ගැඹුරු දහම් පහසු අවබෝධයට
බුදුරදුන්ගේ උපමා භාවිතය
මහනුවර
අස්ගිරි මහා විහාරීය
මහා විහාර මහ පිරිවෙනේ
බංග්ලාදේශයේ අස්සජි හිමි
සර්වඥ (සබ්බඤ්ඤු) යනු බුදුරදුන්ට භාවිත කළ තවත් අපරනාමයකි. මෙහි අදහස
සියල්ල දත් යන්නයි. එනම් ලෝකය පිළිබඳ අතීත, වර්තමාන, හා අනාගත වශයෙන්
දැනගත යුතු සියලු කරුණු තත්ත්වාකාරයෙන්ම දැන ගැනීමය. එහිදී උන්වහන්සේ
පරෝපදේශය බැහැර කොට ස්ව ඤාණයම ඒ සඳහා යෙදවීම එහි ඇති විශේෂත්වය යි.
එනිසාම උන්වහන්සේ “සම්මා සම්බුද්ධ” වූහ.
එසේ අවබෝධ කරැගත් ධර්මය තුළින් සෙසු පිරිසද සංසාරයෙන් එතෙර කරවීම
උන්වහන්සේගේ ඊළඟ පියවර විය. ඒ සඳහා සමාජය දෙස බැලීමේදී නොයෙක් බුද්ධි
මට්ටම් ඇති මිනිසුන් ඇති බැවින් ඔවුන්ගේ හිතසුව පිණිස දහම් දෙසීමට
තීරණය කළහ. උන්වහන්සේම සදහන් කළ පරිදි ඒ ගැඹුරු ධර්මය මිනිසුන්ට අවබෝධ
කරැවීමට විවිධ ක්‍රමවේද භාවිත කොට ඇති අයුරු ත්‍රිපිටක සාහිත්‍යයෙන්
සනාථ වෙයි.
එහිදී ලෝකයාට ධර්මය පැහැදිළි කිරීමේදී එම ශ්‍රාවකයන්ට තේරුම් ගැනීමේ
පහසුව සඳහා “උපමාව” බහුලව වශයෙන් උපයෝගී කොටගෙන තිබෙන බව පැහැදිළිය.
එයින් නිගමනය කළ යුතු වන්නේ භාෂිතාර්ථය, එනම් කියා දෙන ලද කරුණ
යථාර්ථවත්ව වටහා ගැනීමට සහාය වීම සඳහා උපමා භාවිතකොට ඇති බවයි.
‘අග්ගික්ඛන්දෝපම “ සූත්‍රයට අනුව ගින්නට හසුවූ දෙය වැනසී යන්නාක් මෙන්
ගින්නට සමාන කෙළෙස් ඇති මිනිසා දැඩිව විනාශයට යයි. කෙළෙස් යනු ගින්නට
සමානය. එය ඉතා දරුණුය. හසුවීමෙන් වැනසේ. එයින් ඉවත් විය යුතුවේ. මෙකී
දාර්ශනික ගැඹුරු ධර්මය මිනිස් ව්‍යවහාරයෙහි ප්‍රත්‍යක්‍ෂ උපමාවන් මඟින්
කෙතරම් සරුව සහ පහසුවෙන් බුද්ධිගෝචර කොට ඇද්දැයි විමසා බැලිය යුතුය.
“උපමා ඛෝ මේ අයං භික්ඛවෙ අත්ථස්ස විඤ්ඤාපනාය”
උපමා මඟින් තමන් වහන්සේ අවබෝධ කරවන්නට අරමුණු කරැගත් කාරණය ඒ අයුරින්ම
අවබෝධ කරවන්නට හැකිවෙයි. ඇතැම් කරුණු ඇතැම් පුද්ගලයන්ට පහසුවෙන් අවබෝධ
නොවේ. එබඳු අවස්ථාවල උපමා භාවිත කරමින් එම කරුණ සවිස්තරාත්මකව ඉදිරිපත්
කරන අතර එමඟින් අර්ථය සුඛාවබෝධ කරවයි. ත්‍රිපිටක සාහිත්‍යයෙහි,
විශේෂයෙන් සූත්‍ර පිටකයෙහි දක්නට ලැබෙන උපමා රාශියකි. එයින් උපමා
ආධාරයෙන් පෙන්වා දී ඇති මූලික හා ගැඹුරු සූත්‍ර සංග්‍රහ කරමින් දක්වා
ඇති මජ්ඣිම නිකායේ ඔපම්ම වග්ගය උපමා මාර්ගයෙන් ධර්ම යථාර්ථය වෙත
යොමුකොට ඇති අයුරු තේරුම් ගැනීම වැදගත් වේ.
අවිචාරයෙන් අඳුරේ අතපතගාන්නාක් මෙන් ධර්මය තේරුම් ගත යුතු නොවේ. එය
පර්යේෂණයෙන් විමංසනයෙන්, බුද්ධිමාර්ගයෙන්, පැහැදිළි කරගත යුතු බව උපමා
වලින් ධ්වනිත වන අර්ථයයි. ඒ අනුව ධර්මයත් උපමාවත් තුළනය කොට සසඳමින්,
විමසමින් තත්වූ පරිද්දෙන් දැක ගැනීමට මංමාවත් විවර කිරීම බුදුරදුන් මේ
උපමා මඟින් සිදුකොට තිබේ. ධම්මවිනය නම් වූ ධර්ම විමංසාව බෝධිපාක්‍ෂික
අංගයකි. ප්‍රඥා ලාභයට කරුණකි. එම අර්ථ සිද්ධිය සඳහා උපමා මඟින් ලබා දී
ඇත්තේ මහත් ආලෝකයකි. බුදුරජාණන් වහන්සේත්, මහා ශ්‍රාවකයන් වහන්සේලාත්,
ධර්ම ගවේෂී මහා පඬිවරයන් විසිනුත් අනුගත උපමා පද්‍යාගත ධර්ම විවරණ පොදු
ජනතාවගේ සුඛාවබෝධය පිණිස භාවිත කිරීම ධර්ම ධරයන්ගේත්, ධර්ම දේශකයන්ගේත්
වටිනාකම වැඩි කරැන්නකි.
උපමා ප්‍රයෝගයේදී මනඞකල්පිතයන්ට වඩා පරිසරය ව්‍යවහාරය වැනි සාමාන්‍ය ජන
කථාවට ගෝචරවන සිතට කාවදින බසේම ගෝචර දේ යොදා ගැනීමේ වැදගත්කම මුලදීම
අපි පෙන්වා දුනිමු. උපමා ප්‍රයෝගයේදී භාග්‍යවතුන් වහන්සේ ප්‍රකට කළ
කදාදර්ශය අති ශ්‍රේෂ්ඨය. උන්වහන්සේ හිමාලය,මහා සමුද්‍රය, ඉර හඳ ගැන සේම
මුළුතැන්ගෙයි උපකරණ ද, ගොවිපළ, වැඩපළ, කුටිය, පන්සල්, රජගෙදර දේ ද
දත්හ. එයින් මහජනතාව දන්නා දේ හදුනන දේ උපමාවට දැක්වූහ. ඒ ඔස්සේ
බුද්ධිය මෙහෙය වූ ශ්‍රද්ධා බුද්ධි ඇත්තේ ධර්මාවබෝධ ලැබූහ. බුදුරදුන්ගේ
උපමාව කවියාගේ් උපමාව ඉක්මවා ගිය එලාවහ බුද්ධි මාර්ගයකි. එබඳු
අවස්ථාවක් පෙන්වා දෙන ධම්මපදයෙහි මෙසේ සඳහන්ව ඇත.
“යාව ජීවම්පි චේ බාලො-
පණ්ඩිතං පයිරුපාසති
නසෝ ධම්මං විජානාති –
දබ්බී සූපරසං යථා
මුහුත්තමපි චේ විඤ්ඤු-
පණ්ඩිතං පයිරුපාසති
ඛිප්පං ධම්මං විජානාති –
ජිව්හා සූප රසං යථා”
මූග්ධයා හෙවත් මෝඩයා දිවි ඇතිතාක් නුවණැත්තන් ඇසුරු කළත් හැන්ද
ව්‍යඤ්ජනයෙහි රසය නො හඳුනන්නාක් මෙන් ධර්මය හඳුනා නොගනී. පණ්ඩිතයා
මොහොතක් නුවණැත්තන් ඇසුරු කළත් දිව වහා ව්‍යඤ්ජනයෙහි රසය දැන ගන්නාක්
මෙන් ධර්මය වහා හඳුනා ගනී. මූග්ධයා සහ විඥයා කාරාණාකාරන දැනගන්නා අයුරු
වටහා දීමට මෙහි උපමා කොට ඇති හැන්දත්, දිවත් දෙකම පරිසරයටත්, තමන්ටත්
සම්බන්ධිත අත්දැකීම් ඇති වස්තු දෙකකි. හැන්ද මිට ගෙවෙන තුරු හොදි හැදි
ගෑවත් හොද්දේ රස නොහඳුනයි නොකියයි. එයට විඤ්ඤාණයක් නැති හෙයිනි. ඒ
හැන්දෙන්ම ගෙන අත්ලෙහි ලා දිව ගෑ සැනින් දිව හොද්දෙහි ලුණු ඇඹුල්
හදුනයි. දිවට විඤ්ඤාණයක් ඇති හෙයිනි. මෝඩයා හැන්දවගේ නුවණක් නැති නිසා
ගුණ නැණ නො දනී. නුවණැත්තා නුවණැති හෙයින් වහා ගුණ හඳුනාගනී.
කියතකින් ඉරන විටත් ඉවසිය යුතුය
කියතක් උපමාවට ගනිමින් ඉවසීම නමැති ගුණය පිළිබඳ කරුණු දැක්වෙන සූත්‍රය
කකචූපම සූත්‍රය නම් වේ. බුද්ධ ශ්‍රාවකයාගේ ඉවසීම කෙසේ විය යුතු ද යන්න
පැහැදිළි කරමින් දේශිත මෙය ගැඹුරු මානසික ශික්‍ෂණයක් උදෙසා බෙහෙවින්
ඉවහල් වන්නකි. මෙම සූත්‍රය නම් කර ඇති කකුචූපමාව එකම උපමාව නොවේ. එය
මෙකී සූත්‍රයේ දැක්වෙන උපමා අතර අවසන් උපමාවයි. සූත්‍රයේ තවත් උපමා
කීපයක් දක්නට ඇත. ඒවා
01. අශ්වදම්‍ය සාරථී උපමාව
02. සාලවන උපමාව
03. මහ පොළොව නොපොළොවක් කිරීමේ උපමාව
04. අහසෙහි රූප ඇඳීමේ උපමාව
05. තණ සුලකින් ගංගා නදිය තැවීමේ උපමාව
06. බිළාලභස්ත්‍ර හෙවත් බළල් සමින් සෑදු පසුම්බිය සම්බන්ධ උපමාව
07. කකචූපම හෙවත් කියත් උපමාව
බුදුරදුන් මෙම උපමාවන් දේශනා කළේ අකුසල් සිත් දුරුකොට කුසල් සිත්
වර්ධනය කරමින් මෛත්‍රි සහගත සිතිවිලිවලින් යුක්තව වාසය කිරීම සඳහා තම
ශ්‍රාවකයන් යොමු කරැවීමටය. සිය ශ්‍රාවක පිරිස එසේ යොමු කරැවීමකට
බුදුරදුන් පෙළඹුණේ ඉවසීම පුහුණු නොකළ මොලීයඵග්ගුහ නමැති ප්‍රකෝපකාරී
භික්‍ෂුවගේ ක්‍රියාකලාපය නිසාය. මුලින් දැක්වූ පරිදි සූත්‍රයෙහි උපමා
කීපයක්ම සඳහන් වුවද සමස්ත සූත්‍රයෙන්ම අවධාරණය කරනු ලබන ප්‍රධාන කරුණු
කකචූපම අවවාදයයි. එය සඳහන්ව ඇත්තේ අභිණ්හ පච්චවෙක්ඛණ ධර්මයක් ලෙසින්
හෙවත් නිතර නිතර සිහි කළ යුතු දහම් කරුණක් ලෙසය.
කකචූපම සූත්‍රයෙහි ඉදිරිපත් වන උපමා පිළිබඳව විමසා බැලිය යුතුය.
01. අශ්වදම්‍යසාරථි උපමාව :-
මෙම සූත්‍රයේ දැක්වෙන පළමුවන උපමාවයි. මෙයින් බුදුරදුන්ගේ
ප්‍රථමාභිසම්බෝධි යුගය හෙවත් විනය ශික්‍ෂා පැනවීමේ පූර්ව යුගයෙහි බුද්ධ
ශ්‍රාවකයාගේ ස්වරූපය පැහැදිලි වේ. එනම් අවවාදයෙන් තොරව සිහිකර දීමෙන්
පමණක් එම ශ්‍රාවකයන් සංවරයට පත්වූ අයුරු අශ්ව දම්‍යසාරථී උපමාවෙන්
පැහැදිලි කරයි.
“සිවු මං සලෙක ගමනට සූදානම කොට
හික්මුණු අසුන් යෙදූ රියක් දක්‍ෂ රියදුරෙකු
විසින් කැමති ලෙස මෙහෙයවන්නාක් මෙන්”
“ මුල් යුගයේ ශ්‍රාවකයන් බුදුරදුන්ගේ අනුශාසනයකුදු
නොමැතිව සිහි ඉපදවීම් පමණකින් සංවර
වූ බවක් එමඟින් ප්‍රකාශ වේ.”
02. සාලවන උපමාව :-
මෙය සූත්‍රයෙහි දැක්වෙන දෙවන උපමාවය. අකුසල හාපනය හා කුසල භාවනය
හේතුවෙන් පුද්ගලයා තුළත් සසුන තුළත් අභිවෘද්ධියේ ස්වභාවය පැහැදිලි
කිරීම සඳහා බුදුරදුන් මෙම සාලවන උපමාව සඳහන් කරති.
ගමක හෝ නියම් ගමක හෝ සමීපයේ ඉතා රමණීය ලෙස වැඩුණු සල්මලින්ද විහිදුණු
අතු පතරින්ද පිරුණු විශාල සල් වනයක් විය. එනමුදු කල්ගතවීමේදී සල්ගසම
පිළිල වලින් ගහණ වන්නට විය. එහෙයින් සල්ගස් එකින් එකට විනාශ වන්නට විය.
මෙය දුටු එක් පරිසර හිතකාමීයෙකු මැරුණු සල් අතුද විනාශයට හේතුවු පිළිල
වැල්ද ඉවත් කොට එමෙන්ම මනාව කෙළින් වැඩුණු සල්ගස් පිරිසුදු කොට පෝෂණය
කිරීමටද පෙළඹෙයි. මෙසේ කළ කල්හි නොබෝ දිනකින්ම සල්ගස් නැවත පෙර පරිදිම
අතු පතරින්ද මල් වලින්ද පිරී ගියේය.
මෙකී උපමාවේ සල් වනය භික්‍ෂු ශාසනයයි. මුලින් ලස්සනට තිබූ සල්ගස් වැනි
සැරියුත් මුගලන් ආදී මහහරහතන් වහන්සේලා වූහ. පසු කලෙක විනාශයට පත්වන්නට
ගිය සල් ගස් වැනි භික්‍ෂූහු පාප සිතිවිලි නමැති පිළිලවලින් විනාශයට පත්
වන්නෝය. යථාවත් කරගත හැක්කේ පාපී සිතිවිළිවලින් සිත් පවිත්‍ර කර
ගැනීමෙනි. රමණීය සල්මල් වනයක් වැනි භික්‍ෂු පිරිසක් ඇති කිරීම මෙම
උපමාවේ හා සූත්‍රයේ අරමුණ වේ.
03. පොළොව නොපොළොව කිරීමේ උපමාව :-
සිත විපරීත තත්වයට පත්වූ පුද්ගලයෙකු නැවතත් මෙත් සිත් සහිත පුද්ගලයෙකු
බවට පත්කිරීමට කටයුතු කළ යුතු අයුරු පැහැදිළි කරනු වස් බුදුරදුන් මෙකී
උපමාව භාවිත කරයි.
මේ මහපොළොව නොපොළොවත් කිරීමට මිනිසෙකුට සිතේ දැඩි අධිෂ්ඨානයක පිහිටන
ඔහු උදැල්ලක් හා කූඩයක් රැගෙන පොළොවෙහි තැන තැන සාරයි. පස් එහෙ මෙහෙ
ඉවත දමයි. දහඩිය හලයි. දැඩි වෙහෙසට පත්වන ඔහු තැන තැන කෙළ ගසයි. පොළොව
නොපොළවක් වේවායි ශාප කරයි.අවසානයේ දැඩි වෙහෙස නිසාම ඔහු ක්ලාන්ත වේ.
එහෙත් විශාල වූ පොළොවට යමක් කරන්නට ඔහු අසමත් වේ. මහ පොළොව හා සමාන
අපමණ මෛත්‍රි‍්‍ර ඇති තැනැත්තාටද යමක් කරන්නට කිසිවකුටත් හැකියාවක්
නොමැති බව මෙයින් පැහැදිලිවේ.
“ මජ්ක්‍ඡීම නිකායට්ඨ කථාවට අනුව මෛත්‍රි සහගත සිත මහ පොළොව හා සමානය.
උදැල්ලත් හා කූඩයක් රැගෙන ආ තැනැත්තා රළු වාග් ප්‍රහාරයන් එල්ල කරන්නාට
සමානය. උදැල්ලෙන් හා කූ®ඩයෙන් පොළොව නොපොළොවක් කරන්නට අසමත් වන්නා මෙන්
මෙත් සිත වර්ධනය කළ තැනැත්තාගේ සිතද වාග් ප්‍රහාරවලින් වෙනස් කළ
නොහැකිය යන අදහස මෙකී උපමාවෙන් පැහැදිළි කරයි.
04. අහසෙහි රූප ඇඳීමේ උපමාව :-
මෙත් සිත් වර්ධනය කළ සිතෙහි ප්‍රබලත්වය කියාපෑම සදහා යොදාගත් අනෙක්
උපමාව මෙයයි. යම් කිසි මිනිසෙක් අහසෙහි චිත්‍රයක් ඇඳීමට සිතයි. ඒ සදහා
ඔහු විවිධ තීන්ත වර්ග මෙන්ම පින්සල් ද රැගෙන අහසෙහි තීන්ත තවරා චිත්‍ර
ඇඳීමට උත්සාහ කළත් කිසි විටෙකත් එකී අදහස ඔහු සිත තමට සාර්ථක නොවීය. ඊට
හේතුව අහස අරූපීය.මෙහිදී ඔහු කරන කියන සියල්ල මම අහස නිහඬව, උපේක්‍ෂා
සහගගතව ඉවසා දරයි.මෙසේ අනන්ත වූ අප්‍රමාණ වූ අහස මෛත්‍රි සිතට සමාන වේ.
“මෙහි විවිධ වර්ණ රැගෙන පැමිණි තැනැත්තා වාග් ප්‍රහාර එල්ල කරන්නාට
සමාන වේ. කවර හෝ වර්ණයකින් අහස සිතුවම් කරන්නට උත්සාහ කළ ද එය සිදුකළ
නොහැක්කකි. එසේම කවර වචනයකින් ප්‍රහාර එල්ල කළද එයින් මෛත්‍රී සහගත සිත
බිඳ දමන්නට හෝ වෙනස් කරන්නට කිසිසේත් හැකි නොවේ”
05. තණ සුළකින් ගංගා නදිය තැවීමේ උපමාව :-
මිනිසෙක්, ගිනි හුළක් දල්වාගෙන ගොස් ගංගා නම් නදියේ ජලය වියළවා දමන්නට
උත්සාහ කරයි. ඔහු ගිනි හුල ඔබනවාත් සමඟම එය නිවේ. එනමුදු, මිනිසා නැවත
නැවත තම කාර්ය සිදු කළද හුදෙක් වෙහෙසට පත්වීම පමණක් සිදුවේ. මෙකී
කටයුතු සියල්ල ගඟ උපේක්‍ෂා සහිතව භාර ගනී. එනමුත් වෙනසකට පත් නොවේ. පෙර
සේම නැවත ගළයි. මෙසේ මෙත් සිතිවිලි වලින් යුක්ත වූ සිත කිසිවිටෙකත්
කිසිම ලෙසකින් වෙනස් කළ නොහැකි බව බුදුරදුන් නැවත වරක් අවධාරණය කරයි.
මෙහිදී ද ගැඹුරු වූ අප්‍රමාණ වූ ගංගා නදිය මෙත් සිතට උපමා වේ. තණ සුළ
ගෙන එන පුද්ගලයා වාග් ප්‍රහාර එල්ල කරන්නාට සමානයත මහා ජලස්කන්ධයක් ඇති
ගංගා නදිය තණ සුළකින් කෙසේ නම් වෙනස් කළ හැකිවේද?
06. බිළාලභස්ත්‍ර උපමාව :- (බළල් සමින් සෑදූ පසුම්බිය සම්බන්ධ)
මෙම උපමාව මෛත්‍රී සහගත සිතෙහි ප්‍රබලත්වය නැවතත් ගෙනහැර පෑමට ඉදිරිපත්
කර ඇති තවත් උපමාවකි. මැනවින් මදු භාවයට පත්කළ බළල් සමින් කරන ලද
පසුමබිමක් මඩින විට එයින් සර,සර, බර බර, හඬ නොනැඟේ. මිනිසෙක් එයින්
හඬක් නිපදවීම සඳහා පළමුව එය ගෙන පොඩි කරයි. එහෙත් කිසිදු හඬක් නිකුත්
නොවේ.
නැවතත් ගලක් හෝ මුගුරක්ගෙන එම පසුම්බියට පහර දෙයි. එහෙත් කිසිදු හඬක්
නැත. මෙලෙස මෛත්‍රී සහගත සිත වර්ධනය කළ තැනැත්තාගේ මෙත් සිත වෙනස්
කරන්නට හැකියාවක් කිසිවෙකුටත් නැත.
07. කකචූපමාව :-
මෙම සූත්‍රයෙහි නාමය සැකසූ උපමාව මෙයයි. පහත් හැසිරීම් ඇති චණ්ඩ පරුෂ
ගති ඇති සොරුන් දෙපසෙහි මිටි ඇති කියතක් ගෙන එයින් ස්වීය අඟ පසඟ කපන
කල්හි වුවද ඒ සොරුන් කෙරෙහි මෛත්‍රී සහගත සිත පැතිරවීමට ශ්‍රාවකයාව
යොමු කිරීම පිණිස බුදුරදුන් මෙම උපමාව උපයෝගී කර ගගනියි.
උක්ත සඳහන් කළ උපමා තුළින් කියාපාන වැදගත් කරුණක් ඇත. එනම් මෛත්‍රි
සහගත සිත විවිධ වස්තුවලට සමාන කර දැක්වීමය.
පඨවි සමෙන චෙතසා .....පොළොව හා සමාන මෙත් සිත
ආකාස සමෙන චෙතසා ...අහස හා සමාන මෙත් සිත
ගංගා සමෙන චෙතසා ...ගංගා නදිය හා සමාන මෙත් සිත
බිළාලභස්තා සමෙන චෙතසා ...බළල් සමින් කරන ලද පසුම්බිය හා සමාන මෙත් සිත
කකුචූපම සූත්‍රයෙන් ඉදිරිපත් කෙරෙන දර්ශනය ඉතා වැදගත්ය.
“මහ පොළොව මෙන් අකම්පීව අන්‍යයන්ගෙන් ඇතිවන ගැහැට ඉවසිය යුතුය. මහා
ආකාශය මෙන් අන්‍යයන්ගේ හිරිහැර ඉවසා ඔවුන්ට අපමාණව මෛත්‍රි වැඩිය
යුතුය. මහා ගංගාවක මෙන් සිසිලෙන් අන්‍යයන්ගෙන් ඇතිවන කෝපය තම සිතින්
නිවා දැමිය යුතුය. අන්‍යයන්ගේ දෝෂාරෝපණය හමුවේ ඉවසිය යුතුය. ඒ ඉවසීම
කෙතෙක් දුරට ප්‍රගුණ කළ යුතුද යන්න දක්වමින් උන්වහන්සේ යම් විටක යම්
පුද්ගලයෙකු කියතක් ගෙන සිය ශරීර අවයව කැපූවත් ඉවසිය යුතුය යනුවෙන්
දේශිතය. උතුම් මානසික ශික්‍ෂණයක් ඇති කර ගැනීමට ඉවහල් වන සූත්‍රයක් ලෙස
මෙකී කකචූපම සූත්‍රය හඳුන්වා දිය හැකිය. |