UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

බුද්ධ ධර්මය හා ප්‍රබුද්ධ පෞරුෂ ලක්‍ෂණ

බුද්ධ ධර්මය ජනතාව සමාජයෙන් ඈත්කොට ආත්ම විමුක්තිය ලබා ගැනීමට අනුබල දෙන දහමක් නොවේ. අපරිමිත දුක් වේදනාවෙන් මිරිකෙමින් සෝ සුසුම් හෙළමින් සිටි පොදු ජනතාව තුළ, බලාපොරොත්තුවේ මිණි පහන දල්වා, ඔවුන්ට ආගමික විමුක්ති මාර්ගයක් බුදු දහම පෙන්වා දෙන බව උගතුන් ගේ පිළිගැනීම වෙයි.

වනගතවූ සිදුහත් කුමරු ඇදුරන් කිහිප දෙනෙකු ගේ සමීප ඇසුර ලබාගෙන ඔවුන් දත් සියල්ල ප්‍රගුණ කළේය. ඔවුන් ගේ ඉගැන්වීම් සත්‍යවබෝධයට මඟක් නොවන බවව වටහාගත් එතුමා උග්‍ර තවුස්දම් පුරා, සිරුරට වද දුන්න ද, එයින් පලක් නැති බව දැන තනිවම ප්‍රඥාව දියුණු කර ගෙන සම්මා සම්බෝධිය ලැබීමෙන් බලවත් උද්දාමයට පත්වූයේය.

විමුක්ති සුඛය පටිසන්වේදනය කරමින් ඉදිරි කාලය වනවාසීව සිටීමට අභිරුචියක් නොදැක්වූ බුදුරදුන් දුකින් පීඩා විඳින සමාජයට පෙරළා පැමිණ පාද යාත්‍රාවේ යෙදෙමින් දහම් අමාවැසි වැස්සවූ සේක. බුදුරදුන් දෙසූ විමුක්ති මාර්ගයේ උතුම් බව වටහාගත් බොහෝ දෙනෙක් සසුන්ගත වූහ.

සමාජයේ වෙසෙන බොහෝ දෙනා උගතුන් නොවන බැවින් ඔවුන්ගේ ජීවිතය උසස් කිරීමට පොහොනා සරල දහමක් දෙසූ බව ඉතා ප්‍රකට කරුණකි. සරල දහමක් දෙසූ නමුදු බුදුන් වහන්සේ ගේ අරමුණ වූයේ තමන් අවබෝධ කරගත් ගැඹුරු ධර්මය, බුද්ධියෙන් වැඩිහිටි උගතුන්ට කියා දීමයි.

බුද්ධ ධර්මය ගැඹුරින් හදාළ එච්. ජී. වේල්ස් නමැති ඉතිහාසඥයා පවසන්නේ, බුදු රදුන් සමීපයේ සිටි අනුගාමිකයන්ට පවා ගැඹුරු බුද්ධ ධර්මය වටහා ගැනීමට හැකියාවක් නොතිබුණු බවයි.

වරක් ආනන්ද හිමියන් බුදුරදුන් වෙත ගොස් මෙසේ පැවැසූ බව බෞද්ධ මූලාශ්‍රයන්හි සඳහන් වෙයි.

“ඔබ වහන්සේ දෙසූ පටිච්ඡසමුප්පාද ධර්මය ඉතා ගැඹුරු බව මම දනිමි. එහෙත් මට එය තේරුම් ගත හැකිය. එවිට බුදුරදුන් මෙසේ වදාළහ. ආනන්දය, එසේ සිතන්න එපා. මේ දහම හොඳීන් වටහා ගැනීම තරමක් අසීරුය”

මහාචාර්ය ගුණපාල මලලසේකර මහතා 2500 වන බුද්ධ ජයන්තිය වෙනුවෙන් ලියූ ලිපියක මෙසේ සඳහන් වෙයි. “බුදුරදුන් ඉගැන්වූ මූලික නියාම ධර්ම සරල සේ පෙනුන ද, ගාම්භීර ධර්ම සාක්‍ෂාත් කිරීමට ඒවා මාර්ගයක් විය. මේ ඉගැන්වීම් ක්‍ෂුද්‍ර බීජ වැන්න. චින්තන ශක්තියක් ඇති පුද්ගලයන් තුළ එබඳු බීජ වැපිරීමෙන් සිතන්නට බැරි තරම් අස්වැන්නක් ලැබෙන්නේ ය. මගේ අරමුණ වූ කලී බුදු දහමේ ගැඹුරු ඉගැන්වීම් ඉතා සරල ස්වරූපයකින් ඉදිරිපත් කිරීමයි. ඒ ඉගැන්වීම් නිතර සිහි කිරීමෙන් අප සිත් තුළ පහළවන පෞරුෂ ලක්‍ෂණ ගෙනහැර දැක්වීමයි. එයින් අප තුළ පුද්ගල සුගතියට හා සමාජ සුගතියට අදාළ වන රංජන පහළ කිරීමයි. ශික්‍ෂාපද දැනගත්ත ද ඒ අනුව අප ජීවත් නොවන්නේ සුදුසු කාලයේ දරුවන් තුළ රංජන පහළ කර නො ගැනීම නිසාය. මේ කරුණු ගුරු දෙගුරුන් නිබඳ සිහි කළ යුතුය. (1) මිනිස් මනසෙහි ද්විත්ව රංගනයක් පවතී. පුද්ගලයකු ගේ සිතේ පටහැනි මත ඇත. පටහැනි චරිත ලක්‍ෂණ ඇති දෙබිඩි ගති ගුණ ඇත. මනසේ මේ ස්වභාවය වංචක ධර්මවල ඇතුළත් වෙයි. වංචක ධර්ම බුද්ධ ධර්මයේ ඇතුළත් සුවිශේෂ ඉගැන්වීමකි. මහාචාර්ය පද්මසිරි සිල්වා මහතා වංචක ධර්ම හඳුන්වා දී ඇත්තේ වෙස්වළාගත් සිතිවිලි වශයෙනි. රේරුකානේ චන්දවිමල හිමියන් ලියූ චංචක ධර්ම ප්‍රකරණයේ මේ ඉගැන්වීම් සරල ලෙස දක්වා ඇත. මම මේ ද්විත්ව රංගන කිහිපයක් ඉදිරිපත් කරමි.

මහලු ස්ත්‍රියක් බසයට නඟී. මෙය දකින තරුණ මඟියෙක් ඉවත බලා ගනී. ඊට පසු රූමත් තරුණ ස්ත්‍රියක් බසයට නඟී. ඒ තරුණයා වහාම නැඟී සිට, අසුන පුදයි. ඔහු කියන්නේ තමා තුළ ඇති විනීත භාවය නිසා අසුන පිදූ බවයි. එහෙත් ඒ ක්‍රියාව තුළ ඇත්තේ රාගයයි. රාග චෛතසිකය විනීත ස්වරූපයක් ගත් සැටි එයින් පැහැදිලි වෙයි.

කුල ගර්වයෙන් යුතු පුද්ගලයකු පහළ කුලයකට අයත් යැයි සැලැකෙන රූමත් තරුණියකුට ගෞරවාදරය දක්වයි. ඔහු කියන්නේ තමා බුදු සමයේ සමානාත්මතාව අනුව හැසිරෙන බවයි. රාගය, සමානාත්මතා වේශයක් ගෙන ඇති බව එයින් පැහැදිලි වෙයි.

ලෝභ, ද්වේශ, මෝහ ආදිය වංචක ධර්ම ලෙස පෙනී සිටින ආකාරය, රේරුකානේ චන්දවිමල හිමියන් ලියූ පොතේ ඉතා ව්‍යක්ත ලෙස දක්වා ඇත.

සිග්මන්ඩ් ප්‍රොයිඩ් තම පර්යේෂණ මගින් වංචක ධර්ම වටහා ගෙන ඇත. ඔහු එය හඳුන්වා දෙන්නේ “සරොශ්ෂන්” යනුවෙනි.

සිතින් එකක් සිතා, මුවින් වෙනස් දෙයක් කියා ඊට හාත්පසින් ම වෙනස් දෙයක් කිරීම නරක මිනිසුන් ගේ ස්වභාවය බව බුදුන් වහන්සේ වදාළහ. හොඳ දෙයක් සිතා ඒ දේම පවසා ඊට අනුව ක්‍රියා කිරීම හොඳ මිනිසුන් ගේ ස්වභාවයයි. මෙයින් පැහැදිලි වන්නේ, මනෝ චර්යාවේ ද, වාග් චර්යාවේ ද, කාය චර්යාවේ ද අනුකූලතාවයක් තිබිය යුතු බවයි. ජීවන අරගලයට බට විට අපට වැටැහෙන්නේ මේ දහම ක්‍රියාත්මක කිරීම අසීරුබවයි.

මෙයින් පැහැදිලි වන්නේ, අප පරාර්ථචර්යාව ගැන කතා කරමින්, ආත්මාර්ථකාමීව ක්‍රියා කරන බවයි. අප තුළ වර්ධනය කර ගත යුතු පළමුවන පෞරුෂ ලක්‍ෂණය වන්නේ, මිනිස් මනසේ සුබ රංගනය වටහා ගෙන හැකි පමණින් අවංකව ක්‍රියා කිරීමේ ගුණය යි.

(2) අප ලියන දේ, කියවන අයගේ පෞරුෂ සංවර්ධන කෙරෙහි බලපාන්නේ කෙසේදැයි අවංකව සිතා බැලීම ඉතා වැදගත් බව ගැඹුරින් අවංකව සිතා බැලීම ඉතා වැදගත් බව බුද්ධ ධර්මයේ මෙන්ම මනෝවිද්‍යාවේ ද සඳහන් වෙයි. පෞරුෂය යනු කුමක් ද පෞරුෂ සංවර්ධනයේ අවස්ථා කවරේ ද යන කරුණු පිළිබඳ දීර්ඝ විස්තරයක්, ජේ. ඒ. හැඩ් පීල්ඩ් ලියූ Childhood and adolescence  නමැති පොතේ හතර වැනි පරිච්ඡේදයේ සඳහන් වෙයි. අපගේ සිතුම් පැතුම් ආකල්ප ප්‍රාර්ථනා, චිත්තවේගික ස්වභාවය ආදිය එකතු වී පෞරුෂය සකස් වෙයි. පෞරුෂය කායික මානසික චිත්තවේගික, ආධ්‍යාත්මික, සාමාජික හා සෞන්දර්යාත්මක යනුවෙන් අංග හයකින් යුක්තවෙයි. එසේම පෞරුෂ සංවර්ධනයේ අවස්ථා හතරක් හැඩ් පීල්ඩ් විස්තර කරයි. අනුකරණ අවස්ථාව භාවාරෝපණ අවස්ථාව, අනන්‍යතා අවස්ථාව හා ආත්ම ආඩම්බර අවස්ථාව යනුවෙනි. භාවාරෝපණය යනු, අනුන්ගේ හැඟීම්, භාවයන් අප තුළ ආරෝපණය කර ගැනීමයි. ඔහු ඉතා සරල නිදර්ශනයකින් මෙය පැහැදිලි කරයි. පියෙක්, තම පුතාත් සමඟ ගමනක් යයි. එවිට බල්ලෙක් බුරාගෙන ඉදිරියට එයි. පියා වහාම නවතී. පුතා ද නවතී. ඒ අනුකරණ අවස්ථාවයි. ඉන්පසු පුතා පියාගේ මුහුණ දෙස බලයි. පියාගේ මුහුණෙහි බිය මුසු ගතියක් තිබුණේ නැත . පුතා ඒ නිර්භීත ස්වභාවය තම සිත් තුළ ආරෝපණය කර ගනී. ඒ භාවාරෝපණයයි. ඉක්බිති තාත්තාත් බය නැහැ මාත් බය නැහැ යැයි සිතයි. ඒ අනන්‍යතා අවස්ථාවයි. ඊට පසු තම අම්මාට තමන් ගේ නිර්භීතකම ගැන පුරසාරම් කියයි. එය ආත්මාඩම්බර අවස්ථාවයි.

අපට නිතර දරුවන් සියදිවි නසා ගැනීම් පිළිබඳ පුවත් කියවන්නට ලැබේ. ලියුම්කරුවෙක් ගැටවරයෙකු සියදිවි නසා ගැනීම පිළිබඳ පුවත රසවත් ලෙස විස්තර කරයි. තමා ලියන පුවත කියවන අයගේ පෞරුෂ සංවර්ධනය කෙරෙහි බලපාන්නේ කෙසේදැයි කල්පනා නොකරයි. ඔහුගේ අරමුණ පත්‍රයේ අලෙවිය වැඩි කර ගැනීමයි. ගැටලුවලට, පීඩාවන්ට මුහුණ දී බලාපොරොත්තු සිඳගෙන සිටින තරුණයෝ මෙබඳු පුවත් නිතර කියවති. අනුකරණය හා භාවාරෝපණය ඔහු කෙරෙහි පවතී. දිවි නසා ගැනීම වීර ක්‍රියාවක් ලෙස ඔහු සලකන්නට පුළුවන.

පත්‍රවල මෙබඳු කරුණු පළ කැරෙන විට දිගින් දිගට ම මෙබඳු සිය දිවි නසා ගැනීම් සිදුවන බව පත්‍රවලින් දැනගත හැකිය. සමාජයේ ඇති තතු යටපත් කිරීම වාර්තාකරුවන් ගේ සිරිත නොවේ. ඒ නිසා ඔහුට දොස් පැවරිය නො හැකිය. මෑතකදී දොස්තර මහතෙකු ලේඛකයන්ගෙන් ඉල්ලා සිටියේ, මෙබඳු සිදුවීම්, විස්තර නැතිව සැකෙවින් ලියන්නට ය. අප දියුණු කරගත යුතු දෙවැනි පෞරුෂ ලක්‍ෂණය වන්නේ, අප ලියන දේ කියවන අය ගේ පෞරුෂ සංවර්ධනය කෙරෙහි බලපවත්වන්නේ කෙසේදැයි සිතා බැලීමේ ගතියයි.

(3) අප දියුණු කර ගතයුතු ගති ලක්‍ෂණයක් වන්නේ ජීවන ගැටලු, සමාජ ගැටලු එක දෘෂ්ටි කෝණයක සිට සලකා බලන්නේ නැතිව දෘෂ්ටිකෝණ කිහිපයකින් සලකා බැලීමය. සාහිත්‍ය නිර්මාණයක් දෙස අප දෘෂ්ටිකෝණ කිහිපයකින් බැලීම වැදගත් වෙයි. මේ මානසික ලක්‍ෂණය ජෛන ධර්මයේ දැක්වෙන්නේ ඒකාන්තවාදය හා අනෙකාන්තවාදය ලෙසය.

ජාතක කතා වූ කලී, ජනතාවගේ පාරම්පරික විඥානය ඇතුළත් උසස් පොතකි. ධර්මවේදියකු භාෂා විශාරදයකු, මනෝ විද්‍යාඥයකු, සමාජ විද්‍යාඥයකු, මනෝ විග්‍රහවාදියකු, මනෝ චිකිත්සකයකු ලෙස ජාතක කතා දෙස බැලිය හැකි ය. මාර්ටින් වික්‍රමසිංහ මහතා මනෝ විද්‍යාඥයකු ලෙස ජාතක කතාවල එන පුද්ගලයන්ගේ චිත්ත චෛතසික ස්වභාවය විවරණය කර ඇත. ඩී. වී. ජේ. හරිශ්චන්ද්‍ර දොස්තර මහතා මනෝ චිකිත්සකයකු ලෙස ජාතක කතා විමර්ශනය කරමින් ඉංග්‍රීසියෙන් පොතක් ලියා ඇත. ලියෝ ටෝල්ස්ටෝයි නවකතා ලියුවේ පාඨකයන්ට ආත්ම විශුද්ධිය ලබා දීමට යැයි ජැන්කොලැව්රින් නමැති සාහිත්‍ය විචාරකයා පැවසුවේය.

ජීවන ගැටලුවල සැබෑ ස්වරූපය දකිත හැක්කේ දෘෂ්ටිකෝණ කිහිපයකින් බලන කල්හිය. බුදුසමයේ මෙන්ම මනෝ විද්‍යාවේ ද පෙන්වා දෙන්නේ සමස්ත දර්ශනයේ ඇති අගයයි. මෙය තුන් වැනි පෞරුෂ ලක්‍ෂණය වෙයි. මිනිස් සන්තානයේ අපරාජිත වේගයක් පවතීය යන්න බුද්ධ ධර්මයේ ඇතුළත්වන වැදගත් මතයකි. බෞද්ධ සාහිත්‍යයේ පරස්පර විරෝධී මත ද පවත්නා බව පෙනේ. මානව පරිණාමය පිළිබඳ මත දෙකක් බණ කතාවල දැක්වෙයි. මිනිස් සමාජය ස්වර්ණ යුගයක සිට කලියුගයක් කරා ගමන් කරන බව කීම ඉන් එක මතයකි. මිනිස් සමාජය ක්‍රමයෙන් දියුණුවට පත්වන බව ද පැවැසේ. මේ අපරාජිත සංකල්පය ඇතුළත් වන්නේ පාරමිතා ධර්මවලය. බෝසතුන් දස පාරමිතා ධර්ම පුරමින් දිගු කලක් භව ගමනක යෙදී අන්තිමේදී සම්මා සම්බෝධිය ලබාගත් බව පැවැසීමෙන් පැහැදිලි වන්නේ සමාජය ක්‍රමයෙන් දියුණුවන බවයි. පිරිහෙන බව නොවේ. ඩාර්වින් ගේ පරිණාමවාදය පෙන්වා දෙන්නේ සමාජය ක්‍රමයෙන් දියුණුවන බවය. මානව ප්‍රගතිය සැලැසේ යයි සිතීම, අපේ හතර වැනි පෞරුෂ ලක්‍ෂණය වෙයි.

බෞද්ධ චින්තනයේ ඇතුළත් ගැඹුරු ඉගැන්වීම් හතරක් විස්තර වශයෙන් මෙහි දැක්වීමි. තවත් ගැඹුරු ඉගැන්වීම් කිහිපයක් සැකෙවින් දක්වමි. වර්තමාන කාලයේ දියුණුවී ඇති අධ්‍යාපන මනෝ විද්‍යාව සමාජ මනෝවිද්‍යාව, මනෝ විග්‍රහය හා මනෝ චිකිත්සාව යන විෂයයන් තුළ ඇතුළත් වන මූලධර්ම බෞද්ධ චින්තනයේ ප්‍රතිරාවයක් වෙයි. මේ සංකල්ප දැක්වීමේදී යෙදෙන භාෂා ව්‍යවහාරය නිසා මේ බව තේරුම් ගැනීම තරමක් අමාරුවෙයි. අධ්‍යාපන මනෝවිද්‍යාවේ එන සහජ ආවේග උත්කර්ෂණය යන මතය බුද්ධ ධර්මයේ දැක්වෙන්නේ පරාර්ථචර්යාව යනුවෙනි. සියල්ලක්ම සිදුවන්නේ හේතු ප්‍රත්‍ය ඇතිවය යන බෞද්ධ මතය මනෝවිද්‍යාවේ දැක්වෙන්නේ පූර්ව හේතුවක් නැතිව සිදුනොවේ යනුවෙනි. තවත් ගැඹුරු ඉගැන්වීම් සැකෙවින් දක්වමි.

(1) අනුපූර්ව ශික්‍ෂණ ක්‍රමයකට අනුව මිනිස් මනස ඉතා ඉහළ මට්ටමකට ගෙන ගිය හැකිය.

(2) මිනිසුන් තුළ පවතින ආත්මකේන්ද්‍රික වර්ග කේන්ද්‍රික ප්‍රවණතා විශ්ව කේන්ද්‍රික ප්‍රවණතා බවට පත් කිරීමට සමත් ඉගැන්වීම් බුද්ධ ධර්මයේ ඇතුළත්වෙයි.

( 3 ) මිනිසා ගේ ජීවන අරගලය පිළිබඳ බෞද්ධ මතය ගැඹුරින් හදාරා නව මත ලෝ වැසියන් අතර ප්‍රචලිත කළ යුතුය.

( 4 ) අසීමිත වස්තුකාමය, බල කාමය, හිංසාකාමය කෙළවර වන්නේ සෝක සන්තාපයෙනි.

( 5) එක් පුද්ගලයකුට සැපත සතුට හා තෘප්තිය සාදා ගැනීම පිණිස විශ්ව මිත්‍රත්වය ඇති කිරීම වැදගත් වේ.

( 6 ) අප පවසන මතවාද, අනුන් ගේ පෞරුෂ සංවර්ධනය කෙරෙහි බලපාන්නේ කෙසේදැයි සලකා බලා දුර්විපාක ඇතිවන දේ කිරීමෙන් වැළකී සිටිය යුතුය. නොලිය යුතුය.

( 7 ) පුද්ගලයන් උපතින් ලබන සහජ කුසලතා යටපත් කිරීමට හේතුභූ®ත වන හීනමානය දුරු කිරීමට ක්‍රියා කළ යුතුය.

( 8 ) මිනිස් සන්තානයේ, ජනතාව එක්කරන ප්‍රවණතා මෙන් ම වෙන් කරන බලවේග පවතී. මේවා හොඳින් හදාරා, මිනිසුන් බෙදන කේන්ද්‍රාභිසාරි ප්‍රවණතා දියුණු කොට, ඔවුන් එක් කරන ප්‍රවණතා දියුණු කරගත යුතුය.

මේ ඉගැන්වීම් පාදක කරගෙන පහළවන පෞරුෂ ලක්‍ෂණ නිබඳ මෙනෙහි කළ යුතුය. මේ ලෝකයේ පවතින සියලුම ගැටලු නිර්මාණය කරන ලද්දේ මිනිසා විසිනි. එහෙයින් ඒවා නිරාකරණය කර ගත යුත්තේ මිනිසාමය. එය කළ යුත්තේ අධ්‍යාපනයේ මාර්ගයෙනි. අධ්‍යාපනයක් ලැබීම ප්‍රාතිහාර්යයකට සමාන කළ හැකියැයි බුදුන් වහන්සේ වදාළ සේක.

 

නිකිණි පුර පසළොස්වක පෝය

නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු 12 වන දා සිකුරාදා අපර භාග 11.49 ට ලබයි.
14 වන දා ඉරිදා පූර්ව භාග 00.31 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම
අගෝස්තු 13 වන දා
සෙනසුරාදාය.

මීළඟ පෝය
අගෝස්තු 21 වන දා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 13

Second Quarterඅව අටවක

අගෝස්තු 21

New Moonඅමාවක

අගෝස්තු 28

First Quarterපුර අටවක

සැප්: 04


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]