UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ආගමික සහජීවනය ආරක්‍ෂා කළ දහම

ලෝකයේ පවතින අර්බුදකාරී තත්ත්වයන්ට බුදුසමයේ ඇති විසඳුම කුමක්ද යන්න පිළිබඳව අද වන විට ගැඹුරු අවදානයක් යොමු වී තිබෙනවා. මේ තත්ත්වය නිසාම පසුගිය දශක දෙකක පමණ කාල පරිච්ඡේදය තුළ මුළු බටහිර යුරෝපයම බෞද්ධ දර්ශනය වෙතට නැඹුරුවීමේ වැඩිවීමක් අපට දැකගත හැකි ඉතාම සාධනීය ලක්‍ෂණයකි.

නමුත් බුදු සමය ප්‍රචාරය සඳහා අන්තවාදී ක්‍රියාකාරකම් කිසිවිටෙක අනුගමන කළ ආකාරයක් අතීතයේ දී හෝ වර්තමානයේ දී අපට දැකගන්නට ලැබෙන්නේ නැහැ. එනමුත් බෞද්ධ දර්ශනය පිළිබඳව මුළු ලෝකය පුරා ඇතිවී තිබෙන්නා වූ මෙම ප්‍රබෝධය නිසාම ඇතැම් ආගමික කණ්ඩායම් විසින් ගෞතම බුදුන්වහන්සේගේ ප්‍රතිමා ආදියට අපහාස වන ආකාරයේ ක්‍රියාකාරකම් අපට දැකගන්නට ලැබෙන ප්‍රවණතාවක්.

අවන්හල් ආදිය සඳහා බුදුන්වහන්සේගේ නම යොදා ගනිමින් ඔවුන් ඉතා සූක්‍ෂම ලෙස බුදුදහමට නිඟා කරන බව දකින්නට පුළුවන්.

එය ආගමික ශාස්තෘවරයකුට සිදුකරන්නාවූ ඉතාමත් පහත් පෙළේ අවමානයක් බව අප අවබෝධ කරගත යුතුයි. මෙවැනි තත්ත්වයන් යටතේ තමයි ‘එකෝන්’ වැනි ගායකයන්ගේ ගීතවලට අඩනිරුවතින් රඟන නිළියන් බුද්ධප්‍රතිමා අසල නර්තනයේ යොදවන්නේ. ඇතැම් විට බුදුරුව යොදා ඉටිපන්දම් නිෂ්පාදනය කිරීම ඒ වගේම සපත්තු අඩියට බුදුරුව ධර්ම චක්‍රය හෝ චෛත්‍ය රූප සටහන් යොදා ගැනීම මඟින් ඉතා සියුම් ලෙස බුදුදහමට අපහාස කරයි.

නමුත් මෙවැනි ක්‍රියාවන් මඟින් උතුම් වූ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට කිසිදු ආකාරයක හානියක් කිරීමට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. මේවා උතුම් ආගමික ශාස්තෘවරයකු නිගාකිරීමට ගන්නා පහත් පෙළේ උත්සාහයක් බව බුද්ධිමත් ජනතාව දන්නා කරුණක්. බෞද්ධයා ඉතාමත් ආගමික සහනසීලී ගුණවලින් යුක්ත පිරිසක් නිසා අනෙක් ආගමික දර්ශනවලට ගරු කරනවා. ඒවා නොපිළිගත්තත් අප ඒවාට ගරුබුහුමන් කළ යුතුයි. එක් අවස්ථාවක උපාලි ගෘහපති නමැති ජෛන මහා වීරයන්ගේ ප්‍රධාන දායකයා බුදුහිමියන් හමුවට පැමිණ කර්මය පිළිබඳව ගැඹුරු විවාදයක නිරත වුණා. මේ විවාදය අවසානයේ ඔහු ඉතාමත්ම නිහතමානිව බුදුන්වහන්සේගෙන් ඉල්ලා සිටිනවා තමන් බෞද්ධයෙකු බවට කරගන්නා ලෙස ඒ මොහොතේ දී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කුමක්ද? තුන් වරක්ම ඔහුගේ ඉල්ලීම බුදුරජාණන් වහන්සේ ප්‍රතික්‍ෂේප කළා. එසේ ප්‍රතික්ක්‍ෂේප කරන්නේ තවත් කෙනකුගේ ශ්‍රාවකයකු තමන්ගේ ශ්‍රාවකයකු බවට පත්කර ගැනීම උදෙසා තමන්වහන්සේ කිසිවිටෙකවත් දහම් දෙසන්නේ නැති බව ඉතාමත් නිවැරදිව තර්කාණුකූලව පැහැදිලි කර දෙමින්.

නමුත් ඔහුගේ බලවත් ඉල්ලීම මත ඔහුට තුනුරුවන් සරණ ගිය උපාසකයකු බවට පත්වීමට අවකාශය සලසා දෙනු ලැබූවත් ඔහු ඊට පෙරාතුව පිළිගත යුතු කරුණක් තිබිණා. එනම්, කිසිලෙසකින්වත් ජෛනමහාවීරතුමා වෙනුවෙන් එතෙක් සිදුකරනු ලැබූ උපකාර කිසිදු අඩුවක් නැතිව සිදුකරනා බව උපාලි ගෘහපතියාට පිළිගන්නට සිදුවුණා. එවැනි තත්ත්වයක් තමයි උන්වහන්සේ අනෙක් ආගමික ශාස්තෘවරුන් සම්බන්ධව දැරූ ස්ථාවරය වුණේ.

උන්වහන්සේ ඇතැම් විට ආත්ම වාදය පිළිබඳව ඉදිරිපත් කළ දාර්ශනික විවේචන නිසා ඇතැම් අන්තගාමීන් බුදුහිමියන් සමඟ වෛරයක් ඇතිකරගනු ලැබූවත් බුදුරදුන් කිසිලෙසකින්වත් එසේ අදහස් ඉදිරිපත් කරනු ලැබුවේ එම ආගම්වලට නිගරු කිරීම සඳහා නෙමෙයි. උන්වහන්සේට අවශ්‍ය වුණේ මිනිසා බුද්ධිමත්ව ක්‍රියා කරනු දැකීමයි. ඒ සඳහා මිනිසාට යථාර්ථය පෙන්වා දෙනවා මිසක කිසිසේත්ම උන්වහන්සේ අනෙක් ආගමිකයන් අපහසුතාවයට, නින්දාවට උපහාසයට පත් කිරීමට කටයුතු කළේ නැහැ. ඒ වගේම උන්වහන්සේ වරින් වර ආජීවකයින්ගේ අසපුවලට වැඩම කළා. ඔවුන්ගේ ඇරියුම් අනුව උන්වහන්සේ ධර්ම සාකච්ඡාවන්ට බොහොම නිහතමානීව සහභාගි වී තමන්ගේ අදහස කුමක්ද යන්න නිර්භයව සඳහන් කර තිබෙනවා. එහෙත් උන්වහන්සේ අනෙකාගේ ශ්‍රාවක පිරිස තමන්ගේ පිරිසක් බවට පත්කරගැනීම උදෙසා කිසිදු ක්‍රියාකාරකමක නියැළුණේ නැහැ. බෞද්ධ සමාජය බුදුහිමියන් අනුව ගමන් කරන සමාජයක් නිසා බුදුරදුන්ගේ අවවාදය අනුව කටයුතු කළ යුතුයි.

උන්වහන්සේ ජීවමාන සමයේ දී මාගන්දියාගේ හැසිරීම චිංචිමානවිකාවගේ හැසිරීම, අක්ක්‍රෝෂ පරිබ්‍රාජකගේ හැසිරීම ආදී ඉතා කටුක අත්දැකීම් විඳී බව අපි අමතක කළ යුතු නැහැ. බුදුහිමියන්ටත් ශ්‍රාවක පිරිසටත් නින්දා අපහාස කරන්නට පරිභව කරන්නට උන්වහන්සේලාට සමාජය තුළ ලැබෙමින් තිබූ ගරු බුහුමන් නැතිකර දමන්නට ඉතාම උපක්‍රමශීලීව විවිධ ආකාරයේ චෝදනා ගෙනහැර දක්වන්නට එදා විරුද්ධවාදීන් ක්‍රියා කළා. නමුත් ගෞතම බුදුරජාණන් වහන්සේ ඒ සෑම නින්දාවකදීම සෑම අපහාසයකදීම නිහතමානිව විඳ දරා ගැනීමේ ශක්තියෙන් අනූනව කටයුතු කරමින් උන්වහන්සේ සිහිපත් කළේ අටලෝ දහමින් මාගේ ශ්‍රාවක පිරිස කම්පිත නොවිය යුතු බවයි.

ලාභ අලාභ අපේ ජීවිතයේ ඇතිවෙලා නැතිවෙලා යන දේවල් ලෙස පිළිගන්ට, නින්දා ප්‍රශංසා ඇතිවෙලා ටික කාලයක් පැවතිලා නැතිවෙලා යන දේවල් ලෙස තේරුම් ගන්ට ඒවගේම කීර්තිය අපකීර්තිය, සැප දුක ආදී අෂ්ට ලෝක ධර්මයම ඔබගේ ජීවිතකාලය තුළ දී ඔබට මුහුණදීමට සිදුවන බව පිළිගන්නා ලෙසයි. බුදුරජාණන් වහන්සේ බෞද්ධ ශ්‍රාවකයින් වන අපට පෙන්වා ඇත්තේ ඒවගේම ගෞතම බුදුහිමියන්ට මේ මොහොත තුළ සිදුකරනු ලබන නින්දා අපහාස තව කොතෙක් කාලයක් පැවතීදැයි අපට නිශ්චිතවම කියන්ට පුළුවන්කමක් නැහැ.

එනමුත් එක කරුණක් අපිට නිශ්චිතවම අවබෝධ කරගත හැකියි. නින්දා යනු සදාකාලික දෙයක් නොවන බවයි. අපහාස යනු සදාකාලික දෙයක් නොවන බව. චෝදනා යනු සදාකාලික නොවනස් දෙයක් නොවන බව. සෑම දෙයක්ම වෙනස් වෙනවා වගේම නින්දා, අපහාස දෝෂාරෝපණ මේ සියල්ලක්ම අනිත්‍ය බවයි අප වටහා ගත යුතු වැදගත් කරුණ වන්නේ.

එබැවින් මා ඔබට මේ මොහොතේ දී යෝජනා කර සිටින්නේ ඔබ අනෙක් ආගමිකයා කෙරෙහි ද්වේෂයෙන් බලනවා වෙනුවට අනෙක් ආගමිකයාගේ ඇතැම් චර්යාවන් දෙස අනුකම්පාවෙන් බලන්නට පුරුදු පුහුණු විය යුතු බවයි. නිර්මල බුදුදහම ආරක්‍ෂා කරගැනීම උදෙසා අප හැම මොහොතකම ඇප කැප විය යුතුයි.

නමුත් ඇතැම් අවස්ථාවල අපගේම බෞද්ධයන් පවා බුදුදහමට අපහාස වන ආකාරයට හැසිරෙන ආකාරය අපි දකිනවා. එහෙත් බුදුහිමියන්ගේ ධර්මය විකෘති වන ආකාරයට අප කටයුතු නොකළ යුතුයි. ධර්ම කරුණු ඉදිරිපත් කිරීමේ දි ධර්ම කරුණු සාකච්ඡා කිරීමේදී අප අනිවාර්යෙන්ම මේ තත්ත්වය හොඳින් අවබෝධ කරගෙන කටයුතු කළ යුතුයි.

 

පොසොන් පුර පසළොස්වක පෝය

පොසොන් පුර පසළොස්වක පෝය ජූනි 25 වන දා සිකුරාදා අපරභාග 04.14 ට ලබයි.
26 වනදා සෙනසුරාදා අපර භාග 5 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූනි 25 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය
ජූලි 04 වනදා
ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජුනි 25

Second Quarterඅව අටවක

ජූලි 04

New Moonඅමාවක

ජූලි 11

First Quarterපුර අටවක

ජූලි 18

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]