UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

මහා පුරුෂ සංකල්පය පිළිබඳව පාලි සාහිත්‍යයේ හමුවන පැරණිම අදහස සුත්ත නිපාතයේ පාරායන වග්ගයේ සඳහන් වෙයි. එහිදී තරුණ බමුණකු වන තිස්ස මිත්තෙය්‍ය විසින් බුදුරජාණන් වහන්සේ වෙත ප්‍රශ්නයක් ඉදිරිපත් කරයි. “කම් සැප සම්බන්ධයෙන් බ්‍රහ්මචාරී වූ තෘෂ්ණාව දුරු කළ හැම කල්හි සිහියෙන් යුතු විශිෂ්ට ඥානයෙන් දැන නිවුනා වූ භික්ෂුවට කම්පන නැත.

එමෙන්ම එතුමා අන්ත දෙක හොදින්ම දැනගෙන, මැද ද නොඇලෙයි. මොලොවදීම තෘෂ්ණාව ඉක්මවා ගිය එම පුද්ගලයා මහා පුරුෂයා යැයි කියමි.” මෙහිදී තිස්ස මෙත්තෙය්‍ය බමුණා මහා පුරුෂයකු වශයෙන් සැලකිය හැකි ගුණාංග මොනවාදැයි විමසන නමුත් ශාරීරික වශයෙන් එබඳු පුද්ගලයෙකු හඳුනා ගැනීමට කිසිදු ලක්‍ෂණයක් මෙහි සඳහන් කොට නැති බව විශේෂ ලෙසට දැකිය හැක. මෙයින් පැහැදිලි වන්නේ මහා පුරුෂ ලක්‍ෂණ පිළිබඳ සංකල්පය කිසිම කායික සංකල්පයකට සම්බන්ධ වී නොමැති බවයි. තිස්ස මෙත්තෙය්‍යට බුදුරජාණන් වහන්සේ දුන් පිළිතුරෙන් පැහැදිලි වන්නේ බෞද්ධ විග්‍රහයට අනුව මහා පුරුෂ යනු රහතන් වහන්සේ බවයි. බුදුරජාණන් වහන්සේ මහා පුරුෂ ලක්‍ෂණ ගුණ පෙන්වා ඇත්තේ ආධ්‍යාත්මික ගුණ මිස කායික ලක්‍ෂණ නොවන බව පැහැදිලි වන අවස්ථා රාශියක් අපට දැක ගත හැකිය. අංගුත්තර නිකායේ සඳහන් වන අන්දමට භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගෙන් මහා පුරුෂ ලක්‍ෂණ පිළිබඳ තමන්ගේ මත ඉදිරිපත් කරන අවස්ථාවේදී ද කායික වශයෙන් පෞද්ගලික වශයෙන් හඳුනා ගතහැකි අමුතු පුද්ගලයෙක් නොවේ. සියලු ක්ලේශ ප්‍රහීණ කළ ඕනෑම පුද්ගලයෙක් මහා පුරුෂ වශයෙන් හැදින්විය හැකි බව බුදුරජාණන් වහන්සේගේ අදහසයි. මහා පුරුෂ යන්න පිළිබඳ සැරියුත් මහ රහතන් වහන්සේ පැනයකට පිළිතුරක් වශයෙන් ද තවත් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ “මහා පුරුෂ” යන්න විස්තර කළ සේක. (සංයුක්ත නිකාය) “සම්පූර්ණ මානසික විමුක්තිය ලැබූ පුද්ගලයාට මම මහා පුරුෂ යැයි කියමි. එම විමුක්තියෙන් තොරව මහා පුරුෂයකු නොමැත.

සතර සතිපට්ඨානය පුහුණු කිරීමෙන් අවසාන විමුක්තිය කරා පත් වූ පුද්ගලයා මහා පුරුෂයා යැයි විස්තර කරයි. බෞද්ධ සූත්‍රවල හමුවන පරිදි නිවන් අවබෝධ කළ පුද්ගලයා මහා පුරුෂයකු වශයෙන් සැලකූ® බවට සාධක හමු වේ. “ධම්මපදයේ එක් ගාථාවක මහා පුරුෂ ලක්‍ෂණ මෙසේ සඳහන් වේ. “වීතතණ්හො (තණ්හාව දුරු කළ) අනාදානො (උපාදානය නැති) නිරුක්ති පද කොවිදෝ (භාෂාව පිළිබඳ විචක්‍ෂණ බවක් ඇති) අක්ඛරානං සන්නිපාතං (අකුරුවල වර්ගීකරණය හා එහි අනුපිළිවෙළ දන්නා) මෙම ලක්‍ෂණ වලින් යුක්ත වූයේ මහා පඤ්ඤා මහා පුරුෂ” බව එහි සඳහන් වේ.

වස්සකාර බමුණාට බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළ මහා පුරුෂයා පිළිබඳ විග්‍රහය මහා පුරුෂ සංකල්පයේ සංවර්ධනයේ තවත් පියවරක් වශයෙන් පෙන්වා දිය හැකිය. (අංගුත්තර නිකායේ 2 35-37 පිටු ) අනුව එම විස්තරය මෙසේ ය. “එක්තරා අවස්ථාවක මගධ මහාමාත්‍ය වස්සකාර බමුණා බුදුරජාණන් වහන්සේ හමුවට ගොස් ගුණාංග 4 කින් යුක්ත පුද්ගලයා මහා පුරුෂයකු ලෙස සැලකිය හැකි යයි ප්‍රකාශ කරයි. එම ගුණ 04 මෙසේ ය.

01. බහුස්සුත (බොහෝ ඇසූ පිරූ තැන් ඇති)
02. භාසිතස්ස අතථං ජානි සසාති (කියන ලද දෙයෙහි අර්ථය දනීනම්)
03. සති මා බෝපන හොති චිර කතම්පි චිර භාසිතම්පි පරණ දේ පිළිබඳ හොඳ මතකයක් ඇති
04. ගහට්ඨ කරණීයේසු දක්ඛෝ හොති අනලසො (ගෘහස්ථ කාර්යයන්හි දක්‍ෂ වූයේ ද පමා නොවූයේද)

වස්සකාර බමුණා විසින් හඳුනාගෙන තිබූ මේ ගුණාංග 4 සමකාලීන සමාජය විසින් හඳුනාගෙන තිබූ මහා පුරුෂයකු පිළිබඳ ලෞකික සංකල්පයක් බව පෙනේ. බුදුරජාණන් වහන්සේ මේ වස්කාර බමුණාගේ විග්‍රහය නොපිළි ගැනීමෙන්, ප්‍රතික්‍ෂේප නොකිරීමෙනුත් පැහැදිලි වන්නේ මෙම මහා පුරුෂයා පිළිබඳ අදහසට කිසියම් අගයක් එකතු කිරීමට උන්වහන්සේට අවශ්‍ය වූ බවයි.

බුද්ධඝෝෂ හිමි සඳහන් කරන්නේ වස්සකාරගේ විග්‍රහය මුළුමනින්ම ලෞකික ජීවිතය හා සම්බන්ධ වූ නිසා බුදුරජාණන් වහන්සේ එය නොපිළිගත් බවත් ලෞකික ජීවිතය සාර්ථකත්වයට එය අදාළ නිසා ප්‍රතික්‍ෂේප නොකළ බවත්ය. (අංගුත්තර නිකාය අට්ඨකතා 3 කොටස 74 – ඉදිරිය)

බුදුරජාණන් වහන්සේ මහ පුරුෂයකු සතුව තිබිය යුතු ගුණාංග සතරක් මෙසේ දක්වති.

1. “බහුජන හිතාය පටිපන්නෝ හොති ...”
බොහෝ ජනතාවගේ හිත සුව පිණිස පිළිපන් එමෙන්ම බොහෝ ජනතාව ආර්ය මාර්ගයක පිහිටුවන තැනැත්තා.
2. යම් සිතුවිල්ලක් කල්පනා කරනු කැමැත්තේ නම් එය කල්පනා කරයි. යම් සිතුවිල්ලක් කල්පනා කරන්නට අකමැත්තේ නම් එය කල්පනා නොකරයි.
3. සතර ධ්‍යානයන් පිළිබඳ සුඛ විහරණය මෙලොවදීම ආයාසයෙන් තොරව ලබන්නේ වෙයි.
4. ආශ්‍රව ක්‍ෂය කිරීමෙන් චෙතො විමුක්තියත්, ප්‍රඤ්ඤා විමුක්තියත් මෙලොවදීම ස්වකීය විශිෂ්ට ඥානයෙන් ප්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ වාසය කරයි.

මෙම විග්‍රහයෙන් පැහැදිලි වන්නේ පාලි ත්‍රිපිටකයේ සඳහන් වන මහා පුරිස සංකල්පය අධ්‍යාත්මික දියුණුව ලද රහතන් වහන්සේ හැඳින්වීම සඳහා යොදාගත් බවයි. වස්සකාර කී ගුණාංග හතරට වඩාත් පුළුල් අරුතක් බුදුරජාණන් වහන්සේ දී ඇති බව පෙනේ. බුදුරජාණන් වහන්සේගේ විග්‍රහයට අනුව මහා පුරුෂයා යනු සමාජයීය, බුද්ධිමය, අධ්‍යාත්මික වශයෙන් දියුණු වූ පුද්ගලයා බව මින් පෙනේ. මහා පුරුෂයා පිළිබඳ මෙම සමාජගත ලක්‍ෂණය ඉතා සවිස්තරව දීඝ නිකායේ ලක්ඛන සූත්‍රයෙහි දැක්වේ. ඒ අනුව මහා පුරුෂයා පිළිබඳව අධ්‍යාත්මික හා සාමාජයීය ලක්‍ෂණ අතර ඒකාබද්ධතාවක් ඇති වී තිබෙනු පෙනේ.

බෞද්ධ සූත්‍ර කිහිපයකට බුදුරජාණන් වහන්සේ ඇතුළු බොහෝ දෙනකුගේ ශාරීරික ලක්‍ෂණ සමකාලීන මිථ්‍යා සංකල්ප වලට අනුව දක්වා තිබෙනු දැක ගත හැකිය. ඒ සූත්‍ර වලට අනුව ශාරීරික ලක්‍ෂණ පිළිබඳ දැනුම සම්බන්ධ වී ඇත්තේ බ්‍රාහ්මණ සම්ප්‍රදායට අනුව බව ද මෙහිලා විශේෂයෙන් සඳහන් කළ යුතුය.

බුදුරජාණන් වහන්සේ මහා පුරුෂයකු වශයෙන් ශාරීරිකව පෙනී සිටීමට කැමැත්තක් නොදැක්කුව ද එමෙන්ම එය අගය නොකළත්, උන්වහන්සේ සම්බන්ධ වන ඉහත අවස්ථාවලදී කිසි තැනකදී (බ්‍රාහ්මණ සේල සූත්‍රවලදී) මහා පුරිෂ සංකල්පය ප්‍රතික්‍ෂේප කොට නැති බවද අපට අමතක කළ නොහැක. එයට නිදසුන් ලෙස “කෝසෝ හිත වත්ථ ගුය්හා පහූත ජිව්හ” නොදුටු අවස්ථාවල බමුණන්ට ඒ ලක්‍ෂණ දෙකද පෙන්වා දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ කෙරෙහි එම බමුණන්ට ඇති වූ සැක නැති කර ඇත.

ලක්ඛන සූත්‍රයේදී මහා පුරුෂයාගේ දෙතිස් ලක්‍ෂණ වල හේතුඵල සම්බන්ධයක් ඒ්වා ලැබීමට පෙර භව වල රැස් කළ කුසල් හේතු වන බවත්, වැඩි වශයෙන් පවසා ඇති බැවින් මේ ලක්ඛන සූත්‍රය මහා පුරුෂ සංකල්පයේ සංවර්ධනයේ උපරිම අවස්ථාවක් පෙන්නුම් කරයි.

ලක්ඛන සූත්‍රයේ වැදගත්කම රඳා පවතින්නේ එහිදී මහා පුරිෂ සංකල්පය බෞද්ධ කර්මවාදය, හේතුඵල ධර්මය සමඟ සමාජ ආචාර විද්‍යාවට සම්බන්ධ කොට ඇති බැවිනි. මේ ආදී කරුණු අනුව බුද්ධ සංකල්පයේ සංවර්ධනයේ ප්‍රතිඵලයක් වශයෙන් පාලි ත්‍රිපිටකය තුළට මහා පුරුෂ සංකල්ප සංවර්ධනය වෙමින් ආ බව පෙනේ.

ආශ්‍රිත ග්‍රන්ථ :-

01. සූත්ත නිපාතය
02. අංගුත්තර නිකාය
03. සංයුක්ත නිකාය
04. ධම්මපදය
05. දීඝ නිකාය

 

පොසොන් පුර පසළොස්වක පෝය

පොසොන් පුර පසළොස්වක පෝය ජූනි 25 වන දා සිකුරාදා අපරභාග 04.14 ට ලබයි.
26 වනදා සෙනසුරාදා අපර භාග 5 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූනි 25 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය
ජූලි 04 වනදා
ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජුනි 25

Second Quarterඅව අටවක

ජූලි 04

New Moonඅමාවක

ජූලි 11

First Quarterපුර අටවක

ජූලි 18

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]