UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ප්‍රශ්නය
බුදුරජාණන් වහන්සේ සත්‍ය ධර්මයේ පණිවිඩය වැඩි පිරිසකට කඩිනමින් ලබාදීම සඳහා එක් සැටනමක් වූ රහතන් වහන්සේලා ප්‍රථම ඇමතීම කුමක් ද?

පිළිතුර :- මහණෙනි, මම සියලු දිව්‍යමය හා මානුෂික බන්ධනයන්ගෙන් මිදුණෙමි.

මහණෙනි, ඔබ ද සියලු දිව්‍යමය හා මානුෂික බන්ධනයන්ගෙන් මිදුණාහ. එසේ වූ ඔබ බොහෝ දෙනා ගේ හිත සුව පිණිස ලෝකයාට අනුකම්පාවෙන් දෙවි මිනිසුන් ගේ දියුණුව පිණිස යහපත පිණිස චාරිකාවේ හැසිරෙන්න. දෙනමක් එක මඟ නොයන්න. අර්ථ වශයෙන් හා අක්ෂර වශයෙන් මුල මැද සහ අග යහපත් ධර්මචර්යාව ප්‍රකාශ කරන්න.

කෙළෙස් මළ අඩු පුද්ගලයෝ වෙති. දහම් අසන්නට නොලැබී ඔවුහු විනාශ වී යති. ධර්මය අවබෝධ කරගන්නට සමත් පුද්ගලයෝ ලොව වටා වෙසෙති. මම ද මහණෙනි, ඒ උතුම් සද්කාර්යය සඳහා උරුවෙල දනව්වෙහි සේනානි නම් නියම් ගමට යමි.

අර්හත් ධජය දරන්න. උතුම් ධර්මය දේශනා කරන්න. පරාර්ථ චර්යාවෙහි යෙදෙන්න. ඔබට කරගත යුතු දේ ඔබ කරගෙන ඇත. (සමුස්සයට සද්ධම්මං දෙසයන්තා ඉසද්ධජං නත කත්තමිච කම්මන්තා පරත්ථං පටිපච්ඡථ)


ප්‍රශ්නය
දරුවෙනි, වඩා උතුම් වන්නේ අනුන් ගැන සොයා වෙහෙසීම ද? නැතහොත් තමා ගැන සෙවීම ද? මේ බුදුරජාණන් වහන්සේ එක් සුවිශේෂ අවස්ථාවක දේශනා කරන ලද්දකි.

මේ අවවාදය කළේ කාටද? අවස්ථාව කුමක්ද?

පිළිතුර - භද්දවග්ගිය කුමාරවරුන් අමතා මේ දේශනාව කළේ කාන්තාවක සොයා වනය පීරා යන තරුණයන් බුදුරදුන් දැක එසැනින් කාන්තාවක යනු දුටුවේදැයි ඇසූ අවස්ථාවෙහි දී ය.


ප්‍රශ්නය
ආදිත්ත පර්යාය සූත්‍රය අසා සියල්ලෝම රහත් වූහ. මේ සියල්ලෝ කවුරුන්ද?

පිළිතුර - උරුවෙල කස්සප, නදී කස්සප, ගයා කස්සප නම් තුන් ජටිල පිරිසය.


ප්‍රශ්නය
දිනක් ‘ගිරග්ග සමජ්ජ’ නම් වූ (කඳු මත පැවැත්වුණු සැණකෙළියක්) නරඹා තරුණ දෙපළක් දොම්නසින් ආපසු පැමිණ අස්සජි මහරහතන් වහන්සේ මුණගැසී පැහැදී බුදුරජාණන් වහන්සේ වෙතින් පැවිදි බව ලැබූහ. මේ දෙදෙනා කවුද?

පිළිතුර
කෝලිත, උපතිස්ස ගිහි නමින් පෙනී සිටි දෙපළ පසුව සැරියුත් මුගලන් යන පැවිදි නාමය ලැබිණි.


ප්‍රශ්නය - “තාදිගුණය” බුදු සිරිතේ එන විශිෂ්ට ගුණයකි. පැහැදිලි කරන්න.

පිළිතුර - අටලෝ දහමෙහි කම්පිත නොවීමය. (ලාභො අලාභො අයසො යසෝච නින්දා පසංසා සුඛං ච දුක්ඛං)
 


ප්‍රශ්නය
අධික ශ්‍රද්ධා ඇති ශ්‍රාවක පිරිසෙන් අග තනතුරු ලැබූ ශ්‍රාවකයාණන් වහන්සේ කවුද?

පිළිතුර
වක්කලී මහරහතන් වහන්සේ


ප්‍රශ්නය
පියා මරා රජ වූ නිසා ඔහු පීතෘඝාතක අජාසත් නම් විය. ඇසුර සත්පුරුෂ භාවයෙන් තොරව එසේ වුවත් පසු ව සත්පුරුෂ ආශ්‍රයෙන් කළ වරද සිහිපත්කොට බලවත් පසුතැවිල්ලට පත් විය. මේ සද්කාර්යයට දායක තැනැත්තා කවුද?

පිළිතුර
ජීවක කොමාරභච්ච නම් වූ කීර්තිමත් වෛද්‍යවරයා ජීවක සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මෙතුමාටය.


ප්‍රශ්නය
එක් කාන්තාවකට තම පියාණන් විසින් දායාදය සමග සකස් කර දුන් ඉතාමත් අගනා “ මහාලතා ප්‍රසාදනය” පැළඳ විහාරස්ථානයට පැමිණ බුදුරජාණන් වහන්සේ මුණගැසීම සඳහා එය සේවිකාවට භාරකොට ධර්ම ශ්‍රවණය කොට පැමිණියේ මෙම අගනා ආභරණ ද විහාරස්ථානයේ අමතක කොට ය. මෙම අමතක වීම දඹදිව බුද්ධ කාලයේ දී ම ආරාමයක් බිහිවීමට හේතුවක් විය. මෙම කාන්තාව කවුද? ඉදිකළ ආරාමය කුමක්ද?

පිළිතුර- විශාඛා මහෝපාසිකාව ඉදිකළ ආරාමය පූර්වාරාමයයි.


ප්‍රශ්නය “මහරජ මම ඔබට නින්දාවක් නොකරමි. මම මගේ වංශ චාරිත්‍රය ඉෂ්ඨ කරමි” යි බුදුන් වහන්සේ දුන් පිළිතුර රජුගේ විශ්මයට හේතුවිය. මේ පුවත කුමක්ද?

පිළිතුර කපිලවස්තුපුර බුදුරජාණන් වහන්සේ පිඬු සිඟායාම හේතුවෙන් සුද්ධෝදන පිය මහරජු හා ඇති වූ සංවාදයයි.


ප්‍රශ්නය- “රාහු ජාතො බන්ධනං ජාතං” රාහු උපන්නේය. බන්ධනයක් ඇති විය .මේ පුවත පිළිබඳ ව ඔබ උගත්දේ කුමක්ද?

පිළිතුර
රාහුල කුමරුන්ගේ උපත ගැන බෝසතාණන් වහන්සේ හට දැනුම් දෙන ලද්දේ උයනෙහි කල්පනාවේ නිමග්න ව සිටි අවස්ථාවෙහි දී ය. නොසිතූ පරිදි මේ ප්‍රීතිජනක ආරංචිය ලද මොහොතේ කළ ප්‍රකාශයයි මේ.


ප්‍රශ්නය අප්සරාවන් පතා මහණදම් පුරණ බව දැනගත් සබ්‍රහ්මචාරිහු උන්වහන්සේ උපහාසයට ලක්කළහ. තම බොළඳ හා පහත් ආශාවන් ගැන ලැජ්ජාවට පත් වූ උන්වහන්සේ අවංක ව අප්‍රමාදීව මහණදම් පුරා රහත් ඵලය ලැබූහ. මුන්වහන්සේ කවුද?

පිළිතුර- බුදුරජාණන් වහන්සේ ගේ ඥාති සොහොයුරු නන්ද තෙරුන් වහන්සේ


ප්‍රශ්නය - ප්‍රථම අග්‍ර ශ්‍රාවිකාව බවට පත් වූ ඛේමා බුද්ධ කාලීන එක්තරා රජකෙනෙකු ගේ මෙහෙසියකි. ඒ රජතුමා කවුද?

පිළිතුර – සෙනිය බිම්බිසාර රජතුමාය.


ප්‍රශ්නය - කාමලෝකයෙහි විපාක දෙන අකුසල කර්ම දශයක් තිබේ. ඒ අකුසල් කය වචනය සහ මනස යන තිදොරින් සිදු කෙරෙයි. මනසින් සිදුවන අකුසල කර්ම මොනවාද?

පිළිතුර අභිජඣාව (විෂම ලෝභය) ව්‍යාපාදය හා මිච්ඡාදිට්ඨියයි.


ප්‍රශ්නය හැම මතු භවයක්ම ඇති වන්නේ මරණ මොහොතෙහි බලවත් ව සිටින කුසල හෝ අකුසල කර්මය අනුව බව බුදුදහම උගන්වයි.

මෙබඳු කර්ම විශේෂ නමකින් හඳුන්වයි. මේ විශේෂ නාමය කුමක්ද?

පිළිතුර - ජනක කර්මයයි


ප්‍රශ්නය කර්මය නම් ක්‍රියාවයි. විපාකය එහි ප්‍රතිඵලයක් හෙවත් ප්‍රතික්‍රියාවකි. සෑම වස්තුවකටම හෙවනැල්ලක් ඇතිවා සේ ම සෑම සචේතනික ක්‍රියාවකට ම විපාකයක් ඇත. කර්ම විපාකය පිළිබඳව හඳුනා ගැනීමේදි මූලික බෙදීම කුමක්ද?

පිළිතුර - කුසල හා අකුසල කර්ම


ප්‍රශ්නය විශුද්ධි මාර්ගය හඳුනාගත් යෝගාවචරයෙකුට හමුවන පළමු පියවර කුමක්ද?

පිළිතුර - සොතාපත්ති ඵලයයි


ප්‍රශ්නය - සොතාපත්ති ඵලයට යොමුවන සිතෙන් ප්‍රහීණවන සංයෝජන මොනවාද?

පිළිතුර - සක්කාය දිට්ඨි , විචිකිච්ඡා , සීලබ්බත පරාමාස
 


ප්‍රශ්නය - කාමරාග සහ ව්‍යාපාද සංයෝජන සම්පූර්ණයෙන් ම තුනී වන්නේ කුමන මාර්ගඵලයට පැමිණීමෙන්ද?

පිළිතුර - අනාගාමි මාර්ග ඵලයට පැමිණීමෙන්


ප්‍රශ්නය - ත්‍රිවිධ චෛත්‍ය වන්දනාවෙන් කරනු ලබන්නේත් බුද්ධ වන්දනාවයි. ඒ ත්‍රිවිධ චෛත්‍යය මොනවාද?

පිළිතුර - ශාරිරික ,උදේදේසික , පාරිභෝගික යන ත්‍රිවිධ චෛත්‍යය වේ.


ප්‍රශ්නය - ආනාපාන සති භාවනාව කෙටියෙන් පැහැදිලි කරන්න.

පිළිතුර - හුස්ම ඉහළට සහ පහළට හෙලීම පිළිබඳ මෙනෙහි කරමින් භාවනා කිරීම


ප්‍රශ්නය - ත්‍රිවිධ තෘෂ්ණාවෙන් විභව තණ්හාව කෙටියෙන් පැහැදිලි කරන්න.

පිළිතුර - මරණින් මතු පුනර්භවයක් නැතැයි යන්න පිළිබඳ විශ්වාසය.


ප්‍රශ්නය - කර්මය විස්තර කිරීමේදී කුසල මූල හා අකුසල මූල වශයෙන් මූලික බෙදීම් දෙකක් තිබේ. මේ බෙදීම් දෙක මොනවාද?

පිළිතුර - ලෝභ,දෝස, මෝහ අකුසල වේ

අලෝභ, අදෝස, අමෝහ, කුසල වේ


ප්‍රශ්නය - බුද්ධත්වයට පත් වූ මුල් සතියේම අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කළේ කුමක් ගැනද?

පිළිතුර - පටිච්ච සමුද්පාද ධර්මය


ප්‍රශ්නය මල් පූජා කිරීමෙන් තමා දැනුවත් ව හෝ නොදැනුවත් ව ම වාගේ භාවනාවකුත් සිදු කැරේ. ඒ භාවනාව කුමක්ද?

පිළිතුර – අනිත්‍ය භාවනාව

බිනර අමාවක පෝය

බිනර අමාවක පෝය සැප්තැම්බර් 26 වන දා සඳුදා අපර භාග 08.22 ට ලබයි. 27 වන දා අඟහරුවාදා අපරභාග 04.39 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 27 වන දා අඟහරුවාදාය.

මීළඟ පෝය
ඔක්තෝබර් 04 වන දා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

සැප්තැම්බර් 27

First Quarterපුර අටවක

ඔක්තෝබර් 04

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 11

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 20

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]