UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සිතට සුව දෙන දිවෙලේගොඩ පින් බිම


අලංකාර බුද්ධ මන්දිරය

දකුණු සිරිලක බොදු සිත් අමන්දානන්දයට පත් කරන අගනා පින්බිමක් ලෙස ඉමදුව දිවෙලේගොඩ පුරාණ මහා විහාරය හැඳින්විය හැකි ය. මූලගිරි විහාර සඟ පරපුරට උරුමකම් කියන ඉපැරණි ඓතිහාසික මෙම පින්බිම අද වන විට ලක් වැසි බොහෝ දෙනාගේ අතිමහත් ගෞරවයට පත් වී ඇත. රමණීය කඳු මුදුනක් මත්තෙහි පිහිටා ඇති මෙම පුදබිම ගැන විමසා බැලීමේදී 1865 වර්ෂයට පමණ දුර අතීතයකට අවධානය යොමු කළ යුතුය. කෝදාගොඩ සිද්ධත්ථ හෙවත් මීගහවත්තේ නාහිමියන් දවස ප්‍රදේශයේ සතුන්ගේ රජ දහනක්ව පැවති දිවෙලේගොඩ කඳු මස්තකයෙහි වැඩ විසූ බොහෝ අනුහස් ඇති බෝධීන් වහන්සේ නමක් අසල පොල් අතු මඩුවකින් ආරම්භ කරන ලද කුඩා ආරාමයකින් මෙම ඓතිහාසික පින්බිමෙහි ඉතිහාස කතාව දැක්වේ.

මීගහවත්තේ නාහිමියන් අපවත් වීමෙන් පසු හබරාදූව ශ්‍රී සරණපාල, කෝදාගොඩ පඤ්ඤානන්ද, තල්පෙ පත්තුවේ ප්‍රධාන සංඝනායක කෝදාගොඩ ශ්‍රී සංඝානන්ද යන ශ්‍රේෂ්ඨ සංඝ පීතෘන් වහන්සේලා මෙම පින් බිමෙහි අධිපතිධූරය හොබවමින් සුවිශාල ආගමික හා සාමාජීය සේවාවක් ඉටුකර ඇති බව ප්‍රකට කරුණකි.

ඒ අතුරින් සංඝානන්ද නාහිමියන් පිරිත් දේශනා, ධර්ම දේශනා ආදියෙහි ඉතා ප්‍රසිද්ධියට පත්ව සිටි යතිවරයාණන් වහන්සේ නමක් ලෙස හැඳින්විය හැකි ය. දිවෙලේගොඩ පුරාණ විහාරස්ථානය ගොඩනැංවීමෙහිලා එවකට වාහල කනංකේ කණුකැටිය වතුයායෙහි අධිපතිත්වය හෙබවූ ඩී.ඩී. වික්‍රමසූරිය මැතිතුමා විසින් සිදුකරන ලද සේවාව අමරණීය ය.

1988 වසරේ දී කෝදාගොඩ ශ්‍රී සංඝානන්ද නා හිමිපාණන් වහන්සේ අපවත් වීමෙන් පසු විහාරාධිපති ධුරයට පත් උන්වහන්සේ ශිෂ්‍ය අක්ෂි වෛද්‍ය විශේෂඥ වරකාපිටියේ සද්ධානන්ද මා හිමියන් තුළ තිබෙන්නා වූ පුණ්‍යකෘත මහිමයත් අධිෂ්ඨානශීලි ශක්තියත් නිසාම මෙම පුදබිම මේ වනවිට ශ්‍රද්ධාකාමීන්ගේ ශ්‍රද්ධා භක්තිය වර්ධනය කරන සියලු විහාරස්ථානයන්ගෙන් සමන්විත පින් බිමක් බවට පත් කොට ඇත.

ලක් දෙරණෙහි කිසිම ස්ථානයක දැකිය නොහැකි දුර්ලභ ගණයේ නිර්මාණයක් වන කොස් දැවයෙන් තනා නිම කරන ලද අඩි 08 ක් උස අඩි 48 ක් වට කැටයම් සහිත ගාම්භීර පෙනුමෙන් යුත් පිරිත් මණ්ඩපය ආරක්ෂා වන පරිදි ඉතා අලංකාර ධර්ම මන්දිරයක්, නව තෙමහල් දාන ශාලාව සහිත ආවාස ගෙයක් විශේෂයෙන් රෝපණය කරන ලද බෝධින් වහන්සේලා විසි අට නමක් සෙවනෙහි බුදුවරයන් වහන්සේලා වැඩ සිටින අයුරු පිළිබිඹු කරමින් නිර්මාණය කරන ලද අටවිසි බෝධින් වහන්සේලා මෙන්ම විශාල මුදලක් වැය කරමින් ඉදිකර ඇති චෛත්‍යය හා බුද්ධ ප්‍රතිමා ආගමික මෙන්ම අධ්‍යාපනික වශයෙන් ද ඉතා වැදගත් අපූර්ව නිර්මාණයන් වශයෙන් හැඳින්විය හැකි ය. එපමණක් ද නොව මේ වනවිට සිත් ඇද ගන්නා සුළු අලංකාර ධාතු මන්දිරය වන්දනා කිරීමට පැමිණෙන පිරිස ද අති විශාල ය.

මෙලෙස දිනෙන් දින දීඝ්‍ර දියුණුවක් ලබන දිවෙලේගොඩ පුරාණ විහාරස්ථානය මගින් සිදු කරනු ලබන ආගමික හා සාමාජීය සේවාව ද ඉතා අගය කළ යුතු ය. එසේම මෙම ඓතිහාසික පින් බිමට සුවිශාල ආශිර්වාදයක් ලෙස අනුරාධපුරයෙන් ලැබුණු අඩි 4 ක් දිග ඉපැරණි කිරිගරුඩ සැතපෙන බුද්ධ ප්‍රතිමාව හැඳින්විය හැකිය.


විහාරාධිපති වරකාපිටියේ සද්ධානන්ද මා හිමි

පළාත්වාසී බොහෝ දූ දරුවන්ගේ නැණස පාදා ගැනීම වෙනුවෙන් විහාරස්ථානයේ පවත්වා ගෙන යන ‘ශ්‍රී සංඝානන්ද දහම් පාසල මඟින් ඉටු කරන සේවාව ද විශාලය.

තවද විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණක් නම් මෙම පුදබිමෙහි විහාරාංග ගාල්ල හා මාතර යන දිස්ති‍්‍රක්ක දෙකටම අයිතිවීම ය. එය පුදුමය උපදවන සුළු අවස්ථාවකි.

ඉමදුව දිවෙලේගොඩ පුරාණ මහා ෂහාරස්ථානයෙහි හෙට දවසෙහි දියුණුව වෙනුවෙන් ද විහාරාධිපති මාහි මියෝ බොහෝ කැප කිරීමක් සිදු කරති. එහි ප්‍රතිඵලයක් වශයෙන් නව විහාරාංග අතරට අසුමහා ශ්‍රාවක හා ශ්‍රාවික ප්‍රතිමා මෙන්ම විහාරාධිපති මාහිමියන්ගේ පැවිදි දිවියට පනස් වසරක් සපිරිම නිමිත්තෙන් දහඅට රියන් බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් නිර්මාණය කිරීමට ද මේ වනවිට කටයුතු කරමින් පවතින බව සඳහන් කළ යුතුව ඇත.

අට විසි බෝධීන් වහන්සේ

පිරිත් මණ්ඩපය

 

 

 

ඇසළ අව අටවක පෝය

ඇසළ අව අටවක පෝය අගෝස්තු මස 2 වන දා සඳුදා අපරභාග 10.01 ට ලබයි. 3 වන දා අඟහරුවාදා පූර්ව භාග 10.47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු මස 3 වන දා අඟහරුවාදාය.
මීළඟ පෝය
අගෝස්තු 09 වන දා බදාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 03

New Moonඅමාවක

අගෝස්තු 09

First Quarterපුර අටවක

අගෝස්තු 16

Full Moonපසෙලාස්වක

අගෝස්තු 24

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]