UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 
බුදුසරණ අන්තර්ජාල කලාපය

සැබෑ බුදුන් වහන්සේ කව්ද? ධර්මය කුමක්ද? සංඝයා කව්ද? යනුවෙන් තුනුරුවන් පිළිබඳ නිවැරැදි වැටහීමක් තිබෙන්නේ නම් එය බෞද්ධකමට ඉතා අගනේය. සම්බුද්ධත්ව ජයන්තිය සමරන මේ සමයේදී සියල්ලටම පෙර උගත යුතු පාඩම මෙයයි.

සිදුහත් කුමාරයා පිළිබඳව හා බුදුරජාණන් වහන්සේ පිළිබඳව බෞද්ධ සාහිත්‍යයෙහි දැක්වෙන තොරතුරු බොහොමයක් ජනප්‍රවාද අනුව ලියවී ඇති වාර්තාය. බුදුන් වහන්සේ කෙරෙහි අසීමිත භක්තියක් ඇති කරවනු පිණිස මෙහෙයවනු ලැබූ අලංකාරාදියෙන් යුත් අතිශයෝක්ති කරණකොට ගෙන ඓතිහාසික බුද්ධ චරිතය බොහෝ දුරට විකෘති වී ඇත. මේ හේතු කරණ කොට ගෙන බුදුන් වහන්සේගේ ගේ ස්වීයත්වය පිළිබඳ තත්ත්වාවබෝධය ලැබීම අද බෙහෙවින් අසීරු වී තිබේ.

දැනට තහවුරු වී ඇති කරුණු අනුව මෙයට සියවස් විසි හයකට පමණ පෙර, දඹදිව ඊසාන දිග හිමාල ප්‍රදේශය පාමුල කෝසල මහා රාජ්‍යයේ යටත් විජිතයක් වූ ශාඛ්‍ය ජනපදයේ ලුම්බිණි නමැති සල් උයනේ දී මෙතුමාගේ උපත සිදුවී ඇත. සුදොවුන් නමැති ශාඛ්‍ය වංශිකයා මෙම කුමරාගේ පියා විය. සමකාලීනයන් විසින් මෙම කුමාරයාව හඳුන්වා දීමට යොදාගෙන ඇත්තේ එතුමාගේ පෙළපත් නාමය වන ගෞතම යන්නය.

බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් උදෙසා දේශනා කරන ලද අරියපරියෙසන සූත්‍රයේ අභිනිෂ්ක්‍රමණය ගැන දේශනා කර ඇත්තේ මෙසේය. “ මහණෙනි, ඒ මම පසු කාලයෙහි ළදරු වූයෙම්ම ඉතා කළු කෙස් ඇත්තෙම් පළමුවන වයස වූ සොඳුරු යෞවනයෙන් යුක්ත වූයෙම්, නො කැමති වූ කඳුළු පිරුණු මුහුණු ඇති මව්පියන් හඬද්දී කෙස් රවුළු බා කහවත් හැඳ ගිහි ගෙයින් නික්ම පැවිද්දට පැමිණියෙමි. ඒ මම මෙසේ පැවිදි වූයෙම් කුසලය කුමක් දැයි සොයන සුලු වූ යෙම් නිරුත්තර වූ උතුම් වූ ශාන්ත පදය සොයමින් ආලාර කාලාම කරා පැමිණියෙමි. පැමිණ ආලාර කාලාමට මෙය කීමි. ඇවැත්නි කාලාම මේ ශාසනයෙහි බඹසර කරන්නට කැමැත්තෙමි .” අභිනිෂ්ක්‍රමණය ගැන බුදුන් වහන්සේම මෙසේ දේශනා කර තිබියදීත්, තවමත් දහම් පාසලේ දරුවන්ගේ සිට අන් සියලු දෙනාටමත් උගන්වන්නේ බෝසතුන් මධ්‍යම යාමයේදී සියල්ලටම හොරෙන් මාලිගයෙන් පැන ගිය කථාවකි.

වසර හයක දුෂ්කර ක්‍රියාවකින් පසුව වයස අවුරුදු තිස්පහේ දී සම්බුද්ධත්වයට නැතහොත් පරිනිර්වාණයට පත්වූ සේක. (පරිනිර්වාණය යනු නිවන සම්පූර්ණ වීමයි) පරිනිර්වාණය වයස අවුරුදු 80 දී සිදුවූවක් නොවේ. වයස අවුරුදු 80 දී සිදුවී ඇත්තේ කාල ක්‍රියාවකි. බුදුරජාණන් වහන්සේ අර්ථ චර්යාවෙහි යෙදුනේ තමන්ගේ හිත සම්පූර්ණයෙන්ම නිවා ගත් පසුවයි. බුදු කෙනෙකු යමක් දේශනා කරන්නේ දැන දැක පමණි. “ භගවා අහං ජානාමි පස්සාමි” තමන් අධිගමනය නොකළ දෙයක් ගැන බුදුන් වහන්සේ කිසිවෙකුටත් අනුශාසනා නො කරන සේක. බුදු බව යනු බෝමැඩදී ලත් සම්බෝධියයි. මමත්වය නිරෝධ කිරීමෙන් නිෂ්පුද්ගල තත්ත්වයට පත්වීමයි. ලාභ, අලාභ, යස, අයස, නින්දා, ප්‍රශංසා, සුව, දුක් යන ලෝක ධර්මයන්ගේ පහසින් නො සැලී අකම්පිතව වාසය කිරීමේ අකම්පස ගුණය නමැති ලොව්තුරා ගුණය බුදු උතුමා ළඟ තිබුු සේක. දියෙහි වැඩී දියෙහිම පිපුන පියුමක් දියෙන් ඉස්මතු වී දියෙහි නො ගෑවී තිබෙන්නාක් මෙන් මිනිසුන් අතර ඉපිද මිනිසුන් අතර වැඩී, ලෝකයේ මිනිසුන්ගෙන් ඉස්මතු වී ලෝකයා සමග නොගැටී නොබැඳී නොගෑවී සිටිමි. ඒ නිසා මම මිනිස් දුර්වලකම් සියල්ල නැති කළ උත්තර මනුෂ්‍යයෙක්මි. බුදුවරයෙක්මි යනු උන්වහන්සේගේ දේශනාවයි. බුදුරදුන්ගේ තේජස පැවතුනේ එතුමන්ගේ රූ සපුව මත නොව ගුණ කඳ මතය. බුදුරදුන්ගේ පුරුෂත්වය මහා පුරුෂත්වයට පරිවර්තනය කර එතුමාගේ සිරුරින් දෙතිස් ලක්‍ෂණයක් දැක්වීමට අනුගාමිකයින් උත්සුක වූ අයුරු ඇතැම් සූත්‍රවලද දක්නට තිබේ. නමුත් බුදුරදුන්ගේ රුව පිළිබද යථා තත්ත්වය සූත්‍ර ඇසුරින්ම වටහා ගැනීමට පුළුවන.

හන වැහැරියෙන් කරන ලද රළු සිවුරක් පොරවා ගෙන පිඬු සිඟා වඩිමින්, රස මසවුළු වලින් ලැබුන දානයෙන්ද පංච වග්ගිය බමුණා අනා තිබු අවසාන අහාර කොටසද, උද්‍යානයේ දී යාචකාවිය පිළිගැන්වූ අනා තිබූ ඉඳුල් ටික ද, පුන්නා දාසිය ඇඳ සිටි කිළුට රෙද්දේ ඔතාගෙන ආ දැලි ගෑවුන රොටිය ද , පිළිගැන්වූ අයටම පෙනෙන්නට වළඳා ආහාර බඳුනක මුල කොටසත්, මැද කොටසත්, අග කොටසත් අපට කැප හෙයින් අපත් පරත්තුප ජීවී පේ‍්‍රතයින් වැනි කොටසක් බවත්, අනුගෙන් ලැබෙන ඉඳුල් ටික හෝ වළඳා ලෝකයාට සේවය කළ හැකි නම් ඊට වඩා ශ්‍රේෂ්ඨ මිනිස් කමක් තවත් නැතැයි වදාළේ තම අනුගාමිකයන් ගත යුතු මඟ අවධාරණය කිරීම පිණිසය.

බුදුරජාණන් වහන්සේ මුලින්ම භික්‍ෂූ සමාජය ආරම්භ කළේ ශිෂ්‍යයින් පස් දෙනෙකුගෙනි. පන් සාළිස් වසකට පසුව මුළු දඹදිව් තලය පුරාම ශ්‍රාවක භික්‍ෂූ සංඛ්‍යාව ලක්‍ෂ ගණනක් විය. සුසාන භූමි, උද්‍යාන, ගල්තලා, කුඹල් හල් වැනි ස්ථාන තම ගෝලයින්ට දහම් දෙසු පන්ති කාමර විය. අනේක ප්‍රකාර මිථ්‍යා දෘෂ්ටි වැළඳගෙන සිටි මිනිසුන්ගේ අවබෝධ ප්‍රමාණයට අනුකූල වනසේ ධර්මයට විස්තර කර දීමේ දී සාර්ථක ගුරුවරයකු විය. ලෝකයන්ගේ සිත් සතන් ගැන දැන ගෙන ඉගැන්වීමට විශිෂ්ට දැනුමක් මෙතුමා තුළ තිබුණේය. “ ශාස්තෘන් වහන්සේ” යන අපර නාමය බුදුරජාණන් වහන්සේට ව්‍යවහාර වූයේ එහෙයිනි.

බුද්ධං සරණං ගච්ඡාමි යන්නෙහි තේරුම වරදවා නොගත යුතුය. බුදුරජාණන් වහන්සේ මෙයට අවුරුදු 2554 කට පෙර පිරිනිවන් පෑ හෙයින් අප කළ යුත්තේ බුදුන් වහන්සේ ලෝකයාට හෙළි පෙහෙළි කර දී ඇති (අරි අටඟි මඟ ) මගෙහි ගමන් කර දුකින් මිදීමය.

ධම්ම රත්නය

ඉඳුරන්ට හසුවන සියල්ල ධර්ම වශයෙන් හඳුන්වනු ලැබේ. ඒ මෙන්ම ඇස, කන, දිව, නාසය, කය හා කායික පහසට හසුවන දේද, මනසට අරමුණු වන චෛතසික ද සර්ව යන නාමයට අයත් වේ. නමුත් සර්ව, ධර්ම යන පද දෙක අතර සමාන අරුතක් ඇති බව පෙනෙනත්, සර්ව යන පදයට වඩා ධර්ම යන වචනයෙහි ඉතා පුළුල් අර්ථයක් තිබේ. ධර්ම යන පදයෙහි ඉඳුරන්ට අරමුණු වූ දේ මෙන්ම ඉඳුරන්ගේ සීමාව ඉකුත් වීමෙන් ලැබෙන අතීන්ද්‍රිය ඥානයද ඊට ඇතුළත් වේ. එබැවින් නිර්වාණයද ධර්ම යන පදයට ඇතුළත්ය. ඉඳුරන්ගෙන් ලබන ස්පර්ශය මුල් කොට ගෙන හට ගන්නා වේදනා, සංඥා, විතක්ක, පපංච, යනාදි ක්‍රියා සන්තතිය අනුව දුක් උපදවන ක්‍රමය බුදු දහමින් අනාවරණය කොට තිබේ. දුකත්, එහි ප්‍රභවයත්, නිරෝධයත්, දුක නිරුද්ධ කර ගන්නා මගත් උගන්වන ධර්මය චතුරාර්ය සත්‍යයයි. දුක නැති කර ගැනීමේ මාර්ගය අනුපුර්ව ශීක්‍ෂණ ප්‍රතිපදාව කින් අනාවරණය කොට තිබේ.

සංඝ රත්නය

සංඝ රත්නය පිළිබඳ මා යමක් ඉගෙන ගත්තේ අග්ගමහා පණ්ඩිත වල්පොල රාහුල හිමිපාණන් වහන්සේගෙනි. මා දන්නා දෙයට වඩා එම හිමිපාණන් වහන්සේ විසින් ලියා ඇති අදහස් පිටපත් කොට දැක්වීම ඉතා යහපත් යැයි මම අදහස් කරමි. ජගත් කීර්තියට පත්ව සිටි වල්පොල රාහුල හිමිපාණන් වහන්සේ විසින්, මෙයට හැත්තෑපස් වසරකට පෙර ලියා පළ කළ “ සත්‍යොදය “ ලිපි මාලාවේ සංඝරත්නය ගැන ලියන පද ලිපියෙන් කොටස් කිහිපයක් මෙහි උපුටා දක්වමු.

“සංඝ” යන වචනය කියවෙනුවත් සමගම “භික්‍ෂූ පක්ෂය” යි තේරුම් ගන්නට පුරුදුව සිටින බොහෝ දෙනාට මෙය අලුත්ම අදහසක් බැව් මම දනිමි. මේ ගැන දීර්ඝ සාකච්ඡාවක් කරන තුරු මගේ අදහස පැහැදිලි නොවෙයි. සංඝරත්නය නම් භික්‍ෂූන් වහන්සේලාය, භික්‍ෂුන්ගෙන් තොරව බුද්ධ ශාසනය නො පවත්නේය.චීවරය නැති දා බුද්ධ ශාසනය කෙළවරය යනාදී වැරදි අදහස් රාශියක් නිසා මනුෂ්‍යයෝ ධර්මයෙන් ඈත්ව වෙසෙති.

ගිහියෝ බුද්ධ ශාසනය රැකීම භික්‍ෂුන්ට භාර දී ඊට භික්‍ෂූන්ගේ දොස් සොයමින් තමන්ගේ ගුණ දහම් ගැන කිසිත් නො සලකා සිටිති. භික්‍ෂූහුද අභ්‍යන්තර සාරයක් ඇතත්, නැතත්, සංඝරත්නය නම් අපි, අපෙන් තොරව බුද්ධ ශාසනයක් පවත්නේ කොහිද? යනාදීන් ගිහියන් බිය ගන්වාගෙන ජීවත්වෙති. මේ පිළිබඳව සත්‍ය මම ඔබට පහදා දෙන්නෙමි.

සංඝ රත්නය කියන්නේ ශ්‍රාවක සංඝ රත්නය , අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නය ගැනයි. සංඝරත්නය ගණිනු ලබන්නේ ගුණයෙන් මිස ඇඳුමෙන් නොවේ. ඇඳුම කුමක් වුවත්, ගුණයෙන් යුත් පුද්ගලයා ශ්‍රාවක සංඝ රත්නයෙහි අන්තර්ගත වෙයි. සෝවාන් මාර්ගය, සෝවාන් ඵලය, සකෘදාගාමී මාර්ගය, සකෘදාගාමි ඵලය , අනාගාමී මාර්ගය, අනාගාමී ඵලය, අර්හත් මාර්ගය, අර්හත් ඵලය යන මේ අට අවස්ථාවන් හි සිටි පුද්ගලයෝ අෂ්ට ආර්ය පුද්ගලයෝයි. මේ අට දෙන සංඝ රත්නයයි. පුද්ගලයා ගිහි වුවත්, පැවිදි වුවත් මෙහිදී එයින් කම් නැත. ගණිනු ලබන්නේ ගුණය පමණකි. “සංඝං සරණං ගච්ඡාමී“ යි අප සරණ යන්නේ මේ ගුණයන් හි පිහිටි පුද්ගල සමූහයා මිස විශේෂ ඇඳුමකින් පෙනී සිටින පක්‍ෂයක් නොවේ. සුපටිපන්නෝ භගවතෝ සාවකසංඝො “ යනාදී පාඨයෙහි සංඝ රත්නය ගැන ඉතාම පිරිසිදු විස්තරයක් සඳහන් වෙයි. එහි අදහස මෙසේයි.

“භාග්‍යවතුන්ගේ ශ්‍රාවක සංඝයා යහපත් මාර්ගයෙහි ගමන් කරන්නෝය. ඍජු මාර්ගයෙහි ගමන් කරන්නෝය. ආර්ය මාර්ගයෙහි ගමන් කරන්නෝය. සුදුසු මාර්ගයෙහි ගමන් කරන්නෝය. ඒ කවරහුද? යම් පුරුෂ යුග සතරෙක් යම් ශ්‍රේෂ්ඨ පුරුෂයෝ අට දෙනෙක් වෙත්ද, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා නම් ඔවුහුය.

දුර බැහැරින් නන් දෙසින් අවුත් කරන සත්කාර ලැබීමටත්, සියලු දෙනාගේ පූජාවන් සහ වන්දනාවන් ලැබීමටත්, ඔවුහු සුදුස්සෝය. ලෝකයට අසහාය පින්කෙත්ය.”

මේ කිසි තැනක දී සංඝරත්නය ගුණයෙන් මිස ඇඳුමින් හඳුන්වනු නොලැබේ. මෙහි සිවුරු පෙරවීම හෝ හිස බෑම ගැන කිසිත් සදහන්ව නැත. යම් කිසි ගිහියෙක් හෝ පැවිද්දෙක් ආර්ය මාර්ගයෙහි ගමන් කෙරේනම්, නිවන් දකීනම්, හෙතෙමේ අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නයෙහි අන්තර්ගත වෙයි. එය අභ්‍යන්තර ගුණය පිළිබඳ වූවක් මිස බාහිර ඇඳුම පිළිබඳ වුවක් නොවේ. ඇඳුම කුමක් වුවත්, ගුණයෙන් සම්පූර්ණ නම්, හෙතෙමේ සාමාන්‍යයෙන්, සංඝරත්නයෙහි පමණක් නොව, විශේෂයෙන් භික්‍ෂූ පක්ෂයෙහි ද අන්තර්ගත වෙයි. බාහිය දාරු විරිය, සන්තති මහාමාත්‍ය, උග්ගසේන රහත් ඵලයට පත්වූයේ ගිහිව සිටිය දීය. පේෂකර්ම දුහීතෘන් , සුප්පබුද්ධ ඇතුළුව බොහෝ දෙනෙකු මගඵල ලැබුවේ ගිහියන් වශයෙනි. සංඝරත්නය ගැන මෙයත් උදාහරණයකි.

අපි ගිහියෝ වෙමු. අපට ගුණදම් රකින්නට නුපුළුවන. බුදුසසුන් රකින්නට නුපුළුවන. එය භික්‍ෂූන්ට භාර යැයි සිතා ගිහි මිනිස්සු බුද්ධශාසනය රැකීමේ කොන්ත්‍රාත් වැඩය භික්‍ෂූන්ට භාර දී සිටිති. ඒ ගැන ඔවුහු භික්‍ෂූන්ට කැම් බීම්, ඇඳුම්, පැළඳුම්, ඉඳුම්, හිටුම් සහ අනෙක් වුවමනා සියල්ලත් සපයති. එහෙයින් මේ කොන්ත්‍රාත් වැඩ හරියට නොකරන කල ඔවුහු භික්‍ෂූන්ට බැණ වදිති. නොයෙක් කපටි කෛරාටික කම්වලින් ධන සපයමින් දුෂ්චරිත කරමින් සිට තමාට ඉඩ ඇති වේලාවක පන්සලට ගොස් පින් ගෙනෙන්නට භික්‍ෂුව ළඟ පින් එකතු කරගෙන තිබිය යුතුයැයි, ගිහියා සිතයි. භික්‍ෂුව දුස්සීල නම්, ඔහුගේ ගබඩාවේ පින් නැත. එහි පින් නැති වූ කල තමා පින් ගන්නේ කොතැනිදැයි ගිහියා භය වී භික්‍ෂූවට බැණ වදියි. අද සාමාන්‍ය බෞද්ධයාගේ තත්ත්වය මෙයයි.

කිසියම් භික්‍ෂුවක් වරදක් කළ විට ඔහු බුද්ධශාසනය වනසතැයි ගිහියෝ කෑගසති. ගිහියා වරදක් කිරීමෙන් ඔහුත් බුද්ධශාසනය වනසන බැව් හෙතෙමේ නො සිතයි. ක්‍රිස්තියානි පූජකයෙකු වරදක් කළත් , මුස්ලිම් කාරයෙකු වරදක් කළත්, සැබවින්ම එය බුද්ධශාසනය කඩ කිරීමකි. බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූයේ එක් පක්‍ෂයක පමණක් යහපත පිණිස නොවේ. උන්වහන්සේ සියල්ලන්ට සාධාරණය. එනිසා කවරකු වරදක් කළත් එය උන්වහන්සේගේ අවවාදය, ශාසනය නොරැකීමයි.

“ගිහිපැවිදි දෙපක්‍ෂයම සංඝ රත්නයට අයත් වෙතොත් විනය පිටකය ඒ දෙපක්‍ෂයටම ද? “

නැත විනය පිටකය භික්‍ෂූ, භික්‍ෂුණී, දෙපක්‍ෂයටයි. එය සාමාන්‍යයෙන් ශ්‍රාවක සංඝයාට නොව විශේෂයෙන් භික්‍ෂූ භික්‍ෂූණි දෙපක්‍ෂයේ සංඝයාටයි.

“එසේ නම් සාඝිකය ගිහි පැවිදි දෙපක්‍ෂයටම සාධාරණද? “එයද එසේ නොවේ. භික්‍ෂු සංඝයාට පමණක් පවරන ලද්දක් භික්‍ෂුණී සංඝයාට හෝ වෙන කාහටවත් අයත් නොවේ. භික්‍ෂුණි සංඝයාට පමණක් පවරන ලද්දක් භික්‍ෂූ සංඝයාටවත් අන්‍යයන්ටවත් අයත් නැත. සාමාන්‍යයෙන් ගිහි පැවිදි දෙපක්‍ෂයට සාධාරණව යමක් කැප කරන ලද නම්, එය ඒ දෙපක්‍ෂයටම සමානය. එක් පක්‍ෂයකට පමණක් පවරන ලද්දක් තවත් පක්‍ෂයකට හිමිවිය නොහැක. එය ධර්මයට හෝ නීතියට නොගැලපේ. මෙය බෙදා තේරුම් ගත යුතුයි.

අවසන් කරන්නට පළමු තව වචන ස්වල්පයක් කියන්නට මම කැමැත්තෙමි. මේ අදහස් වරදවා නොගත යුතුයි. භික්ෂූන්ට දන්දීම නුවමනාය කියාවක් නැවැත්විය යුතුය කියාවත් සිහිනයකින් හෝ තේරුම් නොගත යුතුයි. සුසීල දුස්සීල භේදය ගැන වාද නොකොට , වුවමනා අයට වුවමනා තැනදී දන්දීම බෝධිසත්ව ගුණයයි. දන් දෙන්නේ තමන්ට පින් ගැනීමට නොව ලබන්නාට සැප දීම පිණිසයි. අද බොහෝ දෙන පිනට කෑදර වීමෙන් මුළාවී නොඑක් විහිළු දේ කරති. අනවශ්‍ය වූ දෙයක් නිශ්ඵල දෙයක් ප්‍රත්‍යක්‍ෂ තේරුම් නැති දෙයක් ආගමේ නම් කියාගෙන අඥාන ලෙස කිරීම පින්කමක් වන්නේ කෙසේද? පින්කමක් නම අවශ්‍ය වූ ප්‍රඥා සහගත වූ ක්‍රියාවක් විය යුතුයි. සංඝ රත්නයට ගිහි පැවිදි දෙපක්‍ෂයම අයත් බැව් කීමෙන් නුවණ මද ගිහියෙකුට අපිත් සංඝරත්නයට අයත් වෙමුය’යි අහංකාරව කථා කරන්නට ඉඩ ලබාගත හැක. නමුත් ඒ අහංකාර සිතත් සමගම ඔහු සංඝ රත්නයෙන් යොදුන් සිය දහස් ගණනක් ඈත්වන බැව් තේරුම් ගත යුතුයි.

අමුතුම ජීවිතයක් ගත කරන පැවිද්දෙකුටත් සංඝරත්නයට අයත්වීම පහසු නොවේ. ඉතින් සාමාන්‍ය ගිහියෙකුට එහි අන්තර්ගත වීම කොතරම් අපහසු ක්‍රියාවක්ද? ගිහි පැවිදි දෙපක්ෂයම සංඝ රත්නයට අයත්ය කියා ගිහියන් විසින් පැවිද්දන්ට පැවැත්විය යුතු සමාජ චාරිත්‍රයන් ආචාර සමාචාරයන් යමකු සැහැසි ලෙස ඉක්ම වතොත් එය ඉතා කනගාටුදායක කරුණකි. පැවිද්දාට ගිහියා විසින් ගරු කිරීම ශිෂ්ට සමාජයේ හැම කල්හිම පවත්නා යහපත් සිරිතකි. මේ කරුණු නිසි පරිදි, බෙදා, විසඳා නුවණින් තේරුම් ගත යුතුයි.”

“සත්‍යොදය” පොතෙනි.

නොවියත් සැදැහැවතුන් හා වියත් මිසදුටුවන් තුළ බුදුන් වහන්සේ ගැන ධර්මය ගැන, සංඝයා ගැන පවත්නා විවිධ මතිමතාන්තර හේතුකොට ගෙන නොයෙකුත් විකෘති ප්‍රකට කරනු ලැබේ. එය බෙහෙවින් ධර්මාවබෝධයට හානිකරය.

බුද්ධ චරිතය පිළිබඳව නිවැරැදි අවබෝධයක් නොමැතිව ධර්මය අවබෝධ කොට ගත නො හැකිය. ධර්මය පිළිබඳ අවබෝධයක් නොමැතිව බුදුන් වහන්සේ ගැන දැන ගත නො හැකිය. යමෙක් ධර්මය දකීද හේ බුදුන් දකී යනුවෙන් වදාළේ එහෙයිනි.

තුනුරුවන්, නිවැරදි ලෙස හඳුනා ගැනීම සම්බුද්ධත්ව ජයන්තියට පිළිවෙතින් පෙළ ගැසීමට මහඟු උපකාරයක් වනවා නො අනුමානය.

මැදින් පුර පසළොස්වක පෝය

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 19 වන දා සෙනසුරාදා පූර්ව භාග 03.37 ට ලබයි.
එදිනම අපරභාග 11.41 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම
මාර්තු 19 වන දා සෙනසුරාදාය.

මීළඟ පෝය
මාර්තු 26 වන දා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 19

Second Quarterඅව අටවක

මාර්තු 26

New Moonඅමාවක

අප්‍රේල් 02

First Quarterපුර අටවක

අප්‍රේල් 11

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]