දෙලොව සැප සදන
ශීලය
කොළඹ කුප්පියාවත්ත ජයශේඛරාරාමවාසී
මාවරළේ භද්දිය හිමි
පුද්ගලයකුගේ
අධ්‍යාත්මික දියුණුව ගොඩ නඟාගන්නට වුවමනා කරන මූලික පදනම වන්නේ ශීලයයි.
තපස යනුවෙන් හඳුන්වන්නේ ශීලයයි. ඔබ ශීලය මැනැවින් ආරක්ෂා කර ගැනීමෙන්
මෙලොව සැනසීම, පරලොව සුගතිය, නිරයෙන් ගැලවීමට ලැබීම ආදි යහපත් විපාක
මෙලොව, පරලොව වශයෙන් අත්විඳින්නට හැකිවෙනවා.
ඔබ ප්‍රාණඝාතයෙන් වැළකිලා නම් ඔබේ අසල්වාසීන්ට ඔබෙන් කිසිම කරදරයක්
නැහැ. ඔබ සිල් රකිනවා යනු අනෙක් අයගේ භය නැතිවෙනවා, අභය දානයක් දුන්නා
වෙනවා. බුදුදහමේ සඳහන් වන පළමුවැනි අභය දානය වෙන්නේ තමන් නිසා අනෙක්
අයට ඇතිවන ජීවිත භය නැතිකිරීමයි. ඒ භය නැති කරන්න නම් තමන්ට සිල්
රකින්න වෙනවා. සිල් රකින්නෙ නැති සැමියෙකු සිටින ගෙදර, සිල් රකින්නෙ
නැති බිරිඳක් සිටින ගෙදර භයෙන් ජීවත් වෙන්න සිදුවෙනවා. සැමියාට බිරිඳ
ගැන භයයි. බිරිඳට සැමියා පිළිබඳ භයයි. දුසිල්වත් නිසා දරුවන්ට මවුපියෝ
ගැන භයයි. මවුපියන්ට දරුවන් ගැන භයයි. මේ දරුවා අකුසලයක් ප්‍රාණඝාතයක්
, පාපයක් කරල ගෙදර එයිද? එහෙම වුණොත් අපි කොහොමද සමාජයට මුහුණ දෙන්නෙ?
එනිසා ගෙදර මානසික සුවය එකිනෙකා අතර ඇතිවන්නේ කොහොමද? ගෙදරක මානසික
සුවය පවතින්නට නම් අනිවාර්යයෙන්ම මවුපියෝ, දරුවෝ සිල් රකින්නට
අවශ්‍යයි. කුඩා ප්‍රාණඝාතයක් වත් නොකළ යුතුයි. මදුරුවෝ මැරීම,
කැරපොත්තන් මැරීම ඇතුළු කොට සියලුම ආකාරයේ ප්‍රාණඝාතයෙන් වැළකී සිටිය
යුතුයි. ගෙදර දොර පිරිසුදුව තබාගැනීමට වැසිකිළි කැසිකිළි කාණු පද්ධතිය,
පිරිසුදුව පවත්වාගෙන යෑමට කවුරුත් උත්සාහ ගත යුතුයි. එවිට මැසි මදුරු
කරදර බොහෝ දුරට තුරන් වෙනවා. නැතහොත් තමන් නොදැනුම්වත්වම ප්‍රාණ ඝාත
අකුසල ගොඩ දිනෙන් දින වර්ධනය වෙනවා.
අද දවසේ ප්‍රාණඝාතයක් නොකරන බවට, අද දවසේ කිසිවෙකුගේ ජීවිතයට අනතුරක්
නොකරන බවට අධිෂ්ඨාන කර ගනිමින් උදේ පාන්දරම පොළොවට පය ගැසිය යුතුයි. ඒ
සිතුවිල්ලෙන් අවදිවීම නිසා, ප්‍රාණඝාතයෙන් වැළැකීමට එම අධිෂ්ඨානය,
ප්‍රාර්ථනාව සිහිපත් වීමම හේතුවක් වෙනවා. එවිට ඔබ සිල්වත් වෙනවා. ශීලය
පුදුමාකාර ලෙස අධ්‍යාත්මික ශක්තියක් ලැබෙන දෙයක්. ප්‍රාණඝාත නොකරනවා
නම් අධ්‍යාත්මිකව විශාල බලයක් ලැබෙනවා. එම පුද්ගලයා අධිෂ්ඨාන කරන දෙයක්
හරියනවා. මම ප්‍රාණඝාත කළේ නැහැ, මෙතෙක් කල් මම එයින් වැළැකී සිටියා,
එම සත්‍ය බලයෙන් මේ දේවලමේ ආකාරයෙන් යහපත් ලෙස වෙන්න ඕන යැයි අධිෂ්ඨාන
කළ හැකි ශක්තියක් ලැබෙනවා.
ශීලයේ ඊළඟ කරුණ වෙන්නෙ සොරකමෙන් වැළකීමයි. අනුන්ට අයිති කිසිම දෙයක්,
කුමන හේතුවක් නිසාවත් සොරා නොගත යුතුයි. පැරණි බණ කතාවක එන තොරතුරක ට
අනුව, එක පවුලක දරුවෙක් උස් මහත් වෙලා තරුණ අවධියට පැමිණි පසුව රජ
ගෙදරක සේවකයෙක් ලෙස වැඩ කටයුතු කිරීම සදහා උදේ සවස පැමිණියා.මෙම දරුවා
රජ මැදුර අතුගාමින් ශුද්ධ පවිත්‍ර කරන අතරතුර ඔහුට රත්රන් ඉදිකටුවක්
හමු වුණා. තමන් ඇහිදගත්ත ඉදිකටුව නිවසට පැමිණි විගසම තමන්ගේ මැණියන්
අතට දුන්නා. මෑණියන් එහි වටිනාකම වර්ණනා කරමින් මහත් සතුටින් පිළිගත්
පසු දෙවන දවසෙත් රජ මැදුරෙන් හමුවුණා රත්රන් ආභරණ වගයක්. මවට ගෙනත්
දුන්නා. එම අවස්ථාවේදී පෙරටත් වඩා සතුටින් මව එය භාරගත්තා. අවසානයේදි
මෙම සොරකම හසුවෙනවා. මෙම දරුවා මරණයට නියම වෙනවා. දරුවා මරණයට ගෙන යන
අවස්ථාවේදී මව හඬ හඬා බලාගෙන ඉන්නවා. එම දරුවා වධකයන්ට ප්‍රකාශ කරනවා,
අන්තිම මොහොතේ මට අම්මගෙන් දෙයක් ඉල්ලා ගන්න තිබෙන බව. වධකයින් එවිට
අවස්ථාව ලබාදුන් පසු ඔහු මවට කතා කරනවා. “අම්මා පොඩ්ඩක් එන්න මට රහසක්
කියන්න තියෙනවා. “ මව ඔහුගේ මුහුණට ළංවූ විගසම ඔහු මවට කියනවා, ‘අම්මා
දිව අදින්න.’ අම්මා දිව ඇද්ද ගමන් එම දරුවා තම මවගේ දිව කඩල යන්නම
හපනවා. මේ පුංචි කතාව තුළ ගැඹුරු පණිවිඩයක් තිබෙනවා. මවට, පියාට
හැකියාව තිබෙනවා, තම දරුවා සොරෙක් කරන්නත්, දරුවා අන් පුද්ගලයන්ගේ
දේවල් ආරක්‍ෂා කරන පුද්ගලයකු කරන්නත් අපේ සම්ප්‍රදාය තුළ පිළිගැනීමක්
තිබෙනවා. ජන්මයට වඩා පුරුද්ද ලොකුයි යනුවෙන්. අම්මගේ පුරුදු දරුවන්ට
එනවාමයි. තාත්තාගෙ පුරුදු එනවාමයි. මව, පියා, ගෙදරට හොඳ ආදර්ශයක් ලබා
දුන්නොත්, අපේ ගෙදරට අනුන්ගෙන් සොරකම් කළ මලක්වත් ගේන්න තහනම් බව
ප්‍රකාශ කරමින් තමන් ජීවත්වන ස්ථානය සොරකම් නොකරන කලාපයක් බවට පත් කර
ගත්තොත්, එම පරිසරයේ හැදෙන වැඩෙන දරුවා එළියට ගිහින් සොරකම් කරන
පුද්ගලයෙක් බවට පත් වන්නේ නැහැ.
සොරකම ප්‍රතික්ෂේප කරන අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් සමාජයට කොයිතරම්
වටිනවාද? එතැනට ඔබ පැමිණියොත් ඔබේ දරුවන් හොඳට හදාගන්න හැකියාව
ලැබෙනවා. සමාජය හදන්න බැරි අන් කිසිවක් නිසා නොවෙයි. බොහොමයක් ගෙවල්වල
ඉන්න වැඩිහිටි අය දිහා බලාගෙන හැදෙන්න පුළුවන්කමක් දරුවන්ට නැති නිසයි.
දරුවන් ගුණ යහපත්ව හැදෙන්න නම්, ආදර්ශමත් මවක් පියෙක් ගෙදර ඉන්න ඕනෙ.
අම්ම හොඳයි, තාත්තා හොඳයි කියලා දරුවන්ට කෙතරම් කියලා දුන්නත්, ගෙදරට
ගොඩවදින විගසම තාත්තා කොයි වගේ චරිතයක්ද අම්මා කොයි වගේ චරිතයක්ද කියන
දෙය දරුවන් වටහාගන්නවා. මත්පැන් බොන, ගහගන්න, අසභ්‍ය වචන කියන තාත්තෙක්
ඉන්නවා නම් දරුවට කෙතරම් කියාදුන්නත් බුදුවෙන තාත්තෙක් ඉන්නවා කියලා
දරුවා පිළිගන්නෙ නැහැ. හොඳයි කියලා කියන තාත්තා සහ ගෙදර ඉන්න තාත්තා
දෙන්නෙක්.
අම්මා කේලාම් කියනවා නම්, රට පුරා ගිහින් ඕපාදූප හොයනවා නම්, අනුන්ගේ
කුණුගොඩවල් සොයාගෙන තමන්ගේ ජීවිතයේ කොටසක් කරගන්නවා නම්, ඒවගේ අම්මෙක්
ඉන්න තැනක දරුවෙක් හදන්න බැහැ. මෙවැනි අඩුපාඩු ක්‍රමයෙන් හෝ අවම කරගත
යුතුවෙනවා.සොරකම කිසිසේත් අනුමත නොකළ යුතුයි. කෙතරම් නැති බැරි වුවත්,
කුසගින්නේ හූල්ලමින් හිටියත්, අනුන්ගේ දෙයක් ගෙනෙන විට එය අනුමත නොකළ
යුතුමයි. එයට ඉඩ තැබුවොත් කවදා හෝ මහා විපතකට මුහුණදීමට සිදුවෙනවාමයි.
ඊළඟ කරුණ වශයෙන් පෙන්වා දෙන්නේ, කාම මිථ්‍යාචාරයෙන් වැළකී සිටීමයි. එය
කායික ශීලයේ කොටසක් වෙනවා. විවාහක පිරිසට විවාහ ජීවිතය ඇතුළත පමණක්
කාමුක සැප විඳීමට තහනමක් නැහැ. කාම තෘෂ්ණාව ගිහියන්ට තිබෙන බවත්, කාමය
හේතු කොටගෙන මේ ලෝකයේ ඉදිරි පැවැත්ම තිබෙන බවත් බුදු දහම පිළිගන්න
කරුණක් වුවත් කාමයට විනයක් තිබිය යුතුයි. කාම තෘෂ්ණාව තම බිරිඳගෙන්, තම
සැමියාගෙන් සපුරා ගැනීමට බුදු දහමෙන් තහනමක් නැති වුණත් වෙනත්
ස්ත්‍රියකගෙන් වෙනත් පුරුෂයකුගෙන් කාමුක සැපත සොයනවා නම් එම පිරිස
කරගන්නෙ මෙලොවටත් විපතක් පරලොවටත් විපතක්. නැවත මිනිස් ජීවිතයක් ලබන්න
කල්ප කාලාන්තරයක් දුක් විඳින්න වෙනවා. කාම මිථ්‍යාචාරයේ යෙදෙන
කාන්තාවටවත් පුරුෂයාටවත් පේ‍්‍රත භවයකින් ගැලවෙන්න ලැබෙන්නෙම නැහැ.
නිරයෙහි උපදිනවාමයි. බුදුරජාණන් වහන්සේ කාමය අඟුරු වළකට සමාන කරනවා.
ගිනි අඟුරු වළක් ඈතට පෙනෙන විට හරිම ලස්සනයි. එය දැල්වෙමින් තිබෙන විට
රතුපාටට, කහපාටට, රන්වන් පාටට නොයෙක් වර්ණයෙන් දීප්තිමත්ම බොහොම
සුන්දරව දකින්නට ලැබෙනවා. එතරම් ලස්සන අඟුරු වළකට කෙනෙක් වැටුණොත්
පිච්චිලා ඒකෙම අඟුරුවෙලා යනවා. අපි අඟුරු සමඟත් ගනු දෙනු කරනවා. ගිනි
අඟුරු එක්ක ගනුදෙනු කරන විට සීමාව දැන ගන්න අවශ්‍ය වෙනවා. ගිහියෝ කාමය
එක්ක ගනුදෙනු කරද්දි සීමාව දැනගෙන කටයුතු කළ යුතුයි. එනම් වැරැදි
හැසිරීමට නොයා යුතුයි. දරුවන්ට තමුන්ගේ මවගේ, පියාගේ වැරැදි කාමුක
ජීවිතය පිළිබඳව සඟවන්න පුළුවන් වෙන්නේ බොහොම කෙටි කාල සීමාවකට පමණයි.
මුලින්ම ප්‍රශ්නය කතා කරන්නෙ දරුවො නින්දට යනතුරු ඉඳලා , නිවැරැදි
මාර්ගයට ගන්න හැකියාවක් තිබෙනවද කියලා උත්සාහ කරලා බලනවා. යහපත් මාවතට
අරගන්න බැරිවෙන විට දරුවන් ඉදිරියේම එම ප්‍රශ්න කතා කරන්න පටන් ගන්නවා.
ඊට පසුව ගෙදර බුදුන් අම්මා, ගෙදර බුදුන් තාත්තා සේරම ඉවරයි. මේ අවස්ථාව
වන විට දරුවන් සියලු දේ ගැනම දැනුවත් වෙලා අවසානයි. තවදුරටත් දරුවන්ට
වසන් කරන්න දෙයක් ඉතිරි වෙලා නැහැ.
අද වන විට දරුවන් ඉතා කෙටි කාලයකින් දැනගත යුතු දැන නොගත යුතු සියල්ල
දැනගන්නවා. අම්මා තාත්තා කාම මිථ්‍යාචාරයේ යෙදෙනවානම් අම්මට දුවෙක්
හදන්න බැහැ. තාත්තාට පුතෙක් හදාගන්න බැහැ. ළමයි තේරුම් ගන්නවා අපේ
අම්මා කරන්නේ වැරැද්දක් බව, අපේ තාත්තා කරන්නේ වැරැද්දක් බව. මේක අපේ
සම්ප්‍රදායානුකූල සිරිත් විරිත් වලට එකඟ නැහැ. එකිනෙකාට හොරකරමින්,
වැරැදි කරමින් එක හය මාසයක්වත් ගෙදර ජීවත් වෙන්න බැහැ. පව් කළ සියලු
දෙනාගේම වැරැදි හෙළිදරව් වෙනවා. බිරිඳගේ ලෝකය, සැමියාගේ ලෝකය,
දරුවන්ගේ ලෝකය පිරිහිලා යන්න පටන් ගන්නවා. දරුවන් ඔබට භය භක්ෂපාතිව
ඉන්නේ බොහොම ටික කාලයයි.
දවසක ඔබෙන් ප්‍රශ්න කරාවි ඔබේ ජීවිතය වැරැදි නම් ඔබව පිළිකුල් කරාවි,
කවදා හෝ දවසක මේ සියල්ල ඔබ වෙත එල්ල වන චෝදනා බව ඔබ තේරුම් ගත යුතුයි.
පුංචි හෝ වැරැදි ඔබ තුළ තිබෙනවා නම් ඒවා මේ මොහොතේ සිට හෝ හදාගන්න.
අතීතයේ වැරැදි වෙන්න පුළුවන්. වර්තමානය වන විට එම අකුසල්වලින් මිදී
යහපත් ජීවිතයක් ආරම්භ කරන්න මොහොතක්වත් පමාවෙන්න එපා. තපසෙහි ඊළඟට එන
කොටස වචනයේ සංවරයයි. වචනයෙන් සිදුවන භයානක අකුසල සතරක් තිබෙනවා.
මුසාවාදා, පිසුණාවාචා, ඵරුසාවාචා, සම්පප්‍රලාපා තමයි ඒ අකුසල සතර.
මුසාවාදය කියන්නෙ බරපතළ අකුසලයක්. බොරුවට කවදාවත් ඉඩක් තැනක් නොදිය
යුතුයි. ඒත් දැන් සිද්ධ වෙන්නේ මොකක්ද? දරුවාට අවුරුදු පහ සම්පූර්ණ වන
විටම ජාතික පාසලකට ඇතුළත් කරගැනීමේ බලාපොරොත්තුවෙන් බොරු උගන්වනවා.
දරුවා පළමුවන පන්තියේ ඉඳන්ම අම්මාට බොරු කියන්න පටන් ගන්නවා. ළමයි ඕනෑම
දෙයක් කරලා, මම එය කළේ නැහැ කියමින් බොරු කීම පටන් ගන්නවා.
ඉස්සර ළමයි වැරැද්දක් කළා නම් එය කළ බව ප්‍රකාශ කරමින් ලජ්ජාවෙන් වගකීම
භාරගන්නවා. ඊට දඬුවමක් ලබනවා. වර්තමානයේ දරුවන් සහතික වශයෙන්ම ඒ දෙය
කරලත් බොරුකීමට ඇති ලජ්ජාව භය නැතිකම නිසාම තමන් වරදක් කළේ නැති බවට
බොරු ප්‍රකාශ කරන්න පෙළඹෙනවා. ගෙදර අය ඉදිරියේ බොරු කියමින්, බොරු
කරමින් දස අතේ දිව්රනවා. සියලු දෙනාම දැන දැනත්, එම වැරැදි
කරමින්, අම්මා, තාත්තා ගැන, බුදුන් ගැන, දෙවියන් ගැන,පොළොව ගැන ප්‍රකාශ
කරමින් දිව්රනවා.
දරුවන් හදාගන්න නම් හැකි තරම් අම්මට තාත්තට වෙනස් වෙන්න සිදුවෙනවාමයි.
මොන වරද කළත් ඇත්ත කියන්න පුරුදු වෙන්න ඕනෙ. අද අපේ රටේ කිසිවෙක් තවත්
කෙනෙක් විශ්වාස නොකරන තත්ත්වයට පත්වෙලා තිබෙනවා. නිවැරැදිව ජීවත් වෙනවා
නම් බොරු කියන්න අවශ්‍ය වෙන්නෙ නැහැ. ඔබ පළමුවන සිල්පද තුන ආරක්‍ෂා කරන
කෙනෙක් නම් මුසාවාදයෙනුත් වැළකීම හරි පහසුයි. ප්‍රාණඝාතයෙන්, සොරකමෙන්,
කාම මිථ්‍යාචාරයෙන් වැළකෙනවා නම් ගෙදරට ඇවිත් ඇත්ත ප්‍රකාශ කරන්න
හැකියාව තිබෙනවා. තමන්ගේ කය නිවැරැදි නම් වචනයෙන් එළියට එන්නෙත්
සත්‍යයි. තමන්ගේ කය වැරැදි කරනවා නම් වචනයත් අසත්‍යයක් වෙනවා.
ඊළඟ කාරණාව පිසුණාවාචා, එනම් කේලම් කීමෙන් වැළකීමයි. ඥාතීන් අතර අසමඟිය
වැඩිවෙන්න කේලාම් කීම ප්‍රධාන හේතුවක් වෙනවා. එක තත්පරයකින් පළාතක්
ගිනි අවුළවන්න හැකියාව තිබෙනවා. වර්තමානයේ ඒ සඳහා දුරකථනය පහසුවෙන්
භාවිත කරනවා. අලුත් තාක්‍ෂණය යොදාගෙන අපායගාමි මාර්ගය විවෘතකර ගන්නවා.
කොතරම් සමගියෙන් හිටි පවුල් කේලම් නිසා බිඳ වැටිල තිබෙනවාද? අම්මා
තාත්තා සමඟ දරුවන් භේද කරවන තරමට සමහරු කේලාම් කියනවා. කේලාම් නොකියා,
කියන දෙයක් ඉදිරිපිට කියන්න පුරුදුවෙන්න. පිරිසුදු සිතින් යම් දෙයක්
කෙනකු සමඟ කීවාට ප්‍රශ්නයක් ඇතිවෙන්න නැහැ. කේලාම් තුළ තිබෙන්නේ බිඳ
වීම, වැනසීම, කපටිකම පමණයි. එම නිසා කේලාම් නොකිව යුතුයි. කේලාම්
නොඇසිය යුතුයි. ඊළඟ කරුණ ඵරුෂ වචන භාවිතයෙන් වැළැකීමයි. සිල් රකිනවා
නම් කිසිම දවසක ඵරුෂ වචන කියන්න පෙළඹෙන්නේ නැහැ. සිත රිදෙන කටුක වචන
නොකිව යුතුයි. දරුවන්ට පුතේ, දුවේ, කියලා ආදරයෙන් කතා කරන්න පුරුදු
වෙන්න. එවිට දරුවන් තුළ විශාල ගෞරවයක් ඇතිවෙනවා. ස්වාමි පුරුෂයා සහ
භාර්යාව අතරත් ආදරයෙන් කරුණාවෙන් කතා කරන මෛත්‍රි සහගත ස්වභාවක් තිබිය
යුතුයි. එකිනෙකාට ගරුකරල ආදරය කරුණාව දැනෙන කතාකරන්න පුරුදුවෙන්න.
ඊළග කරුණ වෙන්නේ හිස් වචන කතා කිරීමෙන් වැළකිය යුතුයි යන්නයි. කතා
කරනවා නම් අර්ථාන්විත වචනයක්ම විය යුතු බව බුදුරජාණන් වහන්සේ දේශනා
කළා. කතා කරන දෙයක් ධාර්මිකව කතා කරලා, ඉතිරි ටික නිහඬව ඉන්න පුරුදුවීම
වැදගත්. තපසට අදාළව, කායික අකුසල් තුනකින් වැළකීම සහ වාචසික අකුසල්
සතරකින් වැළකීම වශයෙන් කාරණා හතක් සම්පූර්ණ වන ලෙස ඔබ දැනුම්වත් වුණා.
ඒ අනුව ඔබේ ඉදිරි ජීවිතය ගොඩනඟාගැනීම මෙලොව, පරලොව දෙලවටම වැඩදායකයි.
සටහන
හේමමාලා රන්දුනු |