ජනක වෙත්තසිංහ
සම්බුදුරජාණන් වහන්සේගේ පාදස්පර්ශයෙන් අති පූජනීයත්වයට පත් වූ ශ්‍රී
ලංකාවේ බෞද්ධ සිද්ධස්ථාන අතර සුවිශේෂී වූ ඓතිහාසික සේරුවාවිල රජ මහා
විහාරය පිහිටා ඇත්තේ නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ය.
ත්‍රිකුණාමලයේ සිට සේරුවාවිල පුද බිම වන්දනාමාන කිරීම සඳහා යන්නේ නම්
මුහුද හරහා මෙන්ම ගොඩබිම මතින් ද ගමන් කළ හැකි මාර්ග දෙකක් තිබේ.
සේරුවිල චෛත්‍ය රාජයාණන් වහන්සේ |
ත්‍රිකුණාමලයේ සිට බෝට්ටුවෙන් කි.මී. 14 1/2 ක් පමණ දුරක් පමණ මුතූර්
දක්වා ගමන් කර එතැන් සිට තවත් කි.මී. 16 ක් පමණ ගමන් කළ යුතු වෙයි.
ත්‍රිකුණාමලයේ සිට කින්නියාතොට, උප්පුආරුතොට හරහා පැමිණෙන විට කි.මී.
15 කට ආසන්න දුරක් ගෙවීමෙන් මෙම පුද බිමට ළඟාවිය හැකි ය. බෞද්ධ
වන්දනාකරුවන් වැඩි ප්‍රමාණයක් යන කන්තලේ සිට වැටී ඇති මාර්ගයේ දී
කි.මීටර් 90 ක පමණ දුරක් ගෙවා සේරුවාවිල පුද බිම වෙත සැපත් විය හැකි ය.
එදා ලංකාවේ පළාත් බෙදීම් අනුව, රුහුණු බෞද්ධ රාජ්‍යයේ කෙළවර පිහිටි මෙම
පුදබිමෙහි පුරාතනයේ පන්සියයක් මහරහතන් වහන්සේ වැඩ සිටි බවත් – ඒ මහා
සඟරුවන සඳහා සංඝාවාසය – උපෝසථාගාර බෝධි ගෘහ ප්‍රතිමා මාලකාදී සියලු
විහාරාංගයන්ගෙන් පරිපූර්ණ ස්ථානයක් වශයෙන් පැවැති බවත් – කාවන්තිස්ස
රජතුමා විසින් තුන් යොදුනක් මානයේ ගම් බිම් පුදා මෙම පූජනීය පුදබිමෙහි
මතු දියුණුවට වැඩ සැලසූ බවත් වංශකතාවන්හි සඳහන් වෙයි.
මෙම පුදබිමෙහි ඇති සුවිශේෂීත්වය නම් සේරු නුවර මහා සෑයේ සම්බුදුරජාණන්
වහන්සේගේ ලලාට ධාතූන් වහන්සේ තැන්පත් කර තිබීමය. එපමණකුදු නොව එදා
තපස්සු බල්ලුක වෙළෙඳ දෙබෑයන්ට බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ ලබා දුන්
කේස ධාතූන් ගෙන් කොටසක් ද මෙහි තැන්පත් කර ඇති බව ධාතු වංසයේ සඳහන්ව
තිබේ.
මෙම ඓතිහාසික මහා සෑ කරවන ලද්දේ කාවන්තිස්ස රාජ්‍ය සමයේ ය. (ක්‍රි.පූ.
205 – 61) ධාතු වංශයේ සඳහන් වන අන්දමට අප මහා සම්මා සම්බුදුරජාණන්
වහන්සේගේ බුද්ධත්වයෙන් අටවන වසරේ ලංකාවට තෙවැනි වර වැඩම කළ අවස්ථාවේදී
පන්සියයක් මහරහතන් වහන්සේ සමඟ නිරෝධ සමාපත්තියට සමවැදී සිටි බවත් ධාතු
වංශයේ සඳහන් වෙයි.
විහාර මැදුරේ සුවිසල් බුද්ධ ප්‍රතිමා වහන්සේ |
මාගම රාජ පරපුර ආරක්‍ෂා කරගෙන සිටි බව කියන සර්වඥයන් වහන්සේගේ ලලාට
ධාතුව නිධන් කර සෑදූ මෙම මහා සෑය මංගල මහා සෑය වශයෙන් වහරණු ලබන අතර
මීට වසර දෙදහස් දෙසීය ගණනකට පෙර මෙම ස්තූපය සඟසතු කර පූජා කර ඇත්තේ
චුල්ල පිණ්ඩපාතික හා තිස්ස විහාරයේ සාගල නම් භික්‍ෂූන් වහන්සේගේ උපදෙස්
පරිදි බව ද ධාතුවංශයේ සඳහන් වෙයි.
දේවානම්පියතිස්ස රාජ්‍ය සමයේ සේරුවිල සමීපයේ දෙතිස් ඵලරුහ බෝධීන්
වහන්සේ නමක් රෝපණය කර ඇත. මෑත කාලයේ දී පුරා විද්‍යා සොයා ගැනීම් අනුව
එය රෝපණය කර ඇත්තේ කිලිවෙඩ්ඩි නම් වූ ග්‍රාමයේ ය. මෙම ඓතිහාසික බෝධීන්
වහන්සේ ත්‍රස්තවාදීන් විසින් විනාශ කළ අතර එම දෙතිස්ඵල බෝධීන් වහන්සේ
ශ්‍රී වර්ධන බෝධීන් වහන්සේ යන නමින් සඳහන් වූ සේරුවාවිල පුදබිමටම
සම්බන්ධ එකක් බව බොහෝ පුරා විද්‍යාඥයින්ගේ මතය වේ.
දඹගස්ආරේ ශ්‍රී සුමේධංකර
මහා නා හිමියන් වහන්සේ |
පුරාතනයේ විසූ නාග ග්‍රෝත්‍රිකයන්ගේ ශ්‍රේෂ්ඨ පුණ්‍ය භූමියක් බවට පත් ව
තිබෙන්නට ඇතැයි සිතිය හැකි සාක්‍ෂි මෙහි පුරාවිද්‍යාත්මක කැණීම් වලදී
හමු වී ඇත. නයිපෙන නවයකින් සහ හතකින් ආවරණය ලත් බුදු පිළිම වහන්සේලා ඒ
අතර වෙයි. මේ පින්බිම එදා රහතන් වහන්සේගේ පහසින් පූජනීයත්වයට පත්ව තිබූ
බවට සිතිය හැකි වනයට වහන් වූ සිය ගණන් ගල් ගෙවල් මෙන්ම ගල් පොකුණු වරහ
සොණ්ඩනම් දැකුම්කළු ගල් කෙම, ආරාමික නටබුන්, කළු ගලින් කළ විශාල මල්
ආසන ද කැණීම් වලදී සොයාගෙන ඇත.
ලාංකේය බෞද්ධ ඉතිහාසයේ මැකී ගිය පරිච්ඡේදයන් අතරට එක් වුණු මේ ඓතිහාසික
සේරුවිල පුද බිම නැවත පුනර්ජීවය ලබන්නේ දඹගස්ආරේ ශ්‍රී සුමේධංකර මහා නා
හිමියන් වහන්සේගේ ආගමනයත් සමඟය. සුමේධංකර මහා නා හිමියන් නොවැඩියානම්
මේ මහා පින් බිම පිළිබඳ පුරාවෘත්තය වංශ කතාවලට පමණක් සීමා වූ පුවතක්
පමණක් වීමට බොහෝ දුරට ඉඩ තිබුණි.
1921 වසරේ දී සුමේධංකර මහා නා හිමියන් වන දුර්ග ජල දුර්ග තරණය කරමින්
අති මහත් දුෂ්කර මඟට මෙම පුද බිම සොයා පැමිණෙන විට චෛත්‍ය තිබී ඇත්තේ
අලි කොටි වලසුන් ගහන මහ වන ගහනක් මැද රූස්ස ගස් කොළන් වලට මැදිව පස්
ගොඩැල්ලක් ලෙස ය.
බෞද්ධ දානපතියන්ගේ ද සහයෙන් උන්වහන්සේගේ අප්‍රතිහත ධෛර්යයෙන් මෙම පස්
ගොඩැල්ල මහා සෑයක් ලෙස පුණරුප්පත්තිය ලබන්නේ 1924 වසරේ දී ආරම්භ වී
1930 සැප්තැම්බර් මාසයේ දී මේ මහා සෑයට කොත් පැළඳවීමෙනි.
සේරුවිල
සරණකිත්ති නා හිමියෝ |
සේරුවාවිල පමණක් නොව නැඟෙනහිර පළාතේ බෞද්ධ උරුමය සොයා ගනිමින් අපමණ
දුක් ගැහැට මැද එය සුරකින්නට තම ජීවිත කාලයම කැප කළ සේරුවාවිල මංගල රජ
මහා විහාරාධිපතිව වැඩ විසූ මංගල ධර්මකීර්ති ශ්‍රී දඹගස්ආරේ ශ්‍රී
සුමේධංකර නැඟෙනහිර තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක ශ්‍රී කල්‍යාණවංශ
මහා නිකායේ අනුනායක හිමියන්ගේ නාමයද සේරුවාවිල පුද බිම හා සමව
සදාණුස්මරණීය වී පවතිනු ඇත.
1984 වසරේදී සුමේධංකර මහා නා හිමියන්ගේ අපවත් වීමෙන් පසුව මෙම ඓතිහාසික
රජ මහා විහාරයේ විහාරාධිපතිත්වයට පත්වන්නේ සේරුවිල සරණකිත්ති නාහිමියන්
ය. මේ සමයේ දී සේරුවිල පුද බිමට නැවත අඳුරු කාලයක් උදාවන්නේ රුදුරු
ත්‍රස්තවාදී උවදුරු නිසා ය. උතුරේ මෙන්ම නැඟෙනහිර අසරණ මිනිසුන් එකාපිට
එකා ඝාතනය වෙද්දී, ඔවුන් ගම් බිම් හැර පලායද්දී සේරුවිල අවට ප්‍රදේශයේ
අසරණ මිනිසුන්ට පිළිසරණට සිටින්නේ සරණකිත්ති අප නාහිමියන් ය.
සේරුවාවිල පුද බිම මෙන්ම ඒ අවට ගම් බිම්ද සුරැකීමට සරණකිත්ති නා
හිමියන්ගෙන් ලැබෙන ශක්තිය සුවිශාලය. ඉතා අභීත සංඝපීතෘන් වහන්සේ නමක්
ලෙස ප්‍රකට සරණකිත්ති නාහිමියෝ සේරුවාවිල රජ මහා විහාරයේ වත්මන්
දියුණුවේ පුරෝගාමියා වෙති.
උන්වහන්සේ මේ වන විට නැඟෙනහිර පළාතේ සිද්ධස්ථාන 14 ක විහාරාධිපතිත්වය
උසුලමින් නැඟෙනහිර බෞද්ධ උරුමය සුරැකීමට මහත් වූ වෙහෙසකින් කැපවීමකින්
කටයුතු කරති. බෞද්ධ ඉතිහාසය වංශ කතාවේ, සේරුවාවිල රජ මහා විහාරයට
හිමිවෙන සුවිශේෂී ස්ථානය මෙන්ම පෙර රාජ රාජ මහාමාත්‍යාදීන්ගේ නාමයන්
සමගම ශ්‍රී සුමේධංකර හා සේරුවිල සරණකිත්ති ඒ මහ සංඝ පීතෘවරයන්ගේ නාමයන්
ද සදානුස්මරණී ලෙස ඉතිහාසයේ ස්වර්ණමය අක්‍ෂරයෙන් සටහන් වනු නියත ය. |