UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

අංගුත්තර නිකායෙන් අකුසල ධර්ම උපදවන හේතු

දෙසැම්බර් 13 පත්‍රය හා සම්බන්ධයි

මෙම බාල, පාපී පුද්ගලයන්ගෙන් වෙන් වූ, ඊට විරුද්ධ වූ හැඟීම් ඇත්තෝ පණ්ඩිතයෝ ය. නුවණැත්තෝ ය. ඔවුහු මෙසේ ය.

1. අකප්පියො අකප්පිය සඤ්ඤී - නොකැප දේ නොකැප ලෙස සිතයි.
2. කප්පියෙ කප්පිය සඤ්ඤී – කැප දේ කැප ලෙස සිතයි.
3. අනාපත්තියා අනාපත්ති සඤ්ඤී – ඇවැත් නොවන දේ ඇවැත් නොවන දේ ලෙස සිතයි.
4. ආපත්තියා ආපත්ති සඤ්ඤී – ඇවැත් ඇවැත් ලෙස සිතයි.
5. අධම්මෙ අධම්ම සඤ්ඤී – අධර්මයෙහි අධර්මයයැයි සිතයි.
6. ධම්මෙ ධම්ම සඤ්ඤී – ධර්මයෙහි ‘මේ ධර්මය ‘ යි යන හැඟීම ඇත.
7. අවිනයෙ අවිනය සඤ්ඤී – අවිනයෙහි ‘මේ විනය නොවේ’ යන හැඟීම ඇත.
8. විනයෙ විනය සඤ්ඤී – විනයෙහි මේ විනයයි යන හැඟීම ඇත.

ආශ්‍රව වැඩෙන්නෝ

ආශ්‍රව වඩා වර්ධනය වන පුද්ගලයෝ දස දෙනෙකි.

1. කුකුස් නොකළයුත්තෙහි කුකුස් කරන්නාට න කුක්කුච්චායිතබ්බං කුක්කුච්චායති
2. කුකුස් කළයුත්තෙහි කුකුස් නොකරන්නාට
3. නොකැපවූ දෙයෙහි කැපය යන හැගීම ඇත්තාට
4. කැප වූ දෙයෙහි නොකැපය යන හැඟීම ඇත්තාට
5. ඇවැත් නොවන දෙයෙහි මේ ඇවැතකැයි සිතන්නාට
6. ඇවැත් වන දෙයෙහි මේ ඇවැතක් නොවේ යැයි සිතන්නාට
7. අධර්මයෙහි ‘මේ ධර්මයවේ’ යන හැඟීම ඇත්තාට
8. ධර්මයෙහි ‘මේ අධර්මය වේ’ යන හැඟීම ඇත්තාට
9. අවිනයෙහි ‘මේ විනයවේ’ යන හැඟීම ඇත්තාට
10. විනයෙහි ‘මේ විනය නොවේ’ යන හැඟීම ඇත්තාට

මෙයට ප්‍රතිවිරුද්ධ වූ චින්තන, සිතුවිලි ඇත්තෝ පණ්ඩිතයෝ ය. ඔවුන්ට ආශ්‍රව නොවැඩේ. මෙම සිතීම් ක්‍රම දහම ආශ්‍රව වර්ධනය කරවන බැවින් දුරලිය යුතු ය. ඊට ප්‍රතිවිරුද්ධ වූ සිතුවිලි ජනිත කර ගැනීමට උත්සාහ කටයුතු ය. දසවැනි බාලවග්ගයේ එන සූත්‍ර ධර්ම විස්සෙන් සාකච්ඡා කරනුයේ මෙම කරුණු පිළිබඳවය. එනිසා පාඨක ගිහි – පැවිදි සැම තමාට අයත්ව අති බාල ලක්‍ෂණ වේ නම් ඒවා අත්හැර පණ්ඩිත ලක්‍ෂණ හා චින්තන ධාරා ජනිත කරගැනීමට උත්සාහ ගැනීම කුසල් වැඩීමට හේතු වේ. අංගුත්තර නිකායේ දුක නිපාතයේ එකොළොස්වන වර්ගය ආසාවග්ග නම් වේ. එහි ද පුද්ගල ආශාවන් හා ගති ස්වභාවයන් පිළිබඳව කියැවේ. කරුණු දෙක දෙක බැගින් කරන එම වග්ගයට අයත් සූත්‍ර 12 අර්ථ පහත දැක්වේ.

1. මහණෙනි මේ ආශා දෙකක් දුරලීම ඉතා දුෂ්කරය. (දුප්පජහා)

එම ආශා දෙක නම් –

1. ලාභාශාව (ලාභාසා)
2. ජීවිතාශාව (ජීවිතාසා)

“ලාභයක් හෙට ලබන්නෙමු” යි යන ආශාව නිසා සත්වයෝ වසර දහයක් විස්සක්, තිහක් පමණක් නොව මුළු ජීවිත කාලයම අපේක්‍ෂා සහගතව රාජ්‍ය සේවාව කරති. කෘෂි වෙළඳාම් සිදු කරති. විදේශගත වෙති. නානාප්‍රකාර සිප් සතර උගනිති. ලාභාශාව එබඳුය. ජීවිතාශාව කෙතරම් බලවත් ද යත් වසර සීයක් ඉක්මවා මරණාසන්න වූ වයෝවෘද්ධ පුද්ගලයා පවා තවත් වසර සීයක් තමාට ජීවත්වීමට ලැබේවායි පතයි. කර්ම නිමිති ආදිය දකිමින් සිටින විටත් ‘දන් දෙව, සිල් රකුව‘ යි අන් අය දෙන උපදෙස් පිළිනොගෙන, “මේ මගේ මරණ කාලය නොවේ, තව වසර කීපයක් මම ජීවත් වෙමියි” ඔහු එම අවවාද ප්‍රතික්‍ෂේප කර රාගාදී ලෙකෙස් භරිතවම වෙසේ. වස්තුව ගොඩගසයි. රැස්කරගත් වස්තුව අත්නොහරී. බෙදා නොදෙයි. ජීවිතාශාව මෙබඳු බරපතළ දෙයකි.

2. මහණෙනි මෙලොව පුද්ගලයෝ දෙදෙනෙක් දුබල වෙති. (ද්වෙ මෙ භික්ඛවෙ පුග්ගලා දුල්ලභා ලොකස්මිං) ඒ දෙදෙන නම් -

1. යො ච පුබ්බකාරී – පළමුව උපකාර කරන්නා.
2. යො ච කතඤ්ඤු කතවේ දී – කෘතඥ වූ කෘතවේ දී පුද්ගලයා.

පළමුව කෙනෙකුගේ විපතකදී කරදරයකදී කිසියම් උපකාරයක් කරන්නා පුබ්බකාරී නම් වේ. ණයක් දීම, ආහාර පානාදියක් දීම හෝ වෙනත් භෞතික වස්තුවක් දීමෙන් හෝ උපදේශනයෙන් පළමුව උපකාර කළ හැකි ය. එය හුදෙක්ම කරුණා සිතුවිල්ලෙන් (පර දුක්ඛෙ සති සාධුනං හදයකම්පනං කරොතීති කරුණා) සිදුවන්නකි. එසේ කරන ලද උපකාරය පසුව සිහියේ තබාගන්නා, පසුව ප්‍රත්‍යුපකාර කරන්නා ‘කතඤ්ඤ කතවේදී’ නම් වේ. කළගුණ දන්නා, කළගුණය සිහිකරන හෙතෙම තමා ගත් ණය වහා පියවන්නේ ය. තමාට උපකාර කළ තැනැත්තාගේ විපතකදී වහා පිහිට වන්නේ ය. මානව සමාජයේ යහ පැවැත්මට උපකාරී වන මේ පුද්ගලයෝ දෙදෙන සොයා ගැනීම අතිශය දුෂ්කර කාර්යයකි.

3. මහණෙනි, මෙලොව දුර්ලභ පුද්ගලයෝ දෙදෙනෙකි. ඒ දෙදෙන නම්,

1. තිත්තො ච – තෘප්තිමත් වූ තැනැත්තා
2. තප්පො ච – තෘප්තියට පමණුවන තැනැත්තා

තිත්තො යනු ආශාවන්ගේ කෙළවරට ගොස්, ආශාවන් සම්පූර්ණයෙන්ම නැතිකළ පුද්ගලයාය. පුහුදුන් පුද්ගලයන්ගේ ආශාවන්හි කෙළවරක් නැත. අතිතෙතා තණ්හා දාසො අතෘප්තිමත් තණ්හා දාසයෙකි. තෘප්තිමත් තැනැත්තෝ නම් පසේබුදුවරු, තථාගත ශ්‍රාවක රහතන් වහන්සේලා යන උතුමෝ ය. තිත්තොච තප්පොච – තමා තෘප්තියට පත් වූද අනුන් තෘප්තියට පමුණු වන්නා වූ ද ඉතා ම දුර්ලභ පුද්ගලයා නම් සම්මා සම්බුදුපියාණන් වහන්සේ ය. මේ පුද්ගලයන් දෙපිරිස දැකීම ඉතාම දුර්ලභ වේ.

4. මහණෙනි, මේ පුද්ගලයෝ දෙදෙන දායකයා විසින් තෘප්තිමත් කළ නොහැකි වෙත්. කවර දෙදෙනෙක් ද?

1. යොච ලද්ධං ලද්ධං නික්ඛිපති – ලැබූ ලැබූ දේ සඟවන්නා
2. යො ච ලද්ධං ලද්ධං විස්සජ්ජෙති – ලද ලද දේ වියදම් කරන්නා

මේ දෙදෙනාම කිසිදාක සතුටට පත්නොවන ප්‍රතිග්‍රාහකයෝ වෙති. පළමුවැන්නා ලබන ලබන දේ සඟවයි. තැන්පත් කරයි. දෙවැන්නා තමාට ලැබෙන සියලු දේ අනුන්ට දෙයි.

වියදම් කරයි. මේ පුද්ගලයෝ දෙදෙනම දායකයකු යමක් දෙන තෙක් බලා සිටිති. කවර ලෙසකින් වත් ‘දැන් ඇතැයි’ තෘප්තිමත් නොවෙති. සෑම දාම ‘මදි, මදි’ යන සිතින් පසුවෙති.

5. මහණෙනි, මෙලොව දායකයා විසින් පහසුවෙන් සන්තර්පණය කළ හැකි (සතුටු කළ හැකි) පුද්ගලයෝ දෙදෙනෙකි. ඒ දෙදෙන නම් -

1. යො ච ලද්ධං ලද්ධං න නික්ඛිපති – ලබන ලබන දෙය තැන්පත් නොකරන්නා (නොසඟවන්නා)
2. යො ච ලද්ධං ලද්ධං න විස්සජ්ජෙති – ලබන ලබන දෙය වියදම් නොකරන්නා.

තමාට ලැබෙන දෙයින් යැපෙන පමණ රැගෙන අනුන්ට දීම ශ්‍රේෂ්ඨ ගුණයක් ලෙස අටුවාවේ විග්‍රහ වේ. සියල්ලම අනුන්ට දීම නොදීම ඔහුගේ ලක්‍ෂණයයි. එනිසා එබඳු සතුටට පත් කළ හැකි ය.

6. මහණෙනි රාගය ඉපදීමට හේතුවන පුත්‍යයෝ දෙදෙනෙකි. ඒ දෙක නම්,

1. සුභනිමිත්තඤ්ච - සුභනිමිත්ත ද

. අයොනිසොච මනසිකාරො - නුනුවණින් මෙනෙහි කිරීමද යන දෙකයි.

සුභ, යහපත්, ඉෂ්ට තමා පි‍්‍රය කරන අරමුණ, නිමිත්ත දෙස අයෝනි, සෝ මනසිකාරයෙන් බැලීමෙන්, පුන පුනා බැලීමෙන් රාගය වැඩේ.

7. එලෙසින්ම ද්වේෂය ඉපදීමට හේතුවන ප්‍රත්‍යයෝ දෙදෙනෙකි. ඒ දෙදෙන නම්,

1. පටිඝ නිමිත්තඤ්ච – ප්‍රතිඝ (ගැටෙන) නිමිත්ත ද
2. අයොනිසො ච මනසිකාරො - නුනුවණින් මෙනෙහි කිරීම ද යන කරුණු දෙකයි.

තමා අපි‍්‍රය කරන, තරහ ඇතිවන පටිඝ අරමුණ අයෝනිසෝ මනසිකාරයෙන් යුතුව දැකීමෙන් පුන පුනා දැකීමෙන් ද්වේෂය නමැති අකුසල මූලය ඇතිවේ.

8. මහණෙනි! මිථ්‍යා දෘෂ්ටියේ ඉපදීමට හේතුවන කරුණු දෙකකි. ඒ දෙක නම්,

1. පරතොච ඝොසො - අනුන්ගෙන් අසත්ධර්මය ඇසීම
2. අයොනිසො ච මනසිකාරො - නුනුවණින් මෙනෙහි කිරීම

9. මහණෙනි! සම්‍යක් දෘෂ්ටියේ ඉපදීමට හේතුවන කරුණු දෙකකි. ඒ දෙක නම්,

1. පරතොච ඝොසො - අනුන්ගෙන් සත්ධර්මය ශ්‍රවණය කිරීම
2. යොනිසො ච මනසිකාරො - නුවණින් මෙනෙහි කිරීම

10. මහණෙනි මේ සසුනෙහි ඇවැත් දෙකකි. ඒ දෙක නම්,

1. ලහුකාච ආපත්ති – ලුහු ඇවත (කුඩා ඇවත)
2. ගරුකාච ආපත්ති – ගුරු ඇවත (මහ ඇවත)

11. තවත් ඇවැත් දෙකකි.

1. දුට්ඨුල්ලාච ආපත්ති – දුට්ඨුල්ල ඇවත
2. අදුට්ඨුල්ලා ච ආපත්ති – දුට්ඨුල්ල නොවන ඇවත

12. තවත් ඇවැත් දෙකකි.

1. සාවසෙසා ච ආපත්ති
2. අනවසෙ සා ච ආපත්ති.

ආසා වග්ගයේ මල් සූත්‍ර පහේ පුද්ගලයන් පිළිබඳ චරිත වර්ගීකරණයක් දැක්වේ. එය මනෝවිද්‍යාත්මකව ලාභාශා හා ජීවිතාශා ලෙසද සමාජ විද්‍යාත්මකව පුබ්බකාරී, කතඤ්ඤු කතවේදී, තිත්ත – තප්ප, ලද ලද දේ සඟවන හා වියදම් කරන ලෙසද විවරණය වේ.

අනතුරුව සාකච්ඡා කරනුයේ රාග, ද්වේෂ, මෝහ යන අකුසල මූලයන් ජනිත වීමට, දිගුකල් පැවතීමට හේතුවන කරුණු පිළිබඳවයි. අයෝනිසෝ මනසිකාරය මේ සියලු අකුසල මූලයන් ජනිතවීමට බලපාන බව 6 වන සූත්‍රයේ සිට 8 වන සූත්‍රය දක්වා කියවීමෙන් අවබෝධ වේ. සම්‍යක් දෘෂ්ටිය ඉපදීමට හේතුවන කරුණු 9 සූත්‍රයේ දැක්වේ. 10, 11, 12 සූත්‍ර තුන විනය පිටකයේ එන ආපත්ති පිළිබඳ වර්ගකර දැක්වීමකි.

නවම් පුර අටවක පෝය

නවම් පුර අටවක පෝය පෙබරවාරි 10 වන දා බ්‍රහස්පතින්දා පූර්වභාග 12.00 ට ලබයි.
12 වන දා සෙනසුරාදා පූර්ව භාග 01.24 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 11 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය
පෙබරවාරි 17 වන දා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 11

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 17

Second Quarterඅව අටවක

පෙබරවාරි 24

New Moonඅමාවක

මාර්තු 04

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]