UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

නමොතස්ස භගවතො අරහතො සම්මා
සම්බුද්ධස්ස
භජන්ති සෙවන්ති ච කාරණත්ථා
නික්කාරණා දුල්ලභා අජ්ජමිත්තා
අත්තට්ඨපඤ්ඤා අසුචි මනුස්සා
එකො චරෙ ඛග්ගවිසාණකප්පො

පින්වත්ති

සුත්ත නිපාතය නමැති ධර්ම ග්‍රන්ථයේ ඛග්ගවිසාණ සූත්‍රයෙහි සඳහන් වන එක් ගාථා ධර්මයක් තමයි මේ සඳහන් කෙළේ. සමහර අය තවත් කෙනකු ඇසුරු කරන්නෝ ධනය වැනි කිසියම් කාරණයක් බලාපොරොත්තුවෙනුයි.

එබඳු ලාභාපේක්ෂා හේතුවක් නැතුව උතුම් අදහසින් මිතුරන් ඇසුරු කරන අය අද ඉතා දුර්ලභ යි. මිනිසුන් මෙහෙම ආත්මාර්ථකාමී නුවණ ඇතුව, අපිරිසුදු අදහස් ඇතිව යි වාසය කරන්නේ. ඒ නිසා කඟවේණකු ලෙස තනියෙම හැසිරෙන එක හොඳයි. මේ තමයි අර ගාථාවේ කෙටි අදහස.

මීට වසර 2318 කට පෙර මිහිඳු මහ රහත් මාහිමියන් වහන්සේ ශ්‍රී ලංකාද්වීපයට වැඩම කොට සම්බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මාලෝකය විහිදුවමින් සුචරිතවත් සුධන්‍යවත් නව සමාජයක් ඇති කරලීමේ ඓතිහාසික මහ මෙහෙවර සිහිගන්වන මේ උතුම් පොසොන් පෝදා ලක්වැසි බුදුනු- නුබුදුනු හැම දෙනාට ම කළ හැකි උතුම් ම පූජෝපහාරය වන්නේ ඒ අනුබුදු පියාණන් වහන්සේ මෙත් කුලුණින් හෙළිකළ සදහම් මංපෙත නැවැත පාදා තහවුරු කරගෙන ක්‍රියාවට නැංවීම මිස අන් දෙයක් නො වේ.

රටකට අවශ්‍ය අධ්‍යාත්මික සංවර්ධනය වගේ ම ආර්ථික සංවර්ධනයත් අපට මුල්වරට කියා දුන්නේ උන්වහන්සේ යි. සිංහලයාට තේරෙන අයුරින් හෙළ බසින් බුදුබණ දෙසූ උන් වහන්සේ අලුත් සංස්කෘතික දිශාන තියකට මඟ හෙළිකළා පමණක් නො ව ආර්ථිකයත්, දේශපාලනයත්, අධ්‍යාත්මිකත්වයත් එමෙන් ම ජාතිකත්වයත් ඒකාබද්ධ කොට රාජ්‍ය පාලකයනුත් ජනතාවත් එක මඟකට එක දර්ශනයකට පෙළ ගැස් වූ ෂශිෂ්ටතම අධ්‍යාත්මික නායකයාණන් ද වුණා. ශ්‍රී ලාංකේය ජනතාව විවිධ වූ විලෝපනයන් මැද අදත් ආරක්ෂා වී ඇත්තේ උන්වහන්සේ දූරදර්ශී ව අපට පෙන් වූ සභ්‍යත්ව මාර්ගයට පින් සිදු වන්නයි. 2600 වන සම්බුද්ධත්ව ජයන්තියට ලක්වැසි ජනතාව පෙළ ගැසෙමින් සිටින මේ අවදියෙහි මිහිඳු මාහිමියන් වහන්සේ අප සමාජයට දායාද කළ ජාතිකත්වය හා බැඳුණු ආගමික හා සංස්කෘතික මූලධර්මයන් නැවත ප්‍රකෘතිමත් කොට සක්‍රිය කිරීම බෙහෙවින් ම ඵලදායි කටයුත්තක්.

එදා මිහිඳු මාහිමියන් වහන්සේ සිදුකළ සුන්දර සමාජ පරිවර්තනය යළිත් උදා කරගන්නට සුදුසු ම අවස්ථාව තමයි මේ සම්බුද්ධත්ව ජයන්තිය. 1956 වසරේ උදාවුණු 2500 බුද්ධ ජයන්තිය මේ රටේ විශාල සමාජ ප්‍රබෝධයක් ඇතිකළා. එකල නිකුත් කළ පොලිස් වාර්තාවලින් පැහැදිලි වෙනවා එදා සිදුකළ පේවීම නිසා මේ රටේ අපරාධ කොතරම් දුරට අඩු වූවා ද කියා. එදා බුද්ධ ජයන්තියට වඩා මෙය විශිෂ්ට අවස්ථාවක් වන්නේ මේක සිදුහත් ගොයුම් බෝසතාණන් වහන්සේ සම්බුද්ධත්වය සාක්ෂාත් කර ගැනීමේ උතුම් ජයන්තිය වන නිසා. ලොවේ අවිදු අඳුර බිඳ දහම් ප්‍රඥාවේ අරුණලු දහර දසත විහිදවූ ඒ සම්බුද්ධත්වයේ ජයන්තිය වෙනුවෙන් අප හැම කෙනකු ම පිළිවෙත් මඟින් පුද දී එම ජයන්තිය අලංකාරවත් කිරීම සැබැවින් ම කාලෝචිත යි. ඒ තමයි බුදුරජාණන් වහන්සේ පැසසූ පූජාව. එය ගිලී යමින් පවතින සමාජ සච්චාරිත්‍ර ධර්ම නැවැත ඔසොවා තැබීමට ගන්නා ප්‍රයත්නයක් වගේ ම අපේ අනාගත පරපුර රැක ගැනීමටත් එය හොඳ පිටුබලයක් වෙනවා.

පන්සිල් පදනම් කරගත් සමාජ සංවර්ධනයක් ඇති කර ගැනීමට උපයෝගි කරගත හැකි මේ උතුම් අවස්ථාව ගැන වැඩි දෙනකු මෙතෙක් අවධානය යොමු කර ඇති බවක් පේන්නේ නැහැ.

භික්ෂූන් වහන්සේලාත් රජයත් පොදු මහජනතාවත් ඒකාබද්ධ වීමෙන් සුබ අනාගතයකට දොර හැරෙන යහපත් සමාජ වාතාවරණයක් මේ ආශ්‍රයෙන් නිසැක ව ම උදාකරගත හැකියි. මෙහි සඳහන් කළ ත්‍රිවිධ ස්ථරයන් නිසි විදියට අවංක ව ම එකතු වනවානම්, පුද්ගල දියුණුව සමග බද්ධවුණු සද්ධා - සීල- චාග- පඤ්ඤා දහම් සන්තානගත ප්‍රවර්ධනයෙහි උත්සාහවත් වනවා නම්, මේ දේශය අසිරිමත් දැහැමි රටක් බවට පත් කර ගැනීම කිසිසේත් ම සිහිනයක් වන්නේ නැහැ.

මෙම අරමුණු පලවත් කර ගැනීම සඳහා ප්‍රාරම්භක පියවරේ සිට ‘ජාතික මල් සම්පත’ වූ දරුවන් පෙළ ගස්වා ගැනීම සඳහා සුදුසු පිළිවෙත් 10 ක් මෙහිලා හඳුන්වාදීම වැදගත් වේ යැයි අප සිතනවා. ඒ පිළිවෙත් දහය මෙහෙම යි.

1. බුද්ධරත්නය, ධර්මරත්නය, සංඝරත්නය සැදැහෙන් පිළිගන්නා මම දිවි ගිය ද ඒ තුනුරුවන අත් නො හැර සරණ යමි.
2. උදයම අවදි වූ විට ද නිඳන්නට පෙර ද තිසරණ සහිත ව පන්සිල් සමාදන් ව ‘මම සුවපත් වෙම් වා, සියලු සත්ත්වයෝ ද සුවපත් වෙත්වා’ යි සුළු වේලාවක් හෝ මෙත් වඩමි.
3. මට අයත් කටයුතු පමා නො කොට සැලැකිල්ලෙන් සකසා සපුරා කරමි.
4. දෙමවුපිය - ගුරුවර - වැඩිහිටි හැම දෙනාම සත් සිරිතින් සනසන්නෙක් වෙමි.
5. ආත්ම ගෞරවය රැකෙන ලෙස, අනුනට හිරිහැරයක් නොවන පරිදි මගේ කයත් වචනයත් සංවර කර ගනිමි.
6. මම අන්අයට ආදර්ශයක් වන කළණ මිතුරෙක් / මිතුරියක් වෙමි.
7. කිසිදිනෙක දුම් - මත් දිය - මත් ද්‍රව්‍ය නො ගෙන මගේ සෞඛ්‍යය රැකගන්නට වැර වඩමි.
8. මගේ පිරිසුදු බව රැකගනිමින් මා වෙසෙන පරිසරය ද පිරිසුදු ව තබාගන්නට උපකාර කරමි.
9. මගේ දියුණුවත් පරෝපකාරයත් සඳහා අරපරෙස්සමින් සුළුවෙන් හෝ ඉතිරි කරමි.
10. මගේ බස, මගේ දැය, මගේ රට ලෙවි (ලෞකික) තුනුරුවනක් ලෙස සලකා එය රැකගන්නට දිවි හිමියෙන් කැප වෙමි.

මෙම දස පිළිවෙත හැදෙන දරුවන්ටත් අපේ ශාසනයටත් ජාතියටත්, දේශයටත් මනා වූ රැකවරණයක් සලසනවා නො අනුමාන යි.

රටක ආර්ථික සමෘද්ධිය සඳහාත් අධ්‍යාත්මික සශ්‍රීකත්වය සඳහාත් බලපවත්වන එක් සාධකයක් තමයි යහපත් පුද්ගල සම්බන්ධතාව. මිහිඳු මහ රහතන්වහන්සේ කල්‍යාණ වූ ශාසනය අප රටට දායාද කළා පමණක් නො ව ඊට අනුගත වූ යහපත් පුද්ගල සම්බන්ධතාවක් ද තහවුරු කළා. මේ සඳහා හේතුවන නියාමක ධර්මයක් විදියට බුදුදහමෙහි පැහැදිලි කරන්නේ කල්‍යාණ මිත්‍රත්වය යි. කල්‍යාණ ශාසනය පල දරන්නේ කල්‍ය මිතුරන් නිසා බව බුදුපියාණන් වහන්සේ බොහෝ අවස්ථාවල දේශනා කර තිබෙනවා. මෙම කල්‍යාණ මිත්‍රත්වයට පදනම් වන්නේ සද්ධා, සීල, චාග, පඤ්ඤා යන දහම් බව ව්‍යග්ඝපජ්ජ සූත්‍රාදී දේශනාවන්හි අවධාරණය වෙනවා. එහි සඳහන් වන ආකාරයට පුද්ගලයකුගේ මෙලොව දියුණුවට හේතුවන කල්‍යාණමිත්තතා හෙවත් ‘කලණ මිතුරන් ඇති බව‘ විස්තර වන්නේ මෙහෙම යි.

‘යම් ගමක හෝ නියම් ගමක හෝ සිටින කුල පුත්‍රයකු ඒ ගමේ වෙසෙන වයසින් බාල වුවත් ගුණයෙන් වැඩුණු ගෘහපති පුත්‍රයකු හී එබඳු ගුණයෙන් දියුණු වූ ගෘහපතියකු හෝ ඇසුරු කරනවා. ඒ ගෘහපති පුත්‍රයා නැත්නම් ගෘහපතියා ශ්‍රද්ධා සම්පන්න යි. ශීල සම්පන්න යි. ත්‍යාගී ගුණයෙන් යුක්ත යි. ප්‍රඥා සම්පන්න යි. අර කුලපුත්‍රයා මේ ගෘහපතිවරයා එක්ක ඇසුරට වැටෙනවා. ඔහු සමඟ නිතර කතා බහ සාකච්ඡා ආදිය කරනවා. මෙ පමණකින් නතර වන්නේ නැති ව තමාත් අර ශ්‍රද්ධා සම්පන්න තැනැත්තා ගේ ශ්‍රද්ධාව අනුව හික්මෙනවා. ඒ වගේ ම අර තැනැත්තාගේ ශීල, චාග, පඤ්ඤා ගුණයන් අනුව තමාත් හික්මීමක් ලබා ගන්නවා. ගුණ සම්පන්න පුද්ගලයා අනුව තමාත් සද්ධා, ශීලාද ගුණයෙන් වැඩුණු තැනැත්තකු බවට පත් වෙනවා. මෙන්න මේකට තමයි කියන්නේ කල්‍යාණ මිත්‍රතාව කියලා.’

කෙනකු ගේ යහළුකම අර්ථවත් වන්නේ මේ කරුණු පදනම් කරගෙන. මෙබඳු මිතුරන් ලබා ගැනීම ඉතාම දුෂ්කර බව මෙහි මුලින් ම සඳහන් කළ ගාථාවෙන් පැහැදිලි වුණා. වත්මන්හි වුණත් අපට බෙහෙවින් ම ලැබෙන්නේ අපේ ශ්‍රද්ධාව වඩවන, සීලය දියුණු කරවන ත්‍යාගී ගුණය පුහුණු කරවන, ප්‍රඥාව කරා යොමු කරවන යහළුවෝ නෙමෙයි, මෙයින් පැහැදිලි වෙනවා අපේ බොහෝ මිතුරන් මිත්‍ර වේශයෙන් සිටින මිත්‍ර ප්‍රතිරූප බව.

අඤ්ඤාදත්ථුහර, වචීපරම, අනුප්පිය භාණී, අපාය සහාය යනුවෙන් එබඳු මිත්‍ර ප්‍රතිරූප හතරක් බුදුරජාණන් වහන්සේ සිගාලෝවාද සූත්‍රයෙහි පැහැදිලි කර තිබෙනවා. කෙනකුට ලෝකයට කරන්නටට පුළුවන් උත්තම ගණයේ සේවය තමා තමන් කල්‍යාණ මිත්‍රයකු වීම. මුළු මහත් ශාසනය ම වැඩෙන්නේ කල්‍යාණ මිත්‍රයා පදනම් කරගෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. සමාජ යාන්ත්‍රණය නිරවුල් ව පවත්වා ගැනීමට අත්‍යවශ්‍ය සාධකයක් වන්නේ මේ කල්‍යාණ මිත්‍ර සේවනය යි. ආර්ථික, අධ්‍යාපන, දේශපාලන , සෞඛ්‍ය පවුල් සංස්ථා ආදි විවිධ වූ විෂය පථයන් තුළ සමාජයට හානිකර ලක්ෂණයන් අවම කරගෙන සමාජයට හිතකර ලක්ෂණයන් දියුණු කරගන්නට පුළුවන් වන්නේ මෙම කලණමිත් ඇසුර නැතහොත් කල්‍යාණ මිත්‍රත්වය පුළුල් ලෙස වර්ධනය කිරීමෙන් පමණ යි.

වෙනත් අයුරකින් කිවහොත් රටක සත්පුරුෂ සමාජයක් ඇතිකර ගන්නට හැකිවන්නේ කල්‍යාණ මිත්‍රත්වය පිහිට කොට ගෙන ම යි. එබැවින් සියවස් 21 කට පෙර දී මිහිඳු මාහිමියන් වහන්සේ සිරිලක් වැසියනට පහදා දී ප්‍රගුණ කර වූ කල්‍යාණ මිත්‍රත්වය හෙවත් තමා තමාටත් අනුන්ටත් කලණ මිතුරකු වීමේ සාරධර්මය ගුරු කොටගෙන රුදුරු ශාපයකින් නිදහස්ව එක්සත් ව පිබිදෙන්නට ප්‍රයත්න දරන වත්මන් සමාජයට සදහම් වැසි වස්වා සශ්‍රීකත්වයට පත් කරන්නට අපි සියලු දෙනාම මේ උතුම් පොහෝ දිනයේ තරයේ අධිෂ්ඨාන කර ගනිමු.

පොසොන් පුර පසළොස්වක පෝය

පොසොන් පුර පසළොස්වක පෝය ජූනි 25 වන දා සිකුරාදා අපරභාග 04.14 ට ලබයි.
26 වනදා සෙනසුරාදා අපර භාග 5 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූනි 25 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය
ජූලි 04 වනදා
ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජුනි 25

Second Quarterඅව අටවක

ජූලි 04

New Moonඅමාවක

ජූලි 11

First Quarterපුර අටවක

ජූලි 18

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]