UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

දකුණු ඉන්දියාවට බුදුදහම පැමිණියේ කෙසේ ද?

දකුණු දිග රාජධානි තුළ ශ්‍රී ලාංකික ධර්මදූතයන් විසින් බුදුදහම ප්‍රචාරය කර හරින ලදැ යි යන අදහසට දිරි ගැන්වීමක් ලෙස පුරාවිද්‍යාත්මක සහ ශිලා ලේඛනගත සාධක ඇත. එහිලා මදුරාපුරයෙන් සහ තින්නවේලි දිස්ත්‍රික්කයෙන් ශිලා ලේඛන සහ ස්මාරක හමු වී ඇත. ඒවා ක්‍රි. පූ තුන්වැනි සියවසට පවරන්නට පුළුවන.

දකුණු ඉන්දියාව තුළ බුදුදහමේ ව්‍යාප්තිය සහ එහි ආරම්භය ගැන සැලකීමේදී ඒ පිළිබඳ මතයෙහි සැලකිය යුතු වෙනසක් ඇත.චීන වන්දනාකරුවකු වන හියුං සාං ඉන්දියාවට පැමිණියේ ක්‍රි.ව. හත්වැනි සියවසේ මුල් භාගයේදී ය. ඇතැම් විට කෙනෙකු දකුණු ඉන්දියාවේ බුදුදහමේ ඉතිහාසය හා සම්බන්ධ හේතු දකින්නේ ඒ සමඟ ය. බුදුන් වහන්සේ නිතරම Talopitu නම් තැනක් දුටු බව හියුං සාං සඳහන් කරයි. එය ඔහු දක්වන හැටියට Kanchifpulo (කාංචිපුරම්) බවට සලකුණු ඇතැයි කියනු ලැබේ. හියුං සාං තවත් එවන් තොරතුරු දක්වා ඇත.

කෙසේ වෙතත් කාංචිපුරම් සමග බුදුන් වහන්සේගේ සබඳතා ගැන හියුං සාංගේ හේතු දැක්වීම පැහැදිලිව ම ඔහුගේ කල්පිත සේ සලකා නොතකා හරින්නට පුළුවන. ඇයි ද යත්, අප දන්නා පරිදි බුදුන් වහන්සේ කොහෙත් ම දකුණු දේශයට නොපැමිණි බව නිසැක නිසා ය. උන්වහන්සේගේ චාරිකා සීමා වූයේ බුදුදහමේ තොටිල්ල ලෙස සැලකෙන මධ්‍ය දේශයට යි.

එසේනම් දැන් ප්‍රශ්නයක් පැන නඟී. ඈත දකුණු දෙසට බුදුදහම ඇතුළු වූයේ කොහෙන් ද යනු යි. එය සිදුවූයේ උතුරු ඉන්දියාවෙන් ද?

දකුණු සමඟ උතුර ඒකාබද්ධ කරන්නට අශෝකයන් දැරූ ප්‍රයත්නයෙන් පසු පවා, උතුරු ඉන්දියාව සහ දකුණු ඉන්දියාව අතර පණිවිඩ හුවමාරුව නිසි පරිදි ස්ථාපිතව නොතිබිණ. එහෙත් ඇති සැටියෙන් සිතිය හැකි පරිදි අසන්නතාව හේතුවෙන් ශ්‍රී ලංකාවත්, දකුණු ඉන්දියාවත් අතර කිට්ටු සබඳතා පැවතිණ. මේ සත්‍යය ශ්‍රී ලංකාවේ පුරාවෘත්තය වූ මහාවංශය පවා සහතික කරයි. මහාවංශයට අනුව විජය (ක්‍රි.පූ. 483 - 445) සහ ඔහුගේ පිරිස සිය බිරින්දෑවරුන් ගෙන්වා ගත්තේ් පාණ්ඩ්‍ය දේශයේ මදුරාපුරයෙනි. විජය පිළිබඳ සම්භාවිතාව බුදුන් වහන්සේට සමකාලීන බව, විජයගේ ඥාතිපුත්‍ර පණ්ඩුවාසද්ව, බුදුන් වහන්සේගේ ඥාති දියණියක (භද්දකච්චානා) ආවාහයට ගැනීමෙන් පැහැදිලි වෙයි.

ඉක්බිති ශ්‍රී ලංකාවට පැමිණි ඇගේ සහෝදරයෝ දිවයිනෙනොයෙක් පෙදෙස්හි ජනපද පිහිටුවා ගත්හ. පැහැදිලි ලෙස ම ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨතම රජ වූ පණ්ඩුකාභය, උතුරු ඉන්දියාවෙන් පැමිණි භද්දකච්චායනාවන්ගේ සහෝදරයන් භය දෙනාගෙන් එක් කෙනෙකු වූ දීඝායුගේ මුනුබුරා වෙයි. පණ්ඩුකාභය ඔස්සේ සිංහල රජවරුන්, බුදුන් වහන්සේ අයිති වන ශාක්‍ය වංශයට තමන්ගේ පරපුර සොයා යන්නේ එලෙසිනි. එසේ වුවත් විජය විසින් ශ්‍රී ලංකාවට බුදුදහම ගෙන එන ලදැයි සිතතොත් සහේතුක නොවේ. එපමණක් නොව, අශෝකටත් බොහෝ කලකට පෙර, විශේෂයෙන් ම දකුණු ඉන්දියාවේ පාණ්ඩ්‍ය දේශයේ බුදුදහම තිබිය හැකි යයි දැන සිටි බවට තර්ත කළ හැකි ය. ඇයි ද යත්, ඉහත සඳහන් පරිදි රාජධානි දෙක අතර නිදහස් පණිවිඩ හුවමාරුවක් තිබුණු හෙයිනි. බුදුදහම ප්‍රායෝගිකව භාවිතයේ නොතිබිය හැකි වුවත්, පාණ්ඩ්‍ය දේශයේ ජනතාව අඩු තරමින් ඒ ගැන දැන සිටියෝ ය.

අශෝකගේ (ක්‍රි.පූ. 269 - 232) සමකාලීන දේවානම් පියතිස්ස සමයේ පුරාතන ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සබඳතාව උපරිමයට නැඟ තිබිණ. එකල්හිත් දෙරට සබඳතා ව පැවතුණේ මුහුදු මඟිනි. දේවානම් පියතිස්ස විසින්, අශෝක වෙත යවන ලද තානාපති පිරිස මෙහෙයවන ලද්දේ තිස්ස රජුගේ ඥාතිපුත්‍ර අරිට්ඨ විසිනි. ශ්‍රී ලංකාවේ සිට මුහුදු මඟින් තාම්‍රලිප්ති වෙත යන්නට සතියක් ගත වූ අතර, එතැන්සිට පාටලීපුත්‍ර වෙත (ගොඩබිමින්) යන්නට තවත් සතියක් ගත විය. නැගෙනහිර වෙරළේ පිහිටි ප්‍රධාන ඉන්දියානු මුහුදු වරාය වූයේ තාම්‍රලිප්ති ය. තම්බපණ්ණි හෙවත් ශ්‍රී ලංකාවට නැව් යාත්‍රාව ඇරඹුණේ එහි සිට යි.

මෞර්ය රාජධානියේ ව්‍යාප්තිය චෝළ දේශයට උතුරින් අතරමඟ නතර වුණත්, අශෝක ඉන් ඔබ්බෙහි ඈත දකුණු දිගටත් බුදුදහම ව්‍යාප්ත කරන්නට යත්න දැරූ බව අපි නියත විසින් ම දනිමු. එහෙත් එය කෙතරම් සාර්ථක වී දැයි කිසිවකුට නොකිය හැකි ය. එහිලා අශෝක පිළිබඳ කිසිදු සඳහනක් ප්‍රාදේශීය සාහිත්‍යයෙහි සඳහන්ව නැත. බුදුදහම පිළිබඳ උත්තේජනාත්මක වර්ණනා සහිතව බෞද්ධ ලේඛකයකු විසින් ලියන ලදැ යි කියනු ලබන මණිමේඛලයි කාව්‍යයෙහිවත් කිසි ම තැනක අශෝක ගැන කිසිදු සඳහනක් නැත.

තුන්වැනි ධර්ම සංගායනාව අවසානයේ අශෝක විසින් ධර්මදූතයන් යවන ලදැ යි සඳහන් රටවල ලේඛනයේ එක ද දකුණු ඉන්දියානු රාජ්‍යයක්වත් නොතිබීම විවාදයට ලක්විය යුත්තකි. එහිදී මහාවංශය ඒ ඒ රටවලට යවන ලද තෙරවරුන්ගේ නම් සඳහන් කරයි. සත්තකින්ම ඉහත සඳහන් රටවල ලේඛනයේ අන්තිම දකුණු (ඉන්දියානු) දේශය සඳහන් වන්නේ ‘වනවාස’ නමිනි.

දකුණු ඉන්දියාව පිළිබඳ ii වැනි හා xiii වැනි පර්වත ආඥා ලිපි, එනම් අශෝක ශිලා ලේඛන සොයා ගන්නට ලැබීමෙන් අශෝක විසින් දකුණු ඉන්දියාවෙහි බුදුදහම ප්‍රචාරය කරන්නට දරන ලද ප්‍රයත්නයක් තහවුරු වෙයි. ii වැනි පර්වත ආඥා ලිපිය මෙසේ කියයි. ‘දේවානම්පි‍්‍රය රජුගේ ආධිපත්‍යය පවත්නා හැම නිදහස් රාජ්‍යයක ම පි‍්‍රයදර්ශින් සහ චෝළ, පාණ්ඩ්‍ය, සතියපුත, කේලලපුත ආදී අසල්වැසියෝ..... xiii වැනි පර්වත ලිපියේ දකුණු ඉන්දියානු අධිරාජ්‍යයේ නම් පමණක් නොව, ඒවා ධර්මය පැතිර ගිය රටවල් හැටියට ද සඳහන් වෙයි. ඒ බව දැක්වෙන්නේ මෙලෙසිනි. ‘දේවානම් පි‍්‍රයයන් විසින් නැවතත් සිය රාජ්‍යයෙහි ද, ප්‍රත්‍යන්ත දේශයන්හි ද ධර්ම විජය පවත්වන ලදී. යොදුන් 600 ක් දුරින් පිහිටි යෝන රාජ ඇනටියෝකස්ගේ දේශය ද, එසේ ම දකුණු දිගින් චෝළ සහ පාණ්ඩ්‍ය ද ඊටත් ඈත කාම්‍රපර්ණි වෙතත් ධර්ම විජය පවත්වනු ලැබේ’.

අවසනාවකට මෙන් මයිසෝරයෙන් දකුණේ දී කිසිදු අශෝකීය ආඥාවක් අපට හමු නොවේ. එයින් ඔප්පු වෙන්නේ දකුණු දිග රාජ්‍යයන් සහ අශෝක අධිරාජ්‍යය අතර සම්බන්ධයක් එතරම් සැලකිය යුතු පදනමකින් ස්ථාවරව නොපැවතී බව යි.

අනෙක් අතට, මෙකී දකුණු දිග රාජධානි තුළ ශ්‍රී ලාංකික ධර්මදූතයන් විසින් බුදුදහම ප්‍රචාරය කර හරින ලදැ යි යන අදහසට දිරි ගැන්වීමක් ලෙස පුරාවිද්‍යාත්මක සහ ශිලා ලේඛනගත සාධක ඇත. එහිලා මදුරාපුරයෙන් සහ තින්නවේලි දිස්ත්‍රික්කයෙන් ශිලා ලේඛන සහ ස්මාරක හමු වී ඇත. ඒවා ක්‍රි. පූ තුන්වැනි සියවසට පවරන්නට පුළුවන.

මෙහිදී සඳහන් කරනු ලබන ස්මාරක වන්නේ ‘පඤ්චපාණ්ඩවමලයි’ නමින් හඳුන්වනු ලබන පර්වත ගුහා ය. ඒවාට ඒ නම නිතර භාවිතයෙන් තරයේ අපේ මතකයට එන්නේ පාණ්ඩව පබ්බත යි. සිද්ධාර්ථ තාපසයා බුද්ධත්වය ලැබීමෙන් පසු, පළමු වරට රජගහනුවරට වැඩි කල්හි පිඬුසිඟා යෑමෙන් අනතුරුව ලබාගත් පිණ්ඩපාතය වැලඳුවේ මෙකී පාණ්ඩව පර්වතය පාමුල සිට ය. ඉහත සඳහන් පර්වත ගුහාවන්ගෙන් එකක් “උන්දන්කල්’’ නමින් හැඳින්වෙයි. එහි තේරුම නම් ‘මෙහි සිට සිය ආහාරය ගත් මිනිසාගේ පර්වතය’ යනු යි. සැබවින් එයින් යෝජන කැරෙන්නේ, මෙකී පර්වත ගුහා, ඇතැම් විට ඒවායේ සිට පිණ්ඩපාතය වැලඳු භික්ෂූන්ගේ සිත් ඇද ගත් නවාතැන් පොළවල් විය හැකිව තිබුණු බව යි.

පඤ්චපාණ්ඩවමලයිහි බ්‍රාහ්මි අක්ෂර කැටයම් කරන ලද ගල් ඇඳන් දකිනු හැකි ය. ආදී ගෘහ නිර්මාණ ශිල්පිය විශාරදයන් විශ්වාස කරන්නේ ස්වභාවික චිරස්ථායි ද්‍රව්‍ය හෝ වස්තු, ගොඩනැගිලි හෝ මානව අවශ්‍යතා සඳහා පළමුවෙන්ම පරිහරණයට යොදාගන්නා ලද්දේ බෞද්ධයන් විසින් බව යි. භික්ෂූන් විෂයයෙහි මෙය වඩාත් විශේෂිත යි. වැඩිදුරටත් සිත් ගන්නා තොරතුරක් වන්නේ මෙකී පර්වත කලුගුමලයි (ගිරිධ්‍රකූට) නමින් හැඳින්වීම යි. මේ නම් අනෙකක් නොව බුදුන් වහන්සේ සිය වැදගත් ධර්ම දේශනා කීපයක් වාචෝද්ගත කළ ගිජ්ජකූට පර්වතය යි. මෙහිලා තත්කාලීන ආසන්නතම සාදෘශ්‍යයක් වන්නේ ශ්‍රී ලංකාවේ ආදිතම ස්මාරක යි. සහතික විසින් ම ඒවා බෞද්ධ වෙයි. එවන් පර්වත ගුහා එදා බෞද්ධ භික්ෂූන්ගේ නිවාසස්ථාන වූ බවට පැහැදිලි සාක්ෂ්‍ය කොතෙකුත් ඓතිහාසික ස්මාරක බවට පත්ව ඇත.

මෙවන් ගුහා බිත්තිවල දකින්නට ලැබෙන ලේඛන ක්‍රි.පූ තුන්වැනි සියවසට දින නියම කළ හැකි ය. ඒවා එවක සම්මත බ්‍රාහ්මී අක්ෂරයන්ගෙන් කැටයම් කර ඇත. එසේ ම ඒවා නොයෙක් අතින් සමකාලීන ශ්‍රී ලංකා ගල්ලෙන් සටහන් වාර්තාවන්ගේ අක්ෂරයනට සාදෘශ්‍යයක් දක්වයි. මේ ලේඛනයෝ හැම අතින් ම බෞද්ධ ලක්ෂණ විදහාපාන්නෝ ය. උදාහරණයක් ලෙස එක් ලේඛනයක ‘චේයිය පාලි’ හෝ ‘චේතිය ගුහා’ යන සඳහනක් වෙයි. අනෙක් බොහෝ ඒවායේ ‘යක්ෂ’ සහ ‘යක්ෂිනී’ නම් වූ සටහන් ඇත. මථුරා දිස්තිරික්කයේ කලුගුමලයි පර්වතයේ හමුවුණු ශිලා ලේඛනයක් ඇත. එහි වාර්තා වන්නේ ‘ශ්‍රී යක්ෂ’ නම් බලසම්පන්න නායකයකුගේ ඉල්ලීම පිට ධාතු ගර්භයක් (දාගබක්) සඳහා ගුහා කණින ලද බව යි. මථුරා දිස්තිරික්කයේ ම අරිත්තපත්ති නම් තැන තවත් ශිලා ලේඛනයක දැක්වෙන්නේ භික්ෂූන්ගේ පතා ගුහාවක් කණින්නට වෙල්ලඩියේ පුරවැසියකුගේ ද්‍රවක වන යක්ෂසිති හේතුවක් වූ බව යි.

මුරුගල්තලයි ශිලා ලේඛනය මෙසේ කියයි. ‘වෙන් කොසිපන් කුතුපිත කල කන්ඤනම්’ යනු යි. එයින් අදහස් කැරෙන්නේ මෙවැන්නකි. ‘මේ සිත් ඇද ගන්නා ලෙන් අසපුව කණින්නට හේතුවන්නේ ‘වෙන්’ ජනපදයේ කාශ්‍යප යි (වෙලීර් නායක කාශ්‍යප ය) උන්දන්කුල් ලෙනෙහි පහත එන ශිලා ලේඛනය දැක්වෙයි. එනම්, අන්තයි පිකන් මක්න් වෙන්තන’ යනු යි. අන්දි (අන්ති) හෝ අන්දයි (අන්තයි) යන්නෙන් අදහස් කර ඇත්තේ ඇඳ ( bed) යන්න යි. (එය සිංහල ඇඳ යන්නෙහි තත්භව රූපයක් විය හැකි ය) තවදුරටත් විය හැකි පරිදි මේ විවරණයෙන් ගම්‍ය වන්නේ එකී ලේඛන, ගල් ඇඳන්හි කැටයම් කර ඇති බව යි. ඒ අනුව එක් ලේඛනයක මෙසේ දැක්වෙයි. ‘’මේ ඇඳ පිකන්ගේ පුත්‍ර වෙන්ගේ පරිත්‍යාගය’’. ඇතැම් ලේඛනයන්හි ශ්‍රී ලංකා යන්නට ‘හෙළ’ රූපයෙන් තත්භව ‘එළ’ යන්න දකින්නට ලැබෙයි.

තවත් සාධනීය සාක්ෂ්‍යයක් වන්නේ ක්‍රි.පූ. දෙවැනි සියවසේ දුට්ඨගාමණි අභය රජුගේ පාලන සමයේ, ස්වර්ණමාලි චෛත්‍යයට මුල්ගල තැබීමේ උත්සව අවස්ථාවේ ශ්‍රී ලංකාවේ නොයෙක් බෞද්ධ මධ්‍යස්ථාන වලින් විශාරද බෞද්ධ භික්ෂූන් ඒකරාශි වීම යි. මේ උත්සවයට එක්රැස් වූවාහු ශ්‍රී ලංකා භික්ෂුහූ පමණක් නොවෙති. එයට ඉන්දියාවේ ප්‍රධාන පෙළේ විහාරාරාම වලින්ද මහා පරිමාණයෙන් භික්ෂුහු සහභාගි වූහ. එපමණක් නොව සත්තකින් ම දකුණු ඉන්දියාවේ ඇතැම් බෞද්ධ මධ්‍යස්ථාන ද ශ්‍රී ලංකාවේ මෙකී උත්සවයට දායකත්වය සැපයී ය. පල්ලව දේශය සමඟ හඳුනාගනු ලබන පල්ලවභොග්ග සහ තවත් දකුණු ඉන්දියානු මධ්‍යස්ථාන ද එම නාමාවලියට ඇතුළත් ය.

මෙවන් සියලු සාක්ෂ්‍යයන්ගෙන් පැහැදිලිව ඔප්පුවන්නේ දකුණු ඉන්දියානු රාජ්‍යයන් තුළ ශ්‍රී ලාංකික ධර්මදූතයන්ගේ බලපෑම යි. එබැවින් ශ්‍රී ලාංකික ධර්මදූතයන් (අනියමින් අශෝකයන්ගේ ව්‍යායාමයේ ප්‍රතිඵලයක් ලෙස) මහා දේශයේ (ඉන්දියාවේ) ධර්මදූතයනට වඩා දකුණු ඉන්දියාව තුළ බුදුදහමේ පණිවිඩය සන්නිවේදනය කිරීමේ සෘජු සහ මහා පරිමාණ භූ®මිකාව රඟපෑ බව පහසුවෙන් තීරණය කළ හැකි ය.

Mahabodni Centenary Commemorative Volume - SAMBHASHA සඟරාවේ පළ කරන ලද මඤ්ජුල ස්වරූප්ගේ How did Buddhism come to Southern India  ලිපියේ පරිවර්තනයකි.

නිකිණි අමාවක පෝය

නිකිණි අමාවක පෝය සැප්තැම්බර් 07 වන දා අඟහරුවාදා අපර භාග 07.53 ට ලබයි.
8 වන දා බදාදා අපර භාග 04.00 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 08 වන දා බදාදා ය.

මී ළඟ පෝය සැප්තැම්බර් 15 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

සැප්තැම්බර් 08

First Quarterපුර අටවක

සැප්තැම්බර් 15

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 22

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 01


2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]