UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

 යෝනිසෝමනසිකාරය‍

 

අපේ ‘ආයතන’ ගැන සිතන්න පුරුදු වුණොත් අපි නිහඬයි නේ ද? කලබල ගතිය අඩුවෙනවා නේ ද? අපි ඉඳගෙන හිටියත් අපි යම් වැඩක් කරමින් ඉන්නේ. මේ ඇස, කන, නාසය, ගැන අපි නුවණින් කල්පනා කරනවා කවුරුත් දන්නේ නෑ. මොකක්ද කරන්නේ කියලා කාටවත් පේන්නේ නෑ නේද? දැන් තේරෙනවා ද තමන්ගේ අභ්‍යන්තර කටයුතු කාටවත් පේන්නේ නෑ කියලා. කියාගෙන යන්න දෙයක් නෑ නේ ද? එතකොට බලන්න අපට අනවශ්‍ය දේ කතා කර කර ඉන්න වෙලාවක් එන්නේ නෑ නේද? එතකොට බලන්න මේ ‘හුදකලාව‘ ‘තනිකම’ මේ මොකුත් එන්නේ් නෑ නේ ද? මේ විදිහට පුරුදු වුණොත් ඉන්න තැනකම ඉඳගෙන මේ ආයතන ගැන කල්පනා කරන්න පුළුවන්.

එතකොට අපිට ලොකු පිරිසක් හිටියා කියලා කලබල නොවී ඉන්න පුළුවන් නේ ද? නිහඬ පරිසරයක් හැදෙනවා නේ ද? නිකම්ම. අපි සිතින් නිවැරැදි දෙයක් කරනවා. සිතින් වැරැදි දෙයක් කළොත් නම් ටික කලකින් ඝෝෂාව පටන් ගන්නවා නේ ද?. සිතින් නිවැරැදි දේ කරන්න කරන්න සිත නිවෙනවා. සන්සුන් වෙනවා. එයාගෙන් අනවශ්‍ය වචන එළියට එන්නේ නෑ. ලොකු පිරිසකට එකට ඉන්න පුළුවන්. ඇයි අපි මේ ඇස ගැනත් අකැමැත්ත උපදවා ගන්නවා. පේන රූප ගැනත් අකමැත්ත උපදවා ගන්නවා. ආන්න එසේ අකමැත්ත උපදින විදිහට අපි හිතනවානෙ. පැහැදිලියි නේ ද කාරණාව.

නිකම් ඉන්න කොට අර්ථ රහිත දේ කතාකර කර ඉන්න එපා. තමාගේ ජීවිතයේ ඇත්ත ස්වභාවය කල්පනා කරන්න. අපිට මේ ඇස, කන, නාසය, දිව, ශරීරය සිත මේවා මුල් කරගෙන ජීවිතයේ දුක් ඉපදිලා තියෙනවා. රාගය නිසා සිත ගිනි ගන්නවා. ද්වේශය නිසා ගිනි ගන්නවා. මෝහය නිසා ගිනි ගන්නවා. නොයෙකුත් තැවුල් ගිනි සිතේ පත්තු වෙනවා. අපහසුකම් සිතේ පත්තුවෙනවා. පීඩා සිතේ පත්තු වෙනවා. වද වේදනා තුළ තමා මනුෂ්‍යයා ඉන්නේ. ඒ තමා දුක. ඉතින් අපිට සිහිකල්පනාව නැත්නම්, නුවණ පාවිච්චි කළේ නැත්නම් මේ වද වේදනා වලට යටවෙලා තවත් වදයක් විඳිනවා. ඒකෙන් ගැළවෙන්න බැහැ. එතකොට නුවණ නැති කොට වද දෙකක් විඳිනවා. නුවණ පාවිච්චි කළොත් ඒ වද විඳිමින් ම ඒ වදය දුරුකර ගැනීම පිණිස කල්පනා කරනවා.

ඒ වදය (දුක) ඉපදුනේ කොහොම ද? කියලා කල්පනා කරනවා. ඊට පස්සේ නැවත වතාවක් එබඳු දුකක් හට නො ගන්න විදිහට ඒ දුක් හදපු ආයතන ගැන අපි අකමැත්ත උපදවා ගන්නවා. ඒකයි නුවණ පාවිච්චි කිරීම කියලා කියන්නේ. කාටත් පීඩා තියෙන්න පුළුවන්. තැවෙන ගතිය තියෙන්න පුළුවන්.

සිත ගිනිගන්න පුළුවන්. ඒ වෙලාවට කලබල වෙන්න එපා. හිතන්න මේ ගින්න කවුද පත්තු කළේ. මේ දුක කවුද ඇතිකළේ කියලා. ඒ කල්පනාව අපි ඇතිකර ගත හැක්කේ භාග්‍යවතුන්වහන්සේ පෙන්වා දුන් ධර්මයත් එක්ක.

ඉතින් භාග්‍යවතුන් වහන්සේ අපිට කියා දීලා තියෙනවා මේ ඇස නිසා තමයි දුක හට ගන්නේ. ඒ දහම් දැනුම ඕන වෙනවා. ඒ දහම් දැනුම ජීවිතයට ගළපා ගන්න විධියක් තමා ඔය කිව්වේ. එසේ සියලු ලෝකය කෙරෙහිම ඇල්ම දුරු වෙන විදිහට කල්පනා කිරීමෙන් ධර්මය ජීවිතයට ගලපා ගැනීමක් සිද්ධ වෙනවා. තමාගේ ජීවිතයට ධර්මය ගළපා ගන්නේ එහෙම යි.

මේ නුවණින් කල්පනා කිරීම ඕනෑම ඉරියව් වකින් කරන්න පුළුවන් . සතර ඉරියව්වෙන් ම මේ නුවණින් කල්පනා කිරීම කරන්න පුළුවන් නේ ද? දැන් මේ විදිහට අපි පුරුදු වුණොත් අපේ ජීවිතය ශාන්ත වෙයි ද? ඇවිස්සිලා යයි ද? ශාන්ත බවට පත්වෙනවා නේද? දැන් මේක කළා කියලා කරන කොට ම ගින්න දුරු වෙයි ද? කරන කොටම ගින්න දුරුවෙන්නේ නෑ. නමුත් අපි කරන්න පටන් ගත්තහම ගිනි නිවෙන්න පටන් ගන්නවා. අයේ ගිනි හට ගන්න ස්වභාවය වැහෙන්න පටන් ගන්නවා.

ඒ නිසා හොඳට සිහි කල්පනාව උපදවාගෙන මේ ඇස, කන, නාසය, දිව, ශරීරය, හිත, රූපය, ශබ්ද, ගන්ධ, රස, පහස, අරමුණු මේවා කෙරෙහි ඇල්ම දුරුවෙන විදිහට කල්පනා කරන්න ඕනෑ. ඒ ඇල්ම දුරුවෙන විදිහට කල්පනා කරන්න හොඳ අවස්ථාවක් තමයි අපේ හිතේ යම් ගැටලුවක් ආපු වෙලාවට. එතකොට පුරුදු කරන්න. අනිත් වෙලාවේදීත් ඒක පුරුදු කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් පහසුවෙන් ඉන්නකොට කරන්න කෙනෙකුට තේරෙන්නේ නෑ. අපහසුවක් එනකොට හඳුනාගෙන කල්පනා කරන්න මේ අපහසුව ඇතිවුණේ් මොකක් මුල් කරගෙන ද? කියලා. ඒක තේරෙනවා නේද යම් අපහසුවක් සිතට එනවානම්, එක්කෝ රාගය මුල්වෙලා.

නැත්නම් ද්වේශය මුල්වෙලා. නැත්නම් මෝහය මුල්වෙලා. එතකොට ඒ රාග ද්වේශ, මෝහ ගිනි ඇති කරන්නේ් ඇස, කන, නාසය, දිව,ශරීරය හිත කියන මේ ආයතන මුල්වෙලා නේ ද? ආන්න ඒක අපි ධර්මය තුළින් පිළිගන්න ඕනෑ.

අපි එහෙම එකක් දැනගෙන හිටියේ නෑ. අපිට හිතාගන්න බෑ ඇහැ මුල්වෙලා රාගය ඇතිවෙනවා කියලා. අපි කොහොම ද දන්නේ. අපිට හිතලා ගන්න පුළුවන් ද? අපිට හිතලා ගන්න බෑ. පාසලේ උගන්වයි ද? නෑ. අපි ඉගෙන ගත්තේ් කොහෙන් ද? ධර්මයෙන්. ආන්න ඒ ඉගෙන ගත්ත දේ පිළිබඳව බැසගත් ශ්‍රද්ධාවක් තිබුණොත් රාගය එනකොට එයාට හිතට එනවා මෙන්න භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් දේ. ඇස නිසා මේක හටගත්තේ කියන එක. සිහිකරන්න පුළුවන්. ඒකයි ශ්‍රද්ධාවත් එක්ක නුවණින් කල්පනා කිරීම සම්බන්ධ. ඒ නිසා තමයි නැවත නැවත සූත්‍ර දේශනා ඉගෙන ගත යුත්තේ. නැවත නැවතත් ධර්ම ශ්‍රවණය කළ යුත්තේ. නැවත නැවතත් ධර්ම සාකච්ඡා කළ යුත්තේ. එවිට අපි ඉපදුනා වූ යම් ශ්‍රද්ධාවක් තියෙනවා නම් ඒ ශ්‍රද්ධාව දියුණු වෙනවා. නූපන් ශ්‍රද්ධාව තියෙනවා නම් ඒ ශ්‍රද්ධාව ඉපදෙනවා. ඒ ශ්‍රද්ධාව ඉපදිලා පරිපූර්ණ වෙනවා. ඒ ශ්‍රද්ධාව මුල්කරගෙන අපිට නුවණින් කල්පනා කිරීම උපදවා ගන්න පුළුවන්.

අපිට සිතේ පීඩාවක් එනකොට අපිට ධර්මය සිහිවෙනවා නම් එතැන ශ්‍රද්ධාව මුල්වෙලා නේද? ශ්‍රද්ධාව නැති කෙනෙකුට ගැටලුවක් එනකොට ධර්මය සිහි වෙයි ද? නෑ. දැන් සමහර විට අපිට ගැටලුවක් එනකොට ධර්මය සිහි නොවන්න පුළුවන්. නමුත් කල්‍යාණ මිත්‍රයා සිහිකරලා දෙනවා මේකනේ හේතුව කියලා. මේක මෙහෙම හිතන්න කියලා. එතකොට එයාට ධර්මය පිළිසරණ කරා යන්න පුළුවන් නේ ද? ආන්න ඒකයි ශ්‍රද්ධාවෙන් අපිට තියෙන උපකාරය.

එතකොට ශ්‍රද්ධාව ඉපදිලා තියෙන කෙනාට තමාට ම යෝනිසෝමනිසිකාරය (ධර්මයට අනුව කල්පනා කිරීම) උපදවා ගන්න පුළුවන්. එහෙම නැත්නම් කල්‍යාණ මිත්‍රයා සිහිකරලා දෙනකොට එයාට යෝනිසෝමනිසිකාරය (ධර්මයට අනුව සිහිකිරීම) උපදවා ගන්න පුළුවන්. ඒ නිසා අපිට මේ ධර්මයේ ප්‍රයෝජන ලබා ගන්නනම් ධර්මයෙහි තියෙන විදිහට මේ ජීවිතය ගැන කල්පනා කරන්න. ඉතින් ඒකට හොඳ අවස්ථාවක් තමයි පීඩා තැවුල් එනකොට, ඒ පීඩාව හටගත්ත විදිහ ගැන කල්පනා කිරීම. ඔයගොල්ලන්ට වැටහෙනවා නේද, මේ කාරණාව.

මේවාට ප්‍රමාද වෙන්න එපා. මේවාට ප්‍රමාද වුණොත් පස්සේ අපිට මේවා හිතේ පිහිටුවා ගන්න බැරිව යනවා. ඇයි රාගයෙන් සිත ගිනි අරගෙන හිත විනාශ වෙලානම් මේක කරන්න බෑ. ද්වේශයෙන් සිත වැනසිලා නම්, මේ ධර්මයට අනුව කල්පනා කරන්න බැරිව යනවා.

ඇයි? අකුසලයෙන් සිත යටවෙලා ඉවරයි. අකුසලයෙන් හිත වැනසිලා ඉවරයි. එතකොට කුසල් සිතක් උපදවා ගන්න බෑ. ඒ නිසා අපි බ්‍රහ්මචාරී ජීවිතයට ආපු අළුත ඉඳල ම මේවා හුරුකර ගත්තොත්, නැවුම්. ඒ කාලේ සිත නැවුම් කියලා කියන්නේ් මහත් සේ කිලිටි වෙලා නෑ. නමුත් අපි නිකම් ම කාලේ ගත කෙළොත් සිත කිලිටි වෙන සම්භාවිතාව වැඩියි. නිකම් කාලේ ගත කර ගත්තොත් සිත කිලිටි වෙලා යන ඉඩ වැඩි යි. ඒ නිසා දැන් ම ම ඉඳලා මේ ධර්මය හුරුකර ගන්න ටික ටික. එතකොට අපිට යම් පීඩාවක් කරදරයක් එන වෙලාවට මේ ධර්මයේ පිළිසරණ තියෙනවා ම යි. එහෙම නැත්නම් අපිට ඒ පීඩාවට යටවෙලා වැනසෙන්න වෙනවා. මතකයි නේද කාරණාව. එහෙනම් අද ඒ ඉගෙනගත්ත කාරණාව ඇත්තෙන් ම අමාරු එකක්. ලෙහෙසි නෑ. අපි කතා කරන තරම් පහසු නෑ.

යම් කෙනෙක් ටික ටික මේක කරන්න පටන් ගත්තොත් එයාට ඉතාම පහසු දෙයක් බවට පත්වෙනවා. ඉතාම ප්‍රනීත දෙයක් බවට පත්වෙනවා. ඒ වගේම තමයි එයාට කාමයන් දුරුකර ගන්න. කාමයන් නිරුද්ධ කර ගන්න ඉතාම පහසු දෙයක් බවට පත්වෙනවා.

එතකොට සියලු ලෝකය කෙරෙහි ඇල්ම දුරු වෙන විදියට අපිට හිත හුරුකර ගන්න තමයි මේ භාවනාව හුරුකර ගන්නේ. මේ ධර්මය පුරුදු කරන විට මනුෂ්‍යය ලෝකේ වේවා, දිව්‍ය ලෝක වේවා බ්‍රහ්ම ලෝක, පේත ලෝක ආදි සියලු ලෝකයන් කෙරෙහිම ඇල්ම දුරු වෙන්න පටන් ගන්නවා. ඇස, කන, නාසය, දිව, ශරීරය, සිත රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු මේවා කෙරෙහි අකැමැත්ත උපදවා ගන්න පුරුදු වෙන්න.

මේ සියලු ලෝකය කෙරෙහිම ඇල්ම දුරුවෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා කෙටියෙන් ඒක පුරුදු වෙන්න. එක පාරටම ඒක තේරෙන්නේ නැති වෙ යි. නමුත් මේ ධර්මය පුරුදු කරන්න. එවිට, අපේ ඇල්ම ටික ටික දුරුවෙලා යන්න පටන් ගන්නවා.

 

බිනර අව අටවක පෝය

බිනර අව අටවක පෝය සැප්තැම්බර් 30 වනදා බ්‍රහස්පතින්දා අපර භාග 9.47 ට ලබයි. ඔක්තෝබර් 01 වන දා සිකුරාදා අපරභාග 08.48 දක්වා පෝය පවතී.සිල් සමාදන්වීම ඔක්තෝබර් 01 වන දා සිකුරාදාය.

මීළඟ පෝය ඔක්තෝබර් 07 වන දා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 01

New Moonඅමාවක

ඔක්තෝබර් 07

First Quarterපුර අටවක

ඔක්තෝබර් 14

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර්  22

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]