UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සෙන් කතා කලාව

සෙන් දහමේ සාරය යනු ජීවිතය හා ලොව කෙරෙහි නව දෘෂ්ටිකෝණයක් ඇතිකර ගැනීමයි. එය තමාගේ ස්වභාවය දැකීමේ කලාවය. එය බැඳීම්වලින් නිදහස් වීමේ මාර්ගය පෙන්වාදීමය. සිතේ සාරය සඟවන්නා වු පෞද්ගලික මුව වැස්ම ඉවත් කළ විට මේ යථාර්ථය මැනවින් වැටහේ. විවිධ අදහස් හා චින්තනයෙන් පිරී ඇතිවිට අපට සත්‍ය අවබෝධය ලද නොහැකිය.

මේ පිළිබඳව මෙයිජි යුගයේ ජීවත් වු ජපන් සෙන් ගුරුවරයෙක් වු නැන් ඉන් ගේ ක්‍රියාවක් නිදසුන් ලෙස දැක්විය හැකිය.

එක්තරා විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක් නැන් ඉන් නම් වු සෙන් ගුරුවරයා හමුවීමට පැමිණියේය. ඔහු ආවේ සෙන් පිළිබඳව දැන ගැනීමටය. නැන් ඉන් මහාචාර්යවරයාට තේ පැන් සංග්‍රහයක් කළේය. නැන් ඉන් අමුත්තාගේ කෝප්පය පිරෙන්නට ම තේ වත්කොට පිරුණු පසුත් දිගටම වත්කරන්නට විය. මහාචාර්යවරයා තේ කෝප්පය උතුරා ගලා යනවා දැක බලා සිටීමට නොහැකිව නොඉවසිල්ලෙන් “එය පිරිලා, තවත් ඊට වත් කරන්න බැහැ “ යැයි කිවේය. නැන් ඉන් ඊට මෙසේ පිළිතුරු දුනි.

“මේ කෝප්පය වගේ ඔබේ සිත මතවාදවලින් පිරිලා. පළමුව ඔබ ඔබේ කෝප්පය හිස් කරන තුරු මම, ඔබට සෙන් උගන්වන්නේ කෙසේද? “මහාචාර්යවරයා තම සිතේ ස්වභාවය සැණෙකින් තේරුම් ගත්තේය.

සෙන් සම්ප්‍රදාය තුළ ධ්‍යාන භාවනා කළ ආචාර්යවරුන් හා ශිෂ්‍යයන් පිළිබඳ රසවත් සිද්ධි එයි. මේවායේ කතා රසය ඒවායේ දාර්ශනික හරය අවබෝධ කර නොගන්නා අයකුට වුවද විඳගත හැකිය. එහෙත් මේ කතා හුදු කතා රසය සඳහාම නොව ඒවායේ ආවේණික ගුණය වු ආගමික දාර්ශනික හරය තේරුම් ගැනීම පිණිසම අගය කළ යුතුය. සෙන් කතා කලාව තුළ ඇත්තේ බුද්ධි ප්‍රබෝධක ඉඟි විශේෂයකි. සමහර කතා හුදු ධර්ම සංවාදය, සමහර ඒවා ප්‍රහේලිකාය. ඇතැම් ඒවා ගුරුවරයකුගේ ජීවිතයේ උත්තමාංග විස්තර කරන ඒවාය. ඒ අනුව සෙන් කතාවක් යනු ජීවිතයේ ගැඹුර, සදාචාරය , සෞන්දර්ය යන සෑම අංශයක්ම ඉදිරිපත් කරන්නකි.

බුදුරජාණන් වහන්සේගේ ප්‍රයත්නය වුයේ සත්ත්වයා සසරට බැඳ තබන කෙලෙස්කසට දුරු කිරීමය. සකල ක්ලේශ ධර්ම ප්‍රහීණ කළ සිතට නිවන පසක් වෙයි. ජපන් සෙන් කතා කලාවෙන් ඉගැන්වීමට ප්‍රයත්න දරා ඇත්තේද මේ තත්ත්වයමය. ධම්මචක්කපවත්තන සූත්‍රයේදී “ චක්ඛුං උදපාදී, විජ්ජා උදපාදී, ආලෝකෝ උදපාදී, පඤ්ඤා උදපාදී, යනුවෙන් විග්‍රහ කර තිබේ.

සෙන් සම්ප්‍රදායානුගත ශික්ෂණය ලත් අයකු නගන ප්‍රශ්නයකට හුදු තොරතුරු සම්පාදනය විහිළුවකි. එය කිසිසේත් ප්‍රමාණවත් නොවේ. ප්‍රතිඋත්තර දෙන්නා විචක්ෂණයෙන් යුතුව බුද්ධි ප්‍රබෝධක පිළිතුරක් ඉදිරිපත් කළ යුතුය. පහත දැක්වෙන සිඟිති සෙන් කතාව සෙන් කතා කලාව පිළිබඳ අවබෝධයක් ලබාදෙයි.

සෙන් ගුරුවරු සිය ළාබාල සිසුන් ආත්ම ප්‍රකාශයට පුහුණු කරති. පැරණි සෙන් පන්සල් දෙකක ළමා සිසුන් දෙදෙනෙක් විය. දිනක් එක ළමයකු එළවළු ගෙනඒමට වෙළෙඳපොළට යන අතර මඟදී අනික් පන්සලේ ළමයා ඔහුට හමුවිය.

පළමු වැන්නා දෙවැන්නාගෙන් “ ඔබ කොහෙද යන්නෙ? “ යැයි ඇසීය.

“මං යනවා මගෙ කකුල් යන දිහාට “ යැයි දෙවැන්නා පිළිතුරු දුන්නේය.

මෙය පළමු වැන්නාට ප්‍රහේලිකාවක් විය. හෙතෙම ඒ පිළිබඳව තම ගුරුවරයාගෙන් විචාළේය. ගුරුවරයාගේ උපදේශය මෙබන්දකි.

“හෙට උදේ ඔය හාදයා මුණගැහේවි. එවිට ඔය ප්‍රශ්නය ම අහන්න. එතකොට ඔහු ඒ පිළිතුර ම දේවි. ඔබ ඔහුගෙන් අහන්න ඕනෑ, හොඳයි කකුල් නොතිබුණා නම් කොහොමද යන්නෙ කියල,”

පසුදින ළමයි මුණ ගැසුණහ. පළමු වැන්නා “ ඔබ කොහෙද යන්නෙ? “ යැයි දෙවැන්නාගෙන් ඇසීය.

“ මං යනවා හුළඟ හමන දිහාවට “ යැයි දෙවැන්නාගේ පිළිතුර විය. කට උත්තර නැතිවු පළමු වැන්නා මේ හදිය ගැන ගුරුතුමාට කීය.

හොඳයි හෙට අහන්න . “හුළඟක් නොතිබුණා නම් කොහෙද යන්නේ කියල “ යැයි ගුරුතුමා උපදෙස් දුන්නේය.

තුන්වැනි දවසේද ළමයින් දෙදෙන මුණ ගැසුණහ. පළමු වැන්නා, “ ඔබ කොහෙද යන්නෙ?” යැයි ඇසීය.

“ආ මන්ද? මං මේ එළවළු ටිකක් ගේන්න යනවා “ දෙවැන්නාගේ පිළිතුර විය.

සෙන් කතා කලාවේ ධ්වනිතාර්ථය කවරක්දැයි වටහා ගැනීමට පහත දැක්වෙන සෙන් කතාව උපකාරී වේ.

සංචාරක භික්ෂූවකට පන්සලක නවාතැන් ගැනීමට අවශ්‍ය නම් එම භික්ෂුව පන්සලේ හිමිවරුන් සමඟ වාද කොට ඔවුන් පරාජය කළ යුතුය. දිනක් සංචාරක භික්‍ෂුවක් උතුරු ජපානයේ පන්සලකට ගොස් නවාතැන් ගැනීම සඳහා එහි සිටි භික්‍ෂුන් සමඟ වාද කරන්නට විය. වාදය සඳහා ඉදිරිපත් වුයේ නූගත් එකැස් කණ භික්ෂූවකි. පුළුවන් තරම් වාදය නිශ්ශබ්දව දිනන්න යැයි ප්‍රධාන භික්ෂුවගෙන් බාල භික්ෂුවට අවවාද ලැබිණි. ටික ‍ෙව්ලාවකින් සංචාරක භික්ෂුව ප්‍රධාන භික්ෂුව ළඟට දිව ගොස් “ තමුන්නාන්සේගේ බාල සොහොයුරා පුදුමාකාර කෙනෙක්. මාව පැරද්දුවා “ යැයි කීය.

“කරුණාකරල මට කියන්න මොකක්ද ඇති වෙච්ච සංවාදය කියල “ ප්‍රධාන භික්ෂුව ආගන්තුක භික්ෂුවට කීය.

සංචාරක භික්ෂුව කියන්නේ තමා මුලින්ම බුදුරජාණන් වහන්සේ අදහස් කරගෙන ඇඟිල්ලක් ඉස්සු අතර වාද කළ එකැස් කණ භික්ෂුව බුදුරජාණන් වහන්සේ සහ ධර්මය අදහස් කරගෙන ඇඟිලි දෙකක් ඉස්සූ බවත් තමා ඇඟිලි තුනක් උස්සා බුදුරජාණන් වහන්සේත් ධර්මයත් ආර්ය සංඝරත්නයත් ඒකාග්‍ර බව පෙන්නුම් කරන විට අනෙක් භික්ෂුව ත්‍රිවිධ රත්නයම එකම බෝධියකින් මූර්තිමත් කරමින් අතමිට මොළවා තමාගේ මූණ ළඟට ළං කළ බවත්ය.

ප්‍රධාන භික්ෂුව “ කෝ මේ සූරයා, මට ආරංචියි ඔබ වාදයෙන් දිනුව කියල “

“දිනුව .....කෙහෙම්මල , මිනිහා මට අපහාස කරන්න තනි ඇඟිල්ලක් උස්සල පෙන්නුව මට තියෙන්නෙ එක ඇහැක් විතරයි කියල. මං ඉවසල උන්නාන්සේට ඇස් දෙකක් තිබීම ලොකු වාසනාවක් බව පෙන්නුම් කළා. එතකොට මිනිහා ආයමත් ඇගිලි තුනක් උස්සල පෙන්නුම් කළා අපි දෙන්නටම තියෙන්නේ ඇස් තුනයි කියල. මට ඉවසුම් නැතුව ගියා. මං මිනිහගෙ මූණ පොඩි කරන්න හදන කොට මිනිහා පැනල දිව්වා .” යැයි එකැස් කණ භික්ෂුව කෝපයෙන් පැවසීය.

සැඩ පරුෂ සොරකු දැහැමි පුද්ගලයකු බවට පත්කර ගනු ලැබූ පුවතක් සෙන් කතා අතර දක්නට ලැබෙයි. බුදුරජාණන් වහන්සේගේ පුරුෂධම්මසාරථි ගුණය අපේ සිහියට නඟන ඒ පුවත ද සෙන් ආචාර්යවරුන් විසින් අනුදත් ශික්ෂණ මාර්ගය මනාව විදහා දක්වයි.

“එක් සැන්දෑවක ශිෂිරි කෝජුන් පිරිත් සජ්ඣායනා කරමින් සිටින විට තියුණු කඩුවක් රැගත් හොරෙක් පැමිණ,

“හොඳ හිතින් තමුසෙ ළඟ තියෙන මුදල් දෙනවා. නුසුන්නොත් මරණවා’යි තර්ජනය කළේය.

ශිෂිරි සිටි පියවරෙහිම නොසැලී සිට මෙසේ තෙපළීය.

“ මට කරදර කරන්න මහන්සි වෙන්න එපා. අර ලාච්චුවේ සල්ලි ඇති ගන්න “ යැයි පැවසු හේ නැවත වරක් පිරිත් සජ්ඣායනය ඇරඹීය. මද වේලාවක් පිරිත් සජ්ඣායනා කළ ශිෂිරි නිහඩව මුදල් එකතු කළ සොරා ඇමැතීය.

“සල්ලි ඔක්කොම ටික නොගත්තොත් හොඳයි. හෙට වරිපනම් බදු ගෙවන්නත් තියෙනවා. ඒකට කීයක් හරි ඉතිරි කළොත් ලොකු උදව්වක්”

සොරා කිසිදු කතාවක් නොමැති ව මුදලින් කොටසක් පොදි බැඳගෙන යන්නට පිටත් විය.

ශිෂිරි “ තෑග්ගක් ලැබුණහම දුන්න මනුස්සයට ස්තුති කරන්න පුරුදු වුණොත් ඒක බොහොම හොඳ චාරිත්‍රයක් “

“හොරා “ කළ උදව්වට බොහෝම ස්තුතියි “

සොරා එතනින් බැහැරව ගියේය.

ටික දිනකට පසු ඔහු පොලිස් අත්අඩංගුවට ගනු ලැබිණි. පොලීසිය වෙත තමා කළ සියලු හොරකම් පිළිබඳ පාපෝච්චාරණයක් කළ හේ ශිෂිරි කෝජුන්ගෙන් ගත් මුදල ගැනද සඳහන් කළේය. ඒ නිසා ඔහුට විරුද්ධ නඩුවෙහි සාක්කිකරුවකු වශයෙන් ශිෂිරි ද උසාවිය වෙත කැඳවනු ලැබිණි.

“මගේ හිතේ හැටියට මේ මනුස්සය හොරෙක් නෙවෙයි. මමයි ඒ මනුස්සයට සල්ලි දුන්නේ. ඒ මනුස්සය කටපුරා ස්තුතියකුත් කරලයි ගියේ “

ශිෂිරි කෝජුන්ගේ සාක්කිය එපමණි.

හොරා හිරගෙට යැවීමට නියම කරන ලදී. හිර ගෙදරින් නිදහස ලබා පිටත් වු හේ ශෂිරි වෙත පැමිණ ගෝලයකු වී භාවනා පුහුණුවීමට පටන් ගත්තේය.

බුදුදහම සදාචාර විනිශ්චය සඳහා යොදා ගන්නා නිර්නායක අතර හොඳ - නරක , පව් - පින්, යහපත – අයහපත , කුසල් - අකුසල්, ආදිය ප්‍රධාන වේ. නොබුෂිගේ නම් සොල්දාදුවා හයිකුන් හිමියන් සමඟ කරන සංවාදයෙන් හොඳ නරක පිළිබඳ බෞද්ධ මනෝ විශ්ලේෂණය පෙන්නුම් කරයි.

නොබුෂින් :- “ස්වාමීනි, අපායයි දිව්‍යලෝකයයි කියල දෙකක් ඇත්තටම තියෙනවද?”

හයිකුන් හිමි : “ තමා කවරෙක්ද?

නොබුෂින් :- “ මම සමුරායි කෙනෙක් “

හයිකුන් හිමි : “ ඔබ සොල්දාදුවෙක්, මොන මෝඩ ප්‍රභූ®වරයෙක් ද තමුසෙ වගේ සොල්දාදුවෙක් පත්කර ගත්තෙ, තමුසෙගෙ මූණ හරියට හිඟන්නෙකුගේ මූණක් වගෙයි “

මේ වචන ඇසු සැණින් නොබුෂින් බෙහෙවින් කෝපයට පත් විය. කඩුව කොපුවෙන් ඇද්දේය. එහෙත් හයිකුන් නොනවත්වාම කතාකරගෙන ගියේය.

හයිකුන් හිමි :” හා ...එහෙනම් තමුසෙට කඩුවකුත් තියෙනව. තමුසෙගෙ කඩුව මගේ බෙල්ල කපන්න තරම් මුවාත් නැතිව ඇති “

නාබුෂිගේ කඩුව මුළුවනින්ම එළියට ඇදෙත්ම, “ ඔන්න ඔන්න ඔය ඇරෙන්නෙ අපායේ දොරයි “ හයිකුන් හිමි පැවැසීය.

මේ වචන පිට වෙනවාත් සමඟ යථා තත්ත්වය අවබෝධ කොටගත් සමුරායිවරයා කඩුව නැවතත් කොපුවේ දමාගෙන නමස්කාර කළේය. එවිට, “ඔය ඇරෙන්නෙ දිව්‍යලෝකයේ දොරයි “ හයිකුන් හිමිගේ මුවින් නිකුත් ෂය.

නික්ලේෂි උතුමෝ උපාදාන රහිතයෝය. පෘථග්ජනයෝ උපාදාන සහිතයෝය. සක්ලේෂී පුද්ගලයා ලොව දෙකට බෙදාගනියි. හෙතෙම ලොව, පක්ෂ විපක්ෂ , සතුරු - මිතුරු, සුභ - අසුභ, නිත්‍ය - අනිත්‍ය , සාධු - අසාධු , හොඳ-නොහොඳ වශයෙන් වර්ගීකරණය කරයි. එසේ බෙදාගෙන හොඳ දෙයෙහි ඇළෙයි.ලෝභය ජනිත කරයි. නොහොඳ දෙයෙහි ගැටෙයි. ද්වේෂය ඇතිකර ගනියි.

“ස්ව පක්ෂෙ විද්‍යතේ රාගඞ -පරපක්ෂස්තු තේ පි‍්‍රයඞ න ගම්ෂ්‍යති නිර්වාණං න ශිවංද්වන්දචාරිණඞ “ යැයි ආචාර්ය ආර්යදේව පාදයෝ ද්වන්දචරණයෙහි යෙදෙන්නාට නිවන් දැකිය නොහැකි යැයි පළ කළහ. එබැවින් නිවන් පසක් කරනු රිසි යෝගාවචරයා සියලු උපාදානයන් අත්හළ යුතුය. බැහැරලිය යුතුය. මතු දැක්වෙන සෙන් කථාව එම ජීවගුණයෙන් පරිපෝෂිතය.

එක් දිනක් ටැන්සාන් සහ එකීඩෝ යන දෙනම වගුරු බිම් සහිත මාවතකින් ගමනක් ගියහ. තොරතෝන්චියක් නැතිව ඇද හැළුනු මුරුගසන් වරුසාවකින් මාවත දෝර ගලා තිබිණි. වංගුවක් අසලදී මඩ ගොහොරුවකින් එතෙර වී ගත නොහැකිව බලාහුන් සේද කිමෝනාවකින් සැරසුණු සුරූපී යුවතියක් ඔවුන්ට මුණගැසුණහ.

ටැන්සාන් එක්වරම “ එන්න දරුවා”යි පවසමින් දෑතින්ම ඇය ඔසවා මඩ ගොහොරුවෙන් එහා පැත්තේ තැබීය. එකීඩෝ එදින පන්සලට ගිය පසු රෑ බෝවන තුරුම ටැන්සාන් සමඟ වචනයකුදු කතා නොකළේය. විඳ දරාගත නොහැකිම තැන ටැන්සාන් අවලාද නැගීය. “අපි හාමුදුරුවරු . ගෑනු ළඟට යාම අපිට ඔබින්නෙ නෑ. විශේෂයෙන් ලස්සන ළමිස්සියන් ළ¼ගට. ඒක හරිම භයානක වැඩක්. තමුන්නාන්සෙ එකවරම අර ළමිස්සි දෑතින්ම උස්ස ගත්තෙ?”

ටැන්සාන් ශාන්ත ස්වරයෙන් පිළිතුරු දුන්නේය.

“ඒ කෙල්ල මං එතැන දාලයි ආවේ. තමුන්නාන්සෙ ඒකිව තාමත් උස්සාගෙන ද ඉන්නෙ? “

ථෙරවාදි විභජ්ජවාදී පාළි සම්ප්‍රදාය පිළිබද පුළුල් ඇසුරක් ඇති ලාංකේය බෞද්ධයෝ පටාචාර තෙරණින් පිළිබඳ මනාව දනිති. ගිහි කල ඇය විඳි අනන්ත අප්‍රමාණ දුක්ඛ දෝමනස්සයන්වේ. නන් වැදෑරුම් දුක් ගැහැට විඳ බුදු සසුනටවන් පටාචාරා තෙරණිය පා දෝවනු වස් දිය බඳුනක් ගෙන දිය වත් කළේය. දෙවැනි දියපත ඊට මඳ දුරක් ගොස් වියළී ගියේය. තුන්වැනි දියපත ඊටත් වඩා තවත් මඳ දුරක් ගොස් වියළී ගියේය. ඇගේ සිත මේ හා බැඳී ගියාය. පළමු දිය පහර සෙයින් ලොව සත්ත්වයෝ ටික දුරක් ජීවත් වෙති. තවත් සමහරු දෙවැනි දිය පහර සෙයින් ඊටත් වඩා ටික දුරක් ජීවත් වෙති. තවත් සමහරු තුන්වැනි දිය පහර සෙයින් ඊටත් වඩා ද ජරක් ජීවත් වී මියෙති. පටාචාරා තෙරණිය “ පා දොවා උස් තැනින් ගලා ආ පාදෙවූ දිය දැකැ ජලය නිමිති කොට තිලකුණු භාවනාවෙහි යෙදුණාය. අස් ගොව්වකු අජානීය අශ්වයකු යම් සේ පහසුවෙන් හසුරුවයි ද එමෙන් සිය සිත සමාධිගත කළාය. අනතුරුව පහනක් ගෙන කාමරයක් තුළට ඇතුළු වුවාය. පහන් එළියෙන් යහන බලා ඇදෙහි හිඳ ගත්තාය. ඉක්බිති අගුල ගෙන පහන් වැටිය පහතට ඇද්දාය. ප්‍රදීපයාගේ නිවීම සෙයින් ඇගේ සිතැ කෙලෙස් නිවීම ද විය.මේ ථෙරිගාථා පුවත මතකයට ගලා එන්නේ සෙන් බෞද්ධ කතා පුවතක් නිසාය.

චියෝනෝ භික්ෂුණිය සඳ පහන් රැයක උණ ලීයක බැඳගත් පරණ පනිට්ටුවකින් වතුර ගෙන යමින් සිටියාය. උණ දණ්ඩ කැඩී පනිට්ටුව බිම වැටුණි. පනිට්ටුවේ අඩිය ගැලවී ගියේය. ඒ ඇසිල්ලෙන්ම චියෝනෝගේ සිත විමුක්ත විය. පී‍්‍රතියට පත් ඇය උදම් ඇණුවාය.

“උණ බම්බුවයි පනිට්ටුවයි - වතුර ටිකයි හඳ එළියයි
දහස් නැණින් උපා යොදා - රැක ගන්නට දිරි දැරීමි “

පනිට්ටුවේ අඩිය නැතේ - වතුරේ තිබූ හඳත් නැතේ
උණ බම්බුව දිරා පත්ව - මේ සියල්ල වැනසී ගොස් “

අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් ලොව දෙස බලා යථාභුතඥාන දර්ශනය පසක් කිරීම බෞද්ධ දර්ශනයෙන් නිර්දිෂ්ඨ වූවකි. පාලියේදී “සුඤ්ඤතා” යනුවෙන් දක්වා ඇත්තේ ද එයමය. “ සුඤ්ඤතෝ ලෝකං අවෙක්ඛස්සු මෝඝරාජ සදාසතෝ “ යි සුත්ත නිපාතයේ දැක්වෙන්නේද මේ තත්ත්වයමය.

බෝධිධර්ම හිමියන්ගෙන් පසු ගුරු සම්ප්‍රදායේ ප්‍රධාන ගුරුවරයා වූ හුයි කේ සමඟ එක්තරා පුද්ගලයෙක් පැවැත් වූ සංවාදයක් මෙසේය.

ගිහියා :- “මම කල්පවතින රෝගයකින් පෙළෙමි. මගේ පව්වලින් මා පිරිසිදු කරවන්න “හූයි කේ. ආචාර්යවරයා :- “ඔබේ පව් මෙහාට ගේන්න. මම ඔබව පිරිසිදු කරවන්නම් “

ගිහියා :- “ මම මගේ පව් දකින විට ඒවා කරා මට ළඟාවීමට ද නොහැකියි “

ආචාර්යවරයා :- “ හරි , මම ඔබව පිරිසිදු කළා, ඔබ බුද්ධ, ධම්ම, සංඝ සරණ යන්න “

ගිහියා : “මොනවද බුද්ධ ධම්ම සංඝ කියන්නේ?”

ආචාර්යවරයා :- “සිත බුද්ධ වේ. සිත ධම්ම වේ. එයම සංඝ වේ.”

මෙසේ හුයි - කේ නම් සෙන් ගුරුවරයා තමා කරා පැමිණි පුද්ගලයාට තම සිතට ම එබී බැලීමට හා ඒ තුළින් යථාර්ථය තේරුම් ගැනීමටත් මඟ කියා දුන්නේය . එවිට ඔහු යළිත් මෙසේ ප්‍රකාශ කළේය.

“අද මා දැනගත්තා පව් අභ්‍යන්තරයේත් නැති බව, බාහිරයේත් නැතිබව, ඒ අතර මැදත් නැති බව “ සිත අපිරිසිදු වු විට සියල්ල අපිරිසිදු වේ. සිත පිරිසිදු වු විට සියල්ල පිරිසුදු වේ.

සිතුවම - සරත් නන්ද කුමාර

පොසොන් පුර පසළොස්වක පෝය

පොසොන් පුර පසළොස්වක පෝය ජූනි 25 වන දා සිකුරාදා අපරභාග 04.14 ට ලබයි.
26 වනදා සෙනසුරාදා අපර භාග 5 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූනි 25 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය
ජූලි 04 වනදා
ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජුනි 25

Second Quarterඅව අටවක

ජූලි 04

New Moonඅමාවක

ජූලි 11

First Quarterපුර අටවක

ජූලි 18

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]