UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

හෙළයේ මහා කලා මංගල්‍යය ලෙස දෙස් විදෙස් බෞද්ධ අබෞද්ධ ජනතාව එක්සිත්ව පිළිගන්නා මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය පෞරාණික චාරිත්‍ර ගරු කරමින් සාර්ථකව පවත්වා අවසන් කිරීම ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ තුමන් ගේ වගකීමයි. ශ්‍රී දළදා සමිඳුන්ගේ ගිහි භාරකාරත්වය සය වසරක් පුරා හොබවන දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සමඟ මෙවර ඇසළ පෙරහර සම්බන්ධව කළ සාකච්ඡාවකි මේ.

ප්‍රශ්නය - මෙරට වාර්ෂිකව පවත්වන ආගමික හා සංස්කෘතික උත්සව අතරින් මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයට හිමිවන්නේ සුවිශේෂි ස්ථානයක්. දෙස් විදෙස් ජනතාවගේ නොමඳ ගෞරවෝපහාරයට ලක්වන මෙවන් උත්සවයක් අපේ රටේ තවත් නැති තරම් නේද ?

පිළිතුර - ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ දෙස් විදෙස් බෞද්ධ ජනතාව සලකන්නේ ජීවමාන බුදු රජාණන් වහන්සේ ලෙසයි. ඒ වගේම පැරණි රජ දවස පටන් රාජ්‍යත්වයේ සංකේතය ලෙස සලකා දළදා වහන්සේට පුද සත්කාර කළා. රජුගේ මූලිකත්වයෙන් දළදා වහන්සේ උදෙසා කරන්නාවූ පූජෝපහාර සඳහා ජනතාව දැඩි කැපවීමෙන් හා උනන්දුවෙන් සම්බන්ධ වුණා. මෙහි ප්‍රතිඵලය ලෙස දළදා වහන්සේ මුල් කර ගනිමින් පවත්වන්නාවූ පෙරහර මංගල්‍යය ගාම්භීරත්වයෙන්, විචිත්‍රවත් අයුරින් අතීතයේ සිට පැවතුනා. රාජ්‍ය අනුග්‍රහය ලබන උත්සවයක් ලෙස අදත් එය ඒ ආකාරයෙන්ම පැවැත්වෙනවා. ශ්‍රී දළදා මාළිගාවේ පෙරහරත් සමග නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන සතර මහා දේවාළ පෙරහරත් මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දී වීදි සංචාරය කරනවා. මේ නිසා මහනුවර ඇසළ පෙරහර තුළ විවිධත්වයෙන් යුත් විචිත්‍රත්වයක් ගැබ්වී තිබෙනවා. ආගමික මුහුණුවරත් මේ විචිත්‍රත්වයත් දෙක එකට කැටිවීම නිසා පෙරහර මංගල්‍යය බෞද්ධ මෙන්ම අබෞද්ධ ජනතාවගේත් නොමඳ ආකර්ෂනයට ලක්වෙනවා.

ප්‍රශ්නය – මහනුවර ඇසළ පෙරහර අප හඳුන්වන්නේ හෙළයේ මහා කලා මංගල්‍යය ලෙසයි. මෙයට සුවිශේෂි හේතුවක් තිබෙනවාද ?

පිළිතුර - ශ්‍රී දළදා වහන්සේ උදෙසා වාර්ෂිකව මංගල්‍යයන් හතරක් සිදු කරනවා. මේ සතර මංගල්‍යයන් වන්නේ අලුත් සහල් මංගල්‍යය, අලුත් අවුරුදු මංගල්‍යය, ඇසළ පෙරහර මංගල්‍යය හා කාර්තික මංගල්‍යය යන ඒවායි. මේ අතරින් වැඩි පිරිසකගේ අවධානයට පාත්‍ර වන්නේ ඇසළ පෙරහර මංගල්‍යය යි. මේ පෙරහරට කලා ශිල්පීන් දහසක් පමණ සහභාගි වෙනවා. උඩරට නර්තන පරම්පරාවන්ට අයත් අති දක්ෂතම ශිල්පීන් පෙරහර විචිත්‍රවත් කරන්නට සහභාගි වෙනවා. මෙයට අමතරව අලි ඇතුන් සියයක් පමණ පෙරහරේ ගමන් කරනවා. රාත්‍රි 10 ක් අඛන්ඩව පෙරහර වීදි සංචාරය කරනවා. ඉන්පසුව අවසන් දින දිවා කාලයේ පෙරහර පවත්වනවා. මෙවන් වූ සංස්කෘතික මංගල්‍යයක් ලෝකයේ වෙනත් කිසිඳු රටක පවත්වන්නේ නැහැ. ඇත්තෙන්ම මේ පෙරහර මංගල්‍යය රටට ආශිර්වාදයක් වගේම රටට ආඩම්බරයක්. මේ සියලු කාරනා සලකන විට මෙය හෙළයේ මහා කලා මංගල්‍යය ලෙස හැඳින්වීමේ කිසිදු වරදක් නැහැ.

ප්‍රශ්නය - මෙම පෙරහරේ දක්නට ලැබෙන්නේ උඩරට සම්ප්‍රදායට අයත් නර්තන අංග පමණයි. මහනුවර ඇසළ පෙරහර හෙළයේ මහා කලා මංගල්‍යය ලෙස හඳුන්වන එයට පහත රට හා සබරගමු සම්ප්‍රදායන් නියෝජනය කරන ශිල්පීන්ට සම්බන්ධවීමට අවස්ථාවක් නොමැත්තේ ඇයි.

පිළිතුර - ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ කන්ද උඩරට සෙංකඩගල පුරවරයට වැඩම කරවීමෙන් පසු පෙරහර මංගල්‍යයට සම්බන්ධ වී තිබෙන්නේ උඩරට කලා ශිල්පීනුයි. මුල් කාලයේ එලෙස ඇරඹි පෙරහර පසුව සම්ප්‍රදායක් බවට පත්ව මේ වනතුරුත් උඩරටට ආවේණික නර්තන, වාදන හා ගායන ශිල්පීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙනවා.

පෙරහර තුළ වෙස් නැටුමට හිමිවන්නේ සුවිශේෂි ස්ථානයක්. පෙරහර කරඬුව වැඩමවන මංගල හස්ති රාජයාට ඉදිරියෙන් දෙපසත් දියවඩන නිළමේට ඉදිරියෙත් දෙපසත් උඩරට කීර්තිමත් දක්ෂ නර්තන පරම්පරාවන් නියෝජනය කරන ශිල්පීන් වෙස් නැටුම් ඉදිරිපත් කරනවා. මේවා පුරාතනයේ සිට පැවත එන සම්ප්‍රදායන්. ඒවා ආරක්ෂා කර ගනිමින් පෙරහර සාර්ථකව පැවැත්වීම මගේ වගකීමයි. කලකට පෙර ජපන් භික්ෂුවක් බෙරයක් වාදනය කරමින් පෙරහරේ ගමන් ගත්තා. පහත රට හා සබරගමු නර්තන පවා මේ පෙරහරේ නොමැතිකොට විදේශීය රටක බෙර වාදනයක් පෙරහරට අවශ්‍යය නැතැයි කියන ස්ථාවරයේ සිට මා එය ඉවත් කළා.

ප්‍රශ්නය - පෙරහර අලංකාර කරන්න දායකත්වය ලබා දුන් කලා ශිල්පීන්ට රජු එදා ඉඩකඩම් ලබා දුන්නා. මේ නිසාම එම පරම්පරාවන් තම යුතුකමක්, වගකීමක් ඉටු කරනවා යන හැඟීමෙන් පෙරහරට සම්බන්ධ වුණා. එහෙත් අද බොහෝ තරුණ පිරිස් මේ කලා ශිල්ප හැදෑරීමෙන් ඈත් වීමත් ඇතැම් පිරිස් මුදල් ලබා ගැනීමේ අරමුණින් පෙරහරට එක්වීමත් තුළ පෙරහරේ එදා පැවති විචිත්‍රත්වය රැක ගැනීම අභියෝගයක් නේද ?

පිළිතුර – පාරම්පරික උඩරට කලා පවුල් බොහොමයක් දරුවන් අද කලාවෙන් ඈත් වෙලා. මේ උතුම් කලා ශිල්ප පිළිබඳ අද සමාජයේ පවතින අඩු තක්සේරුව තුළ ඔවුන් එය අතහැර වෙනත් පිළිගත් රැකියාවක් වෙත යොමුවීම පුදුමයක් නොවෙයි. පසුගිය වසර පහක කාලය තුළ පෙරහරේ ගුණාත්මක බව වැඩි දියුණු කිරීම සඳහා පියවර රැසක් ගත්තා. පෙරහරට සම්බන්ධ වන කලාකරුවන් දිරිමත් කිරීම සඳහා නිරන්තර ව ඔවුන්ගේ දක්ෂතා අගයමින් මූල්‍ය ප්‍රතිලාභ ලබා දුන්නා. හොඳම වෙස් නැටුම් ශිල්පියා, හොඳම උඩැක්කිකරු, ගැටබෙර වාදකයා, තම්මැට්ටම්කරු, පන්තේරුකරු ආදි ලෙස එක් එක්ශිල්පීය දක්ෂතා මෙන්ම කණ්ඩායම් දක්ෂතා අපි ඇගයීමට ලක් කළා. පෙරහරට සම්බන්ධ කරගන්නා නැටුම් කණ්ඩායම්වල පෙරහුරු කිහිපයක් පවත්වා දුර්වල කණ්ඩායම් අපි හඳුනා ගත්තා. ඔවුනට මාලිගා පරිශ්‍රයේ නවාතැන් දී දින තුනක නේවාසික පුහුණුවක් ලබා දුන්නා. මහනුවර පාසල් වලින් තෝරා ගත් සිසුන්ගේ එකතුවකින් සැදුම් ලත් නර්තන කණ්ඩායම් දෙකක් දළදා මාලිගාවේ නර්තන කණ්ඩායම ලෙස අප පුහුණු කැර පෙරහරට සම්බන්ධ කරනවා. දක්ෂතා ඔප් නංවා ගෙන වෘත්තීය කලා ශිල්පීන් ලෙස සමාජයේ ඉහළට මොවුන් ගෙන ඒම අපේ අරමුණයි. දැනට සිටින ප්‍රවීණ කලා ශිල්පීන්ගෙන් පසුව මේ උතුම් කලා ශිල්ප මතු පරපුරට රැගෙන යෑමට හොඳ තරුණ පිරිසක් බිහිවිය යුතුයි. ඒ සඳහා අවශ්‍යය අඩිතාලම තමයි අපි මේ දමමින් සිටින්නේ. අද පාසල් මට්ටමින් මේ පාරම්පරික කලා ශිල්ප හැදෑරීමට දරුවන් වැඩි උනන්දුවක් දැක්වීම ඇත්තටම සුබ නිමිත්තක් බව කිව යුතුයි.

ප්‍රශ්නය – දළදා පෙරහරට සම්බන්ධ කලාකරුවන් මෙවර ඔවුන්ගේ දක්ෂතා අනුව කිසියම් වර්ග කිරීමක් සිදුකර තිබෙනවා නේද ?

පිළිතුර – කලාකරුවන් ප්‍රවේනි, කුසලතා නිපුණ කලාකරු හා කලා ශිල්පීන් ලෙස මෙවර කලාකරුවන් ශ්‍රේණි තුනකට කාණ්ඩ ගත කළා. ඔවුන්ට සිදුකරන ගෙවීම් ද මේ කාණ්ඩ අනුව වෙනස් වෙනවා. පුහුණුවක් නැතිව මුදල් ලබා ගැනීමේ අරමුණින් පෙරහරට සම්බන්ධ වන පිරිස් බැහැර කිරීම මෙමඟින් අපට පහසුවෙන් කළ හැකියි. මෙවැනි ශ්‍රේණිගත කිරීමක් මගින් මහනුවර ඇසළ පෙරහරේදී පමණක් නොව දිවයිනේ වෙනත් පෙරහර හෝ උත්සවයකට සහභාගි වීමේදී කලාකරුවන්ට කිසියම් පිළිගැනීමක් ඔස්සේ ඊට සහ සම්බන්ධ විය හැකියි.


ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල

ප්‍රශ්නය - පෙරහරට අලි ඇතුන් එක් කරන්නේ සුවිශේෂි අලංකාරත්වයක්. සධාතුක කරඬුව පෙරහරේ වැඩම කරන්නේත් මංගල හස්ති රාජයකු මතයි. එහෙත් අද වනවිට හීලෑ අලි ඇතුන්ගේ විශාල හිඟයක් පවතිනවා. නේද ?

පිළිතුර - මේ වනවිට අපේ හීලෑ අලි සම්පත සියයකට පමණ අඩුවෙලයි තිබෙන්නේ. මේ අලි අතරිනුත් හරි අඩක් පමණම වයස අවුරුදු 50 ඉක්මවලා ජීවිතයේ සැදෑ සමයට ලං වෙලා. පසුගිය වසර දෙකක පමණ කාලය තුළ හීලෑ අලි ඇතුන් 10 ක් පමණ මිය ගියා. දැනට සිටින අලි ඇතුන් අතරින් කිහිප දෙනෙකුම රෝගී තත්ත්වයේ පසුවන්නේ. පෙරහර මංගල්‍යයට අවශ්‍යය අලි ඇතුන් සොයා ගැනීමේදී මේ තත්ත්වය බරපතළ ගැටලුවක් ලෙස ඉස්මතු වෙනවා. රජය යම්තාක් දුරට පෞද්ගලික අංශයට හා විහාරස්ථානවලට අලි ඇතුන් කිහිප දෙනෙකු මේ වන විට ලබා දෙමින් සිටිනවා. මේ පසුබිම තුළ මෙරට හීලෑ අලි සම්පතට තවත් අලි ඇතුන් 20 ක් පමණ අලුතින් එකතුවෙයි කියලා අපි විශ්වාස කරනවා. නමුත් පෙරහර කරඬුව වැඩමවිය හැකි පරිනත දළ ඇතුන්ගේ හිඟය අද වනවිට බරපතළ තත්ත්වයකට පත්ව තිබෙනවා. මේ වනවිට ලංකාවටම ඉන්නේ එවැනි පරිනත දළ ඇතුන් හතර දෙනෙකු පමණයි. පසුගිය වසර වනවිට එවැනි ඇත්තු හතක් හිටියා. නවම් රාජා මිය ගියා. මිල්ලන්ගොඩ ඇතා ද මිය ගියා. බෝතලේ වලව්වේ ඇතා මේ වනවිට පෙරහරෙ ගමන් කරන්න බැරි තත්ත්වයට දුර්වල වෙලා. දළදා මාලිගාවේ ඉන්දිරාජා, රුහුණු හා කතරගම දේවාලයේ වාසනා ඇතා, නැඳුන්ගමුවේ රාජා හා වෑවලදෙණියේ රාජා දැනට කරඬු වැඩමවන්න හැකි තත්ත්වයේ සිටින ඇත්තු හතර දෙනයි. වෑවලදෙණියේ රාජාත් යම් අසනීප තත්ත්වයකින් මේ වනවිට පෙලෙනවා. දළදා වහන්සේගේ පිහිටෙන් ශ්‍රී දළදා මාලිගා පෙරහරේ කරඬුව වඩමවන්න තාමත් ගැටලුවක් ඇතිවී නැහැ. නමුත් සිව් මහා දේවාල වලට දළ ඇතුන් සොයා ගැනීම බරපතළ ප්‍රශ්නයක් වී තිබෙනවා. මෙවර මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයට සමගාමීව දෙවුන්දර දේවාළ පෙරහර පැවැත්වෙනවා. ඒ පෙරහරට අලි සොයා ගැනීම ඇත්තටම ප්‍රශ්නයක්. අපි පුළුවන් ඉක්මනට හොඳ පරිනත දළ ඇතුන් කිහිප දෙනෙකු ඉන්දියාවෙන් ගෙන ඒම තමයි පවතින ප්‍රශ්නයට දිය හැකි හොඳම හා එකම විසඳුම. තායිලන්තයේ හා මියන්මාරයේ දළ ඇතුන් ශාරීරික වශයෙන් තරමක් උසින් අඩුයි. මේ නිසා එවැනි ඇතෙකුට දළදා පෙරහරේ කරඬුව වැඩම විය නොහැකියි. ලංකාවේ අපේ හස්තීන් හා සමාන උසින් යුත් දළ ඇතුන් සිටින්නේ ඉන්දියාවෙයි. අපේ නැඳුන්ගමුවේ රාජා ඇතත් ඉන්දියානු හස්තියෙක්.

ප්‍රශ්නය - පෙරහර පැවැත්වීම සඳහා අති විශාල මුදලක් වැයවෙනවා. මුල්‍ය ගැටලු හේතුවෙන් මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ සතර මහා දේවාල පෙරහර අලංකාරත්වයෙන් තරමක පසුබෑමකට ලක්වන ස්වභාවයක් දක්නට ලැබෙනවා නේද ?

පිළිතුර – දළදා මාලිගාවේ පෙරහරට පමණක් රුපියල් ලක්ෂ 400 ක් පමණ වැයවෙනවා. පන්දම් එළි සඳහා භාවිත කරන කොප්පරා ටොන් 30 සඳහා පමණක් ලක්ෂ 50 ක් පමණ වැයවෙනවා. පෙරහර දින 10 තුළ එක් අලියෙකු වෙනුවෙන් පමණක් ලක්ෂ 1 1/2ක් පමණ වැයවෙනවා. සෙසු වියදම් සියල්ල සැලකීමේදී දේවාලයකට අතිවිශාල මුදලක් දරන්න අමාරුයි. මහනුවර ඇසළ පෙරහර භාරය මගින් ශ්‍රී දළදා මාලිගාවට හා සිව් මහා දේවාලවලට මෙමඟින් යම් මූල්‍ය දායකත්වයක් ලබා දෙනවා. පෙරහරේ භාරයේ සභාපති ලෙස පත්වන්නේ දියවඩන නිලමෙවරයා යි. මේ මුදල් අපි සතයක් වත් දළදා මාලිගා පෙරහරට ගන්නේ නැහැ. ඒවා උපරිමයෙන් දේවාළ හතරට පෙරහර සාර්ථකව පැවැත්වීම සඳහා බෙදා දෙනවා. අපි දළදා මාලිගා පෙරහරේ අලංකාරත්වය නංවන්න නංවන්න සතර මහා දේවාල නිළමේතුමන්ලාට නොයෙකුත් අපහසුතා මතුවෙනවා. අඩුම තරමින් දේවාළ පෙරහරක අලි ඇතුන් 08 ක් වත් ඉන්න ඕන, පවතින ගැටලු සාකච්ඡා කැර පෙරහර මංගල්‍යය වඩා විචිත්‍රත්ව පවත්වන්න අපි ක්‍රියාකර තිබෙනවා. ශ්‍රී දළදා මාලිගාවේ පෙරහර වගේම දේවාල පෙරහරත් වඩා අලංකාරත්වයෙන් පැවැත්විය යුතුයි.

ප්‍රශ්නය – අලි ඇතුන් පෙරහරට සම්බන්ධ කර ගැනීම පිළිබඳව සත්ව අවිහිංසාවාදි සංවිධාන නොයෙක් චෝදනා එල්ල කරනවා නේද?

පිළිතුර - සත්ව වේදීන් හෝ පරිසරවේදීන් යැයි කියා ගන්නා ඇතැම් පිරිස් මෙවැනි චෝදනා එල්ල කිරීම අපි පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා. සපා කන බල්ලෙක් පාරේ ගෙනියන කොට කට කලියාවක් දානවා. නැත්නම් ගෙළට දම්වැලක් දානවා. විදේශිය රටවල තුරඟ තරඟ වලට සහභාගි කරවන අශ්වයින්ට ලාඩම් ගහන්න ඕන, නාස් ලණු දාන්න ඕන. සත්තු පාලනය කරන්න විධාන දෙන්න මේ ආකාරයට ක්‍රියා කළ යුතුයි. ඇතැම් රටවල ගව පොර තරඟ වලදී සතුන්ට කරන වධ හිංසා මේ අවිහිංසාවාදි කියන සංවිධාන වලට පේන්නේ නැහැ. පෙරහරේ ගමන් කරන අලි ඇතුන්ට දම්වැල, මාංචුව දාන්නේ ඌව පාලනය කර ගැනීම පහසු වීමටයි. කලබල වෙලා අලියා දිව්වොත් ඒ වේගය අඩාල කරන්න තමයි මාංචුව දාලා තිබෙන්නේ. මේවා අතීත රජ දවසේ සිට පැවත ආ ඒවා. දුටුගැමුණු එළාර යුද්ධය පැවතුණේ ඇතුන් මත නැඟලයි. එකල රජවරුන්ට කුරුවේ නමින් අලි ඇතුන් සම්බන්ධ කාර්යාංශයක් පැවතුණා. මේවාට විරුද්ධව ඇතමුන් කෑ ගහන්නේ ප්‍රසිද්ධිය හා මුදල් ඉපයීම සඳහා විස සත්තුන්ට තියෙන ආදරය නිසා නොවෙයි.

ප්‍රශ්නය - පෙරහර සාර්ථක කර ගැනීම සඳහා ලැබෙන රාජ්‍ය අනුග්‍රහය කෙබඳු ද ?

පිළිතුර - පෙරහරට රාජ්‍ය අනුග්‍රහය උපරිම අයුරින් හිමිවෙනවා. ජනපති තුමන්ගේ සිට දේශපාලන අධිකාරියත්, පරිපාලන අධිකාරියත් මෙයට අවශ්‍ය සහයෝගය ලබා දෙනවා. ආරක්ෂාව තහවුරු කිරීමට පොලිසිය හා ත්‍රිවිධ හමුදාව ක්‍රියා කරනවා. එයට අමතරව ප්‍රවාහනය, සෞඛ්‍ය, පහසුකම් රජයෙන් ලබා දෙනවා. මෙයට අමතරව ස්වේච්ඡා සංවිධාන හා බෞද්ධ සංගම් මගිනුත් විශාල සහයෝගයක් ලැබෙනවා.

ප්‍රශ්නය – දියවඩන නිලමේතුමන් ප්‍රමුඛ සතර මහා දේවාළ බස්නායක නිළමේවරුන් පෙරහරින් මහනුවර ජනපති මන්දිරයට ගොස් ජනපතිතුමන්ට සංදේශයක් බාරදිමෙන් පසු නේද පෙරහර නිමාවට පත්වෙන්නේ?

පිළිතුර - පෙරහර පෞරාණික චාරිත්‍ර ගරුකරමින් සාර්ථකව අවසන් කළ බව සඳහන් සංදේශය ජනපතිතුමන්ට බාර දීම දවල් පෙරහර අවසානයේ සිදු කෙරෙනවා. ඇසළ පෙරහර මංගල්‍යය සාර්ථක කර ගැනීමට දායකත්වය ලබාදුන් කලාකරුවන් අගයා ඔවුනට ජනපති සම්මාන ලබාදීමත් මෙහිදී සිදුකෙරෙනවා.

නිකිණි පුර පසළොස්වක පෝය

නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු 12 වන දා සිකුරාදා අපර භාග 11.49 ට ලබයි.
14 වන දා ඉරිදා පූර්ව භාග 00.31 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම
අගෝස්තු 13 වන දා
සෙනසුරාදාය.

මීළඟ පෝය
අගෝස්තු 21 වන දා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 13

Second Quarterඅව අටවක

අගෝස්තු 21

New Moonඅමාවක

අගෝස්තු 28

First Quarterපුර අටවක

සැප්: 04


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]