UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

වෙන්වීමේ දුක

මේ පරිවර්තනය, තාරා බ්රැක් සහ ජේම්ස් බරාස් විසින් මෙහෙවනු ලබන Rock Meditation Center ආයතනයේ Community Dharma Leader පුහුණු වැඩ සටහනේ සංස්කාරක ආචාර්ය ජෙනට් සරේගේ THE SUFFERING OF SEPARATION  නිබන්ධනයෙනි. ආචාර්ය ජෙනට් ශාසනික මනෝ චිකිත්සක වරියකි. ඒ අතර වෙස්ලි කොලීජියේ, ජීන් බේකර් මිලර් පුහුණු ආයතනයේ ආරම්භකයා ද වන්නීය. ඇය එහි පාලක සභාවේත්, පීඨයේත් සේවාවේ නියුතුව සිටින්නීය.

මනෝ චිකිත්සකයකු ලෙස මම බොහෝ අවස්ථාවලදී හුදකලාව පිළිබඳ සන්තාපය හේතුවෙන් දිගින් දිගට ම සසල වෙමි. එය ඒකාන්තයෙන් ම දුක්ඛදායක ය. ජලයෙහි වෙසෙන මසුන් මෙන්, ලෝකය තුළ අපේ පැවැත්ම නිසා මේ තත්ත්වයේ පාරිසරික ව්‍යාප්තිය පිළිබඳ අවබෝධයක් අපට නැත. මේ හුදකලාව පිළිබඳ දුකින් මිදෙන්නට අප කවර උත්සාහයක් දැරුවත්, ඒ විප්පයෝග දුක්ඛයේ අසහනයෙන් අපි කලඹනු ලැබ සිටිමු. එබැවින් අපට විවේකයක් නැත, නිවීමක් නැත. අපේ පවුල් ජීවිතයට හෝ සමාජයට පිළිසරණ සොයන්නට හැටියක් නැත.

එක්සත් ජනපදය තුළ සමාජ බිඳවැටීම බොහෝ වියතුන් විසින් ලේඛනගත කර ඇත. අසන්තුෂ්ටිය, දුරාචාරය, සන්තාපය සහ සාහසිකත්වයේ ඉහළ නැඟීම නිසා හුදකලාවීම සහ කලකිරීම ඉහළ නැඟ තිබේ. අපේ ජනතාව යටිතල පදනමේ සිට ම හුදකලාවීම, එකෙකා අතර පරස්පරතාව සහ ස්වාභාවික ලෝකයෙන් වෙන් කරනු ලැබූ වේදනාවෙන් පෙළෙති. ආත්ම හුදකලාවේ දුක ඉලක්ක කර දක්වන පළමුවන ආර්ය සත්‍යයෙන් අපේ හුදකලාවේ අරුමය අපට දකින්නට පුළුවන. යම් සේ මමත්වය හෙවත් ආත්මාර්ථකාමිත්වයෙහි බැඳෙන්නේ ද, එයට සමානුපාතිකව දුක ද විශාල වන්නේ ය.

වෙසෙසින් ම එක්සත් ජනපදය තුළ අපේ සංස්කෘතික පරමාදර්ශ දිරි ගන්වන්නේ පුද්ගලාර්ථවාදය, තරගය, පීඩක විරෝධය සහ ස්වාධීනත්වයට යි. සහසම්බන්ධතා අගය කරනු ලබන්නේ දිරි ගැන්වීම් හෝ ස්වාර්ථයට ආධාරක ලෙස යි. එහෙත් කුසගින්නෙන් පෙළෙන මළපෙරේතයන් මෙන් අපි තවමත් ස්ථාවරත්වය සහ අත්‍යන්ත සාමූහිකත්වයේ අවිච්ඡින්නත්වය කෙරෙහි ගිජුබවක් දක්වමු. කෙසේ වෙතත් අපි හිතුමතේ ක්‍රියා කරන්නට අවස්ථාව ලැබුණු කල්හි නිතරම වාගේ පදමට ක්‍රියාකිරීමට නොදනිමු. අපි අපේ පිපාසය වේදනාවක් හෙවත් පීඩාවක් බවට පත් කර ගනිමු. එයින් අපි අර්බුදවලට ගොදුරු වෙමු. එහි ප්‍රතිඵලය වන්නේ අපේ පරමාදර්ශි අභිලාෂ පිළිබඳ හැඟීම අවහිර කිරීම යි. එහෙත් අභ්‍යන්තර සහ බාහිර වශයෙන් ඇති ගැටලුව වන්නේ ඵලදායී ලෙස කටයුතුවල නිරත විය හැකි සහෘද සමාජ හිඟය යි.

අප අනුගමනය කරන උපාය මාර්ග ආපසු අප විසින් ම විවිධ සම්බන්ධතාවනට පාවා දෙනු ලැබේ. අපේ කලකිරීම පිළිබඳ පැහැර හැරීමේ ප්‍රවණතාව හෝ එහිලා අහිමිවීම වනාහි නිතර ම වේදනා සහගත අත්දැකීම්වල ප්‍රතිඵලයක් වන බව පෙනේ. එය වඩාත් කටුක වනවිට අප සැකයට සහ පලායෑමට පොළඹවයි. අප එසේ ආරක්ෂාව පතා පලා යන්නේ හුදකලාව වෙත හෝ අලුත් සහ ප්‍රවීණ සම්බන්ධතා හෝ සමාජ වෙත යි. එසේ ම අපි තව දුරටත්, අන්තර් සම්බන්ධතාවේ හෝ “ආධ්‍යාත්මික ජීවියාගේ” අත්‍යන්තයෙන් මූලික ස්වීයත්වය ගොඩනැඟීම හෝ සංස්කරණය සඳහා අධ්‍යාත්මික අත්දැකීම් සහ සමාජ සංස්ථා වෙත හැරෙමු.

මගේ ථෙරවාද අධ්‍යයනයේ මුල් වසර කීපය තුළ අපි කණ්ඩායම් ලෙස සති ගණන් පුහුණුව ලැබීමු. එහෙත් අපි කිසිවිටක එකෙකාගේ නමක් පවා නොදත්තෙමු. මේ පුහුණුවේදී ප්‍රායෝගිකව ම අපි සමාජයේ යටිතල ශක්තිය අත්දුටිමු, එහෙත් අපි එතුළ ගැබ්වුණු යථාර්ථවත් සහසම්බන්ධතාව හඳුනා නොගත්තෙමු. භික්ෂූන්ගෙන් උපදෙසක් හෝ පිහිටක් ලබා ගැනීමේ අත්දැකීම සාර්ථක නොවන්නක් සේ පෙනිණ. හුදෙක් පුහුණුව තුළ ම පුහුණුව ලැබීම මූලික ඉගැන්වීමට හෝ උපදෙස් දීමට වඩා සාර්ථක විය. සමාධිගත බුදුන් වහන්සේ හුදු පිළිමයක් හෙවත් සංකේතයක් පමණි. බුදුන් වහන්සේ අසූ වසරක් තුළ වැඩි වශයෙන් කල් ගෙවූයේ සමාජයත් සමඟ ය. සැබවින් ම උන්වහන්සේ හුදකලාව ගත කළේ ඉතා සුළු කලක් පමණි.

පසුව මම අපරදිග සමාජයේ හුදකලාවීම තුළ ඉහවහ ගිය දුක තමාම තේරුම් ගත්තා සේ පෙනුණු කිච් නත් හන් සමඟ පුහුණු ලබන්නට ඇදී ගියෙමි. ඔහු ප්‍රාදේශීය සහ ජාත්‍යන්තර සමාජය ගොඩනැඟීම අවධාරණය කරන අතර, “සංඝයාගේ ඇසින් බලන්නට ඉගැන්වීම” මගින් පුහුණුව ලබන්නට උපදෙස් දෙයි. අප විසින් කළයුතු වන්නේ සංඝයා දිරි ගන්වන සහ නඩත්තු කරන අත්දැකීම් ක්‍රියාත්මක කිරීම හෝ ප්‍රයෝජනයට ගැනීම යි. එමඟින් අපට සමාජය තුළ තෘප්තිමත් පුද්ගලයන් බවට පත්වන්නට දිරි ගැන්වීමක් ලැබේ. ඒ අතර ඇතැම් විට ආර්ය අෂ්ටාංගික මාර්ගයට “සම්මා සහසම්බන්ධතා” පදනම් කරගත් ඉගැන්වීම් ද එකතු කර ගන්නේ නම් මැනවි.

වසර දෙකකට පමණ පෙර Spirit Rock Meditation Center මධ්‍යස්ථානයේ දී ඉයුජින් කෑෂ් නම් ගුරුවරයා ත්‍රිවිධරත්නයේ නව සංස්කරණයක් දිරිපත් කළ බව අසන්නට ලැබිණ. එනම් බුද්ධ, ධම්ම, සංඝ වෙනුවට, සංඝ, ධම්ම, බුද්ධ යනු යි. බුද්ධ යන්න පැහැදිලි ද, නිරවුල් ද වන අතර මේ තුන් සරණය අපේ නිල පටිපාටිගත සංස්කෘතියට අනුව එකට බැඳුණු සහ එකට නැඟී සිටින්නේ වෙයි. පළමුවැනි බුද්ධ යන්න ශ්‍රේෂ්ඨතම ය, අත්‍යන්තයෙන් අමිල ය, උත්තරීතරය. මගේ විශ්වාසයේ හැටියට, මේ සංස්කරණය තුළ දොළොස් පියවර වැඩ සටහන් සැලසුම විචක්ෂණ දෘෂ්ටියක් සහ සංඝයා විෂයයෙහි පිහිට පතන ප්‍රායෝගික අත්දැකීමක් ඉදිරිපත් කරනු ලැබේ.

ආර්ය අෂ්ටාංගික මාර්ගය සහ දොළොස් පියවර වැඩ සටහන සමඟ විසිපස් වසරක් තරම් දිගු කලක් පැවති කිට්ටු ඇසුරක් පිළිබඳ අත්දැකීම මට ඇත. එසේ ම දුසිරිතට ඇබ්බැහිවූවන් පිළිබඳ සුබසාධන සමාජයක වෘත්තියකයකු ලෙස කටයුතු කළ අත්දැකීම ද මට තිබේ. එහිදී Bill W’ and Dr. Bob  නමින් වූ නාට්‍යයක සම කර්තෘත්වය ද මට දරන්නට සිදුවිය. එහි කතා වස්තුවෙන් දැක්වෙන්නේ මතින් වැළකීම සඳහා දෙදෙනකු අතර ගැටුම යි. මේ පුද්ගලයන් දෙදෙනාගේ පළමුවැනි සොයා ගැනීම වූයේ “කලණ මිතුරන් දෙදෙනකුගේ හමුවීම යි.” මේ දෙදෙනා ම බේබද්දෝ ය. මෙහිදී එකෙකා තකට තක තමන් පිළිබඳ ජීවන තතු හෙළි කරති. ඔවුන්ගේ අවසාන නිගමනය වූයේ හුදෙක් බීමතින් පමණක් කිසිවක් සාර්ථක කරගත නොහැකි බවයි. එයින් ම ඔවුන් දෙදෙනාට බේබදුකමේ මාරාන්තික සහ විනාශකාරී චක්‍රයෙන් මිදී ජීවත්වීම උදෙසා සන්හිඳියාව සහ නව පිළිවෙතකට යොමුවන්නට හැකිවිය.

සන්හිඳියාව “සත්” හෙවත් පැවැත්ම විවරණය කරයි. එනම් යථාර්ථයට මුහුණදීමට ඇති නම්‍යතාව යි. එය ජීවිතය පිළිබඳ කොන්දේසියේ ද ජීවය යි. එය සාක්ෂාත් වන්නේ සමානාත්මතාව සහ සම්මා සතිය සමඟ මරණය නියතබව පමණක් අසන්නට ඇති අධිෂ්ඨානයෙනි. දොළොස් පියවර සැලසුම මඟින් බේබදුකමින් දුකට පත්වීමෙන් මිදෙන්නට හැකි වන්නේ ආත්ම හුදකලාව පලවා හැරීමෙනි. එනම් අනිකුත් දුකට පත්වූවන්ගේ මිත්‍රත්වයේ පිහිට පැතීමෙනි. එහි ආරම්භකයෝ “අපි” ම වන්නෙමු.

දොළොස් පියවරේ පළමුවැන්න මෙසේ කියයි. “මත්පැනෙහි සීමාව ඉක්මවීමෙන් අපි අප විසින් ම බෙලෙසුන් වන බව පිළිගනිමු. “ සන්හිඳීයාව සාක්ෂාත්කරණය සහ ආරක්ෂණය පිණිස මමත්වය හෙවත් ආත්මාර්ථකාමිත්වය පලවා හැරීම අත්‍යවශ්‍ය ය. අත්හැරීම පිළිබඳ මේ ප්‍රාර්ථනා සහ භාවනාව ඇතුළත් මූලධර්මය සහ ප්‍රතිපත්ති වනාහි මවිසින් අත්දකින ලද කණ්ඩායම තුළ පිහිට ලබා ගැනීම සඳහා වැඩි වශයෙන් බලවත් වන සාධකයයි.

දුසිරිතට ඇබ්බැහිය නිතර ම හුදකලාව හෙවත් තනිවීම පිළිබඳ රෝගයක් ලෙස හැඳින්වෙයි. ඔබ යම්සේ ගුප්ත ද, ඔබ එයට සමානුපාතිකව රෝගී ද වන්නේ ය. ලජ්ජාවෙන් තැති ගැනීම, ආත්ම මෝහය, අවධානයේ ආලෝකයෙන් විසිරයෑම සහ අන්‍යෝන්‍ය සහයෝගය ලෞකික පැවැත්ම සඳහා පමණක් නොව ආධ්‍යාත්මික සෞඛ්‍යයට ද අත්‍යවශ්‍ය වෙයි. උපකාරයක් ඉල්ලා සිටීමට ඇති නිහතමානී දැන උගත්කමේ ප්‍රමාණය, හානිකර තත්ත්වයට ඇති ප්‍රවේශය වැනි අවස්ථා සන්හිඳියාව මඟින් පාලනය කරනු ලැබේ.

මිත්‍රත්වය සහ සහසම්බන්ධතාවන්ගෙන් පිහිට පැතීමේ මෙකී පියවර නිදහස් වීමේ හෝ දුසිරිතින් මිඳීමේ මොහොත යි. දොළොස් පියවර වැඩ සටහනේ පොරොන්දුවලින් තවත් එකක් වන්නේ ආත්මාර්ථය පමණක් පසුපස හඹා යෑමෙන් වැළකීමට මඟ පෑදීම යි. ආත්මාර්ථයට අත වැනීමෙන් වළකින්නට නම්, ඔබේ මමත්වය, ඔබේ ම පිටුපස සාක්කුවේ දමා ගන්න. තෘෂ්ණාවට මුහුණ දීමට සේවාවක නිරතවන්න. සන්හිඳියාවේ පරිත්‍යාගය අන්‍යයන් සමඟ බෙදාහදා ගන්න. එය ඔබ දුකින් මිදීමේ අත්දැකීමට මෙහෙයවයි.

දොළොස් පියවර වැඩ සටහනේ ඇතුළත් මිත්‍රත්වය පිළිබඳ සංකල්පය සහසම්බන්ධතා සහ රැස්වීම් සඳහා වන ලෝක ව්‍යාප්ත ජාලයකි. එය සජීවී ය. එබැවින් ප්‍රායෝගිකය . මුහුණට මුහුණ කැරෙන සංවාදය මඟින් සුගම සක්‍රීයත්වයක් අත්දකිනු හැකි ය. දුරකතන සංවාද හෝ අන්තර්ජාලය ද තවත් පියවරකි. සාහිත්‍යය, බැගෑපත් සුහද ඉල්ලීම් සහ භාවනාව ද මඟින් හුදකලාවට පිළියම් යොදා ගනු ලැබේ. ඕනෑ ම තැනක හෝ ඕනෑ ම විටක සාමූහික ක්‍රියා මාර්ගයකින් ද මිත්‍රත්වයට ආමන්ත්‍රණය කළ හැකි ය. මෙසේ “හුදකලාව“ තෝරා ගන්නා ලද අවස්ථාවක් බවට පත් වෙයි. එසේ කිය යුත්තේ එය කලින් සූදානම් කර යොදා ගත් අවස්ථාවක් නොවන හෙයිනි.

බුදුන් වහන්සේගේ ඒහි පස්සික (එන්න බලන්න) ඉගැන්වීම සහ සංඝයාගේ සරණ පතා යෑමට මමත්වය පරිත්‍යාග කිරීම පිළිබඳ අත්දැකීම අතර සංවාදය අවසාන වශයෙන් මිනිසුන් වන අප මැදුම් පිළිවෙත කෙරෙහි යොමු කරයි. බුදුන් වහන්සේ විසින් ඉදිරිපත් කරන ලද මාර්ගයෙහි තනි තනිව සහ සාමූහිකව ජීවත්වීම පිළිබඳ ඇතුළත් කරුණු ග්‍රැගරි ක්‍රාමර් විසින් ඔහුගේ Insight Dialogue කෘතියෙහි සිත් ගන්නා පරිදි ඉදිරිපත් කර ඇත. එහිදී අභ්‍යන්තර අත්දැකීම් හා සහසම්බන්ධතා පිළිබඳ අත්දැකීම් අතර බාධා විරහිත මොහොත විමසා හඳුනා ගෙන තිබේ. ජොහානා මේසි කියන පරිදි අතීත, වර්තමාන සහ අනාගත, දුටු සහ නුදුටු “සියලු ජීවින්ගේ මහා සංඝයාට” සේ ම ජීවත්ව සිටින මහා සංඝයාටත් විශිෂ්ට ජාලයේ දොරටුව වෙත සම්ප්‍රාප්ත විය හැකි ය.

පෞද්ගලිකව සහ සාමූහිකව මූණපාන බාධක සහ අත්දැකීම් ස්ථාවරව පැවති කල්හි සැබෑ අන්තර් ජීවියාගේ ක්ෂණික මුණගැසීම දකින්නට ලැබෙයි. භාවනාවේ නිරත වනවිට කේන්ද්‍රීය අත්දැකීම වන්නේ වෙනස් නොවී සිටීමට ඇති පුහුණුව යි. මේ ක්‍රියාවලිය තුළ දුක සහ ජන වර්ගය, ස්ත්‍රී පුරුෂ භේදය, පන්තිය ආදිය පිළිබඳ බාහිර බෙදීම් කෙළින්ම ආමන්ත්‍රණය කිරීමට අවශ්‍ය නිර්මාණාත්මක උපාය මාර්ග සෙවීම ද ඇතුළත් වෙයි. මෙවන් ප්‍රශ්න විෂයයෙහි වඩාත් කෙළින් ම සැලකිල්ලක් දක්වන්නට බොහෝ බෞද්ධ මධ්‍යස්ථාන පටන් ගෙන ඇති අතර, සංඝයා සංවිධානයෙහි ලා අවශ්‍ය ආකාරයට නව මුහුණුවරකින් අවධානය යොමු කර ඇත. ඕක්ලන්ඩ්හි පුරෝගාමී East Bay Medical Centerp බහු සාංස්කෘතික ධර්ම හා වර්ණ වාදයෙන් පසුබට ජනතාව මේ වැදගත් කාරියෙහි පෙරමුණ ගනිමින් සිටිති.

වෙසෙසින්ම බොහෝ විපස්සනා ගුරුවරුන්ගේ වර්තමාන කාර්ය සාධනය “ස්පිරිට් රොක් මෙඩිටේෂන් සෙන්ටර්” ආයතනයේ සමාජ සංවිධානය සහ කොන් කරන ලද හෝ නොවැදගත් ලෙස සලකන ලද සමාජ වෙත ළඟාවීමට අදාළ වගකීම දැරීමට ගත් උත්සාහයේ ප්‍රතිඵලයකි. සමාජ ධර්ම නායකත්ව (Community Dharma Leader)  වැඩ සටහනට දායකත්වය සැපයීම පටන් ගන්නට සූදානමින් එහි හවුල්කරුවන්ගේ හතරවැනි කණ්ඩායම මා දන්නා පළපුරුදු සුදුසු සංඝයාගේ අත්දැකීම් සහ අත්‍යන්ත බහුශ්‍රැත දෘෂ්ටිය ප්‍රදානය කර ඇත.

බුදුදහමෙහි ඇසුර ලබා, මමත්වය සහ ඒ සමඟ බැඳි සියල්ල විසුරුවා හරිනු පිණිස නායකයන්ගේ වගකීම විසින් දිරි ගන්වනු ලැබූ මගේ කණ්ඩායමේ අනුවක්වූ පිරිස “අපි” පිළිබඳ පොදු බැඳීමට මඟ සොයා ගෙන ඇතැයි සිතමි. සාමකාමී සන්නිවේදනය සහ සතර බඹ විහරණයන්ගේ අන්‍යෝන්‍යත්වය අත්හදා බලමින් විවිධත්වය සමඟ ක්‍රියාකාරී ගිවිසුම සංඝයා ඉදිරිපිට විවෘතව ඇත. මේ සියල්ල රඳා පවත්නේ ධර්මය බෙදාහදා ගැනීම සහ ජීවත්වීම පිණිස අදාළ නිහැඬියාව සහ බැරෑරුම් වගකීම තුළ ය.

අප වසර දෙකහමාරකට පෙර පළමු වරට හමුවී එකට පුහුණුවෙහි යෙදෙන්නට පටන් ගත් කල්හි සැබවින් ම “සමාජ ධර්ම නායකත්වය” යන්නෙන් කුමක් අදහස් කරන්නේ දැයි අප අතරින් කිසිවකු දැන සිටියේ නැත.

ඇතැම් දෙනෙකුට එය ඔවුන්ගේ අත්දැකීමට අදාළ සමාජය තුළ සිය නායකත්ව භූ®මිකාව විෂයයෙහි හඳුනා ගැනීමක් හෝ සංස්කරණයක් විය. අනෙක් අයට එය නව ජන කොටස් වෙත එළඹීමට සහ ඔවුන් ගැන අධ්‍යනයට කදිම අවස්ථාවක් වුණු බව ද පෙනිණ.

මට නම් එය සමාජ ධර්ම පිළිබඳ අත්දැකීමක් සහ නව ප්‍රමුඛත්වයක් නියෝජනය කිරීමක් වූයේය. මේ සමාජ ධර්ම ඉගැන්වීමේදී සහ හඳුනා ගැනීමේදී බලවත් හැඟීමෙන් යුත් වගකීමක් පිළිබඳ වැටහීම දැන් මට දැනේ.

එසේ ම එය දොළොස් පියවර සමාජය විසින් ප්‍රදානය කැරෙන සංඝයාගේ අත්දැකීම් මත රඳා පවතින බවත් පෙනේ.

මේ නිර්මාණාත්මක, විවෘත, උපකාරක පුහුණුව බටහිර සංස්කෘතිය තුළ ද්‍රව්‍යවාදය, කලකිරීම සහ සාහසිකත්වය පිළිබඳ ශක්තිමත් බලවේගයනට ප්‍රතිවිරුද්ධ සමාජ කණ්ඩායමක් ලෙස පෙළ ගැසුණු ජෝන් කැබට් සින්ගේ, සංඝයා සංවිධානය කරන්නට ආමන්ත්‍රණය කිරීමක් සේ මම දකිමි. බටහිර මනෝ චිකිත්සාව තුළ නිර්ව්‍යාජ පිළියමක් සහ නිදහස ආරක්ෂණය සඳහා එහි ඇති වැදගත්කම මට වැටහෙයි. ඒ එක්ක ම, තිච් නත් හන්ගේ ප්‍රහර්ෂාත්මක ඉගැන්වීම් තුළ “ඊළඟ බුද්ධ එනම්, බටහිර බුද්ධ බවට සංඝයා පත් වනු ඇතැ” යි යන හඬ ද මට ඇසේ.

උඳුවප් අමාවක පෝය

උඳුවප් අමාවක පෝය ජනවාරි 03 වන දා සඳුදා අපරභාග 02.21 ට ලබයි.
04 වන දා අඟහරුවාදා අපර භාග 02.37 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 03 වනදා සඳුදා ය.

මීළඟ පෝය
ජනවාරි 12 වන දා බදාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජනවාරි 03

First Quarterපුර අටවක

ජනවාරි 12

Full Moonපසෙලාස්වක

ජනවාරි 19

Second Quarterඅව අටවක

ජනවාරි 26


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]