බුදුරදුන් වදාළ
පිළිවෙළ කතා
2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති
ජනාධිපති මෙහෙයුම් කමිටුවේ
සහකාර ලේකම්
කේ.කේ. සුගතපාල
දියට වන් පුද්ගලයාට දිය ගලා යන පහළට පිහිනීම පහසු කාර්යයකි. දියෙහි උඩු
අතට පිහිනීමට නම් යම් වීර්යයක්, ආයාසයක්, වෙහෙසක් දැරිය යුතුය.
බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය පර්යාප්ති (පෙලදහම දැනගැනීම),
ප්‍රතිපත්ති (දැනගත් දහම ක්‍රියාවට නැඟීම) හා ප්‍රතිවේධ (ක්‍රියාවට
නැඟීම තුළින් ප්‍රත්‍යක්‍ෂ කිරීම,) වශයෙන් ත්‍රිවිධ වෙයි. එකී ධර්මය
අවබෝධකර ගැනීමට නම් ඉහත කී පරිදි දියෙහි උඩට පිහිනීම වැනි යම් වීර්යයක්
දැරිය යුතුය.
පංචිකාවත්ත අභයසිංහාරාමයේ බිතු සිතුවමක් සිතුවම එම්. සාර්ලිස්
ඡායා - ජනක |
මේ දහම ශ්‍රාවකයා වෙත දේශනා කිරීමේදී තථාගතයන් වහන්සේ අනුගමනය කළ
පිළිවෙත ‘පිළිවෙළ කතා’ වශයෙන් හැඳින්විය හැකිය.
සදහම් මෙගහි යෑමට ශ්‍රාවකයා තුළ කැමැත්තක්, අවබෝධයක් ඇතිකිරීමට
බුදුරජාණන්වහන්සේ මේ පිළිවෙළ කතා ක්‍රමය බොහෝ විට අනුගමනය කළ බව
ත්‍රිපිටක ධර්මයේ සඳහන් වේ.
බුදුරජාණන් වහන්සේ ලෝක සම්මත ධර්මයට ගරු කරමින්ම පරමාර්ථ දහමට තම
අනුගාමිකයා පොළඹවා ඇති බව මේ කතා මාර්ගයෙන් සනාථ වේ.
ඒ වන විට දේවවාදි නා අදේවවාදි ආගම් තුළින් ජනයා පෙළ ගස්වා තිබුණේ
දිව්‍ය ලෝක සම්පත් හා බ්‍රහ්ම ලෝක සම්පත් අනුභවය සඳහාය. ඔවුනගේ ‘නිවන’
ද ඒවාම විය. එහෙයින් බුදුරජාණන් වහන්සේ තම ධර්මය තුළින්, දීමෙන්
(දානයෙන්) මෙම දිව්‍යලෝක සම්පත්තිය ලැබිය හැකි බවත් සමාධි භාවනාවෙන්
බ්‍රහ්ම සම්පත් ලැබිය හැකි බවත් දේශනා කරමින්ම කාම, රූප, අරූප භව
සම්පත්තීන්හි ආදීනව දේශනා කළ සේක.
ආදීනව දේශනාව මගින්, තම අනුගාමිකයා කාමයන්ගෙන් මුදවා ගැනීමට නෙක්ඛම්ම
දේශනාව කළ සේක. කාම සම්පත්තින්හි ආදීනව දැක නික්මුණු ශ්‍රාවකයාගේ සිත
සාමුක්තංසික (ගැඹුරු) දේශනාවට මෙහෙයවන ලදී. මේ එක් එකක් පෙළදහමෙහි හා
අටුවාවන්හි එන අයුරු මෙසේ පෙළගැස්විය හැකිය. ඒ පිළිවෙළ කතා නම්,
1. දාන කතා
2. ශීල කතා
3. සග්ග කතා
4. ආදීනව කතා
5.නෙක්ඛම්ම කතා
6. සාමුක්කංසික දේශනා වශයෙනි.
1. දාන කතා
දානය නම් දීමයි. දිය යුත්තේ කෙසේද? ලෞකික අපේක්‍ෂා රහිතව නිවන් අරමුණු
කොටම දීම බෞද්ධයාගේ දානයයි. එනම් තණ්හාව ක්‍ෂය වන පරිදි දීමය. දෑත,
දෙපය ආදිකොට බාහුව වෙහෙසා, දහදිය හෙළා, ගත සිත යොදා, උපයාගත් දෙයින්
(දෙය්‍ය වස්තු) දෙන වස්තුවම උතුම් දීම ලෙස සැලකේ. එසේ වුවත් ධර්ම දානයම
උතුම්වේ. අභය දාන, ශ්‍රමදාන ආදි පරිභෝග නොවන වස්තු දීමද පරිභෝග
වස්තූ®න් දීමට වඩා උතුම් දාන ලෙස දහමෙහි සඳහන් වේ.
එසේම දන් දීමේ බොහෝ ප්‍රභේද ඇත. මෙහිදී බෞද්ධයන්ගේ දන් දීම ගැන සඳහන්
කරන විට ශ්‍රද්ධාවෙහි පිහිටා දන් දීම ඵලදායක වේ. පින කෙතක් වේ නම්, එය
පෝරුගා බිජු වැපිරීමට සකසා ගැනීම ශ්‍රද්ධාවයි. තුනුරුවන් කෙරෙහි
ගෞරවයෙන් තුනුරුවන් ගුණ විමසීමේදී ඒ ගැන තව තවත් විශ්වාසය තහවුරු වේ
නම් තුනුරුවන් කෙරෙහි පැහැදේ නම් ශ්‍රද්ධාව එය වේ.
මෙවන් වූ ශ්‍රද්ධාව මටත් ඔබටත් පිහිටා ඇති බව තේරුම් ගැනීමට මිනුම් දඬු
තුනක් පෙන්වා දිය හැකිය. ඒ නම් දීමට ඇති කැමැත්ත සද්පුරුෂ ඇසුරට ඇති
කැමැත්ත සහ සද්ධර්ම ශ්‍රවණයට ඇති කැමැත්තයි ශ්‍රද්ධාවෙහි පිහිටා
දන්දීමෙන් ලැබෙන ආනිසංස බොහෝය.
දානය නම් සැපයට නිධානයකි. සම්පත් ලැබීමට මුලයි. භෝග ලැබීමට ආධාරයකි.
විරුද්ධකරුවන් නැති කරවන්නකි. ආරක්‍ෂාව සලසන්නකි. පරලොව ගමනට පිහිටකි.
මෙලොව, පරලොව දෙකටම දානය සමාන අස්වැසිල්ලක්, පිහිටක් තවත් නැත. දානය
ලෙනක් මෙනි. දානය සිත සිතා, සිත නවතා ගත හැකි තැනෙකි. සිතට නැවතිය හැකි
පහසු තැනෙකි.
දන්දීම හොඳ ගතියකි. අනාගත බලාපොරොත්තු තබාගත හැකි දෙයකි. අනුන් සිත්
දිනාගත හැකි මෙවන් දෙයක් තවත් නැත. දානය පිහිටක් කොට යන අර්ථයෙන් ගන්නේ
නම් ‘රනින් කළ සිංහාසනයක්’ සමානය. දානය පිහිටි තැනක් වශයෙන් ගන්නේ නම්
‘මහපොළොව’ මෙනි. දානය ආරම්මණයක් (අරමුණක්) වශයෙන් ගන්නේ නම් අනතුරකින්
මිදිය හැකි එල්බෙන රැහැනක් බඳුය. මෙය දුකින් එතෙරවීම යන අර්ථයෙන්
‘නැවක්’ හා සමානය. බියක් ඇති තැන අස්වැසීම් වශයෙන් ගන්නේ නම්
‘සංග්‍රාමයට වන් සූරයකු’ බඳුය. හාත්පසින්ම භය ඇති තැන්හි ආරක්‍ෂා
වශයෙන් ගන්නේ නම් මනාකොට තැනූ සතුරු උපද්‍රවවලින් වළකා ගත් නගරයක්
බඳුය.
අපිරිසුදු වූ මසුරු මල(ලෝභකම) ආදියෙන් ගත් කල දානය ‘පියුමකි’.
අපිරිසුදු වූ මසුරු මල (ලෝභකම) දැවීම් අර්ථයෙන් ගත්කල ‘ගින්නක්’ වැනිය.
සතුරකුට ළඟා නොවීම අර්ථයෙන් ගත් කල ආසීවිසයෙකි. (සර්පයෙකි) භය නැති
අර්ථයෙන් ගත් කල දන් දෙන්නා ‘සිංහයකු’වැනිය.
දානය බල අර්ථයෙන් ගත් කළ ‘ඇතෙකි’.ක්‍ෂේම භූ®මියට කැඳවාගෙන යන අර්ථයෙන්
වළාහක (අහසෙහි ගමන් කළ හැකි) අශ්ව රාජයෙකි. බුදුරජාණන්වහන්සේ දේශනා
කරන්නේ මහණෙනි, මේ දානය නම් තමන් වහන්සේ ගිය මාර්ගය යැයි යනුවෙනි.
‘මාගේම වංශය’ වශයෙනි. දස පාරමිතා පුරණය කළ මේ මාගේ ‘මහා යාගය’ යි.
සසරේදී වේලාම මහා යාගය (වේලාම සූත්‍රයේ එයි), මහා ගෝවින්ද මහා යාගය
(මහා ගෝවින්ද සූත්‍රය) , මහා සුදස්සන මහා යාගය (මහා සුදස්සන සූත්‍රය),
වෙස්සන්තර මහා යාගය (වෙස්සන්තර ජාතක කතාව) ආදී නොයෙක් මහා දාන යාගයෝ
මවිසින් පවත්වන ලදහ. සා ජාතියෙහි සිටි කල දැල්වෙන ගිනි කඳෙහි තමා පැන
ජීවිතය දන් දීමට පමා නොවූහ.
දානය වනාහී බ්‍රහ්ම සම්පත්තිය, චක්‍රවර්ති සම්පත්තිය, ශ්‍රාවකපාරමී
ඤාණය, පච්චේක බෝධි ඤාණය, අභිසම්බෝධි ඤාණය ආදි මේ ඤාණයන් ලබාදෙයි.
2. ශීල කතා
ශීලය නම් ඉන්ද්‍රිය සංවරයයි. ඉන්ද්‍රිය සංවරය නම් කය හා වචනය පස්කම්
සැපය නමැති මුලාවෙන් බේරා ගැනීමට වීර්ය කිරීමයි. ශීල සමාදානය මැනැවින්
කළ හැක්කේ දන් දෙන අයටය. ශීලයෙහි පිහිටා සිටින්නාට එය ආරක්‍ෂා
ස්ථානයකි. ශීලයෙහි ඇති අරමුණු පිහිට ලබාදෙයි. ශීලයෙහි පිහිටා සිටින්නා
පහසු ස්ථානයක (බැදීම් නැති ) සිටින්නා වැනිය. ශීලයෙහි පිහිටා සිටින්නා
අව් , වැසි, සුළං ආදියෙන් ආරක්‍ෂා වන නිහඬ ලෙනක සිටින්නා වැනිය.
ශීලය ආරක්‍ෂා කිරීම පරලොවටද යහපතකි. මහණෙනි, ශීලය මගේ වංශයයි. (ශීලයෙහි
සංවරව පිඬු සිඟා වැඩි බුදුරජාණන්වහන්සේ දුටු සුද්ධෝදන රජු කළ විමසීකට
පිළිතුරු දෙමින් මහරජ, ඒ ඔබේ රාජවංශයයි. මේ මගේ බුද්ධ වංශයයි යනුවෙන්
දේශනා කළ සේක)
බුදුරජාණන් වහන්සේ ශීලයෙහි ආනිසංස දේශනා කරන්නේ මහණෙනි, මා තිරිසන්
ආත්ම භාව ලබා සිටියදී සංඛපාල නාග රාජව, භුරිදත්ත නා රජව, වම්පෙය්‍ය නම්
නාගරාජ කාලයෙහි, ශීලව නාග රාජව සිටිය දී, මාතුපෝෂක හස්තිරාජ කාලයෙහි,
ඡද්දන්ත හස්තිරාජ කාලයෙහි යන නොයෙක් ආත්ම භාවයන් හි ශීලය පිරුවෙමි.
මෙලොව පරලොව සැප අතරෙන් ශීලය සමාන සැපතක් තවත් නැත. ශීලාලංකාරය සමාන
අලංකාරයක් වෙනත් නැත. නොපැහැදුණු අය පැහැ දෙන ලෙසත්, පැහැදුණු අය වඩාත්
පහදින ලෙසත් හැසිරීමට බුද්ධානුශාසනාව වූයේ භික්‍ෂූන්හට සිල්වත්වකම
අලංකාරයක් සේ සලකාය. සිල් සුවඳ සමාන සුවඳක් නැත. සිල් සුවඳ දස දිසා
පැතිරෙයි මේ ශීලය දිව්‍යලෝක සම්පත් ලබා දෙන්නේය.
3. සග්ග (දිව්‍යලෝක සම්පත්) කතා
ශීලය නිසා දෙව්ලොව (සැප) ලැබෙන්නේය
මේ දිව්‍යලෝක සම්පත් ඉෂ්ටය. (පි‍්‍රය මනාප රුචි තැනකි)
මේ දිව්‍යලෝක සම්පත් කාන්තය, (සිත් ඇද ගන්නා සුළුය)
මේ දිව්‍යලෝක සම්පත් මනාපය. (මැනැවින් ඇති තැනකි)
ස්වර්ග සම්පත්ති කෙතෙක්දැයි වර්ණනා කොට නිමකළ නොහැකිය.
බුදුරජාණන් වහන්සේ අලංකාර කොට දිව්‍යලෝක සම්පත් වදාළ නමුත්
සර්වාභරණයෙන් සැරැසු ඇතාගේ සොඩ කපා හෙළන්නා සේ මේ ස්වර්ගය ද
අනිත්‍යය,අස්ථිරය ආදී වශයෙන් දේශනා කළ සේක. මේ ස්ථානය පිළිබඳ බලවත්
රාගය නොකට යුතුයැයි දැක්වීම පිණිස මේ සියලු කම් සැප අල්ප වූ ආශ්වාද
ඇත්තේය, බොහෝ දුක් ඇත්තේය. බොහෝ උපායාස (දැඩි ශෝකය) ඇත්තේය. මෙහි බොහෝ
ආදීනව ඇත්තේ යැයි මේ ආදී ක්‍රමයෙන් කාමයන්ගේ ආදීනව ද පහත් බවද කිලිටි
බව ද දේශනා කළ සේක.
4. ආදීනව කතා
කාමයන්ගේ ආදීනව පහත්ය, ලාමකය, කාමයන් සත්වයා කිලිටි කරයි. එයින් සත්වයෝ
ඒකාන්තයෙන් කිලිටි වෙත්. මෙසේ කාමයෙහි හැසිරීමෙහි වූ ආශ්වාදයන් තැති
ගන්වන ආදීනව දේශනා කළ සේක. මනුෂ්‍ය ලෝකයෙහිත් සදිව්‍ය ලෝකයන්හිත් කම්
සැප ඇති බව බුදු දහම පිළිගනී. නැතිනම් ජනයා මේ ලෝකයන්හි නො ඇල්ලෙන්නේය.
එහෙත් මේ ආශ්වාදය බොළඳ හා ලාමක වූවක් බවත් අස්ථීර හා අල්ප බවත් දේශනා
කරනු ලබන්නේ මෙසේය.
මනුලොව හා දෙව්ලොව පංච ඉන්ද්‍රියන් පිනවීම, කම් සැප විදීම යනු
ඇටසැකිල්ලකට බඳු උපමා ඇත්තේය. (මස්, ලේ නැති ඇට පමණි. ) මස් වැදැල්ලක්
බඳුය. (ලත් ලත් තැන ලගී) තණ හුලක් බඳුය. (උඩු සුළඟට අල්ලාගෙන යන වියළි
තණ යොදා සෑදූ දැවෙන පන්දමක් බඳුය) ගිනි අඟුරු වළකට බඳු උපමා ඇත්තේය.
කාමයන් සිහිනයක් බඳුය (සිහිනෙන් දුටු සම්පත් කිසිවක් අවදි වූ විට
නැත්තේ ය) කාමයන් පිරුළුවකට බඳුය. (ණයට කුලියට ඉල්ලා ගත් පිරුවටය ආපසු
දිය යුතුය) රුක්ඵල බඳුය (ඉඳුණු ඵලය කොයිවෙලේ වැටේදැයි වශයෙනි) කාමයෝ
දැඩි වෙහෙස ගෙන දෙන්නාහ. ආදී වශයෙන් බොහෝ ආදීනව (විපාක) ඇත්තාහ.
ඉහත කී දාන කතා, ශීල කතා හා සග්ග කතා දේශනා කළ තථාගතයන් වහන්සේ මෙසේද
දේශනා කළ සේක. යම් සේ අල්පමාත්‍ර අසූචි දුඟද වේ ද, මහණෙනි, භව
ප්‍රතිසන්ධිය ඇඟිලි පොලන කල් (ඇඟිල්ලෙන් ඇඟිල්ල ගසන කාලයක්) පමණකුදු
වර්ණනා නොකරමි. මුත්‍රා, කෙල, සැරව, ලේ මදකුඳු දුඟද වේ ද එසේ මම භවය
වර්ණනා නොකරමි. එහෙයින් නෙක්ඛම්ම හා සාමුක්කංසික දේශනාවන්ම බුදු දහම
වේ. අනෙකුත් කතා සියල්ල ධර්මයට නැඹුරු කිරීමේ පරමාර්ථ කොට දේශනා කර ඇත.
5. නෙක්ඛම්ම (කාමයෙන් වෙන්වීමේ ) කතා
ඉහත දැක්වූ කාමයන්ගේ අල්ප ආස්වාදයන් නිසා සත්ත්වයන් සසර පුරා ඉපදෙමින්
මැරෙමින් දීර්ඝ ගමනක නිරතව සිටින හෙයින් කාමයන්ගෙන් වෙන් ව සිටීමේ
ආනිසංස දේශනාව නෙක්ඛම්ම කතා නම් වේ. මේ සඳහා අන්ධ පෘථග්ජන භාවයෙන් මිදී
කල්‍යාණ පෘථග්ජන වීමත්, ඒ අනුව ශ්‍රද්ධානුසාරී ව, ධර්මය අසමින්, ධර්මය
දරමින්, ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි හැසිරෙමින් සේඛ ප්‍රතිපදාවට
පැමිණීමට මග පෙන්වන කතා නෙක්ඛම්ම කතා වේ.
6. සාමුක්කංසික (උත්කෘෂ්ට) ධම්ම දේශනා
‘සාමුක්කංසික’ යනු තමාම මතුකොට ගත යුතු, තමාම ඇති කරගත යුතු, තමා
විසින්ම උද්ධරණය කළයුතු (උඩට නඟා යුතු) ස්වයම්භූ ඥානයෙන් දැකිය යුතු
ධම්මතාවය සඳහා ශාස්තෘවරයා අනුගාමිකයාට කරන අනුශාසනාවයි, අවවාදයයි. මේ
කුමක්ද? ආර්ය සත්‍ය දේශනාවයි. දුක්ඛ, සමුදය, නිරෝධ , මග්ග නම් වූ
චතුරාර්ය සත්‍ය දේශනාවයි. පටිච්ච සමුප්පාද (හේතු ඵල) දේශනාවයි. නිවන
යනු කුමක්ද? සියල්ල අත්හැරියේ නිවනයි. මෙහි පුද්ගල, සත්ත්ව හෝ සංස්කාර
නැත.
අල්ලාගැනීම දුකට හේතුවේ. අත්හැරීම සැපයට හේතු වේ. සුඛය නම් අත්හැරීමයි.
එපමණක් නොව සාමුක්කංසික දේශනාවේ කර්මය හා පුනර්භවය ද ස්කන්ධ, ආයතන,
ධාතු පිළිබඳ විස්තරද කෙරේ. චේතනා මුල්කොට ගත් කර්ම නොඋපදවා ගන්නේ, කර්ම
රැස්කිරීමක් නොමැත. ඒ හේතුවෙන් පුනර්භවයක් නැත. නිවී ගිය පහන් දැල්ල සේ
භව කිස නිම කරන දේශනාවයි.
අපි සියල්ලෝ නිවනටම යොමු වූ සිත් ඇත්තෝ වෙමු.
|