දෙව්ලොව හරහා නිර්වාණාවබෝධය ලැබිය හැකි ද?
සෙනෙවිරත්න මහලේකම
කිරිබත්ගොඩ
ඤාණානන්ද හිමිපාණන් ගේ අනුමැතිය ඇතිව
නයනා නිල්මිණි නමැති ලේඛිකාව
විසින් 2010 ඔක්තෝම්බර් මාසයේ 30 වන සෙනසුරාදා බුදුසරණ පත්‍රයෙහි පළ
කරන ලද ලිපියකට පිළිතුරු වශයෙන් ‘බෞද්ධ ශ්‍රාවකයාට හිමිවන්නේ දෙව්ලොව
ද’ යනුවෙන් මා විසින් ඉදිරිපත් කරන ලද ලිපියක් 2011 ජනවාරි 26 දින
බුදුසරණ පුවත්පතෙහි 08 වන පිටුවෙහි පළ විය. මේ දිනයේදී ම
බුදුසරණ
පුවත්පතෙහි 06 වන පිටුවෙහි ‘’දෙව්සැප ලැබූ ඡත්ත මානවක දිව්‍ය
පුත්‍රයා’’ යන මැයෙන් කිරිබත්ගොඩ ඤාණානන්ද හිමිපාණන් විසින් ලියන ලද
ලිපියක් ද පළ විය. එම ලිපිය මගේ ලිපියට පිළිතුරක් විය හැකියැයි මට
සිතුණේ එයද දෙව්සැප පිළිබඳ ලිපියක් බැවිනි.
මේ ලිපියෙහි මූලාශ්‍රය සෙවීමට උත්සාහ කළ මම ඛුද්දක නිකායේ ඡත්ත මානවක
විමාන වත්ථු පීර්මත්‍ථ දීපනී නම් වූ විමාන වත්ථු අට්ඨ කථාවේ මහාරථ
වර්ගයේ (5 - 3) ඡත්ත මානවක විමනා වර්ණනාවත් කියැවීමි. මගේ ඒ කියැවීමට
අනුබල දුන් ඤාණානන්ද හිමිපාණන් වහන්සේට මගේ කෘතඥතාව පළ කරමි.
මෙම කථාවෙන් පළ වන්නේ බුදුන්වහන්සේගේ උපදෙස් අනුව බුද්ධ, ධම්ම, සංඝ යන
ත්‍රිවිධ රත්නයේ නිවැරැදි අවබෝධය ලබාගෙන පස්පවින් වැළැකී පන්සිල් රක්නා
ඡත්ත මානවක නමැත්තෙකුගේ ජීවිතයේ අවසාන කාලය පිළිබඳවය. මේ මානවකයා ගුරු
පඬුරක් සඳහා කහවනු දෙදහසක් රැගෙන යද්දී වනයේ සැඟ වී සිටි එක් සොරෙක්
ඔහු මරා දමා කහවනු පැහැරගෙන ගියේ ය. තිසරණ සරණ සිහි කරමින් ගිය ඡත්ත
මානවක කලුරිය කොට ‘තව්තිසා භවනයේ රන් විමනෙක නිදා පිබිදියාක් මෙන්
දිව්‍යප්සරාවන් දහසක් පිරිවරාගෙන ගැල් සැටක් බර ආභරණයන්ගෙන් සැරසුණු
සිරුරක් ඇතිව‘’ උත්පත්තිය ලැබුවේ ය. ඔහුගේ විමානයේ ආලෝකය යොදුන්
විස්සකට වැඩි දුරක් පැතිරුණු බවද කියැවේ.
අනතුරුව ඔහුගේ මවුපියෝත්, ගුරුවරුත්, හිත මිතුරෝත් එකතුව මාර්ගයෙහි
නුදුරෙහි චිතකයක් සාදා මෘත ශරීරයට අවසන් ගෞරව පුද කිරීමට පටන් ගත්හ. මේ
වේලාවේ දී භාග්‍යවතුන් වහන්සේත් ඒ ස්ථානයට වැඩියහ. ඒ අවස්ථාවේදී ඡත්ත
මානවක දිව්‍ය පුත්‍රයාත් භාග්‍යවතුන් වහන්සේට ගෞරව දක්වමින්, මුළු
පරිසරයම ඒකාලෝක කරමින්, දහසක් පිරිවර සුරඟනන් හා අනෙකුත් දෙවිවරුන් ද
කැටුව බුදුන් වහන්සේට වන්දනා කිරීමට එතැනට පැමිණියේ ය. අවට සිටියෝ
‘’මොහු දෙවියෙක් ද? බ්‍රහ්මයෙක්ද?’ කියමින් කලබල වූහ. විමානවලින්
විහිදෙන ආලෝකය, විචිත්‍ර සුදු නෙළුම් හා රතු නෙළුම් ආදිය නොයෙක් වර්ගයේ
මල් හා විසිතුරු කැටයම්, පිරිසුදු රත්තරන් නිසා සාදන ලද දැල්, රතුපාට,
කහපාට ආදි දිව්‍ය සළුවලින් ඔවුන් සැරසිලා සිටින හැටි, රන්වන් පාටින්
බබළන දිව්‍යප්සරාවන් පිරුණ විමාන, දෙවඟනන් හා දෙවියන් දිව්‍යාභරණ වලින්
සැරසිලා සිටින අන්දම දෙවියන් හා දෙවඟනන්ගේ ලස්සනට සරසලා තිබෙන කේශ
කලාප, මද සුළඟට සෙලවෙන රන්වන් මල් ආදී විචිත්‍ර ජවනිකා මෙහිදී පෙනෙන්නට
විය.
මේ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ ‘’මේ දිව්‍ය විමාන අහසේ බබළන හැටි
ප්‍රභාස්වරයි. දේවේන්ද්‍රය, මේ පෙනෙන විපාක ලැබුණේ මොනවගේ සංවරකමකින්
ද? මෙහි ඔබ උපන්නේ මොන වගේ පුණ්‍ය විපාකයකින් ද? ආදී වශයෙන් විචාරණු
ලැබූහ. එවිට ඡත්ත මානවක දිව්‍ය පුත්‍රයා මෙසේ පිළිතුරු දුන්නේ ය.
‘’ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ විසින් වදාරන ලද බුද්ධ, ධම්ම, සංඝ යන
තෙරුවන් මම සරණ ගියෙමි. මම පස් පවින් වැළකුණෙමි. පන්සිල් රැක්කෙමි. මම
තථාගත ධර්මය පිළිපැද්දෙමි. අතරමඟදී හොරුන්ට මාව මැදිවුණා. ඔවුන් වස්තුව
ගන්නට සිතාගෙන මාව මැරුවා. පිනක් ලෙස මට මෙච්චරයි සිහි කරන්නට තිබුණේ.
ඒ සුචරිත ධර්මයේ සැප විඳින්නට මම තව්තිසා දෙව්ලොව ඉපදුණෙමි.’’ මේ තමා
ඡත්ත මානවක දිව්‍ය පුත්‍රයාගේ පිළිතුර.
දෙවියෝ දිව්‍යාත්ම භාවයෙන් මිනිස් ලොවට පැමිණෙනවාද?
විමාන වත්ථු ප්‍රකරණයේත්, විමානවත්ථු අට්ඨ කතාවේත් දැක්වෙන පරිදි
දෙවියෝ දිව්‍යාත්ම භාවයෙන් (මිනිස් ස්වරූපයෙන්) මිනිස් ලොවට පැමිණෙති.
බුදුසරණ පුවත්පතේ අදාල ලිපියේ
(2011 ජනවාරි 26 දින බුදුසරණ 6 වන
පිටුවේ) ඡත්ත මානවක දිව්‍ය පුත්‍රයා තරුණ කඩවසම් මිනිසකු වශයෙන්ද,
දෙවඟනන් රූමත් තරුණ මිනිස් කාන්තාවන් වශයෙන් ද මිනිස් ලොවට පැමිණ ඇත.
එහෙත් අපේ බුදුහාමුදුරුවෝ දෙවියන් මිනිස් තරුණ තරුණියන් ලෙසට මෙහි ආ
බවක් දක්වා නොමැත. බුදුන්වහන්සේ මානව ලෝකයේ කිසිම සත්ත්වයකු දෙවියන්ට
උපමා කොට නැත. උන්වහන්සේ දෙවියන් මිනිස් ලොවට ආ අවස්ථාවක් මෙසේ දක්වා
ඇත.
‘’පරිනිර්වාණ ආසනයේ බුදුන්වහන්සේ වැඩ සිටිනා අවස්ථාවක දී උපවාන
තෙරුන්වහන්සේ භාග්‍යවතුන් වහන්සේට පවන් සලමින් ඉදිරියෙන් සිටි සේක.
බුදුහු උපවාන තෙරුන් දෙස බලා ‘මහණ තොප මා ඉදිරියේ නොසිට ඉවතට යව‘ යි
වදාළහ. ‘’බොහෝ කලක් බුදුරදුන්ට උපස්ථාන කළ, උන්වහන්සේ ළඟින් හැසුරුණු
උපවාන තෙරුන්, තමන්ගේ අවසාන කාලයේදී තමන් ළඟින් ඉවත් කෙළේ මන්දැයි
ආනන්ද හිමියන්ට කුකුසක් ඇතිවිය. ඉක්බිති අනඳ හිමියෝ බුදුරදුන් වෙත සිට
‘ස්වාමිනී මේ උපවාන ස්ථවිරයෝ බොහෝ කලක් ඔබ වහන්සේට උපස්ථාන කළහ. ඔබ
වහන්සේ ළඟින් අසුරු කළහ. එසේ ද වුවත් දැන් ‘මහණ ඉවත් වෙව‘ යි උපවාන
ස්ථවිරයන් ඔබ වහන්සේ ළඟින් ඉවත් කළහ. එසේ කිරීමට ස්වාමිනි හේතු
කවරේද?’’ යි විමසූහ.
එවිට බුදුහු මෙසේ පිළිතුරු දුන්හ. ‘ආනන්දය, දස දහසක් සක්වල දෙවියෝ
තථාගතයන් දැකීමට දැන් මෙහි ඇවිත් සිටිනවා. කුසිනාරා නුවරත් මේ සල්
උයනත් අතර දොළොස් යොදුනක ප්‍රමාණයේ දෙවියෝ අතුරු සිදුරු නැතිව පිරී
සිටිනවා. ආනන්දය, ඒ දෙවියෝ මෙතැන සිට දෝෂාරෝපණයකුත් කරනවා. අපි
තථාගතයන් දකින්නට අවේ බොහෝම දීර්ඝ කාලයකින්. අද රාත්‍රියේ අන්තිම යාමයේ
උන්වහන්සේ පිරිනිවන් පානව. එහෙම තියෙද්දී මේ භික්ෂු නමක් තථාගතයන්
වසාගෙන මෙතැන සිටිනවා. මේ අන්තිම අවස්ථාවේවත් අපට බුදුන් දකින්නට ඉඩක්
නැතැයි දෙවියන් දොස් පවරනවා. ආනන්දය, මා උපවාන තෙරුන් මෙතැනින් ඉවතට
යැව්වේ බාධකයන් නැතිව දෙවියන්ට මා දැක ගැනීමට ඉඩ සැලසීමටයි. (මහා
පරිනිබ්බාණ සූත්‍රය - බුදුන් දැකීම 303 - 304 පිටු)
මේ කියමනෙන් අපට සිතාගත හැක්කේ අතුරු සිදුරු නොමැතිව රැස්ව සිටි විශාල
දිව්‍ය සමූහයාට බුදුන්වහන්සේ දැකීමට බාධාවක් පහළ වී තිබුණ බවය. බාධාව
නම් උපවාන තෙරුන්වහන්සේත් උන්වහන්සේගේ අතේ රැඳි පවන්සලන වටාපතත් ය. මේ
වස්තු දෙකෙන් සැතපී සිටිනා සිහින් සිරුරක් ඇති භාග්‍යවතුන්වහන්සේ දැකීම
සඳහා ක්‍ෂුද්‍ර ප්‍රාණී ස්වරූපයෙන් සිටිනා දෙවියන්ට ලොකු බාධාවක් ඇති
වූ බවය. වෙනත් විධියකින් කියතොත් දෙවියෝ නම් මිනිස් ඇසින් දැකිය නොහැකි
ක්‍ෂුද්‍ර ප්‍රාණීන් පිරිසකි.
මෙලෙසින් ම දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කරන දිනයේ දී, දිව්‍ය බ්‍රහ්ම
යක්ෂ ආදීන් මහ වතුරක් සෙයින්, ඉසිපතනයට ගලා ආ බව බළන්ගොඩ ආනන්ද
මෛත්‍රෙය හිමියෝ තම ගෞතම බුද්ධ චරිතයේ දී ප්‍රකාශ කරති. එහෙත් එදින
මිනිස් වෙසින් බුදු හිමියන් ඉදිරියට පැමිණ සිටියෝ පස්දෙන නම් කොණ්ඩඤ්ඤ,
වප්ප, භද්දිය, මහානාම හා අස්සජි යන පස් තවුසෝ ය. දහම් ඇසීමට දෙවියන්
මිනිස් ලොවට පැමිණෙන බව කියතත් ඒ එකම දෙවියකුවත් මිනිස් ඇසින් බලාගත
නොහැකිය යනු මගේ කල්පනාවයි. මිනිස් ඉතිහාසයේ කිසිම දිනෙක සැබෑ දෙවියකු
මිනිස්තලයේ මිනිස් ඇසකට හමුවීමට නොපැමිණි බව නම් පැහැදිලිය.
අපේ ප්‍රබන්ධ කථාවල නම් මිනිස් ලොවට පැමිණෙන දෙවියන් මෙන් ම දෙව්ලොවට
ගිය මිනිසුන් ද දක්නට ලැබේ. මහලු වෙසක් මවාගත් ශක්‍ර දේවේන්ද්‍රයා
ඔකාවස් රජ මැදුරට ගොස් සීලවතී බිසව කැඳවා ගෙන තව්තිසා දෙවිලොවට ගෙන
ගොස් දරුවන් දෙදෙනකු ලබා දුන්නේය. වරක් හෙතෙම ගුත්තිල - මූසිල
දෙදෙනාගේ වීනා තරගයක් සඳහා සුරඟනන් 900 ක් මිනිස් ලොවට කැඳවාගෙන ගොස්
ඔවුන් ලවා රඟ දැක්වූහ. අනතුරුව ගුත්තිල පඬිතුමා මිනිස් වෙසින්ම
දෙව්ලොවට ගොස් සුරඟනන්ට ඔහුගේ වාදනය පෙන්වීය. මෙබඳු සිද්ධි ජාතක
ප්‍රබන්ධවල ඕනෑතරම් ඇත. එහෙත්, සැබෑ දෙවියන් මිනිස් ඇසින් නැරඹීමට
මිනිස් ලොව කිසිවෙක් සමත් වී නැත.
ඡත්ත මානවක දිව්‍ය පුත්‍රයාගේ සැබෑ අරුත කුමක්ද?
භාග්‍යවතුන් වහන්සේගෙන් තෙරුවන පිළිබඳ අවබෝධය ලබාගත් ඡත්ත මානවක,
තෙරුවන් ගුණ සිහිකරමින් යද්දී අනතුරට පත්ව තව්තිසා දෙව් ලොව උපත ලද්දේ
ය’ යන්න මේ කතන්දරයේ මුඛ්‍ය අදහස බව මගේ හැගීමයි. මේ අදහසට තුඩුදෙන
අදහසක් විමාන වත්ථු අට්ඨ කථාවේ සිංහල පරිවර්තනයේ සංඥාපනයේ යයඪ පිටුවේ
මෙසේ සඳහන් වේ.
‘’ඡත්ත මානවක විමානව වත්ථුවෙන් ගම්‍ය වන්නේ තිසරණ සරණ යාමෙන් පමණක්ම
දිව සැපත් ලැබූ බවයි. සැදැහැ සිතින් තුණුරුවන් සරණයාම මහත් වූ කුසලයකි.
ඡත්ත මානවකයා තුණුරුවන් සරණ ගියා මිස සිල් සමාදන් වූයේ නැත. බෞද්ධයකු
වන්නේ තිසරණ සරණ යාමෙනි.... ඡත්ත මානවකයා බෞද්ධයා දෙව්ලොව උපත ලදුයේ
තුණුරුවන් සරණ යාමෙනි.’’
‘’ඡත්ත මානවක දිව්‍ය පුත්‍රයා සිය පිරිවර සමග දෙවනවර බුදුරදුන් හමුව,
චිතක ස්ථානයේදී කළ සාකච්ඡාව අට්ඨකථා කරුවන් විසින්, වැඩි අරුතක්
ගොඩනැගීම සඳහා කරන ලද නිර්මාණයක් යැයි සිතිය හැකිය. අට්ඨකථා රචනය සිදුව
ඇත්තේ බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 1000ක් ගත වීමෙන් පසුය. පාලි
ත්‍රිපිටකයත්, අට්ඨකථාවත් යන දෙකම එක මට්ටමකින් සැලකීම නිසාත් මෙය
සිදුවිය හැකිය.
විමාන වත්ථු අට්ඨකථා සිංහල පරිවර්තනයේ යයම වන පිටුවේ ඇති ඡේදයක ඇති පහත
සඳහන් වාක්‍ය කීපය අපට මෙහිදී ප්‍රයෝජනවත් වෙයි.
‘’මිනිස් ලොව පින් රැස්කර දෙව්ලොව ඉපදීම කාම තණ්හා භව තණ්හා නිසා
සිදුවන්නකි....’’ දෙව්ලොවින් දෙව්ලොවට මාරු වෙමින් දිව සැපත් විඳීමේ
නොතිත් ආශාවෙන් බෞද්ධයා පෙළෙන බව නොරහසකි. අපගේ බෞද්ධයා පින්කම් කර
ප්‍රාර්ථනා කරන්නේ විවිධ අන්දමින් වර්ණිත දිව්‍ය ලෝකවල දිව්‍යකාම
සම්පත්තිය විඳීමටයි. භික්ෂූන් වහන්සේ දායකයන් යොමු කරන්නේ ඒ දිසාවටය.
දන්දීමෙන් පසුව භික්ෂූන් වහන්සේ විසින් වදාරනු ලබන්නේ දිව්‍ය ලෝකවල දිව
සැපත් විඳීමටත් මිනිස්ලොව මෙණ්ඩක ජෝතිය වැනි කෝටිපතියන් වී ඉපදීමටත්
කෙරෙන ප්‍රාර්ථනයයි..... එහෙත් වඩා අවධානය යොමුකළ යුත්තේ් සසරින්
එතෙරවීම සඳහා මිස දිව්‍ය ලෝකවල පැළපදියම් වීමට නොවේ. ඒ නිසා බෞද්ධයා
පින්කම් කොට නිවනම ප්‍රාර්ථනා කළ යුතුය...’’
‘’දෙව්ලොව හරහා යමින් නිර්වාණවබෝධය ලැබීම’’ යනුවෙන් මේ ලිපිය සකස් කළත්
එය අසම්පූර්ණ එකක් යැයි සිතමි. අපේ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමිපාණන්ගේ
අවධානයට යොමුවේවා. |