමාදර්ශ හඳුන්වා දෙමින් එහිලා දිරි ගන්වා ඇත.

මේ පරිවර්තනය Mahabodhi Centenary Commemorative Volume - SAMBHASHA සඟරාවෙන් උපුටා ගන්නා ලද දේවපි‍්‍රය වලිසිංහ මහතාගේ The Buddhist Way of Life මැයින් වූ නිබන්ධනයෙනි. එය එතුමා විසින් 1937 දී කල්කටා නගර ශාලාවේ පැවති ආගම් පිළිබඳ පාර්ලිමේන්තුව අමතා කළ දේශනයකි.

මගේ දේශනයේ මාතෘකාව මා තෝරා ගත්තේ ඉතා සරල හේතුවක් පදනම් කර ගෙනය. බුදුදහම නිවැරදිව සහ හරියට ම තේරුම් ගන්නට නම්, එය ජීවන මාර්ගයක් ලෙස සලකා බැලිය යුතුය. බුදුදහමේ දැක්වෙන සංකල්ප තේරුම් ගන්නට දරන ප්‍රයත්නයේදී එහි මූලික ඉගැන්වීම්වල අධ්‍යාත්මික හරයට කෙලින්ම පටහැනිව ගිය අවස්ථා දකිනු හැකි ය. එහෙත් එවන් නිෂ්ඵල ප්‍රයත්නයක් සාර්ථක වූ බවට තහවුරු වී නැත. අදත් වසර 2500 කට පෙර පැවැති පරිදි ම ඒ පණිවිඩය පැහැදිලිව සහ ස්ථාවරව පිළිගත හැකිව ඇත්තේ එබැවිනි.

විචාරණාත්මකව ගත් කල්හි ආගම් මාතෘකා දෙකක් යටතේ වර්ග කළ හැකි ය. පළමුවැන්න (බයිබලයේ සඳහන් පරිදි) එළිදරවුව හෙවත් ප්‍රකාශනය පදනම් කර ගත් ඒවා ය. එනම් ඒවායේ ස්ථාවරය වන්නේ ස්වර්ගයේ හෝ දිව්‍ය ලෝකයේ සිට විශේෂ පණිවිඩයක් සමඟ එවන ලද, තමා අනාගත වක්තෘවරයෙකි යි කියා ගන්නා සාන්තුවරයෙකුගේ අධිකාරි බලයකි. දෙවැනි ඉගැන්වීම්වල ඒ ආකාරයේ ප්‍රකාශයක් හෝ කිසියම් පුද්ගලයකුගේ අධිකාරි බලයක් ගැන කියවෙන්නේ නැත. එහි අවධාරණය කැරෙන්නේ ජීවිතය පිළිබඳ මූලික යථාර්ථය හෙවත් සිද්ධාන්ත සහ අත්දැකීම් ය. සැබවින්ම වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ගත් කල්හි ඒවා ආගම් නොවේ. ඒවා සිය අනුගාමිකයන් අධ්‍යාත්මික සන්තුෂ්ටිය හෙවත් සැනසීම සඳහා මෙහෙයවන ප්‍රායෝගික ජීවන කාර්ය පද්ධතියකි. එහි මූලිකාංගය වන්නේ තම ආත්ම අවබෝධය යි. එබැවින් එය මුළුමනින්ම ස්වාත්මබද්ධ වෙයි. එහිදී තමා පිළිබඳ වගකීම් තමා සතු ය.

සත්තකින් ම බුදුදහම පර්යේෂණ සහ අත්දැකීම් විෂයයෙහි විශිෂ්ටතම ආදර්ශය වන හෙයින් ඉහත සඳහන් දෙවැනි ගණයට වැටෙයි. බෞද්ධ ලේඛනයක කිසිදු තැනක බුදුන් වහන්සේ කවර හෝ බාහිර බලාධිකාරියකින් ප්‍රභවය ලත් බවක් හෝ උන්වහන්සේ එවැන්නකින් නිකුත් කරන ලද ප්‍රකාශනයක් සන්නිවේදනය කරන්නකු බවක් හෝ සඳහන්ව නැත. එමණක් නොව උන්වහන්සේගේ අනුගාමිකයන් විසින් සිය ගුරුවරයාගේ ඉගැන්වීම් ජනපි‍්‍රය උපක්‍රම මඟින් ආරක්ෂා කරන්නට හෝ දිව්‍යමය බලාධිකාරියක් මත තහවුරු කරන්නට හෝ යත්ත දරා ද නැත. එවන් අයිතියක අනතුරුදායක බව විග්‍රහ කරන්නට වුවමනා තරම් පැහැදිලි සාධක ඇත.

හතළිස් පස් වසරක් පුරා පැවති බුදුන් වහන්සේගේ ධර්මදූත සේවාවේ මූලික පියවරේ සිටම තමා හුදෙක් තමන්ගේම උත්සායෙන් වසර ගණනාවක නිරීක්ෂණයෙන් සහ ගවේෂණයෙන් සත්‍යය අවබෝධ කර ගත් මිනිසකු මිස අන්කිසි අතිමානුෂ බලයක් ඇත්තකු නොවන බව සහතික කරන්නට දැඩි වෙහෙසක් දැරූහ. එබැවින් ම උන්වහන්සේ බුද්ධ හෙවත් අවබෝධය ලත් අනුත්තර පුද්ගලයා නමින් හඳුන්වනු ලැබූහ. උන්වහන්සේ තමන් අත්ටුදු ලෝකය ගැඹුරින් විභාග කළහ. ඉක්බිති ආරම්භක පියවරේදී ම මිනිසා පිළිබඳ ලෞකික ගැටලුවලට පිළිතුරු පැහැදිලි කළහ. ජීවිතය හෙවත් මිනිසා පිළිබඳ දුරවබෝධ යථාර්ථය තරයේ ගවේෂණය කළ අතර, ඒ පදනම මත ‘බෞද්ධ පිළිවෙත් මඟ’ නමින් හඳුනා ගන්නා ලද ජීවන මාර්ගය සැලසුම් කර ඇත. ඒ නිසා බොළඳ ආගමික විශ්වාස දෙදරුම් කවා ඇති කිසිදු නූතන ව්‍යාපාරයකට පමණක් නොව නූතන විද්‍යාවට පවා කෙසේවත් බුදුදහමට අභියෝග කළ නොහැකි ය.

ආර්ය අෂ්ටාංගික මාර්ගය නමින් හැඳින්වෙන ජීවන මාර්ගය බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද්දේ ආත්ම පරිශුද්ධිය පිණිස ය. එය පරිසමාප්ත වශයෙන් අවබෝධ කැර ගැනීම අපහසු වෙතැ යි සිතෙතත් නොකළ හැක්කේ නොවේ. ඇයි ද යත්, තමන් උපතින් ම පව්කාරයන් යැයි බෞද්ධයන් විශ්වාස නොකරන හෙයිනි. සුවිශේෂ පිළිවෙතක් ප්‍රගුණ කරයි නම් දැඩි ලෝභයෙන් පිරීගිය තණ්හාව මැඬලන ශක්තිය අප තුළ ම ඇති බව බුදුන් වහන්සේ ප්‍රකාශ කළහ. මිනිසා තුළ පවතින ආත්මාර්ථකාමීත්වයේ හෙවත් තණ්හාවේ කෙළවරක් දැකිය නොහැකි නම්, අප විඳින දුකෙහි ද කෙළවරක් දකිනු නොහැකි ය. ඒ අනුව බුදුදහම හැම අතින් ම සර්වශුභවාදී ආගමකි. පරස්පරතා පිළිබඳ ගැටුමක්, කෑදරකමක් හෝ දුකට හේතුවක් නැති කල්හි වඩා යහපත් සහ ශ්‍රේෂ්ඨ අපේක්ෂාවක අත්දැකීම බුදුදහම අපේ ඇස්පනා පිටම පැහැදිලි කරයි.

ජීවිතය, ධනසම්පත්, සදාචාරය සහ ආගම ගැන පවා අපේ හැඟීම් අප ජීවත්වන වටපිටාවෙන් අපට උරුම වුණු දේවල් ය. එබැවින් පෙරටුව ගමන් කරන නොයෙක් ළැදිකම්, රුචි අරුචිකම් ආදියේ ගොදුරු බවට අපි පත්ව සිටිමු. ඒ ඔස්සේ ගොඩනැඟුණු ගතානුගතික දෘෂ්ටින් පිළිබඳ වහල්කමින් අපට නිදහස් විය හැකි නම් ද්‍රව්‍ය ලෝකය, ආකල්ප, සිදුවීම් හෝ පුද්ගලයන් දෙස වෙනත් සුදුසු කෝණයකින් බලන්නට හැකිවනු ඇත. එවිට ඒවා මුහුණට මුහුණ සිට දකින්නට පුළුවන. එබැවින් බෞද්ධ ජීවන මාර්ගය මේ පරමාදර්ශය සාක්ෂාත් කර ගැනීම සඳහා අප විසින් ප්‍රගුණ කළ යුත්තකි. එනම් ආර්ය අෂ්ටාංගික මාර්ගය අවබෝධ කර ගැනීමයි.

ඕනෑම ව්‍යාපාරයක සාර්ථකත්වය පිණිස පළමුවෙන් සම්මා දිට්ඨි හෙවත් යහපත් දැකීම වුවමනා ය. අත්තිවාරම ස්ථාවර වූ කල්හි ගොඩනැගිල්ල ශක්තිමත් වෙයි. එසේ නොවන විට මහ විපතක් අත ළග විය හැකිය. යහපත් දැකීම සඳහා ඕනෑ ම කෙනෙකුට ජීවන ගැටලු සහ යථාර්ථය පිළිබඳ අගති විරහිත අවබෝධය අත්‍යවශ්‍ය ය. පුද්ගලයකු තණ්හාධිකව ගජ වාසියකි යි සිතා ධනවත් වීමේ අදහසින් අසල්වැසියාගේ වස්තුව සොරකම් කිරීමට පෙලඹෙන්නට පුළුවන. මෙහිදී ඔහු යහපත් දැක්ම ඇත්තෙක් නොවේ. යහපත් දැකීම අනුව නම්, වැඩිදුරටත් ඔහු සිතිය යුත්තේ සිය අසල්වැසියාගේ සතුට තමාගේ සතුට සේ ම වැදගත් වන බවයි. එමඟින් ඔහු සිය හැඟීම් වලට ගරු කරන්නෙක් වෙයි. සම්මා සංකප්ප හෙවත් යහපත් කල්පනාව යහපත් අරමුණක්කෙරෙහි සිත යොමු කරමින් නිවැරදි මාර්ගයෙහි පිහිටුවා ගැනීම මත රඳා පවතී . අපේ මූලික අරමුණ යොමුවී ඇත්තේ කවර පරමාර්ථයෙන් ද යන්න අප පැහැදිලිව දත යුතුය. අපට ඉන්දියාවේදී බොම්බායට යන්නට වුවමනා නම් මදුරාසියට යන දුම්රියක් අල්ලා ගැනීම යහපත් කල්පනාවක් නොවේ. එයින් වන්නේ මඟ වරදවා ගෙන නැති කරදරයකට වැටීම පමණි. එබැවින් බෞද්ධයකුගේ යහපත් කල්පනාව රඳා පවතින්නේ දුක සහ සසර අරගලයේ නිමාවක් දැකිය හැකි අවබෝධය ලබා ගැනීම පිණිසය. එය පරිපූර්ණ අවබෝධයෙන් ලබාගත හැකි උතුම් දායාදයකි.

සම්මා වාචා හෙවත් යහපත් වචනය, බොරුකීම හෙවත් මුසාවාදය පුද්ගලයන් හෝ පිරිස් අතර වෛරය ද, අසමඟියද ඇතිවීමට හේතුවන කේලාම් කීම හෙවත් පිසුණාවාචය ද සිත් රිදවන නපුරු, රළුබස් හෙවත් ඵරුසාවාදය ද, වැඩකට නැති හිස්බස් බිණීම හෙවත් සම්ඵප්පලාපය ද යන මේවායින් වැළකීම මත රඳා පවතී. මේ සඳහන් සතරකාර වැරැදි අන් කවර අකුසලයකටත් වඩා සමස්ත මානව සමාජය තුළ මහා පරිමාණ සිත් දූෂණයට මඟපාදා ඇත. සියලු දෙනා විසින් මෙය වරදක් බව පිළිගනු ලැබේ.

සම්මා කම්මන්ත හෙවත් යහපත් වැඩ (සේවා) ප්‍රාණඝාතය, අන්සතු දේ සොරකම් කිරීම, කාමමිථ්‍යාචාරය සහ සුරාමේරයෙන් වැළකීම මත රඳා පවති. විනෝදය පිණිස වුවත්, අහිංසක ජීවිත විනාශ කරමින් සතුටක් ලැබිය හැකි පහත් ගණයේ මානසික තත්ත්වයකට මෙහෙයවන ප්‍රාණඝාතය අනෙක් ඒවාට වඩා බරපතළ ය. බුදුදහම වැළඳ ගැනීමත් සමඟ අශෝක අධිරාජයා විසින් පළමුවෙන් කරන ලද්දක් නම් රාජකීය දඩකෙළි චාරිකා නතර කිරීමයි. ම්ලේච්ඡ දඩකෙළියවෙනුවට තෝරා ගත හැකි තවත් අහිංසන ක්‍රීඩා කොතෙකුත් ඇත. නැතිබැරි අයට පිහිටවීම, රෝගීනට සාත්තු සප්පායම් කිරීම සහ තවත් අපමණ කරුණාන්විත සේවා සම්මා කම්මන්ත ගණයේලා සැලකේ.

සම්මා ආජීව හෙවත් යහපත් දිවි පෙවෙත, කෙනකුගේ ජීවන මාර්ගය සාධාරණ පිළිවෙතින් යුතුව පහත් උපක්‍රම වලින් තොරව සාර්ථක කර ගැනීම මත රඳා පවතී. බෞද්ධයකු විසින් නොකළ යුතු යැ යි අදහස් කරන ලද ඇතැම් ගණයක වෙළඳාම් ඇත. ඒවානම් අනෙක් අයගේ් දුකට හේතුවන සත්ත්ව ඝාතනය, දඩයම, මත්ද්‍රව්‍ය අලෙවිය, වහල් වෙළෙඳාම, මාරක අවි වෙළෙඳාම ආදියයි. සාධාරණ ජීවන මාර්ගයක් අවධාරණය කරන බුදුදහම ලොව ක්‍රියාත්මක දුෂ්ටත්වයට මූලික වන හේතු හෙළා දකී. ජීවන මාර්ගක් ලෙස මේ දුශ්වරිතයන්ගෙන් වැළකිය හැකි නම්, ලෝකය අදට වඩා සතුටින් ජීවත්වීමට සුදුසු තැනක්වනු ඇත. 1865.04.14 වැනිදා ඝාතනයට ලක්වූ ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයකු වූ ඒබ්‍රහම් ලින්කන් වහල් මෙහෙය තහනම් කළේ ය. මින් වසර දෙදහස් පන්සියයකටත් ඉහත දී ඒ කාරිය බුදුන් වහන්සේ විසින් ඉන්දියාවේ ඉටු කරන ලදී.

සම්මා වායාම හෙවත් යහපත් වෑයම යන්නෙන් අදහස් කැරෙන්නේ සිත තුළ නූපන් අකුසල් ඉපදීමට ඉඩ නොදීමත්, උපන් හෙවත් තමා තුළ පවත්නා අකුසල් නැති කිරීමත්, නූපන් කුසල් ඉපිදවීමත්, උපන් කුසල් දියුණු කිරීමත් සඳහා කරනු ලබන දැඩි උත්සාහය යි. බුදුන් වහන්සේ සිත පාලනය කිරීම තරයේ අවධාරණය කර ඇත. ඇයි ද යත්, හැම සිතිවිල්ලක් ම උපදවන්නාත් මෙහෙවන්නාත් සිත වන හෙයිනි. සිත මැනවින් පාලනය කළහොත් සහ පිරිසිදු වුවහොත් ක්‍රියාවද පිරිසිදු වන නිසා ය.

යම් සේ ද, ‘’සිතිවිලි වලට හෙවත් සිතේ ඇතිවන ගති වලට සිත පෙරටු ය. ඒ ගති සිත ම ශ්‍රේෂ්ඨ කොට පවතී. ඒවා සිතින් ම උපදී . ඒ නිසා යමෙක් කිලිටි සිතින් යමක් කියයි ද, කරයි ද කරත්තය අදින ගොනාගේ පය අනුව රෝදය යන්නාක් මෙන් ඔහු පසුපස ලුහුබඳී’ - ධම්මපදය 01

සම්මා සති හෙවත් යහපත් සිහිය යනු මානසික විමසිලිමත් බවෙහි ගුණාත්මක ස්වභාවය වර්ධනය කිරීම යි. සිතෙහි පිරිසිදු හැඟීම් ජනිත වන්නට සහ සුවසෙත සැලසුනු පිණිස නිරවුල් අවධානය වුවමනා ය. අප කුමක් කළත්, එනම් ගමන් කළත්, හිඳගත්තත්, කතා කළත් එයින් කරදරයක නොවැටෙනු පිණිස ඒ කරන ක්‍රියාවෙහි සිහිමත් විය යුතු ය. සම්මා සතිය ප්‍රගුණ කරනු පිණිස බුදුදහමෙහි විවිධ ක්‍රමෝපාය දක්වා ඇත.

ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අවසන් පියවර සම්මා සමාධි හෙවත් සිතෙහි පරිසමාප්ත එකඟ බවයි. මේ පියවර නිසැකයෙන් ම නිර්වාණාවබෝධය පිණිස අනිවාර්ය වෙයි. පරිසමාප්ත අවබෝධය පිණිස නෛසර්ගික ආධ්‍යාත්මික ශක්තිය ප්‍රගුණ කරන්නට උපකාර වන මානසික නිපුණත්වයේ කූට ප්‍රාප්ත අවස්ථාව එය යි. තවදුරටත් එය වනාහි බෞද්ධ ජීවන පිළිවෙත තුළ අධ්‍යාත්මික සංවර්ධනයේ උපරිම පියවර මඟින් නිර්වාණ සුවය අත්දකින අවස්ථාව යි.

නිර්වාණ නම් වූ විමුක්තිය, පිණිස මෙහෙයවන, බෞද්ධ ජීවන පිළිවෙත්හි පියවර අට එයයි. ලෝභය, ද්වේෂය, මෝහය සහ වෙනත් අයහපත හෝ අකුසල් මුළුමනින් සිතින් ඉවත් වූ කල්හි ශාන්තිය, සාමය, සන්තෘප්තිය සහ පරිපූර්ණ සන්තුෂ්ටිය සලසන බෝධිය හෙවත් අවබෝධය නමින් හැඳින්වෙන ආලෝකය අප තුළ දැල්වෙනු ඇත. දැන් ‘සම්මා’ යන්නෙහි තේරුම කුමක් දැයි කෙනකු අසන්නට පුළුවන. බහුලව යෙදී ඇති හෙයින් එසේ ඇසීම ද සාධාරණ ය. කෙසේ වෙතත් එය තරමක් අමාරු ප්‍රශ්නයක් බවද පෙනේ. සැබවින්ම සීමා සහිත දැනුමක් ඇති කිසිවකුට එයට සෑහෙන පිළිතුරක් දීම අපහසු ය. එයට හේතුව අද ලොවපුරා නොයෙක් ආගම් සහ විවිධ ඇදහිලි හා විශ්වාස බහුලව තිබීම යි. එහිලා එක් එක් පුද්ගලයාගේ මතිමතාන්තර විවිධ වන හෙයින් කිසිවකුට අසාධාරණයක් නොවන පරිදි සලකා බැලීමක් වුවමනා වෙයි. බෞද්ධයනට මේ පිළිබඳ විශිෂ්ට ප්‍රමිතියක් ඇත. එනම් ‘සම්මා’ සහ ‘ මිච්ඡා’ හෙවත් යහපත සහ අයහපත පිළිබඳ විනිශ්වය යි. බෞද්ධ ජීවන පිළිවෙතේ මූලික අරමුණ දුක නැති කිරීම වන නිසා දුක වැඩි කිරීමට හේතු වන හැම සිතිවිල්ලක්, වචනයක් සහ ක්‍රියාවක් ම සාවද්‍ය හෙවත් යහපත් නොවන අතර, දුක නැති කිරීමට හේතු වන හැම සිතිවිල්ලක් වචනයක් සහ ක්‍රියාවක් ම ‘සම්මා’ හෙවත් යහපත් වෙයි. සම්මා සහ මිච්ඡා යන ප්‍රශ්නයට විශ්වාසනීය පිළිතුරක් මේ විචරණයෙන් ලැබෙනු ඇතැයි සිතමි. එහිදී බුදුන් වහන්සේ අධ්‍යාත්ම විද්‍යාව ඔස්සේ ගැඹුරට ගොස් අත ළඟ ප්‍රශ්නය මඟ හරින්නට සූදානම් වූයේ නැත. දෙවියෝ සිටිත් ද? නොසිටිත් ද? ජීවය නිත්‍ය ද? අනිත්‍ය ද? ආදී ප්‍රශ්න නිර්වාණය හෙවත් විමුක්තිය ලබා ගන්නට අවශ්‍ය නැති සහ බාධක වන හෙයින් බුදුන් වහන්සේ ඒවාට පිළිතුරු දීම ප්‍රතික්ෂේප කළහ. බුදුන් වහන්සේට සිය අනුගාමිකයනට හෝ ශ්‍රාවකයනට පහදා දෙන්නට අත ළඟ වූ බරපතළ ප්‍රශ්නය වූයේ දුක සහ එය නැති කිරීම යි. කෙසේ වෙතත් බුදුන් වහන්සේ සිය අනුගාමිකයන්ගෙන් ඉල්ලා සිටියේ අදාළ නොවන ප්‍රශ්න ගැන කරදර හෝ කලබල නොවන ලෙසයි. වරක් එවන් කරුණු ගැන ප්‍රශ්න කළ විට උන්වහන්සේ උපමා කතාවකින් මාලුංක්‍ය පුත්ත හිමියනට සිය උපදේශය ඇඟවූයේ මෙසේ ය.

‘මාලුංක්‍යපුත්ත, එක්තරා පුරුෂයෙක් විස පොවන ලද ඊතලයකින් විඳින ලද්දේ යැයි සිතමු. ඔහුගේ මිතුරෝත්, නෑයෝත් ඔහු ශල්‍ය වෛද්‍යයකු වෙත ගෙන යන්නාහ. එවිට ඒ තුවාලකරු මෙසේ කියයි. මට විද්ද පුද්ගලයා ක්ෂත්‍රියෙක් ද, බ්‍රාහ්මණයෙක් ද, උස ද, මිටිද, මැදුම් ද, කළු ද.... කවර ගමක හෝ නියම්ගමක වෙසේ ද යන මේ විස්තර දැන ගන්නා තුරු මේ ඊතලය අදින්නට නොදෙමි. මේ ඊතලය විඳින ලද්දේ කෙබඳු දුන්නකින්ද? යන මේ විස්තර දැන ගන්නා ගුරු මේ ඊතලය අඳින්නට නොදෙමියි කියන ඒ පුරුෂයා මේ කිසි දෙයක් නොදැන ම කලුරිය කරන්නේ ය. එපරිද්දෙන් ම ‘’භාග්‍යවතුන් වහන්සේ මට මේ ප්‍රශ්න වලට පිළිතුරු කියා නොදෙතොත් මම භාග්‍යවතුන් වහන්සේ ළඟ බඹසර නොවසන්නෙමි යි යමෙක් කියන්නේ නම්, ඒ පුද්ගලයා ඒ ප්‍රශ්න වලට තථාගතයන්ගෙන් පිළිතුරු නොලබා ම කලුරිය කරන්නේ ය’’.

ඉක්බිති බුදුන් වහන්නේ බ්‍රහ්ම චර්යාවට මේ දෘෂ්ටි වලින් වැඩක් නැති බවද මෙහිලා අප කවර මතයක් දැරුවද, ඉපදීම, ජරාව, මරණය, ශෝකය යනාදී මේවා පවත්නා බවද, එසේ නමුත් මේ ජාතියේදී ම මේ සියල්ලෙන් මිදිය හැකි බවද මාලුංක්‍යපුත්තට විස්තර කළහ. බුදුන් වහන්සේ තමා කී දේ පවා සත්‍යය ලෙස පිළිගන්නට අනුගාමිකයනට බල කළේ නැත. උන්වහන්සේ සිය අනුගාමිකයන් හැම කෙනකුට ම අවවාද කළේ සත්‍යය තමන් ම අවබෝධ කර ගෙන හඳුනා ගන්නා ලෙස යි. උන්වහන්සේ කළේ හුදෙක් විමුක්ති මාර්ගය පැහැදිලි කිරීම පමණි. අපරදිගුවෝ බුදුදහම තුළ මිථ්‍යා ඇදහිලි පූජක අධිකාරිය සහ ගතානුගතික දෘෂ්ටිය වැනි ඕනෑ ම බැඳීමකින් නිදහස් ආගමක් දකිති. කීර්තිමත් අපරදිග ප්‍රවීණ පඬිවරයකුවන රිස් ඩේවිඩ්ස් මෙසේ සටහන් කළේය. ‘ස්වභාවයෙන්ම එතරම් සරල වූ ඕනෑ ම අතිමානුෂ ව්‍යාපාරයකින් නිදහස්, එපමණට ම ස්වාධීන , ආත්මය සහ දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසයට පවා එතරම් ප්‍රතිවිරෝධි විමුක්තිය පිළිබඳ උපාය මාර්ගයක් මින් පෙර ලෝක ඉතිහාසයේ කිසිදාක ඉදිරිපත් කර නැත. එය හරි හෝ වැරදි වන්නට පුළුවන. එහෙත් එය වනාහි මිනිසා පිළිබඳ මානව ඉතිහාසයේ එක්තරා හැරවුම් ලක්ෂ්‍යයකි. සැබවින් මේ ප්‍රතිශෝධකයා තුළ අත්‍යන්තයෙන් අව්‍යාජ අරමුණක් විය. එසේ ම එතුමා තමා ජීවත්ව සිටි සමයේ සියලු බුද්ධි විෂයීය සංස්කෘතිය පිළිබඳ පරිචය ඇත්තෙක් විය. මේ ලබා උපන් ජීවිතයේදී ම අත්දකින්නට හැකි විමුක්තිය පිළිබඳ දර්ශනය, එවක විරුද්ධ මතවාද සමඟ සසඳමින් ඒ පිළිබඳ අවබෝධයෙන් යුක්තව සාවධානව ඉදිරිපත් කරනු ලැබිණ. එය ශ්‍රාවකයා තුළ අධ්‍යාත්මික වෙනසක් ඇති කළේය. එය ආත්ම අවබෝධය සහ ආත්ම ශික්ෂණය පිළිබඳ ක්‍රමවේදයක් තුළ අධිෂ්ඨානයෙන් සාක්ෂාත් කළ යුත්තකි.

ආගමක් හෝ ජීවන මාර්ගයක් හුදෙක් එයින් ප්‍රකාශ කැරෙන සත්‍යයෙන් හෝ සිද්ධාන්තයන්ගෙන් පමණක් විවරණය කරනු නො ලැබේ. එහි අදාළත්වය තීරණය කරනු ලබන්නේ එය අනුගමනය කරන්නන්ගේ ජීවිතයේ සිදුවන ධනාත්මක වෙනස අනුව යි. මෙයට අදාළ පරීක්ෂණයට අනුව අව්‍යාජ සතුටක් හෝ තෘප්තියක් ලද හැකි පරිදි බුදුදහම ජයග්‍රහණයක් වාර්තා කර ඇත. බුදුදහම කවර තරමේ පුළුල් වපසරියක ව්‍යාප්ත වුවත්, එහි කරුණාන්විත බලපෑම කෙතරම් විනිවිද ගියත්, ඒ හැම විටම, හැම අතින් අපේ ජීවිතය විශිෂ්ටත්වයට පත් කරන්නට හැකි වූ අතර, එය අපේ ජීවිතයට සතුටත්, අවබෝධයත් ලබාදී ඇත. බුදුදහම මානව සංහතියට වඩා යහපත් වඩා පරිපූර්ණවූත් ජීවන මාර්ගයකට අදාළ පරමාදර්ශ හඳුන්වා දෙමින් එහිලා දිරි ගන්වා ඇත.

බෞද්ධයන් ඇසුරෙහි චිත්‍රකලාව, ගෘහනිර්මාණ ශිල්පය, වෛද්‍ය විද්‍යාව, විද්‍යාව සහ දර්ශනය විශිෂ්ට ප්‍රගතියක් අත්කර ගත්තේ ය. බුදුදහම ව්‍යාප්ත වූයේ ඉන්දියාව හෝ මියන්මාරය, ශ්‍රී ලංකාව හෝ තායිලන්තය, ජපානය හෝ චීනය, තිබ්බතය හෝ මොන්ගෝලියාව, කාම්බෝජය හෝ කොරියාව ආදි කොතැනකදී වුවත්, ඒ සියලු රටවල විද්‍යා, කලා, ශිල්ප සහ දර්ශනයේ ප්‍රගතියට හේතුවූයේ ඒ ඇසුරයි. බෞද්ධ විහාරස්ථානයක් යනු හුදෙක් වන්දනාමාන හෝ පුදපූජා පවත්වන තැනක් පමණක් නොව අධ්‍යාපනය සහ ඥානගවේෂණය පිළිබඳ කේන්ද්‍ර ස්ථානයකි. බෞද්ධයාට නූගත්කම සාපයක් ලෙස සැලකේ.

එබැවින් බෞද්ධයා නිරතුරු නූගත්කමින් මිදිය යුතු අතර, ඥාන ගවේෂණය කෙරෙහි හැම උත්සාහයක්ම දැරිය යුතු ය. මිනිස් ප්‍රජාව සේ ම සත්ත්ව ප්‍රජාව ද රෝගපීඩා දී දුකින් මුදා ගැනීම පිණිස බෞද්ධයන් විසින් ඈත අතීතයේ පවා ආරෝග්‍යශාලා සහ උපස්ථානාගාර පිහිටුවා ඇත. ක්‍රි.පූ. 250 තරම් පැරණි සමයේ අශෝක අධිරාජයා විසින් මානව සහ සත්ත්ව ප්‍රජාව සඳහා ඒ වන විට අපරදිග ලෝකය හඳුනාගෙන නොතිබුණු ආරෝග්‍යශාලා පිහිටුවීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබේ.

අශෝක අධිරාජයා ලෝක ඉතිහාසයේ විසූ ශ්‍රේෂ්ඨතම පුද්ගලයන් හය දෙනාගෙන් එක් කෙනෙකු බව එච්.ජී. වෙල්ස් පඬිවරයා සඳහන් කරයි. එතුමා එසේ සඳහන් කරන්නේ රාජ්‍ය පාලකයන්ගේ චරිත සංවර්ධනය කෙරෙහි බුදුදහම කෙතෙක් දුරට බලපා තිබේදැයි උදාහරණයක් ලෙසිනි. අශෝක අධිරාජයාගේ ශ්‍රේෂ්ඨත්වයට සාක්කියක් ලෙස ඉන්දියාව පුරා විසිරී ඇති ගල්කණුවල සටහන් කරන ලද කීර්තිමත් අභිලේඛන ඉදිරිපත් කළ හැකි ය. පහත පළ වන්නේ එවන් අභිලේඛන පාඨ දෙකකි.

‘’මාගේ යටත් විජිතයන් පුරා සේ ම, මගේ අසල්වැසි රාජ්‍යයන් අතරත්, පොදු ජනතාව සඳහා පමණක් නොව, තිරිසන් සතුන් සඳහාත් වෛද්‍ය පහසුකම් සැලසීමි. එසේ ම ඒ සියලු දෙනා සඳහා ඖෂධීය ශාකවර්ග වගා කරවීමි. ඇතැම්විට ඒවායේ හිඟයක් ඇතිවූ කල්හි වෙනත් පෙදෙස්වලින් ගෙන්වා රෝපණය කරවීමි. මංමාවත් අසල ළිං පොකුණු කැණවීමි. රුක් රෝපණය කරවීමි. පොදු ජනතාව සහ තිරිසන් සතුනටත් ගිමන් හරින්නට විශ්‍රාම ශාලා පිහිටුවීමි’. ඉන්දියාව තුළ කුලපීඩනය සහ කුලවාදයට එරෙහිව සිය කටහඬ අවදි කළ ප්‍රථමයා බුදුන් වහන්සේ ය. උන්වහන්සේගේ ඉගැන්වීම වූයේ ‘යමෙක් උපතින් බ්‍රාහ්මණයෙක් (ශ්‍රේෂ්ඨයෙක්) වන්නේ නොවේ. ඔහු බ්‍රාහ්මණයකු වන්නේ ඔහුගේ කර්මයෙනි. එනම් ක්‍රියාවෙනි ‘ යනු යි. එතෙක් සිහිනෙන්වත් නොසිතිය හැකි දෙයක් වූ විවිධ කුල සහ ජනවර්ග අතර සාමුහික සහජීවන පිළිවෙතක් බිහිවූයේ බුදුන් වහන්සේගේ එවන් ඉගැන්වීම් වලිනි. අපේ දෛනික ජීවිතයේදී අපි මිනිසා සහ මිනිසා අතර කුලීන සහ කුලහීන යනුවෙන් බාධක පනවා ගනිමු නම් ආගම පිළිබඳ මූලධර්මයන්හි සඳහා ඒකාග්‍රතාව හුදු අර්ථශූන්‍ය ඒවා වනු ඇත. එවිට එය නියතයෙන් ආගම පිළිබඳ සරදමක් පමණි. සැබවින්ම ආගම යන්නෙහි කිසියම් තේරුමක් තිබේ නම්, එය අන්කිසිවක් නොව ජීවන පිළිවෙත ම විය යුතුය. බුදුදහමෙහි විවරණය කැරෙන ජීවන පිළිවෙතින් පූජ්‍යස්ථාන නැරඹීම හෝ විවිධ ප්‍රතිමා ආදි සංකේත වන්දනාව අදහස් නොකැරෙන අතර, ආගම පිළිබඳ විශිෂ්ට ප්‍රතිපත්ති සමඟ ස්ථාවර අනුකූලතාවෙන් අපේ දෛනික කටයුතු මෙහෙයවීම වැදගත් වන බව තහවුරු කැරේ. අපේ සමගාමි පුද්ගලන් සමග අපේ ඇසුර වංක, කපටි, අහංකාර, කුරිරු සහ අකාරුණික නම්, එකල්හි අපේ සියලු වන්දනාමාන හෝ ශුද්ධ වූ පාඨ පුනරුච්චාරණය, ආධ්‍යාත්මික සැනසීමේ අරමුණ වෙත අප එක් අඟලකින් හෝ කිට්ටු නොකරනු ඇත. අපි අපේ සමගාමී පුද්ගලයන් සමඟ පවත්වන කරුණාව පිළිබඳ යම් යම් ක්‍රියාකාරකම් හො ක්‍රැරත්වය මඟින් අපේ අභ්‍යන්තර ස්වභාවය පිළිබිඹු කරනු මිස වසන් කරන්නට නොහැකියෝ වෙමු.

එබැවින් ජීවන පිළිවෙත, පළමු කොට ම ජීවිතය පිළිබඳ සරලතම මූලික ක්‍රියාකාරකම් යථාවත් කරන්නට දරන උත්සාහය මත රඳා පවතී. ඒ අනුව තත්ත්වාකාරයෙන් තේරුම් ගැනීමෙන් පරිපූර්ණත්වය වෙත ඉදිරියට යන්නට හැකිවනු ඇත. ආධ්‍යාත්මික ජීවිතයේ සක්‍රීය දර්ශනය එය යි. එනම්, ‘’භව“ හෙවත් ඇතිවීම හෙවත් අභිවර්ධනය යනු යි. එය වනාහි ගමනක පරිසමාප්තිය යි. මේ පරිසමාප්තිය තෙක් සිදුවන අභිවර්ධනය පිටස්තර හෙවත් පුද්ගලයාගෙන් පරිබාහිර කවරාකාරයක හෝ වරලත් අධිකාරි බලයක් මත රඳා පවතින්නක් නොවේ. එය පුද්ගලයා තුළින් ම උපත ලද යුත්තකි. බෞද්ධ ජීවන පිළිවෙත තුළ ස්වාත්ම ශික්ෂණය සහ ස්වාත්ම අවබෝධය තුන් කල්හි ම මෙතරම් අවධාරණය කැරෙන්නේ එබැවිනි.

බුදුන් වහන්සේ කුසිනාරාවේ දී පිරිනිවන් පාන්නට කලින් සඳහන් කරන ලද වචන කීපයකින් මගේ කරුණු දැක්වීමේ නිමාවක් දකිමි. එය ආධ්‍යාත්මික නිරාමිස සතුට බලාපොරොත්තු වන කවුරුත් විසිනුත් මනසේ තැන්පත් කර ගත යුත්තකි.

‘අත්තදීපා විහරථ - අත්ත සරණා අනඤ්ඤ සරණා
වයධම්මා සංඛාරා - අප්පමාදේන සම්පාදේථ

තමාට තමා ආලෝකයක් වනු මැනවි. තමාට තමා ම පිහිට කොට ගනු මැනවි. තමාට අනුන්ගේ පිහිට පැතීම නොමැනවි. සංස්කාරයෝ හෙවත් හටගත් සියලු ධර්මයෝ අස්ථාවරය. අනිත්‍යය. එනම් නැසෙන සුලුය. නොපමාව තමා විසින් ම තමාගේ විමුක්තිය සලසා ගනු මැනවි.

වප් පුර පසළොස්වක පෝය

වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් මස 11 වන දා අඟහරුවාදා පූර්ව භාග 05.11 ට ලබයි.
12 වන දා බදාදා පූර්ව භාග 07.37 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 11 වන දා අඟහරුවාදා ය.

 මීළඟ පෝය
ඔක්තෝබර් 20 වන දා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 11

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 20

New Moonඅමාවක

ඔක්තෝබර් 26

First Quarterපුර අටවක

නොවැම්බර් 02


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]