කොළඹ හුණුපිටිය
ගංගාරාම විහාරවාසී
ගෝණදෙණියේ සීවලී හිමි
සිහිය,
බුද්ධිය,
ප්‍රඥාව සමඟින්
ක්‍රියාකළ යුතු ය.
සැබෑ උපාසකත්වය.
එය කාරණා පහක්
හේතු කොටගෙන
විස්තර
කර ඇත.
නිවැරැදි අවබෝධයෙන් තෙරුවන් සරණ ගිය තැනැත්තා කිසිවිටෙක තෙරුවනට නිගා
කරන්නේ නැත. එහි අර්ථය මැනවින් වටහාගෙන තමා කළ යුතු දේ සිදු කරයි.
වෙනත් බාහිර පිහිටක් පතාගෙන අදෘෂ්‍යමාන බලවේග පස්සේ දුවන්නේ නැත. බොහෝ
බෞද්ධයන් සිටියත් ඒ අය බෞද්ධවීමේ වටිනාකම නොදන්නා නිසා නාමිකබෞද්ධයන්
ලෙස පෙනී සිටිති. ඒ අයට තෙරුවන කෙතරම් බලවත් යැයි කීවත් වැඩක් නැත. මේ
නිසා ඔවුන් තෙරුවනේ රැකවරණය මදියැයි සිතා වෙනත් කුමන හෝ දෙවියෙක්,
භූතයෙක් පසුපස ගොස් පුද පූජා කරන්නට සැදී පැහැදී සිටිති.
නමුත් නියම උපාසකත්වය රැකගෙන සිටින පුද්ගලයා වෙනත් කිසිදු බලවේග පස්සේ
දුවන්නේ නැත. සත්‍යය වටහාගත් තැනැත්තාට තැන් තැන්වලට ගොස් යම් යම් දේ
ඉල්ලා යාඥා කරන්නට අවශ්‍ය වන්නේ ද නැත. ඒ මන්ද? ඒ තැනැත්තා තමන්
අනුගමනය කළ යුතු ප්‍රතිපදාව සිදු කරන නිසා ය. අප කෙතරම් බණ ඇසුවත් ඒ
ධර්මයට අනුව ජීවත් වන්නේ නැතිනම් එයින් පලක් වන්නේ නැත. එසේනම්, තමන්ගේ
ක්‍රියාකලාපය නිවැරැදි කරගත යුතු ය. කරන්නන් වාලේ කිසිදු දෙයක් නොකළ
යුතු ය. සිහිය, බුද්ධිය, ප්‍රඥාව සමඟින් ක්‍රියාකළ යුතු ය. සැබෑ
උපාසකත්වය. එය කාරණා පහක් හේතු කොටගෙන විස්තර කර ඇත.
1. “සද්ධෝ හෝති”
එනම්, ශ්‍රද්ධාව ඇත්තේ වේ. ශ්‍රද්ධාව යනු බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ
රත්නය පිළිබඳ හදවතේ ඇති විශ්වාසනීය ගෞරවය හා කැමැත්තය. බුදුරජාණන්
වහන්සේ කෙතරම් උතුම් වූ ශ්‍රේෂ්ඨයාණන් වහන්සේ නමක් ද? ධර්ම රත්නය
සත්ත්වයන්ට කෙතරම් අර්ථසිද්ධියක් සලසනවාද යන්නත්, සංඝරත්නය කෙතරම් ලොවට
අනුකම්පාවෙන් වැඩ සලසනවාද යන්න පිළිබඳවත් ඉතා හොඳ චේතනාවෙන් සිතා
කටයුතු කිරීමයි. මෙහි අප තේරුම්ගත යුතු කාරණාවක් ඇත.
එනම්, ශ්‍රද්ධාව යන වචනය විශේෂයෙන් භාවිතා කරන්නේ බුදුදහම තුළයි. එහි
ඇති විශේෂත්වය වන්නේ දැන දැන ඇතිකර ගන්නා වූ පැහැදීමයි. බුදු දහම තුළ
සැඟවුණු කිසිවක් නැත. බුදුදහම සඟවන්න සඟවන්න එහි බැබලීම අඩු වේ.
බුදුදහම විවෘත කරන්න විවෘත කරන්න එහි බැබලීම වැඩිවේ. මේ අනුව විහාර
මන්දිරයේ ඇති ප්‍රතිපිළිමය වූවත් ආවරණය කර තබන්නේ නැත. එය හැම දෙනාටම
පැහැදිළිව දැකගැනීමට සලස්වා ඇත. එසේනම්, බොදුනුවන් තෙරුවන් කෙරෙහි
කැමැත්ත ඇති කරගන්නේ සුපැහැදිළි පැහැදීමක් හා අවබෝධයක් ඇතිවයි. එවිට
සිතේ ශ්‍රද්ධාව ඇතිවේ. ඒ ශ්‍රද්ධාව ඇති තැනැත්තා ඒ යහපත් පැහැදීම
හේතුකොටගෙන සිල් ආරක්‍ෂා කරන්නට උත්සාහ ගනී. දන් දෙන්නට උත්සාහ ගනී.
භාවනා වඩන්නට උත්සාහ ගනී. නොයෙක් ආකාරයේ කුසල ධර්ම වර්ධනය කරගන්නට
උත්සාහ ගනී. එසේනම් ශ්‍රද්ධාව කෙනෙකුට සම්පතක් වේ.
එසේම ශ්‍රද්ධාව ඇති තැනැත්තාගේ හිතේ තෙතමනය ඇත. එනම් ගරුකළයුතු කෙනෙකුට
ගරු කරයි. වන්දනා කළයුතු කෙනෙකුට වන්දනා කරයි. යමක් දිය යුතු කෙනාට
පරිත්‍යාග කරයි. කෙනෙකු දුකට පත්වී ඇත්නම් ඔහුට උපකාර කරයි. තම
දෙමාපියන්ට උපස්ථාන කරයි. ඔවුන් පිළිබඳ මහත් වූ සෙනෙහසින් කටයුතු කරයි.
තම ඤාතීන් වෙනුවෙන් යුතුකම් ඉටු කරයි. තම හිතවතුන් වෙනුවෙන් කළ යුතුදේ
කරයි. හිතවත් අහිතවත් හැම දෙනාටම අනුකම්පාවෙන් දයාවෙන් කටයුතු කරයි. මේ
ආකාරයෙන් ශ්‍රද්ධා සම්පත්තිය ඇති පුද්ගලයා සෑම දෙනාටම යහපත සලසාලයි.
අනෙක් කාරණය,
2. සීලවා හෝති
එනම්, සිල් ඇත්තේ වේ. සිල්වත් බව සෑම කෙනෙකුටම අවශ්‍ය දෙයකි. මනුෂ්‍යයා
කුමන දෙයින් සර්වසම්පූර්ණ වූවත් සිල්වත් බවින් තොර වූවොත් ඒ පුද්ගලයාගේ
වටිනාකමක් නැත. තමන් ප්‍රකාශ කරන වචනය නිවැරදි විය යුතු ය.
විශ්වාසවන්ත විය යුතු ය. පිළිගත හැකි දෙයක් විය යුතු ය. එවිට ඒ
පුද්ගලයා අනෙක් අයට විශ්වාසවන්තයෙක් බවට පත් වේ. ඒ විශ්වාසභාවය
රැකගන්නට හැකිවන්නේ තමා සිල්වත් වූවොත් පමණි.
එසේම ඒ ඒ පුද්ගලයින් ඉදිරියේ හැසිරෙන ආකාරය දැනගෙන ජීවත්වීමෙන්
සිල්වත්භාවය රැක ගැනීමට හැකිවේ. කෙනෙකුට තවත් කෙනෙක් හමුවූ විට දෙදෙනා
අතර කතාබහක් ඇතිවේ. ඒ කරන කතාව ප්‍රධානම දෙයකි. ඒ කතාව ශිෂ්ටසම්පන්නව
පවත්වා ගන්න හැකිනම් සිල්වත් බව ආරක්‍ෂාකර ගැනීමට හැකිවේ. බොහෝ දෙනෙක්
තමන්ගේ ශීලය, ගුණය නැතිකර ගන්නේ කතාබහෙනි. ඒ නිසා තම වචනය සංවර කරගත
හැකි නම් තමාගේ සිල්වත් බව ආරක්‍ෂා වේ. ඒ සිල්වත්කම ඇති පුද්ගලයාට
සියලු දෙනාගේම ගෞරවය, ප්‍රශංසාව හා ලාභ, කීර්ති පවා ලැබෙනු ඇත.
ඊළඟ කාරණය,
3. අකෝතුහල මංගලිකෝ හෝති
එනම්, අසන දකින දේවල හොඳ නරකින් ශුභා ශුභ සිද්ධි වෙතැයි සිතා කටයුතු
කරන්නේ නැත. අප සමාජයේ සමහර දෙනෙක් බාහිර යම් යම් දේ දැකීමෙන් ඇසීමෙන්
ඒ අනුව යහපත හෝ අයහපත වෙනවා කියාත්, අපල උපද්‍රව ඇතිවෙනවා කියාත්
විශ්වාස කරති. උදේ පාන්දර යමක් දුටුවොත්, මධ්‍යාහ්නයේ යමක් දුටුවොත්,
සන්ධ්‍යාවේ යමක් දුටුවොත්, රාත්‍රී කාලයේ තවත් දෙයක් දුටුවොත් නොයෙක්
ආකාරයෙන් හොඳ හෝ නරකයැයි කියති. නමුත් බාහිර දෙයක් දැක කිසිම විටෙක එය
හොඳ හෝ නරක යැයි කියා කිව නොහැකි ය. එසේ නොසිතා තමන් කරන ක්‍රියාව
පිළිබඳව හා තමන්ගේ සිත ක්‍රියාත්මක වන ආකාරය ගැන සිතා මනා අවබෝධයෙන්
ජීවත්වීම මෙයින් අර්ථවත් කෙරේ.
ඊළඟ කාරණය
4) කම්මං පච්චේති නො මංගලං
එනම්, කර්මය පිළිගනී. එක් එක් මංගල්‍යයන් පිළිනොගනී. සමහර අයට තමන් ලබා
ඇති මිනිසත් බව ගැනවත් වැටහීමක් නැත. ඔවුන් සිතන්නේ මේ ජීවිතය වෙනත්
කෙනෙක් දීපු දෙයක් කියා ය. එසේම තමන්ගේ නිරෝගිකම, ලෙඩදුක්, වස්තුව,
ඉඩකඩම් ආදී සෑම දෙයක්මත් තමන්ට නොපෙනෙන බලවේගයකින් ලැබුණු දෙයක් හැටියට
සිතා ජීවත් වේ. නමුත් තෙරුවන් සරණගිය නියම පුද්ගලයා ඒ ආකාරයෙන් සිතන්නේ
නැත. තම රූප සම්පත්තිය, කටහඬ, ඉඩකඩම්, යහළු මිත්‍රයන් ආදී සෑම දෙයක්
පිළිබඳවම හේතුඵලවාදීව සිතයි. තමන්ගේ කුසල හා අකුශල ශක්ති අනුව තමන්ට මේ
මේ දේ ලැබුණු බව පිළිගනී. තමන් කරන ක්‍රියාව වටිනා දෙයක් ලෙස සිතයි.
යහපත් වූ ජීවිතයක් ලබන්නට කළ යුතු දේ දනී. තමන් විසින් සිදුකර ගත යුතු
පින්දහම් කරගනී. ගුණදහම් සපුරා ගනී. වෙනත් බාහිර පුද පූජාවන්ට මුලා වී
කටයුතු කරන්නේ ද නැත.
අනෙක් කාරණය,
5) න ඉතෝ ච බහිද්ධා දක්‍ෂිණෙය්‍යං ගවේසති.
එනම්, බුදුසසුනෙන් පිටත පිනට දීමට සුදුස්සන් නොසොයයි. පළමුකොට
බුදුසසුනට දෙයි. තෙරුවන් සරණගිය සැබෑ පුද්ගලයා එහි වටිනාකම දන්නා නිසා
ඒ සඳහා කළ යුතු සියලු පින්දහම් කරගනී. තෙරුවන් වෙනුවෙන් කළ යුතු වතාවත්
හා කුසල් දහම් වර්ධනය කර ගනී. වෙනත් බාහිර නොයෙක් ස්ථාන සොයා ගොස්
පින්දහම් කරන්නට යන්නේ නැත. තමන්ට නිසි දැනුමක් ඇති නිසා රටවටේ ලෝකෙවටේ
ගොස් පිළිසරණ පතන්නේ නැත. තමන්ට ලැබී ඇති උතුම් වරමින් සියලු යහපත
උදාකර ගනී.
මේ ආකාරයෙන් සැබෑ උපාසකත්වය දැන හඳුනාගෙන ඔබත් ජීවත්වීමට උත්සාහවත්
වන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඉහත කාරණා පහ ඇති පුද්ගලයා උපාසක
පද්මයක් හා උපාසක පුණ්ඩරිකයක්” වන බවයි. මේ අනුව තෙරුවන්ගේ ඇති බලය,
ශක්තිය, ආශිර්වාදය හා රැකවරණය නිවැරැදිව දැන හඳුනාගෙන තම ජීවිතය සකස්
කර ගන්න. ඒ තුළින් ඔබට මෙලොවත් පරලොවත් ජයග්‍රාහීකර ගැනීමට හැකිවනු ඇත. |