බිනර අව අටවක ඔක්තෝබර් 01 වනදා 2010
අද දවස
චන්ද්‍රමාස ක්‍රමය අනුව බිනර අව අටවක පොහොය යෙදී ඇති අද දිනය
ඉංගී‍්‍රසි දින දර්ශනයෙහි දසවන මාසය වන ඔක්තෝබර් මස පළමු
දිනයයි. ලෝක ළමා දිනය මෙන් ම ලෝක වැඩිහිටි දිනය ද අදට යෙදී
තිබේ. ඊට අමතර ව මහජන චීන සමූහාණ්ඩුවේ ජාතික දිනය, නයිජීරියාවේ
ජාතික දිනය, සයිප්‍රසයේ ජාතික දිනය හා තුවාලු නමැති දූපත්
රාජ්‍යයේ ජාතික දිනය වන්නේ ද ඔක්තෝබර් මස පළමු දිනය ම ය.
සිංහල මාස ක්‍රමය අනුව දසවන මාසය වප් වූව ද අද දිනය බිනර මාසයට
අයත් ය. එයට හේතුව නම්, දින 15 කින් යුත් අව පක්‍ෂය හා දින 15
කින් යුත් පුර පක්‍ෂය යන දින 30 කින් සමන්විත චන්ද්‍රමාස
ක්‍රමය හා පෘථිවිය සූර්යයා වටා ගමන් කිරීමට ගතවන කාලය දින 365
යි විනාඩි 05 යි තත්පර 46 ක් ලෙස සලකා සකස් කළ ග්‍රෙගරියානු
දින දර්ශනය අතර ඇති නො ගැළපීමයි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගේ
උපතින් අවුරුදු 533 ක් ගත වූ පසු භාවිතයට ගත් දින දර්ශනය සඳහා
ක්‍රිස්තු වර්ෂ ක්‍රමය පදනම් විය. ජුලියන් දින දර්ශනය නමැති
දින හා මාස සහිත වත්මන් දින දර්ශනය ජුලියස් සීසර් අධිරාජයා
විසින් හඳුන්වා දෙන ලද්දකි. පෘථිවිය සූර්යයා වටා ගමන් කිරීමට
ගතවන කාලය අනුව එක් වසරක දී විනාඩි 11 යි තත්පර 14 ක වෙනසක් එම
දින දර්ශනයේ දක්නට ලැබිණ. එම වෙනස සකස් කිරීම සඳහා සෑම වසර
හතරකට ම වරක් අධික වර්ෂයක් යොදා ගැනීමේ ක්‍රමය දහසය වන සියවසේ
දී ග්‍රෙගරි පියතුමා විසින් හඳුන්වා දෙන ලදී. එ සේ වූව ද
මාර්තු මාසයෙන් වසර ආරම්භ කළ රෝම දින දර්ශනයේ අටවන මාසය වූ
ඔක්තෝබර් මාසය (ලතින් භාෂාවෙන් ඔක්ටෝ යනු අටයි.) ජූලියස් සීසර්
ගේ දින දර්ශනයේ දසවන මාසය ලෙස යොදා ගෙන තිබේ. එය අද දක්වා එ සේ
ම පවතී.
අන්තර්ජාතික කටයුතු පහසු කැර ගැනීමට පොදු දින දර්ශනයක් අනුගමනය
කිරීම වැදගත් බව ඇත්ත ය. එහෙත් ස්වභාව ධර්මය සමඟ බැඳුණු හා අප
ගේ සංස්කෘතිය මත පදනම් වූ චන්ද්‍රමාස ක්‍රමය නො සලකා හැරීම
වරදකි. ගොවිතැන සඳහා බිම සකස් කිරීම යන අදහස ගෙන දෙන බිනර මෙන්
ම බීජ වැපිරීම යන අරුත් දෙන වප් යන්න දැන සිටීම අවශ්‍යයය.
චන්ද්‍රමාස ක්‍රමය සිංහල ජනජීවිතයට කෙතරම් සමීපදැයි සිංහල
විශ්වකෝෂයේ ඇති මේ විස්තරයෙන් පැහැදිලි ය.
“මනුෂ්‍ය ශරීරයෙහි සියලු වෙනස්වීම් සිදුවනුයේ ද චන්ද්‍රවාරය
අනුව ය. තන්ද්‍රයානයෙහි එන ඉඩා පිංගල ශාස්ත්‍රය නිර්මාණය වී
ඇත්තේ සුෂුම්නාව සමීපයේ ඇති චන්ද්‍ර නාඩියෙහි බලපෑම මුල්කොට
ගනිමිනි. ප්‍රතිසන්ධිය, උත්පත්තිය, වැඩිවිය පැමිණීම, සෞඛ්‍යය
විපර්යාස හා මරණය චන්ද්‍රයාගේ බලපෑම මුල්කොට සිදු වේ. චන්ද්‍ර
වාරය මඟින් එහි ප්‍රතිඵල නිවේදනය කැරේ. කලාව පිහිටන ක්‍රමය
අනුව ශරීරයෙහි විෂ වේගය ක්‍රියාත්මක වන ස්වභාවය ද චන්ද්‍ර වාරය
අනුව බෙදා දැක් වේ. අමෘත කලාව විෂ කලාව යනුවෙන් බෙදා ඇත්තේ පුර
පක්‍ෂයේ දින 15 හා අව පක්‍ෂයේ දින 15 අනුව ය. විෂ කලාව නගින
කලාව හා බහින කලාව යනුවෙන් දෙ කොටසකට ද අමෘත කලාව නගින කලාව හා
බහින කලාව යනුවෙන් දෙ කොටසකට ද බෙදේ. ශරීරය හා සම්බන්ධ
සැත්කම්, ඖෂධ භාවිතය, කර්ණවේධනය, ආභරණ පැළඳවීම, ප්‍රතිකාර විෂ
චිකිත්සාව, භග්න චිකිත්සාව ආදී කටයුතු වල දී චන්ද්‍රමාස
ක්‍රමයට අදාළ ව ශාන්ති කර්ම, යාතු කර්ම හා වෙනත් ප්‍රතිකර්ම
කිරීම පුරාණ සම්ප්‍රදායීය ආයුර්වේදයත්, ඡ්‍යොතීර්වේදයත් යා වන
සන්ධිස්ථානයක් ලෙස හැඳින්වීමට පුළුවන.”
මෙ බඳු පාරම්පරික ඥානයක් සම්පූර්ණයෙන් නො සලකා හැර ඇති අප
සමාජය, ගැඹුරු අරුතකින් තොර ව ලෝක ළමා දිනය හා ලෝක වැඩිහිටි
දිනය ආදිය සමරනු ලැබේ. වැඩිහිටි ජනගහනය සීග්‍රයෙන් වර්ධනය වන
නමුදු අතීත සාරධර්ම වේගයෙන් වැනසෙන සමාජයක අපි ජීවත් වෙමු.
රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ඇසුරෙන් නදීරා එස්. ජයතුංග
විසින් කරන ලද ශ්‍රී ලංකාවේ අපරාධ හා එහි සමාජ සංස්කෘතික
පසුබිම නමැති අධ්‍යයනයෙන් හෙළි වී ඇති ඇතැම් කරුණු අප ගේ
වැඩිහිටියන් ලජ්ජාවට පත් කරනසුලු ය. එම ප්‍රදේශයෙන් වාර්තා වී
ඇති ස්ත්‍රී දූෂණ අතුරින් සියයට හතළිහක් සිදු කැර ඇත්තේ වයස
අවුරුදු පනහ ඉක්ම වූවන් විසිනි. මිනීමැරුම් වලින් සියයට
තිස්පහකට වරදකරුවන් වී ඇත්තේ වයස අවුරුදු පනහට වැඩි පුද්ගලයන්
ය. මේ තත්ත්වය රත්නපුර ප්‍රදේශයට පමණක් සීමා වූ ලක්‍ෂණයක් නො
වන බව ද අප තේරුම් ගත යුතු කරුණකි.
ලෝක ළමා දිනය හෝ ලෝක වැඩිහිටි දිනය විලාසිතාවක් ලෙස නො ව සැබෑ
අරුතකින් රට පුරා සැමරිය හැකි තත්ත්වයක් අප උදාකර ගත යුතු ය. ඒ
සඳහා ඇති එක ම මඟ පන්සිල් සුරකින සමාජයක් බිහි කිරීම ය. |