UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

බුදුරජාණන් වහන්සේ පන්සාළිස් වසක් මුළුල්ලේ දේශිත ධර්මය මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් හා අජාසත්ත රජතුමාගේ රාජ්‍ය අනුග්‍රාහකත්වයෙන් රජගහනුවර වේභාර පර්වත පාමුළ ඉදිකළ අලංකාර මණ්ඩපයක සංගායනා කළ ඓතිහාසික පුවත අපි දනිමු.ආනන්ද, උපාලි යන මහ රහතන් වහන්සේලා පෙරටු කර ගත් පන්සීයක් මහහරහතන් වහන්සේලා විසින් බුද්ධ පරිනිර්වාණයෙන් තුන් මසක් ඉක්මගිය කළ දේශිත ධර්මය සත් මසක් සංගායනා කරමින් බුදුන් වහන්සේගේත් අනුගාමිකයන්ගේත් ගුරුවරයා (ධර්මය හා විනය) ආරක්‍ෂා කරගැනීමට කටයුතු කරන්නට විය. “පඤචසතිකා සංගීතිය “ නමින් හැඳින්වෙන එම සංගායනාවේ දී ධර්මය විනය ආරක්‍ෂා කරගැනීමට පිටක ග්‍රන්ථ දෙකකට බෙදා ඒවා ආරක්‍ෂා කරගැනීමට භාණක පරපුරකට වගකීම පවරා ඇත. එනම්,

01. සූත්‍ර පිටකය -
01. දීඝ නිකාය (ආනන්ද හිමි ඇතුළු භාණක පරපුරට)
2. මජ්ඣිම නිකාය ( සැරියුත් හිමියන්ගේ භාණක පරපුරට)
03. සංයුත්ත නිකාය (මහා කාශ්‍යප හිමි ඇතුළු භාණක පරපුරට)
04. අංගුත්තර නිකාය (අනුරුද්ධ හිමි ඇතුළු භාණක පරපුරට )
05. ඛුද්දක නිකාය (සියලු භික්‍ෂූන් වහන්සේලාට)

02 විනය පිටකය
01. පාරාජික පාළි
02. පාචිත්තිය පාළි
03. මහා වග්ග පාළි
04. චුල්ලවග්ග පාළි
05. පරිවාර පාළි - උපාලි හිමි ඇතුළු භාණක පරපුරට යනුවෙනි

සූත්‍ර පිටකය

බුදුරජාණන් වහන්සේ විවිධ අවස්ථාවලදී විවිධ පුද්ගලයන්ට දේශිත ධර්මය මේ තුළ අන්තර්ගතය. ලෞකික ,ලෝකෝත්තර , අර්ථයන් ප්‍රකාශයට පත් කරන හෙයින් ද මනා වූ අර්ථයන්ගෙන් සමන්විත වූ හෙයින් ද සූත්‍රයක් හෙවත් නූලක් මෙන් එකට සම්බන්ධ වී ඇති හෙයින් ද සූත්‍ර නමින් හැඳින්වෙන බව,

“ අත්‍ථානං සූචනතෝ සුවුත්තතො සවනතො ච සුදනතෝ
සුත්තානා සුත්තසභාගතෝච සුත්තං සුත්තන්ති අක්ඛාතං “

සමන්තපාසාදිකා නම් විනය අටුවාවේ සඳහන් වේ. සම්මුති දේශනා ගණයට අයත් වන සූත්‍ර පිටකය ලෝක ප්‍රඥප්තිය මත පිහිටා ජන ජීවිතයට සම්බන්ධ කර දේශනා කර ඇත. සාමාන්‍ය ජනයාට වුවත් මැනවින් තේරුම් කර ගත හැකි ලෙස සංග්‍රහ වී ඇති සූත්‍ර පිටකයේ රජ මැති , ඇමැති , බ්‍රාහ්මණ , ගොවි, කම්කරු, ආදි විවිධ ක්‍ෂේත්‍රවල මිනිසුන්ගේ ජන ජීවිතය හා සම්බන්ධ සිදුවීම් හා ගැටලු තේමා කර ගත් සූත්‍ර දේශනා වැඩි වශයෙන් දැකිය හැකිය.

සංයුත්ත නිකාය

මෙම ලිපියෙහි මූලික ප්‍රස්තුත පිටක ග්‍රන්ථය සංයුක්ත නිකායයි. බුදුරජාණන් වහන්සේ බ්‍රාහ්මණ, ගෘහපති, දේවතා ආදී විවිධ පුද්ගලයන්ගේ ප්‍රශ්න විසඳීම සඳහා දේශිත සූත්‍ර දේශනා මෙහි අන්තර්ගතය. බ්‍රාහ්මණ , ගෘහපති,දේව ආදීන් හා සංයුක්ත වී දේශනා කළ සූත්‍ර ඇතුළත් නිසා මෙයට සංයුත්ත යන නාමය භාවිතා වී ඇත.

“ සත්තසුත්ත සහස්සානී සත්තසුත්ත සතානි ච
ද්වාසට්ඨිචෙව සුත්තන්තා ඒසෝ සංයුත්ත සංගහෝ “

යනුවෙන් අට්ඨකථාචාර්ය බුද්ධඝෝෂ හිමියන් සූත්‍ර හත්දහස් හත්සිය හැට දෙකකින් යුත් සංග්‍රහය මේ නමින් හඳුන්වන බව කියයි. එහෙත් බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවට අයත් සංයුත්ත නිකායේ එපමණ සූත්‍ර ප්‍රමාණයක් නැත. පොල්වත්තේ, බුද්ධදත්ත හිමියන් පෙන්වා දෙන්නේ පෙය්‍යාලය දිග් කොට ගණන් ගතහොත් සංයුක්ත නිකායේ දැනට ඇති සූත්‍ර ගණන 9726 ක් බවය. එය අටුවාවේ එන සංඛ්‍යාවට වඩා 1964 ක වැඩිවීමකි. පෙය්‍යාලය නොගෙන ගණන් ගතහොත් සූත්‍ර ගණන 6146 ක් දක්වා අඩු කළ හැකිය. එසේ වුවහොත් එය අටුවාවට වඩා 1616 ක් අඩුවේ. කෙසේ වුවද වර්තමාන ස.නි. දක්නට ලැබෙන්නේ සූත්‍ර 7241 ක් පමණි. ඉතිරි සූත්‍ර 521 ක් අස්ථානගත වී ඇතැයි සිතිය හැකිය. එසේම මිහිඳු මහ රහතන් වහන්සේ ගෙන ආ සංයුක්ත නිකාය සියලු භික්‍ෂූන් වහන්සේලා විසින් පුනරුක්ත අඩු කොට සංස්කරණය කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් මෙම තත්ත්වය ඇති වන්නට ඇතැයි සිතිය හැකිය. නිකාය භේදයෙන් පසුව ථෙරවාද සම්ප්‍රදාය විසින් සංයුත්ත නිකායත් අංගුත්තර නිකායත් නැවත සංස්කරණය කරන්නට ඇති බවත් එසේ නොවේ නම් වෙනත් නිකායිකයන් තමන්ගේ සයුක්තාගමය සහ ඒකෝත්තරාගමය නැවත සංස්කරණය කරන්නට ඇති බවත් මහාචාර්ය ඔලිවර් අබේනායක මහතා පවසයි. කෙසේ වුවද ලක්දිව කරන සංස්කරණවල ප්‍රතිඵලයක් වශයෙන් මෙම තත්ත්වය ඇති වන්නට ඇතැයි සිතිය හැකිය.

සංයුත්ත නිකායේ එන සූත්‍ර දේශනා ගද්‍ය පද්‍ය දෙකින් ම සමන්විත වෙයි. ධාතු, ඛන්ධ, ධ්‍යාන, මාර්ග ඵල , සතිපට්ඨාන, බොජ්ඣංග ආදී විවිධ වූ ධර්ම කරුණු මෙම සූත්‍ර තුළ අන්තර්ගත වේ. මේ සඳහා බුද්ධඝෝෂ හිමියන් විසින් රචිත අටුවාව සාරත්ථප්පකාසිනියයි.

සංයුත්ත නිකායේ කෝසල සංයුක්තය

කෝසල සංයුත්තය , සංයුත්ත නිකායේ සගාථ වර්ගයට අයත් වේ. බුදුරජාණන් වහන්සේ පසේනදී කොසොල් රජතුමාට එක් එක් අවස්ථාවල සැවැත්නුරව දී දේශිත සූත්‍ර ධර්ම 25 ක් මෙහි අන්තර්ගත ය. ඒවා ප්‍රධාන වග්ග තුනක් යටතේ බෙදා දක්වා ඇත. එනම්,

1. ඛන්ධක වග්ගය - සූත්‍ර 10
2. අපුත්තක වග්ගය - සූත්‍ර 10
3. කෝසල වග්ගය - සූත්‍ර 05 - 25

එක් වර්ගයක් අවසානයේ ඊට අයත් සූත්‍ර සංඛ්‍යාව ගාථාවකින් දක්වා ඇත. (උදා, දහරෝ පුරිසෝ රාජපියං....) කෝසල සංයුත්තයට අයත් සූත්‍ර දේශනාවන් අධ්‍යයනය කිරීමේදි විවිධ ක්‍ෂේත්‍ර ඔස්සේ බුදුරජාණන් වහන්සේ කොසොල් රජතුමා සමග ධර්ම සාකච්ඡාවක් කර ඇති බව පැහැදිළි වේ. අධ්‍යයනයේ පහසුව තකා ඒවා පහත පරිදි විශ්ලේෂණය කළ හැකිය.

කොසොල් රජතුමාගේ පාණ්ඩිත්‍යය

බුදුරජාණන් වහන්සේ සමඟ නිරන්තර සමීප සබඳතාවක් තිබූ කොසොල් රජතුමාට යම් ගැටලුවක් සැකයක්, ධර්ම කරුණක් දැනගැනීමට අවශ්‍ය වූ විට බුදුරදුන් හමුවී එය සාකච්ඡා කරයි. එහිදී ඇතැම් අවස්ථාවල බුදුරජාණන් වහන්සේ දහම් කරුණු විශේලේෂණය කිරීමටත් පෙර තමාගේ අදහස දක්වයි. එය බොහෝවිට නිරවද්‍යය. ඒ බව කෝසල සංයුත්තයේ සූත්‍ර තුළින් දැකිය හැකිය. වරක් තමාට කවරෙක් පි‍්‍රය වේද කවරෙක් අපි‍්‍රය වේද? “ යන ගැටලුව ඇති වූ විට බුදුරජාණන් වහන්සේ හමුවට ගොස් ඒ බව ප්‍රකාශ කර බුදුන් වහන්සේ ධර්ම කරුණු පැහැදිලි කිරීමට පෙර “ යම්කිසි කෙනෙක් කයින් දුසිරිත් කෙරේද? වචනයෙන් දුසිරිත් කෙරේද? සිතින් දුසිරිත් කෙරේද? ඔවුන්ට තමාද අපි‍්‍රය වේ. එය තමා කරන්නේ නම් තමාටද තමා අපි‍්‍රය වේ. යමෙක් කයින් වචනයෙන් සිතින් සුසිරිත් කෙරෙයි ද ඔවුන්ට තමා පි‍්‍රය වේ. එය තමා කරන්නේ නම් තමාටම තමා පි‍්‍රය වේ. “ යනුවෙන් ප්‍රකාශ කරයි. එවිට බුදුරජාණන් වහන්සේ “ ඒව මෙතං මහා රාජ ඒව මෙතං මහාරාජ “ මහ රජ එය එසේමයි , මහරජ එය එසේම යි, යනුවෙන් එය තහවුරු කරයි. මෙලෙස පි‍්‍රය සූත්‍රයේ පමණක් නොව අත්තරක්ඛිත අප්පකා, අත්‍ථකරණ, කල්‍යාණ මිත්ත, පඨම අපුත්තක, අධ්‍යක ආදී සූත්‍ර තුළ “ ඒව මේතං මහා රාජ ඒවං මේතං මහාරාජ “ යනුවෙන් රජතුමාගේ ප්‍රකාශය අනුමත කර ඇති ආකාරය දැකිය හැකිය. ඒ අනුව කොසොල් රජතුමා දහම් අවබෝධයෙන් හා පාණ්ඩිත්‍යයෙන් යුක්ත පුද්ගලයකු බව හඳුනාගත හැකිය.

මරණය පිළිබඳ තොරතුරු

උපතත් සමඟ මරණය රැගෙන එන පුද්ගලයාගේ ජීවිතයේ අනිත්‍ය ස්වභාවය පිළිබඳව බුදුරජාණන් වහන්සේ කොසොල් රජතුමාට සූත්‍ර ධර්ම කිහිපයකදීම දේශනා කර ඇත. දිනක් දහවල් කාලයේ රජතුමා බුදුරදුන් හමුවට ගොස් තමාගේ එකසිය විසි වයස් වූ මිත්තණිය මරණයට පත් වූ බවත් ඇය ඉන් මුදවා ගත හැකි නම් ඇත් අස් ගම් දනව් වුවද දීමට කැමති බව කීය. එවිට බුදුරජාණන් වහන්සේ. “ සබ්බේ සත්තා මහාරාජ මරණ ධම්මා, මරණ පරියෝසනා මරණං අනතීතාති “ යනුවෙන් සියලු සත්වයෝ මරණය ස්වභාවය කොට ඇති බවත් මරණය කෙළවර කොට ඇති බවත්, මරණය නොයික්මවා සිටිය නොහැකි බවත් දේශනා කරන්නට විය. අනතුරුව යථාර්ථය අවබෝධ කර ගත් රජතුමාට බුදුරජාණන් වහන්සේ,

“ සබ්බේ සත්තා මරිස්සන්ති මරණන්තං හි ජීවිතං
යථා කම්මං ගමිස්සන්ති පුඤ්ඤ පාප පලූපගා
නිරයං පාප කම්මන්තා පුඤ්ඤ කම්මා ච සුග්ගතිං
තස්මා කරෙය්‍ය කල්‍යාණං නිචයං සම්පරායිකං
පුඤ්ඤාණි පරලෝකස්මිං පතිට්ඨා හොන්ති පාණින්ති “

යනුවෙන් සියලු සත්ත්වයෝ, මැරෙන්නාහ. ජීවිතය මරණය කෙළවර කර ඇත්තේය. එබැවින් පින් පව් වල ප්‍රතිඵල වශයෙන් පව් කළ අය නිරයටත් පින් කළ අය සුගතියටත් යන බව අධ්‍යකා සූත්‍රයේ දී දේශනා කළහ. එසේම පින් පුද්ගලයාගේ පරලොව පිහිට පිණිස පවතින බවද පෙන්වා දී ඇත.

එසේම රාජ සූත්‍රයේ දී උපන්නා වූ පුද්ගලයාට ජරා මරණ හැර වෙන දෙයක් නැති බව “ නත්ථී ඛෝ මහාරාජ ජාතස්ස අඤ්ඤත්‍ර ජරාමරණා “ යනුවෙන් දේශනා කර ඇත. මහත් ධන ධාන්‍ය වස්තුව ඇති ක්‍ෂත්‍රිය ආදී උසස් කුලයක ඉපදුන අයෙකුට වුවද ජරා මරණ දෙක හැර වෙන දෙයක් නැති බව දක්වා ඇත. එසේම රහත් උතුමන්ට ද එය එසේම පොදු බව තවදුරටත් දේශනා කර ඇත.මෙලෙස මරණ ධර්මය පිළිබඳ බුදුරදුන් දේසිත දහම් කරුණු කෝසල සංයුත්තය තුළ අන්තර්ගත බව දැකිය හැකි ය.

කර්මය පිළිබඳ තොරතුරු

මානව සන්තානය තුළ පහළ වන කුසලාකුසල කර්ම හා ඒවායේ විපාකයන් පිළිබඳ විග්‍රහයක් කෝසල සංයුත්තය තුළ දැකිය හැකිය. සැවැත් නුවර සිටුවරයා මිය යාමෙන් පසු දරුවන් නැති ඔහුගේ වස්තුව රජ ගෙට යවා ඔහු සතුව පැවති වස්තුව බුදුරජාණන් වහන්සේට දන්වයි. රන් මුදලින් කෝටියක් පමණය. රිදී ගැන කියනු කවර කතාද? එහෙත් ඔහු සම්පත් පරිභෝජනයේදී කෑමට කාඩි දෙවැනි කොට ඇති නිවුඩු හාලේ බතක් ද, ඇඳීමට තුන් කඩකින් මසන ලද වැහැරුණු හණ වස්ත්‍රයක් ද, යෑමට කුඩා දිරුණු රථයක් ද, ආදී වශයෙන් භාවිත කළ බව බුදුන් වහන්සේට දැන්වීය. එවිට බුදුන් වහන්සේ ඔහුගේ පූර්ව භවය පිළිබඳ නිදානය ගෙන හැර දක්වන්නට විය. වරක් තගරසිඛී බුදුරජාණන් වහන්සේට පිණ්ඩපාතය දීමට අවසර දී පසුව නැවතත් එය දැසි දස් කම්කරුවන්ට දුන්නේ නම් ප්‍රයෝජනයක් වන්නේයැයි කල්පනා කරන්නට විය. එසේම තමාගේ ධනය විනාශ වන නිසා තමාගේ එකම පුතාද ජීවිතක්‍ෂවට පත් කරන්ට විය. දන් දීමේ ප්‍රතිවිපාක වශයෙන් ඔහු සත් වරක් දිව්‍ය ලෝකයෙහි ද සත් වරක් සැවැත් නුවර සිටුවරයා වීද ඉපදුණේය. එහෙත් දන්දීමෙන් අසතුටු වූ නිසා කොතරම් ධනය තිබුණද කෑම බීම අඳින පළඳින යාන වාහන පරිභෝජනයට සිත නොයෙදුණි. එසේම තමාගේ පුතු ජීවිතක්‍ෂයට පත් කළ නිසා සිය දහස් ගණන් නරකයෙහි දුක් වින්දේය. මේ භවයේ එහි ප්‍රතිවිපාක වශයෙන් දරුවන් නොලැබුණි. මේ වන විටත් ඔහු මහාරෞරව නරකාදියෙහි දුක් විඳින බව ද පෙන්වා දුන්හ. මෙලෙස කුසලාකුසල කර්මයන් විපාක දෙන ආකාරය පිළිබඳ කොසොල් රජතුමාට දේශනා කර ඇති ආකාරය දැකිය හැකිය.

එපමණක් නොව අත්‍ථකරණ සූත්‍රයේ දී භව භෝග ධන ධාන්‍ය ඇති ක්‍ෂත්‍රිය බ්‍රාහ්මණාදීන් තම සුඛ විහරණය උදෙසා දැන දැන මුසා බස් කියන්නේ නම් එය තමාට දුක් පිණිස අහිත පිණිස පවතින බව පෙන්වා දී ඇත. එමෙන්ම අප්පමාද සූත්‍රයේදී මෙලොව පරලොව අභිවෘද්ධිය පිණිස පවත්නා එකම දහම අප්‍රමාදය බව පෙන්වා දී ඇත. අප්‍රමාදීව පුණ්‍ය ක්‍රියාවල නිරතවීම තුළින් ආයුෂ , නිරෝගී බව, ශරීර වර්ණය, ස්වර්ගයට යෑම, අන්‍යයන් සිත පහදන ලක්‍ෂණ ආදිය වර්ධනය වන බවත් ඒවා පණ්ඩිතයන් ප්‍රශංසා මුඛයෙන් අගය කරන බවත්,

ආයුං ආරෝගියං වණ්ණං සග්ගං උච්චාකුලීනතං
රතියෝ පත්‍ථයන්තේන උළාරා අපරාපරා
අප්පමාදං පසංසන්ති පුඤ්ඤකිරියාසු පණ්ඩිතා “
යනුවෙන් පෙන්වා දී ඇත.

කල්‍යණමිත්ත සූත්‍රයේ කළ්‍යාණ මිතුරන් පිළිබඳ විග්‍රහයක් දක්වා කුසලාකුසල කර්ම වල අප්‍රමාදීව කටයුතු කිරීම උසස් බව පෙන්වා දී ඇත. එසේම

“භෝගේ පත්‍ථයමානේන උළාරේ අපරා පරේ
අප්පමාදං පසංසන්ති පුඤ්ඤකිරියාසු පණ්ඩිතා”

යනුවෙන් සැප පතන්නන් අප්‍රමාදි විය යුතු බවත් පණ්ඩිතයන් අප්‍රමාදය අගය කරන බවත් පෙන්වා දී ඇත. මෙලෙස කෝසල සංයුත්තයේ අන්තර්ගත සූත්‍ර තුළින් කුසලාකුසල කර්ම විපාකයන් පිළිබඳ දේශනා හඳුනාගත හැකිය.

දන්දීම පිළිබඳ තොරතුරු

දන්දීම කෝසල සංයුත්තයේ අගය කර ඇති ආකාරය ඉස්සත්‍ථ සූත්‍රයෙන් පැහැදිලි වේ. කොසොල් රජු “ කවුරුන්ට දන්දිය යුතු ද? (කත්‍ථනු ඛෝ භන්තේ දානං දාතබ්බන්ති?) යනුවෙන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දුන් බුදුරජාණන් වහන්සේ “ යත්‍ථ ඛෝ මහාරාජ, චිත්තං පසීදතීති” යනුවෙන් “මහරජ යමෙකු කෙරෙහි සිත පැහැදුනේ ද ඔහුට දන්දිය යුතු බව දැන්වීය. එවිට රජු නැවතත් “ කාහට දීමෙන් මහත්ඵල වන්නේ දැයි විමසීය” (කත්‍ථ පන භන්තේ දින්නං මහප්ඵලංන්ති “ එවිට, “ සීලවතෝ ඛෝ මහාරාජ දින්නං මහප්ඵලං නෝ තථා දුස්සීලං “ මහරජ දුසිල්වතුන්ට නොව සිල්වතෙකුට දෙන දානය මහත්ඵල බව පෙන්වා දුන්හ. එසේම ගිහි ගෙයින් නික්ම පැවිදි වූ කාමච්ඡන්ද , ව්‍යාපාද, ථීනමිද්ධ, උද්ධච්ඡ , කුක්කුච්ඡ, විචිකිච්ඡා යන පංච නීවරණයන් ප්‍රහීණ කළ අයට ද ශීල, සමාධි, ප්‍රඥා, විමුක්ති , විමුක්තිඥාන , දස්සන, වලින් යුත් අයට ද දෙන දානය මහත්ඵල වන බව පෙන්වා දුන්හ. කොසොල් රජතුමා ගොනුන් වස්සන් වැස්සියන් එළුවන්, බැටළුවන් 500 ය බැගින් ගෙන යාගයකට සූදානම් වූ අවස්ථාවේ එබඳු පාප කර්මයන් සිදු කරන යාගය මහත්ඵල නැති බව

“අස්සමේධං පුරිසමේධං සම්මාපාසං නිරග්ගලං
මහා යඤ්ඤං මහා රසඛා න තේ හොන්ති මහප්ඵලා”

යනුවෙන් යඤ්ඤ සූත්‍රයේ දී පෙන්වා දී ඇත.මෙලෙස දන්දීම පිළිබඳවත් දන්දිය යුත්තේ කාටද යන්න පිළිබඳවත් කෝසල සංයුත්තයේ පෙන්වා දී ඇති බව දැකිය හැකිය.

උපමා භාවිතය

බුදුරජාණන් වහන්සේ යම් දහම් කරුණක් මැනවින් පැහැදිළි කිරීමේ දී අවට ලෝකයේ ඇති යම් වස්තුවක් හෝ දෙයක් උපමාවට ගනිමින් ශ්‍රාවකයාට මැනවින් අවබෝධ වන පරිදි දහම් දෙසූහ. කෝසල සංයුත්තයට අයත් පරිස, රාජ, අත්‍ථකරණ, සත්තජටිල, පඤ්චරාජ, ලෝක, ඉස්සත්‍ථ , පබ්බතූපම, ආදී සූත්‍ර දේශනාවලදි උපමා භාවිත කර ඇති ආකාරය දැකිය හැකිය. පුරිස සූත්‍රයේ ලෝභ, ද්වේෂ, මෝහ යන අකුසල ධර්ම පුදගලයෙකුගේ සිතේ උපදින්නේ නම් එය දුක් පිණිස නොපහසු විහරණය පිණිස අහිත පිණිස පවතින බව දක්වා , “ හිංසන්ති අත්‍ථසම්භූතා තච සාරංච සම්ඵලන්ති” යනුවෙන් සිය ඵලය (හුණු බට ආදී) පොතු හර ගසක් පෙළන්නාක් මෙන් පෙළිය යුතු බව දක්වයි. එසේම රාජ සූත්‍රයේදී උපන්නා වූ ධනවතුන්ට ද උසස් කුලවතුන්ටද හතුරන්ටද ජරා මරණ දෙක හැර අනෙකක් නැති බව දන්වා,

“ජිරන්ති චේ රාජ රථා සුචිත්තා අථෝ සරීරම්පි ජරං උපේති
සතඤ්ච ධම්මෝ න ජරං උපේති සන්තෝ හවේ සබ්භි පවේදයන්ති”

යනුවෙන් ගාථාවකින් එය තවත් අර්ථවත් ලෙස පැහැදිළි කර ඇත. එහි දී විසිතුරු වූ රජවරුන්ගේ රථයක් දිරන්නා සේ ශරීරය දිරීමට පත්වන බව පෙන්වා දී ඇත. මහත් ධන ධාන්‍ය, භව භෝග, රන්, රිදී ඇති ක්‍ෂත්‍රිය , බ්‍රාහ්මණ, ගෘහපතීන් කාමයන් හේතු කොට ගෙන කාමයන් නිදානය කොට ගෙන, කාමයන් කරණ කොට ගෙන දැන දැන මුසා බස් කියන්නේ නම් ඔහුට එය බොහෝ කාලයක් අහිත පිණිස දුක් පිණිස පවතින බව දක්වා එය, “අටවන ලද කොක්කට තමන් හසු වන බව නොදන්නා මසුන් මෙන් “ දුකට පත් වන බව අත්‍ථකරණ සූත්‍රයේ දී පෙන්වා දී ඇත. පඤ්චරාජ සූත්‍රයේ දී උදෑසන පිපුණු රත් පියුමක් සුවඳ පහනොවී පවතින්නේ යම් සේද එලෙස අහසේ බබළන්නා වූ හිරු මෙන් බුදුරජාණන් වහන්සේ දෙස බලන ලෙස,

” පදුමං යථා කෝකනාදසං සුගන්ධං පාතෝසියා ථුල්ලමවීතගන්ධං
අංගීරස පස්ස විරෝචමානං තපන්තමාදිච්චමිවන්තලික්ඛෙති”

යන ගාථාවෙන් පෙන්වා දී ඇත. මෙලෙස උපමා භාවිත කරමින් බුදුරජාණන් වහන්සේ කොසොල් රජුට දහම් දෙසා ඇති අයුරු හඳුනාගත හැකිය.

ජීවනෝපදේශාත්මක කරුණු

පුද්ගල ජීවිතයක් සාර්ථක කරගැනීමට බෞද්ධෝපදේශ මනා පිටුබලයක් වේ. සමාජ ජීවිතයක් ගත කරණ ඕනෑම පුද්ගලයකුට අවශ්‍ය කරන උපදේශ රැසක් කෝසල සංයුත්තයේ අන්තර්ගත වේ. දහර සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ කුඩා යැයි අවමන් පරිභව නොකළ යුතු හතර දෙනෙක් පිළිබඳ පෙන්වා දී ඇත. එනම්

1. ක්‍ෂත්‍රිය කුමාරයා ( රාජ කුමාරයා)
2. සර්පයා
3. ගින්න
4. සාමණේරයන් වහන්සේ

යනුවෙනි. මෙම කොටස් හතරට කුඩා යැයි අවසන් කිරීමෙන් පසුකාලීනව මහත් ප්‍රතිවිපාකයන්ට මුහුණ දීමට සිදුවන බැවින් ඒවාට කුඩා යැයි අවමන් නොකරන ලෙස පෙන්වා දී ඇත. එසේම කොසොල් රජු තම බිසවගෙන් (කෝසල මල්ලිකාව) තමා වැඩියෙන් පි‍්‍රය (ආදරය) කරන්නේ කාට දැයි විමසූ විට “ තමාටම” යැයි පිළිතුරු ලැබීමෙන් සංවේගයට පත් වූ විට බුදුරදුන් ඕනෑම පුද්ගලයකු තමාට ප්‍රථමයෙන් පි‍්‍රය කරන බවත් වෙනත් කෙනකුට දක්වන පි‍්‍රයතාවය ඊට දෙවෙනි වන බවත් මල්ලිකා සූත්‍රයෙන් පෙන්වා දුන්හ.

සැවැත්නුවර සිටි පඤ්ච රජවරුන් රූප,ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන මේවා එක් එක් රජවරුන් අග්‍ර යැයි පැවසූ විට බුදුරජාණන් වහන්සේ මේ කිසිවක් උසස් නැති බව පඤ්චරාජ සූත්‍රයෙන් පෙන්වා දුන්හ. වරක් ‍ෙකාසොල් රජතුමා දහවල් ආහාර ගෙන හතිදාගෙන බුදුන් හමුවට පැමිණිවිට,

මනුජස්ස සදා සතීමතෝ මත්තං ජානතෝ ලද්ධභෝජනේ
තනු තස්ස භවන්ති වේදනා සනිකං ජිරති ආයුපාලයන්ති “

හැම විට සිහියෙන් හා පමණ දැන ආහාර ගැනීමෙන් දුක් වේදනා තුනීවෙන බවත් ඉන් ආයුපාලනය පවා සිදුවෙන බවත් රජතුමාට පෙන්වා දුන්හ. එවිට කොසොල් රජතුමා ඒ බව තේරුම් ගෙන අසල සිටි සුදස්සන මානවකයාට එම ගාථාව පාඩම් කරගෙන තමන් ආහාර ගන්නා වේලාවන් හි කියන ලෙස දැන්වීය. එතැන් පටන් රජු පමණ දැන ආහාර ගත් බව සඳහන් වේ. රාජ පුරුෂයන් පැමිණ කෝසල මල්ලිකාවට දියණියක් උපන් බව දැන් වූ විට රජතුමා අසතුටට පත් විය. එවිට බුදුන් වහන්සේ,

“ඉත්ථි පි හි ඒකච්චයා සෙය්‍යා පෝස ජනාධිප
මේධාවිනී සීලවතී සස්සුදේවා පතිබ්බතා”

යනුවෙන් නුවණ ඇති සිල්වත් නැදිමයිලන් (නැන්දා මාමා) දෙවියන් කොට සලකන පතිවත රකින ඇතැම් කාන්තාවන් ශ්‍රේෂ්ඨ බවත් ඇයට යම් පුතෙක් උපදින්නේනම් දක්‍ෂයෙක් රාජ්‍ය අනුශාසනා කරන්නෙක් වන බව ධීතු සුත්‍රයෙන් පෙන්වා දුන්හ. මෙලෙස පුද්ගලයකුගේ ජීවිතය හැඩගස්වා ගැනීමට අවශ්‍ය කරන උපදේශ රැසක් කෝසල සංයුත්තය තුළ දැකිය හැකිය.

මගධයේ රජ කළ කොසොල් රජතුමාත්, බුදුරජාණන් වහන්සේත් අතර පැවති මනා සබඳතාවන් කෝසල සංයුත්තය තුළින් දැකිය හැකිය. මෙම දේශන තුළින් කෝසල චරිතය අර්ථවත් වූ බව පැහැදිළිය. එහෙත් කෝසල සංයුත්තයේ ඇතුළත් සූත්‍ර දේශනාවන්හි කොසොල් රජතුමාගේ ජීවන චරිතය පිළිබඳ පූර්ණ විස්තරයක් ඇතුළත් නොවෙයි. එහෙත් ඔහු කෙබඳු ආකාරයේ පුද්ගලයෙක් ද යන්න පිළිබඳ සුත්‍ර 25 කියවීමෙන් අවබෝධ කරගත හැකිය.

කෝසල සංයුත්තයට අයත් පුරිස සූත්‍රයේත් ලෝක සූත්‍රයේත් අන්තර්ගතය විමසීමේදී එකම දහම් කරුණක් දෙපලක විස්තර වී ඇති බව පැහැදිලි වේ. එහි භාෂා, විලාසය, අන්තර්ගතය බෙහෙවින් එකිනෙකට සමානය. එම නිසා එය සංයුත්ත නිකායේ සූත්‍ර ගණන සම්පූර්ණ කිරීමට හෝ වැරදීමකින් ඊට ඇතුළත් වී ඇතැයි අපට සිතිය හැකිය.

වප් මස පුර අටවක පෝය

වප් මස පුර අටවක පෝය ඔක්තෝබර් 03 වන දා සඳුදා අපරභාග 09.09 ට ලබයි. 4 වන දා අඟහරුවාදා අපරභාග 08.44 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම ඔක්තෝබර් 04 වන දා අඟහරුවාදා ය.

මීළඟ පෝය ඔක්තෝබර් 11 වන දා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 04

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 11

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 20

New Moonඅමාවක

ඔක්තෝබර් 26


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]