බිනර පුර අටවක 2011.09.04
හසාරේවාදය මුළාවක්
නූතන ගාන්ධි ලෙස හඳුන්වන අන්නා හසාරේ ගේ දූෂණ විරෝධී මාරාන්තික
උපවාසය අන්තර්ජාතික වශයෙන් විශාල අවධානයක් දිනාගත් සිද්ධියකි.
නවදිල්ලියේ රම්ලිලා ක්‍රීඩාංගණයේ ඉදිකළ වේදිකාවක් මත අගෝස්තු
16 වන දා ඇරැඹි එම උපවාසය අගෝස්තු 28 වන දා ඔහු විසින්
ජයග්‍රාහි ලෙස අවසන් කරන ලදී. ජන් ලෝක්පාල් නමැති දූෂණ විරෝධී
පනත ඉන්දීය ලෝක් සභාවෙන් සම්මත කැර ගැනීමේ අරමුණෙන් ඇරැඹි මේ
උපවාසය අවසන් කිරීම සඳහා ආණ්ඩුව හසාරේ වෙත පොරොන්දුවක් ලබා දී
තිබේ.
අන්නා හසාරේ නමින් ප්‍රකට 74 හැවිරිදි කිශාන් බාබුරාඕ හසාරේ
නමැති මේ විශ්‍රාමික හමුදා සෙබළා 1975 වසරේ සිට සමාජ සේවා
කටයුතුවල නිරත ව සිටී. රලේගන් සිද්ධි නමැති ආදර්ශ ගම්මානය බිහි
කිරීම සඳහා දෙනු ලැබූ නායකත්වය උදෙසා 1990 දී ඔහුහට පද්ම ශ්‍රී
සම්මානය පුදනු ලැබී ය. 1992 වසරේ දී ඔහුට පද්ම භූෂණ සම්මානය ද
හිමි විය. රාජ්‍ය නිලධාරීන් ගේ දූෂණවලට එරෙහි ව 1991 දී ඇරැඹි
දූෂණ විරෝධී ජනතා ව්‍යාපාරයට නායකත්වය දෙමින් හසාරේ, මහාරාෂ්ට
ප්‍රදේශයේ සමාජසේවා ඇමැති බබන්රාඕ ගොලැප් දූෂිතයකු ලෙස නම්
කිරීම නිසා 1997 දී සිරදඬුවම් නියම වූව ද ජනතා උද්ඝෝෂණ හමුවේ
ඔහුට නිදහස ලැබිණ.
දූෂණ විරෝධී දැඩි නීති පනවන මෙන් ආණ්ඩුවට බල කිරීම පිණිස
පසුගිය අප්‍රේල් මස 05 වන දා ඔහු උපවාසයක් ආරම්භ කෙළේ ය. එම
උපවාසයට ලැබුණු මහජන සහයෝගය නිසා 2011.08.15 වන දිනට පෙර හසාරේ
ගේ ඉල්ලීම ඉටු කරන බවට ආණ්ඩුව විසින් දෙන ලද පොරොන්දුව මත ඔහු
සිය උපවාසය අප්‍රේල් මස 09 වන දා අවසන් කෙළේ ය. එහෙත්
අගමැතිවරයා හා අධිකරණ විනිසුරන් කෙරෙහි බල නොපාන ලෙස එම පනත
සකස් කැර තිබීම නිසා අගෝස්තු මස 16 වන දා සිට යළි උපවාසයක්
ආරම්භ කිරීමට හසාරේට සිදු විය. ඔහු ගේ අනුගාමිකයන් විසිපන්
දහසක් පමණ ඊට සහය පළකොට උපවාසයේ නිරත වූ හ.
රාමන් මැග්සේසේ සම්මානලාභී කිරාන් බේඩි පවා හසාරේ අනුගාමිකාවක්
බවට පත් ව සිටීමෙන් නූතන ගාන්ධි ඉන්දියානු සමාජයට කැර ඇති
බලපෑම පැහැදිලි ය. එහෙත් මේ ගාන්ධිවාදී සත්‍යග්‍රහ උපයෝගී කොට
ගෙන ඉන්දීය සමාජයේ දූෂණ මර්දනය කළ හැකි ද යන්න ප්‍රශ්නයකි.
අන්නා හසාරේ ගේ මේ වැඩ පිළිවෙළෙහි සාර්ථක – අසාර්ථක භාවය විමසා
බැලීම සඳහා ගාන්ධිතුමා ගේ දර්ශනය හඳුනා ගැනීම අවශ්‍ය කැරේ.
භාරතීය පුත්‍රයකු වන මොහන්දාස් කරම්චාන්ද් ගාන්ධි (1869 – 1948
) හට සත්‍යග්‍රහය පිළිබඳ අත්දැකීම ලැබුණේ 1893 සිට 1914 දක්වා
දකුණු අපි‍්‍රකාවේ ජීවත් වූ අවධියේ දී ය. කළුපනත යටතේ
ලියාපදිංචි නොවීමට එරෙහි ව දකුණු අපි‍්‍රකාවේ ට්‍රාන්ස්වාල්
පාලනය 1908 දී ශ්‍රී තම්බි නායිදු නමැත්තාට අධිකරණය නියම කළ
දඬුවමට විරුද්ධව කරුණු දැක්වීම නිසා ගාන්ධිට මාස දෙකක සිර
දඬුවමක් නියම විය. මොරිෂස්හි උපන් දෙමළ ජාතික ගුරුවරයකු වූ
ඔහුට දෙමළ, හින්දි, තෙළිඟු ආදී භාෂා මෙන් ම ඉන්දීය සංස්කෘතිය
පිළිබඳ ව ද මනා අවබෝධයක් තිබිණ. ජොහැන්නස්බර්ග් සිරගෙදර පැවැති
දරදඬු පාලනයට විරෝධය දැක්වීම සඳහා තම්බි නායිදු සත්‍යග්‍රහයෙහි
යෙදෙන අයුරු දුටු ගාන්ධි එය තම ජීවිතයට එකතු කැරැ ගත්තේ ය.
ඉන්දියානු නිදහස් සටනට නායකත්වය දුන් ගාන්ධිතුමා පිළිබඳ ව
ජී.ඔස්ටගාඩ් හා ඇම්. කරල් කළ අධ්‍යනයෙහි ප්‍රතිඵල ඔවුන් මෙ සේ
සටහන් කැරැ තිබේ.
‘ගාන්ධි විසින් ගෙනහැර දක්වන ලද්දා වූත් යළි අර්ථ විවරණයට
භාජනය කළා වූත් ප්‍රධාන සංකල්ප අතර සත්‍යය, අහිංසාව, කර්මයෝගය
හා වර්ණාශ්‍රම ධර්ම යන සිව්වැදෑරුම් කොටස් ඇතුළත් විය. මේවා
අතුරින් ඔහු ගේ අරාජකත්ව දර්ශනයට බෙහෙවින් ම වැදගත් වූයේ
දෙවැන්න ය. ඇත්තවශයෙන් සර්වෝදය දෘෂ්ටිය අරාජිකත්ව දෘෂ්ටිය බවට
එළඹියේ අවිහිංසා මූලධර්මය පිළිබඳ ගාන්ධි දැක් වූ ප්‍රතිවිවරණයේ
සමාජයීය හා දේශපාලන අංග, සම්පූර්ණ වශයෙන් කෙ සේ වෙතත් බොහෝ
දුරට ව්‍යාප්ත කරලීමෙනි. අවිහිංසාව කෙරෙහි දැක්වෙන අවධාරණයත්
පැරැණි ඉන්දිය දේශපාලන චින්තනයෙහි නොමැති අරාජක දර්ශනයත් එකට
ගත් කල බැලූ – බැල්මට පෙනීයන පරස්පර විරෝධීතාවට හේතුව, ගාන්ධි
පහළවන තෙක් ම අවිහිංසාව හුදෙක් පුද්ගලයා ගේ ආත්මාවබෝධය සඳහා
උපයෝගී කරගත යුතු විද්‍යාත්මක මූලධර්මය වශයෙන් සලකනු ලැබීමයි.’
ගාන්ධිතුමා ගේ අරාජක වාදය කෙරෙහි විශ්වාසය තැබූ විනෝභා භාවේ
ලියූ ‘ප්‍රජාතන්ත්‍රවාදී අගයන්’ නමැති කෘතියේ මෙ වැනි සඳහනක්
ඇත.
‘මගේ විරෝධය පළවනුයේ හොඳ ආණ්ඩු කෙරෙහි ය. මීට දීර්ඝ කාලයකට ඉහත
දී ව්‍යාස විසින් ම භාරත කාව්‍යයෙන් දුෂ්ට ආණ්ඩු අවමානයට
ලක්කොට ඇත. දුෂ්ට ආණ්ඩුවලට ඉඩ නො තැබිය යුතු බව මහජනයා හොඳින්
දනිති. එ වැනි ආණ්ඩු ගැන හැම දෙසකින් ම විරෝධය දක්වති. එහෙත්
මට පෙනෙන පරිදි වරද නම් යහපත් යැයි කියා ගන්නා ආණ්ඩුවකින් පවා
පාලනය කරනු ලැබීමට අප විසින් ම ඉඩදීම යි.’
මේ ගාන්ධිවාදී දර්ශනය මත සිට ඉන්දියාවට යහපාලනයක් දීමට වෙහෙසෙන
අන්නා හසාරේ සාර්ථක නො වන බව අමුතුවෙන් කිව යුතු ද? යහගුණ පිරි
සත්වයකු ලෙස මිනිසා සමාජගත කිරීමට ඇති එක ම මාවත දඬුවම යැයි
සිතීම මුළාවකි. එ සේ මුළාවීමට හේතුව විශිෂ්ටතම භාරතීය පුත්‍රයා
වන ගෞතම බුදුන් වහන්සේ ගේ ඉගැන්වීම වර්තමාන භාරතයට ආගන්තුක වීම
යි. |