UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පන්සිය පනස් ජාතකයෙන්

දන් දී ලදිමි අනුසස්

පන්සිය පනස් ජාතක පොත් වහන්සේ, අප බෞද්ධ ජනතාව අතර වැඩියෙන්ම ආදර ගෞරවයට පත්වුණ සිංහල බණ පොතයි. මෙහි ඇතුළත් උතුම් බෝසත් චරිත, ඉතා අපූරුවට ජීවමාන අයුරින් අපගේ සිත් සතන්වලට ඇතුළත් කිරීමට, කතුවරුන් සමත්වීම කැපී පෙනෙන ලක්ෂණයකි. කුරුණෑගල යුගයේ හතරවන පරාක්‍රමබාහු රාජ සමයේදී, පන්සිය පනස් ජාතක ධර්මදේශනා එළුවෙන් ලියා දක්වන්නට තමාගේ උගත් පරාක්‍රම ඇමැතිවරයාට ආරාධනා කළ බවත්, වීරසිංහ ප්‍රතිරාජ ඇමැතිවරයාගේ මූලිකත්වයෙන්, අටුවා ආචාරින් ලියන ලද ජාතක නියාව නොවරදවා එළුවෙන් ලියන ලද බවත් මහාවංසයේ සඳහන් වේ.

ජාතක පොත් වහන්සේ විශ්ව සාහිත්‍යයට ඇතුළත් වියයුතු අගනා පොතකි. සුචරිත දුෂ්චරිත වලට අදාළ ආනිශංස ඇතුළත්වීමත්, සාමාන්‍ය මිනිසාගේ සිත් සතන් ඇද බැඳ තබාගන්නට සමත් අප සතු වටිනාම පුස්තකය වන ජාතක පොත් වහන්සේයයි මගේ හැගීමයි. භාෂාවට, සාහිත්‍යයට, කාව්‍යයට, නාට්‍යයට, චිත්‍රයට, මූර්තියට, සාරධර්මයට, සදාචාරයට, ආචාර්යවරුන්, රජවරුන් ඇතුළු අප සමාජයට, මෙතරම් සමීපවූ වෙනත් ග්‍රන්ථයක් නොමැති තරම්ය. එපමණක් නොව, අද අප විශ්ව සාහිත්‍යයට අයත් නවකතාකරුවන් වූ ඇන්ටන් චෙකොප්, දොස්තොස්කි, ගී ද මෝපසාන්, සමර්සෙට්, මෝර්ම් ආදීන්ගේ කතා කියනවිට පවා, ඇතැම්විට, අපට හැඟෙන්නේ එවන් කතාවලට ද, ජාතක කතාවල ආභාෂය ලැබී ඇද්දැයි යන්නයි. එම කතාවල වස්තු බීජ ද අප ජාතක කතා චරිතවලට සමානය.

ජාතක පොත් වහන්සේට, කතා 548 ක් ඇතුළත් ය. අපණ්ණක ජාතකයෙන් ඇරඹෙන ජාතක පොත, අනුපමා (මාගන්දීය) ජාතකයෙන් අවසන් වේ. මෙහි දක්නට ලැබෙන සෑම කතාවක්ම ඉත්මත් රසවත් ය.

විචිත්‍රය. හමුවන චරිත අද ලෝකයේ දී ද අපට හමුවන චරිතයන්ට සමානය.

අපගේ චරිතය ශෝභාමත් කරන්නට මෙම රසවත් ආදර්ශවත් කතා බෙහෙවින් ප්‍රයෝජනවත් වේ.

අපි පන්සිය පනස් ජාතක පොතේ එන්නාවූ, 491 වැනි ජාතක කතාව වන සිවි ජාතකය විමසා බලමු. දන්දීමේ වටිනාකම අලලා මේ කතාව ගෙතී ඇත.

පසේනදී කොසොල් රජතුමා හා මල්ලිකා දේවිය, කෝටි 14 ක් වැයකොට පිරිනමන ලද “මහා අසදෘශ දානමය පින්කම” මෙකී ජාතක කතා වස්තුවට පාදක විය. බුද්ධෝත්පාද යුගයක, කිසියම් පුද්ගලයෙකුට හෝ රජයකට හෝ බුදුන් උදෙසා පිරිනැමිය හැකි උසස්ම දානමය පුණ්‍ය කර්මය ලෙස මෙය හැඳින්වේ. රාජකීය භාණ්ඩාගාරයෙන් කෝටි 14 ක් වැයකොට බුදුන් වහන්සේ ඇතුළු පන්සියයක් සංඝයා වහන්සේලාට මෙකී දානය පිරිනමන ලදී. කොසොල් රජු, මුළු නගරයම අලංකාර කොට මෙවැනි විශාල වියදමක් දරා ජීවිතයේ එක්වරක් පමණක් දියහැකි මේ මහා පුණ්‍යකර්මය සිදුකරන ලදී.

කෙසේවුව ද, මේ තරම් ධනස්කන්ධයක් වැයකොට, දානයක් පිරිනැමීම නිරපරාදේ මුදල් කාබාසිනියා කිරීමක් බවත්, එය ජාතික අපරාධයක් බවත්, කොසොල් රජුගේ ඇමැතිවරයෙක්වූ කාල ඇමැතිවරයා මේ දානමය පුණ්‍යකර්මය දැඩි ලෙස විවේචනය කොට හෙළා දැකීය. එහෙත් මේ අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයෙක්වූ පුණ්‍ය ඇමැතිතුමා, කොසොල් රජුගේ මේ දානමය පුණ්‍ය ක්‍රියාව අගය කරමින් අදහස් දැක්වීය.

ධජ, පතාක, තොරණවලින් නගරය අලංකාර කළහ. අලි ඇතුන් සහිත පෙරහරින් අප තථාගත බුදුරජාණන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නය වැඩම කළහ. දිව්‍ය භෝජන හා සමාන ආහාර පානවලින් සම්පූර්ණවූ අසදෘශ දානය කොසොල් රජු, මල්ලිකා දේවිය ඇතුළු මැති ඇමැතිවරුන් බුදුපියාණන්ට සාංඝික කොට පිරිනැමූහ. මේ දවල් දානය, බෞද්ධ ශාසන ඉතිහාසයේ අපට හමුවන ඉහළම දානමය පුණ්‍යකර්මය ලෙස වුවද සැලකිය හැකිය.

අද වුවද, අප නිවසක දානයක් අවසනදී, එම දානමය පුණ්‍යකර්මයට දායකත්වය සපයන ලද අයගේ සිත් සතන් පහන්කිරීමට, දානය අවසනදී භික්ෂූන් වහන්සේ නමක් “අද මේ රැස්කරන ලද දානමය පුණ්‍ය කර්මයේ වටිනාකමත්, එයින් ලැබෙන්නාවූ, දෙව් මිනිස් සැප සම්පත්, ආයු, වර්ණ, සුවපත්බව වැඩිවන අන්දමත් පැවසීම එදා බුදුන් දවස පටන් අනුගමනය කරන ලද සාමාන්‍ය චාරිත්‍ර වන්නට ඇත. මෙය “භුත්තානුමෝදනාව“ යනුවෙන් හැඳින්වේ. එහෙත්, එදා, මෙතරම් අග්‍ර විශිෂ්ට දානමය පුණ්‍යකර්මය අවසානයේ දී බුදුන් වහන්සේ, මේ ප්‍රබල රජතුමාවූ කොසොල් රජු, මල්ලිකා බිසව, ඇතුළු සම්භාවනීය පිරිස අමතා කිසිදු දේශනයක් සිදු නොකොට ආපසු තම ශ්‍රාවක පිරිස සමග දෙව්රම් වෙහෙරට වැඩිසේක. මෙය කාගේත් මවිතයට තුඩුදුන් කතාබහට ලක්වුණු මාතෘකාවකි. එදා කොසොල් රාජ්‍යයේ, රජුට විරුද්ධ පුවත් පතක් තිබුණේ නම්, මේ පුවතට ප්‍රධාන තැනක් අනිවාර්යයෙන්ම ලැබෙන්නට ද ඉඩ ඇතැයි මට සිතේ. කෙසේවුවද, මේ ගැන බොහෝ දෙනා කතාකරන බව දෙව්රම් වෙහෙරට ද ආරංචි විය. එමනිසා, මේ ප්‍රශ්නය පිළිබඳ පැහැදිලි කරගැනීම සඳහා භික්ෂූන් වහන්සේලා, අප තථාගත බුදුපියාණන් හමුවූහ.

අප ගෞතම බුදුන් වහන්සේ පෙර අපර සන්ධි ගලපමින්, දානයේ අනුසස් අනුදැන වදාළහ. “ඔබ වහන්සේලාට මා පවසන්නේ කොසොල් රජතුමා, මල්ලිකා බිසව, ඇතුළු දායකකාරකාදීන්ගේ දානමය පුණ්‍යකර්මය අතිවිශිෂ්ට බවයි. දන් දෙන්නෝ සුගතියට පත්වෙනව. දන් දෙන්නේ නැති අය දුගතියට, දුකට පත්වෙනවා. මා එදා දානය අවසනදී භුත්තානුමෝදනාවක් නොකළේ, මේ දානයට, රජුගේ ඇමැතිවරයෙක්වූ කාල ඇමැතිවරයා විරුද්ධවූ නිසා. එම දානය අවසනදී මා එම දානයේ අනුසස් ප්‍රකාශ කළේ නම්, එම දානයට විරුද්ධවුන කාල ඇමැතිවරයාට විපතක් සිදුවන්න තිබුන බව මා දිවසින් දුටුවා. අප හතුරන්ට පවා මෛත්‍රී කරන්න ඕනෑ. ඒනිසයි මා එදා ප්‍රකාශයක් නොකළේ. කොසොල් රජුත්, මල්ලිකා දේවිය ඇතුළු පිරිස ඉතාමත් ඉහළ පින්කමක් කරළා මහා පින් රැසක් ලබාගත්තා.

දන්දීම, නිවන් පසක් කරගන්නට බලපානව. එයින් ඉමහත් සතුටක් ලබනවා. දන් නොදෙන අය දුගතියට යනවා” යැයි බුදුරජාණන් වහන්සේ පවසා, දන්දීමේ අනුසස් දක්වමින් එදා තමා එක් ආත්මභාවයකදී ආහාර පාන, අඹු දරුවන්, ඉස් මස් ලේ පමණක් නොව තමාගේ දෙනෙත්, පවා දන් දුන් බව පවසා මේ ජාතකය දෙසා වදාළ සේක. මේ බෝසතුන් වහන්සේ තමාගේ ඇස් දන් දුන් අන්දමයි.

“යටගිය දවස සිවි රට, අරිට්ඨපුර නම් නුවර, තථාගත බුදුපියාණන් වන මා, සිවි නමැති රජු ලෙස රජකම් කළා. එදා මා, දුගී මගී යාචකාදීන්ට දන් දුන්නා. කිසියම් අයෙක් මගේ ශරීරයේ අවයවයක් ඉල්ලා පැමිණියහොත්, එය දන්දෙන්නට වුණත් මා සූදානමින් සිටියේ. දිනක් මහලු මිනිසෙක් පැමිණ මගෙන් ඇසක් ඉල්ලා සිටියා. ඔහුට මා පැවසුවා එක ඇසක් නොවෙයි, මගේ ඇස් දෙකම දන් දෙන්න මා කැමති බව. මහල්ලා සතුටු වුනා. කැමැත්ත පළකළා. ඔබට මගේ ඇස් දෙකම පරිත්‍යාග කරන්නට මා සූදානම් යයි පවසා සිවි රජතුමා අරිට්ඨපුර නුවර ප්‍රධාන අක්ෂි ශල්‍ය වෛද්‍යවරයාවූ සීවක ගෙන්වා, මගේ ඇස් උගුල්ලා වයස්ගත තැනැත්තාට පූජා කළා. දෑස් නොමැතිව රටක් පාලනය කිරීමට හැකියාවක් නොමැති බැවින්, මාගේ ඇමැතියන්ට රාජ්‍ය කටයුතු පවරා, එදා මා රාජ උද්‍යානයට ගොස් භාවනායෝගීව බුද්ධත්වය බලාපොරොත්තුව මහණදම් පිරුවා. දෙදෙව්ලොවට අධිපති සක්දෙව් රජු, මා හමුවන්නට පැමිණ බෝසතුන්වූ මා අමතා, අන්ධයෙක්වූ ඔබහට ඇස් ලබාදෙන ලෙස තමාගෙන් ඉල්ලීමක් කරන්න කීවා.

මොහු පැමිණියේ මහලු බමුණෙකු ලෙස. මා එම ඉල්ලීම කරන්නට අකැමතිවූනා. මහණෙනි, මහලු අන්ධ යාචකයාට, මගේ ඇස් දෙක දන් දුන්නා. ඒ දානයේ ආනිශංසයෙන් මට යළිත් ඇස් ලැබේවා, පෙනුම ලැබේවායි මා පැතුවා. ඇස් පමණක් නොව, ඒ දන්දීම හේතුවෙන්, මට දිව්‍ය ඇස් ද ලැබුණා. හිමිවරුනි, එදා මා බෝසතුන් ලෙස ඉපදුන වාරවලදී ඇස්, ඉස්, මස්, ලේ මෙන්ම මාගේ බිරිඳ, දරුවන් පවා දන් දුන්නා. මහණෙනි, දන්දීම මහත්ඵල මහානිසංස ගෙන දෙන පුණ්‍ය කර්මයක්.

ඔබ වහන්සේලා ගේ දැනගැනීම පිණිස මා පවසන්නම්. එදා බෝසතුන් වූ (සිවි රජු) මාගේ ඇස් ශල්‍යකර්මයකින් ගැලෙව්වේ. සීවක නම් අක්ෂි වෛද්‍ය විශේෂඥයා, අන් කවරෙක්වත් නොවෙයි, මේ දම් සභා මණ්ඩපයේ වැඩ සිටින මාගේ ධර්මභාණ්ඩාගාරික” අපගේ ආනන්ද හිමියන්ය.

එදා සක්දෙව් ලෙස මා ඉදිරියේ පෙනී සිටියේ අනුරුද්ධ තෙරුන් ය. එදා සිවිරට, අරිට්ඨපුර නම් නුවර මුල්කරගෙන රජකම් කළ සිවි රජු, මම්ම වේ” යැයි දම් සභාව ආලෝකවත් කරමින් වදාළ සේක.

උඳුවප් අමාවක පෝය

උඳුවප් අමාවක පෝය ජනවාරි 03 වන දා සඳුදා අපරභාග 02.21 ට ලබයි.
04 වන දා අඟහරුවාදා අපර භාග 02.37 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 03 වනදා සඳුදා ය.

මීළඟ පෝය
ජනවාරි 12 වන දා බදාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජනවාරි 03

First Quarterපුර අටවක

ජනවාරි 12

Full Moonපසෙලාස්වක

ජනවාරි 19

Second Quarterඅව අටවක

ජනවාරි 26


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]