සසර දුකින්
එතෙර කරන
චරණ ධර්ම
මඩගල්ල අරලිය මළුව තපෝවනය
ආරණ්‍ය සේනාසනාධිපති
ශාස්ත්‍රවේදී කම්මට්ඨානාචාර්ය
තපෝවනයේ සුමේධ හිමි
සනරාමර
ලෝක ස්වාමි වූ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ විසින් සත්වයා සසර දුකින්
නිදහස් කරලීම සඳහා නිරන්තරයෙන්ම අනුශාසනා කළ සේක. සසර දුක් කෙළවර කොට
නිවන සාක්ෂාත් කර ගැනීමට බලාපොරොත්තු වන තැනැත්තා පුරුදු පුහුණු කළ
යුතු කාරණා පහළොවක් පිළිබඳ බුද්ධ දේශනයෙහි සඳහන් වන්නේය.ඒ බව මජ්ජිම
නිකායේ (සේඛ සූත්‍රයේදී) තථාගතයන් වහන්සේ පැහැදිලි කොට ඇත.
චරණ ධර්ම යනු හැසිරීම් යන අර්ථයෙන් විස්තර වන්නේය. එසේ නම් නිවන
සාක්ෂාත් කරගැනීමට උත්සාහ වන පුද්ගලයා තුළ පවත්වාගත යුතු කරුණු පුරුදු
කිරීම් සමුදායක් ලෙසට එම පසළොස් චරණ ධරමයන් හැඳින්විය හැකිය.
බුදුරජාණන් වහන්සේ තුළ පැවැති විජ්ජාචරණ ගුණය පිළිබඳව විස්තරයේ ද
තථාගතයන් වහන්සේ විජ්ජාචරණ සම්පන්න වීමට හේතුව ලෙස මෙම චරණ ධර්මයන්ගෙන්
සමන්විත වීම ලෙසට දක්වා ඇත. චරණ ධර්ම අතර පළමුවැන්න ප්‍රාතිමෝක්ෂ සංවර
ශීලය ලෙස දත යුතුය. මෙය ශීල සංවරය ලෙස ද ගිණිය හැකිය. සසරින් නිදහස්වීම
සඳහා පිළිවෙත් පුරණ භික්ෂුව මනාව ප්‍රාතිමෝක්ෂ සංවරයෙහි පිහිටිය යුතුය.
තමා කුඩා සහ මහත් සියලු ශික්ෂාවන්ගේ ගෞරවාදරය සහිතව උත්සාහයෙන් සීලය
රැකීම මෙහිදී සීල සංවරය ලෙස දත යුතුය.මෙය භික්ෂුවට පමණක් නොව ගිහි
ශ්‍රාවකයා තුළ ද පවත්වා ගත යුතු කරුණක් ලෙස දත යුතුය.විශේෂයෙන් සසරින්
නිදහස් වීමට පමණක් නොව මරණින් මතු සුගතියක උපතක් ලැබීමට මෙය මහෝපකාරී
වන බව දත යුතුය. යමෙක් සීලයෙහි නිවැරැදි ලෙස නොපවතීද ඔහුගේ සිත
මරණාසන්න මොහොතේ නොසන්සුන් වන්නේය. සිහි විකල් බවට පත් වන්නේය.
දුෂ්ශීලයාගේ මනස මරණින් මතු නරක තිරිසන් ආදී දුගතියෙහිම පිහිටන බව දත
යුතුය. එම නිසා මෙලොව හා පරලොව යහපත පිණිස චරණ ධර්මයක් වශයෙන් සීල
පාරිශුද්ධිය බෙහෙවින් උපකාරී වන බව දත යුතුය.
චරණ ධර්මයන්ගේ දෙවන කාරණය ඉන්ද්‍රිය සංවර සීලය බව දත යුතුය. මෙහිදී
ඉන්ද්‍රියන්ගේ වැසූ දොරටු ඇති බව යැයි මෙය දත යුතුය. එනම් චක්ඛු, සෝත,
ඝාන, ජිව්හා , කාය, මන යන ඉන්ද්‍රියනට ගෝචර වන අරමුණු ඔස්සේ මුලා නොවී
සතිය පිහිටුවීම ඉන්ද්‍රිය සංවර ශීලය ලෙස දත යුත්තේය. භෝජනේමත්තඤඤූතා
ලෙස මීලග චරණ ධර්මය දක්වා ඇත්තේ ආහාරයෙහි පමණ දැන වැළඳීම බව දත
යුතුය.මෙහි දී තම ආහාර අනුභව කරනුයේ ජවය පිණිස නොව, මදය පිණිස නොව,
ශරීරයෙහි අඩුතැන් පුරවා ශරීරය පුෂ්ටිමත් කරගැනීම පිණිස නොව ශරීරයේ
පැවැත්ම සඳහා මෙන්ම තමා රක්නා ප්‍රතිපත්තියෙහි පහසු විහරණය පිණිස බව
මෙහි දී දත යුතුය. තථාගතයන් වහන්සේ පුත්‍රමාංශෝපමාවෙන් දක්වා ඇති
ආකාරයට අනුභව කරණ ආහාරය පිළිබඳ සිහිය පිහිටුවා වැළදිය යුතුය කරුණ
මෙහිදී දත යුතුය. මේ ආකාරයට සිහියෙන් යුතුව ආහාරය අනුභව කරණ තැනැත්තාට
ආහාරයෙහි පමණ දැන ගත හැකි බව භෝජනමත්තඤ්ඤුතා ධර්මයෙන් පැහැදිලි කර ගත
හැක්කේය.
මීළඟ චරණ ධර්මය වනාහි ජාගරියානුයෝගය වන්නේය. තථාගතයන් වහන්සේ සේඛ
සූත්‍රයේදී මෙම කාරණය පිළිබඳ මෙසේ වදාරා ඇත. මහානාමය, ආර්ය ශ්‍රාවක
තෙමේ දිවා කාලයෙහි ද රාත්‍රී කාලයේ ද ඔබ මොබ සක්මන් කරමින් ඇතැම් විට
හිද ගනිමින් අකුසල ධර්මයන් ඉවත් කොට සිත පිරිසුදු බවට පත්කර ගනියි.
රාත්‍රී කාලයෙහි පශ්චිම යාමේ සිංහ සෙයියාවෙන් සැතපී උදයෙහි අවදි
වන්නෙමි යැයි සිතා දකුණු ඇලයෙන් යුතුව සිහියෙන් වාසය කරයි. රාත්‍රී
පශ්චිම අවධියෙද අවදිව අකුසල ධර්මයන් දුරුකරමියි සිතා සක්මන් කරමින්
අකුසල් දුරුකරයි වශයෙනි. මෙම කාරණයෙන් පැහැදිලි වන්නේ කෙසේ නම් මෙම
ජාගරියානුයෝගය පිළිපැදීම කළ යුතු ද යන්නය. මෙහි දී විශේෂයෙන් දක්වා
ඇත්තේ අකුසල් බැහැර කරමින් මනා සිහියෙන් යුතුව වාසය කිරීම බව දත යුතුය.
චරණ ධර්මයන්ගේ මීළඟ කාරණය ශ්‍රද්ධාව වන්නේය. මෙහි දී ශ්‍රද්ධාව යනුවෙන්
සලකා ඇත්තේ තථාගතයන් වහන්සේගේ බුදුගුණය කෙරෙහි ඇති විශ්වාසය හා අවබෝධය
බවම දත යුතුය. එනම් ආර්ය ශ්‍රාවකයා වනාහි තථාගතයන් වහන්සේ සම්‍යක්
සම්බුද්ධ වන සේක. නිරවද්‍ය විද්‍යාවෙන් හා පසලොස් චරණ ධර්මයන්ගෙන්
සමන්විත බව හා ශාස්තෘ ගෞරවයෙන් යුතුව තථාගතයන් වහන්සේට ගරු කිරීම බව
මෙහි දී සඳහන් කළ හැකිය.
හිරි ඔතප්ප මීලග චරණ ධර්මය වන්නේය. මෙහි දී කායික, වාචසික හා මානසික
අකුසල් කිරීමේ ලජ්ජාව හා බිය ලෙස මෙය දත යුතුය. ප්‍රාණඝාතය,
අදත්තාදානය, කාම මිථ්‍යාචාරය , සුරාපානය යන කාය සමාචාරයන්ගෙන් වෙන්වීම,
මුසාවාදය, පිසුනාවාචය, පරුෂා වාචය, සම්පප්‍රලාපය යන වචී සමාචාරයන්ගේ
වෙන්වීම සහ අභිධ්‍යා ,ව්‍යාපාද, මිත්‍යාදෘෂ්ටි යන මනෝ සමාචාරයන්ගෙන්
වෙන්වීම මෙම චරණ ධර්මයෙහි අන්තර්ගත කරුණු වන්නේය. මීළඟට විස්තර වන්නේ
බාහු සච්චං චරණ ධර්මය වන්නේය. මෙය බොහෝ ඇසූ පිරූ තැන් ඇති භාවය බව දත
යුතුය. මෙහිදී ඇසු පිරූ තැන් ඇති භාවිතය ලෙස සලකා ඇත්තේ ධර්මය පිළිබඳ
මිස වෙන කාරණා ගැන නොව බව දත යුතුය.
චරණ ධර්ම අතර අකුසලයෙන් සිත ඉවත්කොට කුසලයෙහි සිත පිහිටුවීම වීර්ය ලෙස
දක්වා ඇත. මෙය සත්තිස්බෝධි පාක්ෂික විස්තරයේ සඳහන් සතර සම්‍යක් පදන්
වීර්ය ලෙසම හැදින්විය හැකිය. එය උපන් කුසල් වඩමින් නූපන් කුසල් ඇති
කිරීමටත්, උපන් අකුසල් දුරු කොට නූපන් අකුසල් නූපදීමටත් ගන්නා වීරිය බව
දත යුතුය. සතිසම්පජඤ්ඤය චරණ ධර්ම අතර තවත් වැදගත් කාරණයකි.
මෙහි දී එළබගත් සිහිය ලෙස මෙය දත යුතුය. කෙටියෙන් සඳහන් කළ හොත් සතර
සතිපට්ඨාන සිහිය බව මෙය දත යුතුය. එසේම ප්‍රඥා නමැති චරණයෙන් දක්වා
ඇත්තේ විනිවිද දකින නුවණින් යුතුව වාසයකිරීමත් හට ගැනීමත් නිරෝධයත් යන
කාරනා පිළිබඳ ( උදයව්්‍යය ඤාණ දර්ශනය ඇති අයෙක් වීම යන කාරණා බව සඳහන්
කළ හැක) අවසාන වශයෙන් රූපාවචර ධ්‍යාන හතර ද මෙම හැසිරීම් නැතහොත්
පුරුදු කිරීම් අතර සදහන් කාරනා ලෙස දක්වා ඇත. මෙමගින් බලාපොරොත්තුව
ඇත්තේ පංච නීවරණ යටපත් කොට නිවන සඳහා පාදක වන ආනන්තරික සමාධී (අරිහත්
සමාධිය) උදෙසාම මානසික පසුබිම සකස් කිරීම බව දත යුතුය. එසේම තථාගතයන්
වහන්සේ මෙම සේඛ සූත්‍ර දේශනයේදී පෙන්වා ඇත්තේ යමෙක් මෙම චරණ ධර්ම
නොමැතිව සසර ගමන කෙළවර කලා යැයි කියතොත් එයින් පැවසෙන්නේ කෙළෙස් සහිත
අයෙකු සසර ගමන කෙළවර කලා යැයි කෙරෙන ප්‍රකාශයක් බවය. එම නිසා මෙම චරණ
ධර්ම නොවඩා කිසිවෙකුට හෝ නිවන සාක්ෂාත් කරගත නොහැකි බව දත යුතුය.
තෙරුවන් සරණයි. |