UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

හෙළ ගීයෙන් මතුකළ බොදු ගුණ

“ඇසේ මතුවන කඳුළු බිඳු ගෙන

පණ්ඩිත් අමරදේව

ඵ්.ඵම්. යූ. රාජ්


ඔබේ සිරි පා දොවන්නම්
හදේ මැලැවෙන කැලෑ මල් ගෙන
ඔබේ සිරි පා පුදන්නම් .....”

ඒ බොදු ගීත රාවය දෙසවන් පමණක් නොව ගත සිතද දැහැන්ගත කරවයි. සියලු දුක් දොම්නස් මොහොතකට අමතක කරවන ගුණයක් මේ බොදු ගේය පද තුළ නො වේද? මෙවන් බොදු ගීඅමා රසක් මෙන් බුදු බණ තරම්ම රසවත් නොවේද? හෙළ ගීයේ බොදු ලක්‍ෂණ මෙවන් හරවත් ගී තුළින් අපුරුවට හෙළිකර ගත හැකිය.

හෙළ බොදු ගී කෙත මැනැවින් සුපරික්ෂා කරන විට, ත්‍රිපිටකයේ ඇතුළත් ගැඹුරු ධර්මය රසවත්ව විග්‍රහ කරන ඇයුරු මනාව පසක් වේ.

දස බිම්බර මාර සෙනඟ


නන්දා මාලිනී


වික්ටර් රත්නායක


තණ්හා රති රගා සමඟ
පලවා හල වීතරාගි
බුදුන් වඩිනවා
හද වෙත බුදුන් වඩිනවා..

සෝමතිලක ජයමහගේ මේ මියුරු සුගායනය ඇසෙන විට සැබැවින්ම දැනෙන්නේ හද තුළට බුදුන් වඩින ආකාරයකි. පියැවි ඇසින් නො දුටු බුදුන් වහන්සේ හද තුළ ජීවමාන කරවීමටත් නෙතට වඩා සොඳින් සිත් ඇසින් බුදු රදුන් පෙන්නුම් කිරීමටත් මේ ගීතය සමත් වේ. ජීවිත කාලය පුරාම දුක්ඛ දෝමනස්සයන් සමග වෙලී පැටැලී දවස ගෙවන අපට මෙවන් බොදු ගී ශ්‍රවණය වීමත් සුවිසාල ඇස්වැසුමෙකි. මිනිස් සිත සකස් කිරීමට මේ ගීද නොමද පිටුබලයෙකි.

“බුදු රැස් කැටි වී


සෝමතිලක ජයමහ


නැඟි ආලෝකේ
පිසලයි දුකඳුරු
මුළු තුන් ලෝකේ ...”

ෂඩ් වර්ණ බුද්ධ රශ්මි මාලාව තව තවත් ප්‍රභාෂ්වරව දැක්වීමට මේ ගීතය සමත්ය. අපගේ බෞද්ධකම යළි යළිත් විශද කරවීමට මේ ගී කදිමට සමත් වී ඇත. සිය හිරි ඔතප් බිඳුණූ කල සහෘදයාගේ ද හිර ඔතප් බිඳවීමට ගී ලියැවෙන ගැයෙන මෙවන් යුගයෙක මේ බොදු ගී මරු කතරට වට වැසි බිඳක් සේයැ.

“නිවන් දුටුහිමි රුවන් පිළිරුව
පමණි අද මට ශේෂ වූයේ
හිමි දෙසූ බණ අසා ඇති මුදු
ඇසූයේ හිමිගේ හඬින් නොව
අනේ පිඬුසිටු පුතුට මෙන්
අනේ හිමියනි මට ද දැන්
දෙසා වදහළ මැනවි බුදු බණ
මහා කරුණාවෙන් ....”

බුදු රදුන් සියැසින් දැක ගැනීමට, උන්වහන්සේගේ මුවින් දහම් බිඳක් ශ්‍රවණය කිරීමට නොහැකි වීමේ ශෝකාන්තය මෙතුළින් අපූරුවට ප්‍රකාශ කරයි. සැබැ ආදරය යනු සියලු සතුන් වෙත එකසේ සමව ආදරය කිරීම මිස එක් අයෙකු වෙනුවෙන් දක්වන ඇල්මක් නොවේ. මෙය සත වෙත පතල මහා කරුණාවයි. එය රාගාදී කෙලෙස්වලින් තොර වූවකි. මෙවන් ආදරයක් ඇත්තේ ලොව්තුරා බුදුකෙනෙකු ළඟ පමණි.

“මලක් වන්නට නො හැක හිමියනි
මිනිස් බව ලැබ සිටින මා හට
මලක් වු දා මගේ ජීවය
ඔබේ පා මුල පරවුණා වේ ...”

මිනිසත් බව ලැබීමට වඩා මලක් වී හෝ මුනිඳු පා මුල මිලින වන්නට ඇත්නම් යෙහෙකැයි සිතන්නට තරම් ගී පද රචකයා පෙළඹී ඇත්තේ හදවතේ ගැඹුරුම තැනින් බුදුන් වහන්සේ දැක ඇති හෙයිනි. ශ්‍රාවක සිත් මෙත් මල් විලක් කිරීමට මේ බොදු ගී සමුදාය සමත්ව ඇති බැව් සුපැහැදිලිය.

“හිම කඳු වැටියේ සීතල හෙවණේ
චන්දන තුරු පීරා
ඇදී එන මල් මුවරද රසිනේ
සමඟ මුසු කෝමළ මඳ පවණේ
ගැටීලා පාවෙනා....”

කලබලකාරී කොළඹ නගරය මධ්‍යයේ පත්තර කන්තෝරුවක උඩුමහලේ සිට, පිටකොටුවේ බෝධිය දෙස බලා මානවසිංහයන් අතින් ලියැවුණු “ මහ බෝ වන්නම “ රසිකයා මොහොතකට දඹදිව ගයා පෙදෙසට, නෙරංජනාවට සහ මහමෙව්නාවට රැගෙන යාමට සමත්වෙයි.

“ හාන්දැ අහසේ කණ කොක් පාටින්
සීතල සළුව වියන්නේ
මිය ගිය ඇයගේ දෙහෙය වහන්නයි
සීතල සළුව වියන්නේ....”

ජීවිතයේ අතිර බව අපූරුවට පසක් කරන සේකරයන් ගේ මේ ගීතමය පරිවර්තනය තුළ, චතුරාර්ය සත්‍ය දේශනාවේ දුක්ඛ සත්‍ය විග්‍රහය අපට පසක් කරවන්නට තරම් සමර්ථ ප්‍රතිභාපූර්ණ ලක්‍ෂණ අඩංගුය. මෙහිදී ත්‍රිලක්‍ෂණය පිඬුකොට ඇතැඹුලක් සේ දැක්වීමට තරම් සේකරයන්ගේ ධර්ම ඥානය හේතුවි ඇති බැව පෙනේ.

අසන්නට දුලබ බැති ගීයෙකින් ලිපිය හමාර කරන්නට සිතුවෙමි.

“ සිරිමා බෝ මුල විදුරාසන මත
බීසත් වැඩ වෙසෙනා
රඟනා රැඟුමට නටනා නැටුමට
මර දූ වරු තිදෙනා....”

දෙව්රමේදී බුදුන් දැක අමා දහම් ශ්‍රවණය කළා සේ හදවතට ලෙන්ගතුව මේ ගී දැනෙන්නේ එහි කැටි වූ අපරිමිත බොදු ගුණ මතු කිරීම කරණකොට ගෙනය. මෙවන් ගී අසන්නට, විඳින්නට ඉඩහසර පාදා, දුන් ගේය පද රචකයන්ට තනු නිර්මාපකයන්ට හා ගායකයන්ටත් දැවෙන සිත් අමා රසයෙන් මුසපත් කිරීමෙන් ලැබෙන පින ද සුළු පටු නොවේ. මේ තුන් ඈඳුතු කලාකරුවෝද යම් මතු දිනෙක සසර ගමන ජයගනු ඇත.

පොසොන් පුර පසළොස්වක පෝය

පොසොන් පුර පසළොස්වක පෝය ජූනි 25 වන දා සිකුරාදා අපරභාග 04.14 ට ලබයි.
26 වනදා සෙනසුරාදා අපර භාග 5 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූනි 25 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය
ජූලි 04 වනදා
ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජුනි 25

Second Quarterඅව අටවක

ජූලි 04

New Moonඅමාවක

ජූලි 11

First Quarterපුර අටවක

ජූලි 18

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]