කවදා මේ ණය ගෙවන්න ද?
බටුගොඩ ශ්‍රී ජයසුන්දරාරාමයේ
සාරිපුත්ත දහම් පාසලේ ආචාර්ය
එම්.එස්. රණතුංග
අකාලික දහමක් දේශනා කළ ගෞතම බුදුන් වහන්සේ එය අනුගමනය කිරීමෙන් මෙලොව
දියුණුවත් පරලොව විමුක්තියත් ලබාගත හැකි බව අවධාරණය කළ සේක.
කල්පාන්තරයක් සසර සැරිසරා අප මනුෂ්‍යත්වයක් ලබා ගන්නේ බොහෝ අසීරුවෙනි.
මිනිසෙකු මෙලොවට බිහිවනුයේ ස්වභාව ධර්මයට එකඟව කර්ම ඵලය අනුව සසර ගමන
දැක එයින් මිදීමට අවස්ථාව ලබා දීමටය.
එහෙත් මෙලොවට බිහිවන මිනිසා මුල සිටම තමා ආ ගමන අමතක කරදමා පංච
ඉන්ද්‍රියයන් පිනවීමට පුරුදු වෙති. පරම්පරාගත පුරුදු නිසා හෝ ඇස, කණ,
නාසය, දිව, ශරීරය පිනවීමට අසීමිත වෙහෙසක් දරයි.
මේ නිසාම තම දෛනිකව ජීවිතය ගැටගසා ගැනීමට සරිකරනු ලබන දෙයට අමතරව ණය වී
හෝ මුදල් සොයා ඉන්ද්‍රියන් පිනවීමට තරම් මිනිසා මෝහයට මුලාවට පත්ව
සිටී. අතෘප්තිකර ආශාවන්ට වහල්වූ මිනිසා මේ නිසාම සසර ගමන තව තවත්
දික්කර ගන්නේ තමාද නොදැනීමය.
මෙලොවට බිහිවූ දා පටන් අපි ණයකරුවෝ වන්නෙමු. ඇහැට නින්දක් කුසට අහරක්
නැතුව අපමණ දුක් විඳ අප මෑණියන් අප මෙලොවට බිහිකරනුයේ විශාල ‘ආයෝජනයක්’
යොදවමිනි. අප වෙනුවෙන් ඇය යෙදවූ ආයෝජනය මල්ඵල දරා පොලියද සමඟ අප ගෙවිය
යුතු ය.
අප වෙනුවෙන් ඇය කළ මෙහෙයට අපි සදා ණය ගැති වෙමු. එමෙන්ම තම කුස ගැන
නොසිතා දවල් රාත්‍රි නොබලා අපගේ පියාණන් කොතරම් ආයෝජනයක් අප වෙනුවෙන්
කරන්නට ඇද්ද? ඒ අනුව එයින් යහපත් ප්‍රතිඵල අප ලබාගත යුතුව ඇත. ලබාදිය
යුතුව ඇත.
ඒ අනුව ඒ ණය අප කවදා ගෙවා දමන්නද? අද සමහරු තම දරුවන් බලා ගැනීම පිණිස
තම මහලු මව්පියන් යොදවා ඇති බව පෙනේ. එක ණයක් ගෙවාගන්නට බැරිව සිටියදී
තවත් ණයකට අප සම්බන්ධ විය යුතු නැත. ඒ ගැන එම දරුවන් වරක් නොව දෙවරක්
සිතා බැලිය යුතුව ඇත. මිනිසා අනන්ත අප්‍රමාණ දුක් සයුරින් ගලවා ගන්නට
මඟ දෙසා වදාළ වූ බුදුන් වහන්සේ මිනිසා ලබන සැපයන් හතරක් පිළිබඳවද දේශණා
කළ සේක.
අත්ථි සුඛ – ආර්ථික අතින් ලබන සැප, භෝග සුඛය – භව බෝග සම්පත් නිසා ලබන
සුවය, අණණ සුඛ – ණය කාරයකු නොවී නිදහස් පුද්ගලයකු ලෙස ලබන සැපය, අනවජ්ජ
සුඛය – නිර්ව්‍යාජ පුද්ගලයෙකු වශයෙන් ලබන සැපය වශයෙනි. මේ අනුව ණයක්/ණය
කාරයෙක් නොවී සිටීම උතුම් සැපතක් බව උන්වහන්සේ දේශනා කළ සේක. තවද
දෙමාපියන්ට දරුවන් වශයෙන් වූ ණය ගෙවීම පිළිබඳව ආනිසංස ඇත.
“දින්නාහං භික්‍ඛවේ න සුප්පතිකාරං වදාමි, මාතුච්ච පිතුච්ච ඒකනෙ
භික්‍ඛවේ අංසේන මාතරං පරිහරෙය්‍ය එකෙත අංසේන පිතරං පරිහරෙයං වස්සනායුකො
වස්්‍යතජීවී” වශයෙන් අවුරුදු සීයක් ආයුෂ ඇති අයෙකු අවුරුදු සීයක් ආයුෂ
ඇති දෙමාපියන් කරමත තබා ඇවිදිමින් ඔවුන්ගේ සියලු කටයුතු කලත්, ඒ ණය
ගෙවිය නොහැකි බව පෙන්වා දුන් සේක. එහෙත් තම මාපියන් මිථ්‍යාදෘෂ්ඨියෙන්
වලකා සීල සමාධි ප්‍රඥාවේ පිහිටුවනවානම් එම ණයෙන් නිදහස් විය හැකි බව
පෙන්වා දෙයි.
රටක සංවර්ධනය සඳහා රජු විසින් රාජ්‍ය භාණ්ඩාගාරයෙන් ඒ ඒ ජනයාට අවශ්‍ය
මූලික පහසුකම් ලබාදිය යුතුව ඇත. සුදුසු පුද්ගලයන් තෝරා මේ අනුව රාජ්‍ය
භාණ්ඩාගාරය ධාන්‍ය, බිත්තර වී ආදිය ලබාදෙන්නේ ණය ක්‍රමය යටතේ ය. මෙම
බීජ වපුරා ලබන ඵලයෙන් යම්කිසි කොටසක් භාණ්ඩාගාරයට ණය වශයෙන් ගෙවිය යුතු
ය. එසේ තමා ගත් ණය ගෙවා දමන්නේනම් භව බෝගයන්ගෙන් පිරි භාණ්ඩාගාරය තව
අයකුට ද ණය ලබාදී දැහැමින් රජය පවත්වාගෙන යා හැකිය. වත්මන් සමාජය දෙස
බලන විට නොයෙකුත් හේතූන් සඳහා රජය සහ බැංකු එක්ව මහජනයාට ණය නිකුත්
කරයි.
මෙයට අමතරව පෞද්ගලික මූල්‍ය ආයතනද රාශියකි. නියමිත පොලියක් සමඟ ණය
ලබාගන්නා පුද්ගලයා නියමිත කලට ගත් ණය, පොලියද සමඟ ගෙවිය යුතුව ඇත. ණය
ලබාගැනීම සඳහා ඇපකරුවන්ද අවශ්‍ය වේ.
ලබාගත් ණය නොගෙවීම මෙන්ම අනුන්ගෙන් ණය ලබාගත් පසු එය නොගෙවා අපහාස
කිරීම නිසා ඔවුන් බල්ලන්, කපුටන් වන බව අභිලේඛන ශාප පාඨ මඟින් පෙන්වා
දෙයි. (මොරගොඩ ලිපිය 4 ක කසජ) ඒ පිළිබඳව ඔරුවල සන්නස ලිපියේ - “මෙකී
නොයෙක් දෙනාගෙන් බතක් බුලතක් මෙවරක් පතක් දඩක් – කුලනී කෙනෙක් ඇත්නම්
සංජීව කාල සුත්‍රාදී අටමහ නරකයෙහි ප්‍රේතව උපන්නහු වෙති. (15 වන සියවස
ඔරුවල සන්නස) අභිලේඛන හා ශීලා ලේඛන පාඨ රාශියක මෙය පිළිබඳ විපාක සඳහන්
වේ.
මූල්‍ය ක්‍ෂේත්‍රයේදී බොහෝ අය තම අවශ්‍යතාවයට ණය ලබා ආපසු නොගෙවීම නිසා
ණයට දුන් ආයතන හා පුද්ගලයින් දැඩි අසීරුතාවයට පත් විය හැකිය. ඉතා
අත්‍යවශ්‍ය කරුණකදී ණයක් ලබාගැනීම වරදක් නොවූවද එම අවශ්‍යතාවය ඉටු වූ
පසු ණය අදාළ පොලිය සමඟ ගෙවිය යුතු ය.
එසේ නොකළහොත් බුදුන් වහන්සේ දේශනාකළ පරිදි වසල ගතියක් බව පෙන්වා දිය
යුතුව ඇත.
“යො භවේ ඉණමාදාය – බුජ්ජමානෝ පලායති
නහි හෙ ඉණමත්ථිති – තං ජඤඤා වසලෝ ඉති”
සමහර ව්‍යාපාරික ස්ථානවල “අද මුදලට හෙට ණයට” ණය දීමෙන් මුදලත් මිතුරත්
දෙකම නැතිවේ”, “ණයට දීමෙන් මට වූ දේ” ආදී වශයෙන් පුවරු ගසා තිබෙනුයේ
ණයට ගන්නන්ගේ චරිත ගැන පොඩි ඉඟියක් ද දෙමිනි.
ණයට දෙනවා නම් ඕනෑම දෙයක් ගන්නට ඇතැම් අය සූදානම්ව සිටී. එය ගෙවන
අන්දමක් ගැන නොසිතයි.
මෙලොව වශයෙන් ණය නොගෙවීම නිසා ලබන අපකීර්තියත්, පරලොව වශයෙන් ලැබෙන
ජීවිතය පිළිබඳවත් බියක් සිත් සතන් තුළ ඇති වන්නේ නම් එය සැනසීමට
කරුණකි. ගත් ණය නොගෙවීම නිසා “පස් ආකාර හයකට” මුහුණ දීමට ණය කරුවාට
සිදුවේ.
ණයගත් නිසා තම හදවතෙහි ඇතිවන ‘අත්තානුවාද භය’, තමා ණයකරුවකු බව දැනගත්
නෑ හිතවතුන්ගේ අවලාදයට පත්වීම ‘පරානුවාද භය’, ණය පිළිබඳව ලෝකයා දැන
ගැනීම නිසා ඇතිවන නින්දාව ‘ලෝකානුවාද භය’, ණය නොගෙවීම නිසා නඩුහබ වලට
පැටලී ලබන ‘දණ්ඩානුවාද භයද’, මරණ මොහොතේ හිත තුළට පැමිණ හොල්මන් කරන
‘දුග්ගනිය භය’ ද පසුවේ.
මෙසේ හේතුවන්නේ ‘ලද දෙයින් සතුටු නොවී’ අල්ප්‍යතාවය පුරුදු නොවී පස්කම්
සැප අපේක්‍ෂාවෙන් ගිය ගිය තැනින් ණය ගැනීම නිසාය.
උට්ඨාන වීර්යන්, දැඩි අදිටනත්, යෝනියෝ මනසිකාරයත් සමඟ කටයුතු කර ලද
දෙයින් සතුටුව සිතේ බර සැහැල්ලුවෙන් කටයුතු කරන්නේ නම් එවැනි සිතකට
ලැබෙන සහනය කොතරම්ද? එමෙන්ම ණය දීම නොකළ යුතු යැයි බුදුදහමේ කිසිදු
තැනක සඳහන් නොවන අතර, එසේ දීම නුසුදුසු නම් එදා අනේපිඬු සිටුතුමාට
බුදුන් වහන්සේ එහි අකැප භාවය පෙන්වනවා ඇත.
ණය ගෙන නොගෙවීම නිසා ඇතිවන ආදීනවය මෙනෙහි කර මෙලොවදී වන අපකීර්තියෙන්
මිදි පරලොවින් වන අගතියෙන් ගැලවීමට කටයුතු කරන්නේ නම් එය වඩා වැඩදායක
වනු ඇත. ‘ණයක් නැතිව ජීවත්වීමත් පිනකි’ |