අතහැරීම
සැපතකි
රත්මලාන, අත්තිඩිය පාර ශ්‍රී රත්නාරාමාධිපති,
බස්නාහිර පළාත සහිත කොළඹ
නව තොටමුණේ,
ප්‍රධාන අධිකරණ සංඝනායක, කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සහකාර
විදුහල්පති, සද්ධර්ම කීර්ති ශ්‍රී ධම්මසිද්ධි, අධ්‍යාපනපති,
ශාස්ත්‍රපති සූරියගොඩ සිරිධම්ම නා හිමි
අතහැරීම සැපතෙකි, රැස් කිරීම දුකෙකි, රැස් කිරීමට හේතු ප්‍රත්‍ය වන්නේ
තණ්හාවයි. තණ්හාව නිසා සෝකය උපදින බව දුකට මුල් වන බව ‘තණ්හාය ජායතී
සෝකෝ - නන්දි දුක්ඛස්ස මූලං’ යන්නෙන් පෙන්වා දී ඇත.
තණ්හාව දුරු කිරීම නිවනයි. “තණ්හක්ඛයෝ නිරෝධො නිබ්බානං” යන්නෙන් ඒ බව
දේශනා කොට ඇත.
නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
“අට්ඨකො ඉමේ ගහපති ධම්මා අරියස්ස විනයේ වෝහාර සමුච්ඡේදාය සංවත්තති,
කතමේ අට්ඨ?
“අපාණාතිපාතං නිස්සාය පාණාතිපාතො පහාතබ්බෝ, දින්නාදානං නිස්සාය
අදින්නාදානං පහාතබ්බං සච්චං වාචං නිස්සාය මුසාවාදෝ පහාතබ්බෝ, අපිසිණුං
වාචං නිස්සාය පිසුණා වාචා පහාතබ්බා. අගිද්ධිලොභං නිස්සාය ගිද්ධිලොහෝ
පහාතබ්බො, අනින්දාරෝසං නිස්සාය නින්දාරෝසෝ පහාතබ්බෝ, අකොධුපායාසං
නිස්සාය කොධුපායාසෝ පහාතබ්බො, අනිතිමානං නිස්සාය අතිමානො පහාතබ්බො, ඉමේ
බෝ ගහපති අට්ඨධම්මා සංඛිත්තෙන වුත්තා විත්ථාරේන අවිත්තා අරියස්ස විනයේ
වෝහාරසමුච්ඡේදාය සංවත්තන්ති.”
ගෘහපතිය ආර්ය විනයෙහි ව්‍යවහාර වන සමුච්ඡේදය කරුණු අටකින් යුක්ත වෙයි.
ඒ අට කවරේද? පරපණ නො නැසීමට ප්‍රාණඝාතය දුරු කළ යුතු ය. හොරකම්
නොකිරීමට හොරකම් කිරීම දුරුකළ යුතු ය. සත්‍යය කතා කිරීමට බොරුව දුරුකළ
යුතු ය. කේලාම් නොකීමට කේලාම් දුරු කළ යුතු ය. දැඩි ලෝභය දුරු කිරීමට ද
දැඩි ලෝභය අත්හළ යුතු ය. නින්දා නොකිරීම පිණිස නින්දාව දුරු කළ යුතු ය.
දැඩි ක්‍රෝධය නැතිවීම පිණිස දැඩි ක්‍රෝධය දුරුකළ යුතු ය. අනතිමානය
පිණිස අතිමානය දුරුකළ යුතු ය. ගෘහපතිය මේ ධර්ම අට සංක්‍ෂේපයෙන් කියන ලද
ආර්ය විනයෙහි ව්‍යවහාර දුරු කිරීම පිණිස පවතින්නේ ය.
භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අඬිගුත්තරාප ජනපදයෙහි ආපණ නම් නියම්ගමෙහි
වැඩ වෙසෙන සමයෙහි දිනක් ආපණ ගමට පිඬු සිඟා හැසිර දන් වැළඳීමෙන් පසු
විවේකය පිණිස ඒ අසල වන ලැහැබකට වැඩම කළහ. පෝතලිය ගෘහපතිතුමා ද එම වන
ලැහැබට පැමිණියේ බුදුරදුන් දැක එතනට ගොස් පිළිසඳර කථා කොට එකත් පස
සිටියේ ය. බුදුරජාණන් වහන්සේ ඔහුට “ගෘහපතිය මෙහි හිඳ ගැනීමට ආසන තිබේ
කැමතිනම් වාඩි වෙන්නැයි කීහ. පෝතලී තෙම බුදුරදුන් තමාට ගෘහපතිය යැයි
ආමන්ත්‍රණය කිරීම ගැන කෝපයට පත් වී නිහඬව සිටියේ ය. බුදුරජාණන් වහන්සේ
දෙවනුවත් තෙවනුවත් එසේ ම පැවසූහ.
පෝතලිය තෙමේ තවත් කෝපාවිෂ්ඨව “භාග්‍යවත් ගෞතමයෙනි, මට ගෘහපතිය යැයි
ඇමතීම නුසුදුසු බව ප්‍රකාශ කළේ ය. ගෘහපතිය, ඔබගේ හැඩරුව හා ස්වභාවය
ගෘහපතියෙකුගේ වැනිය. එහෙයින් ගෘහපති නාමයෙන් ඇමතීමි.” යි බුදුරජාණන්
වහන්සේ ප්‍රකාශ කළහ. “භවත් ගෞතමයෙනි මම ගෘහපතීන්ට අයත් සෑම
කර්මාන්තයක්ම සෑම ව්‍යවහාරයක් ම සෑම ඇවතුම් පැවතුම් ම හැර දැමීමි.”
යැයි පෝතලී පැවසී ය. ඒ සියල්ල ඔබ අත්හලේ කෙසේදැයි විමසූ විට ඔහු මෙසේ
කීය.
“භවත් ගෞතමයෙනි, රන්, රිදී, මුතු, මැණික්, කෙත්වතු ගව මහීෂාදී මා සතු
සියලු වස්තුව පුත්‍රයන්ට පවරා දුනිමි. ඒවා පිළිබඳ කිසිත් නොවිමසමි.
ඔවුන් දෙන දෙයකින් යැපෙමි. එබැවින් මම සියලු ගෘහපති කාර්ය හැර
දැමුවෙමි. මුළුමනින්ම නැසීමි. එවිට බුදුරජාණන් වහන්සේ දේශනා කරන සේක්.
ගෘහපතිය, ආර්ය විනයෙහි කර්මාන්ත අතහැරීම එසේ සිදු නොවේයැයි ප්‍රකාශ
කළහ. පෝතලී ඒ පිළිබඳව දැනගැනීමට කැමැත්තෙන් ආර්ය විනයෙහි සමුච්ඡේදය
කරන්නේ කෙසේදැයි විමසීය. එවිට භාග්‍යවතුන් වහන්සේ ආර්ය විනයෙහි
ව්‍යවහාර සමුච්ඡේදය කරුණු අටකින් යුක්ත වේ යැයි, මාතෘකාවෙහි සඳහන් කළ
විස්තරය දේශනා කළ සේක. කෙටියෙන් ප්‍රකාශ කළ ඒ කරුණු විස්තර කරන ලෙස
පෝතලිය ඉල්ලුයෙන් මෙසේ සවිස්තරව දේශනා කරන ලදී.
පරපණ නැසීමෙන් වැළකෙන ආර්ය ශ්‍රාවකයා මෙසේ සිතයි. පරපණ නැසීමෙන් මගේ
සිත මටම නින්දා කරයි. නුවණැත්තෝ නිගා කෙරෙති. මරණින් පසු දුගතිගාමී
වෙයි. පරපණ නසන්නාට විඳින්න වන දුක් දොම්නස් එයින් මිදෙන්නාට විඳින්නට
නොසිදුවේ. පරපණ නැසීම නො කටයුත්තක් නිසා නො කටයුතු යයි ප්‍රකාශ කොට ඇත.
මෙසේ නුදුන් දෙය ගැනීම, බොරුව, පිසුණ බස් පිළිබඳව ද දත යුතු ය. ඒවා
නොකළ යුත්තේ නොකළ යුතු දේවල් නිසාය. ආර්ය විනයෙහි ව්‍යවහාර සමුච්ඡේදය
නම් එයයි. එපමණින්ම සියල්ලෙන් සහමුලින් සමුච්ඡේදය වූයේ නොවේ.
පෝතලී සහමුලින් සමුච්ඡේදය වන ආකාරය ගැනද විමසූයෙන් මෙසේ වදාළ සේක.
සාගින්නෙන් පෙළෙන සුනඛයෙක් ගවයන් මරණ තැනකට ගිය විට ගෝඝාතකයෙක් මස්
නැති ලේ තැවරුණු ඇට කැබැල්ලක් සුනඛයාට දමයි. එය කෙතෙක් ලෙවකෑවත්
සුනඛයාගේ කුසගිනි නො නිමෙයි. බල්ලා වෙහෙසට පත්වෙයි. එමෙන් ආර්ය
ශ්‍රාවකයා කාමයන් මස් නැති ලේ තැවැරුණු ඇටකැබෙල්ලක් යයි සිතයි. එය
ලෙවකෑම වෙහෙස පිණිස මිස සංසිඳීම පිණිස නොවේ යයි නුවණින් සිතයි. එසේ
සිතා පඤ්චකාම ගුණයෙන් සර්වාකාරයෙන්ම නිරුද්ධ කරන චතුර්ථ ධ්‍යාන භාවනාවම
වඩයි.
ගිජු ළිහිණියකු හෝ උකුස්සකු මස් වැදැල්ලක් ඩැහැගෙන අහසෙහි පියාඹන විට
අනෙක් ළිහිණියෝ ඌ පසුපස හඹා එති. එවිට ළිහිණියා මස් වැදැල්ල බිම
නොදමන්නේ නම් හඹාඑන ළිහිණියන්ගෙන් ඌට මරණය හෝ මරණය සමාන දුකට පත්වීමට
සිදුවෙයි. එහෙයින් ආර්ය ශ්‍රාවකයා කාමයන් මස් වැදැල්ලක් වැනි යයි
නුවණින් දැන එය හැරදමා චතුර්ථ ධ්‍යාන භාවනාවම වඩයි.
මිනිසෙක් ගිනිගත් තණහුලක් ගෙන උඩුසුළඟට ගමන් කරන විට ඔහුගේ අත බාහුව හෝ
වෙනත් අඟ පසඟ දැවෙයි. එමෙන් ආර්ය ශ්‍රාවකයා කාමයන් උඩු සුළඟෙහි ගෙනයන
ඇවිලගත් තණහුලක් බඳු යයි නුවණින් දැන අත්හැර දමයි.
මිනිසකුට වඩා ගැඹුරු ගිනි වළක් වෙයි. ජීවිතාශාව ඇති නො මැරෙනු කැමති
මිනිසෙක් එතැනට එයි. එතැන සිටි ශක්තිමත් පුරුෂයෝ දෙදෙනෙක් ඔහු වළ තුළට
අදිති. එවිට මිනිසා වළ තුළට නොවැටී සිටීමට සෑම උත්සාහයක්ම ගනියි. එමෙන්
ආර්ය ශ්‍රාවකයා කාමය ගිනි අගුරු වළක් මෙන් සිතා එයට නොවැටීමට චතුර්ථ
ධ්‍යාන භාවනාවම වඩයි.
මිනිසෙක් ඉතා සිත්කළු රමණීය උයනක් සිහිනෙන් දකියි. එහෙත් නින්දෙන්
පිබිදුණ විට එය නො දකියි. ආර්ය ශ්‍රාවකයා කාමයන් සුන්දර සිහිනයක් වැනි
යයි සිතා එය හැරපියා චතුර්ථ ධ්‍යාන භාවනාවම වඩයි.
මිනිසෙක් ණයට ඉල්ලාගත් මිණි කොඬොලක් පැළඳ රෙදි පිළි හැඳගෙන ණයට
ඉල්ලාගත් වාහනයකින් තම පිරිවරත් සමඟ කඩපිළකට යයි. ඒ දකින මිනිස්සු මොහු
ධනවත් වැදගත් පුද්ගලයෙක් යයි සිතති. එහෙත් ණය හිමියෝ එතැන දී
හමුවුවහොත් ඔවුහු ඒවා ආපසු ඉල්ලා ගනිති. ණයකරුවා දුකට පත්වන්නේ ඒවා
තමන් සතු දේ නොවන නිසාය. ආර්ය ශ්‍රාවකයා කාමයන් ණයට ගත් පිරුවට වැනි
යයි සිතා කාමයෙන් වැළකී චතුර්ථ ධාන්‍ය භාවනාවම වඩයි.
මිහිරි ඵල ඇති ගසකට නැගගත් මිනිසෙක් ඵල අනුභව කරමින් සිටින විට දැව
සොයා පොරවක් ගෙන ආ මිනිසෙක් එම ගස කපා බිම හෙළයි. එවිට ගස උඩ සිට ඵල
බුදින්නා ගසින් නොබැස්සහොත් බිම වැටී අත් පා කැඩී දුකට පත් වෙයි.
නැතහොත් මරණයට පත් වෙයි.
මෙසේ කාම භෝගයෙහි විපාක නුවණින් මෙනෙහි කර කාමයෙන් දුරුව චතුර්ථ
ධ්‍යානයම වඩයි. හෙතෙම එයින් උපේක්‍ෂා සති පාරිශුද්ධත්වයට පත්වෙයි.
එමඟින් පූර්වේනිවාසානුස්මෘතිය සිහි කිරීමේ නුවණ ලබයි. සත්වයින්ගේ චුති
උප්පත්ති දකින නුවණ ලබයි. ආශ්‍රව ධර්ම ක්ෂය කිරීමෙන් අනාශ්‍රව ප්‍රඥා
විමුක්තිය උපදවා ප්‍රත්‍යක්‍ෂයෙන් දැන වාසය කරයි. ආර්ය විනයෙහි
ව්‍යවහාර සමුච්ඡේදය මෙයයි. මෙම සමුච්ඡේදය හෙවත් සියල්ල අතහැරීම ඔබ තුළ
තිබේදැයි පෝතලී බ්‍රාහ්මණයාගෙන් ඇසීය.
“ස්වාමීනි ආර්ය විනයෙහි සඳහන් සමුච්ඡේදය මා තුළ නැත. පෙර අපි නොදන්නා
අන්‍ය තීර්ථකයන් දන්නවුන් ලෙස සලකා ඔවුන් පසුපස්සේ යෙමින් ඔවුන්ට දන්
පහන් පිළිගැන්වූයෙමි. සංග්‍රහ කළෙමු. ආර්ය සමුච්ඡේදය දන්නා භික්‍ෂූන්
නොදන්නවුන් ලෙස සැලකුවෙමි. ඔබ වහන්සේ දෙසූ මේ ධර්ම දේශනාවෙන් භික්‍ෂූන්
කෙරෙහි ශ්‍රද්ධාව ඇතිවිය. ඉතා යහපති. ඉතා යහපති, ස්වාමීනි මෙතැන් පටන්
දිවි හිමියෙන් බුද්ධ ධම්ම සංඝ යන රත්නත්‍රය සරණ යමි. මා උපාසකයෙකු ලෙස
සළකනු මැනවි යැයි පෝතලී දිවිහිමියෙන් බෞද්ධයෙකු බවට පත් විය.
මෙම සූත්‍ර ධර්මයෙන් බුදු දහමෙහි ඉගැන්වෙන සම්පූර්ණ අතහැරීම පිළිබඳව
කියවෙයි. අතහැරීම සැපතෙකි, රැස් කිරීම දුකෙකි, රැස් කිරීමට හේතු
ප්‍රත්‍ය වන්නේ තණ්හාවයි. තණ්හාව නිසා සෝකය උපදින බව දුකට මුල් වන බව
‘තණ්හාය ජායතී සෝකෝ - නන්දි දුක්ඛස්ස මූලං’ යන්නෙන් පෙන්වා දී ඇත.
තණ්හාව දුරු කිරීම නිවනයි. “තණ්හක්ඛයෝ නිරෝධො නිබ්බානං” යන්නෙන් ඒ බව
දේශනා කොට ඇත. එහෙයින් සම්පූර්ණයෙන් අතහැරීම යනු නිවන සාක්ෂාත්
කිරීමයි. |