UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

මහාපාලී මහ දන්සල

අනුරාධපුර රාජධානියේ පරිහානියට සමගාමීව කාලයාගේ ඇවෑමෙන් අනුරාධපුර නගරය වල් වැදෙත්ම ආගමික සෙසු ස්ථාන මෙන් මහාපාලී දාන ශාලාවද වල් බිහි ව නෂ්ටාවශේෂ බවට පත්විය. බ්‍රිතාන්‍ය පාලන සමයේ මෙරට පුරාවිද්‍යා නිලධාරියකුව සිටි එච්.සී.පී.බෙල් මහත්මා මෙම ස්ථානය සොයා ගත් අතර විධිමත් පුරාවිද්‍යා පර්යේෂණයකට ලක්කොට එය නිශ්චිත වශයෙන් ප්‍රකාශයට පත් කිරීම සිදුවුයේ මහාචාර්ය, සෙනරත් පරණවිතාන සූරීන් විසිනි.

ශ්‍රී ලංකාද්වීපයට සම්බුදු දහම පිළිබඳ පණිවිඩය රැගෙන වැඩම කළ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ අනුස්මරණය කිරීම පිණිස පොසොන් පුර පසළොස්වක පොහොය නිමිති කරගෙන මෙරට බෞද්ධ ජනතාව විවිධ පුණ්‍ය කටයුතු සංවිධානය කරති. තොරණ, පෙරහර, අනුබුදු ගුණ ගී සංදර්ශන ආදී විවිධ කටයුතු අතර දන්සල වෙසෙසි තැනක් ගනී.

දිවයිනේ විවිධ ප්‍රදේශවල පැවැත්වෙන මෙබඳු කටයුතු අතර අනුරාධපුර සහ මිහින්තලය පසුබිම් කරගෙන දන්සල් පැවැත්වීම පිණිස බොහෝ සැදැහැවත් ජනතාව පෙළඹෙන බව දූරාතීතයේ සිටම දක්නට ලැබේ. අනුරාධපුර සහ මිහින්තලය බලා දසතින් ඇදි එන සැදැහැවතුනට සැබැවින්ම මේ දන්සල් මහත් අස්වැසිල්ලක් වේ. තේ, කෝපි, සිසිල්බීම, ඔසු පැන්, කඩල, මඤ්ඤොක්කා, අයිස් ක්‍රීම්, ආදි නොයෙක් වර්ගයේ දන්සල් අතර බත් දන්සල් වැඩි ප්‍රමාණයක් දක්නට ලැබේ.

සම්බුදු දහම අනුව දන්දීම දස පුණ්‍ය ක්‍රියාවන්ගෙන් එකකි. සත්ත්වයා සසරට බැඳ තබන තෘෂ්ණාව, නැති කිරීම පිණිස ඍජුවම බලපාන පුණ්‍ය කටයුත්ත දානයයි. පාරිහාරික වස්තු හැරුණු විට ඇස්, ඉස්, මස්, ලේ ආදිය පවා දන් දුන් විවිධ කතා පුවත් බෞද්ධ සාහිත්‍ය හදාරන අපට කියවන්නට ලැබේ. ජාතක කතා පොත් වහන්සේ තුළ අන්තර්ගත බෝසත් චරිතයෙහි අවසන් ජාතක කතාව වන වෙස්සන්තර ජාතකය දානය පිළිබඳව විවිධ නිදසුන් සපයයි. දානයක් සඳහා පිරිනැමීමට කිසිවක් තමා සන්තක නොවූ තැන සියොළඟම දානය කළ කතා පුවතක් සස ජාතකයෙහි විස්තර කෙරේ.

භවගාමි ජීවිතය නිවන් අරමුණු කරවීමට මහත්ඵල මහානිශංස ගෙනදෙන දානමය පුණ්‍ය ක්‍රියාව රාජ්‍ය අනුග්‍රහය ලැබ ඉතා ප්‍රශස්ත මට්ටමෙන් සිරිලක සම්බුදු දහම රෝපිත වූ මුල් අවධියේ සිටම පැවත ගෙන ආ බව අනුරාධපුර යුගය ආශි‍්‍රත අපේ වංශ කතාවන්ගෙන් හා පුරාවිද්‍යාත්මක සාක්‍ෂි වලින් අනාවරණය වේ. මෙබඳු එක් ස්ථානයකි අනුරාධපුර පුරාවිද්‍යා නෂ්ටාවශේෂ අතරින් හඳුනාගෙන ඇති, එවකට හය දහසක් භික්‍ෂුන් වහන්සේලා උදෙසා දිනපතා නොකඩවා දන් වැට සැදු මහාපාලී දාන ශාලාව.

පෞරාණික හෙළ අසිරිය විඳිමින් අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේ අසලින් වැටි ඇති වටවන්දනා පාරේ කුට්ටම් පොකුණ දෙසට සැතපුමක් පමණ ගමන් කළ කල්හි දකුණුපස දක්නට ලැබෙන නෂ්ටාවශේෂව පවත්නා ගොඩනැගිලි කිහිපය අතරින් එකක් මහාපාලී දානශාලාව වශයෙන් හඳුනාගෙන ති‍ෙබ්. සෙසු ගොඩනැගිලි නටබුන් ගෙඩිගේ සහ දළදා මැඳුර විය හැකි බවට විශ්වාස කෙරේ. අප මුලින් කී, මහාපාලී දන්සල වශයෙන් හඳුනාගෙන ඇති ස්ථානයෙහි අද දක්නට ඇත්තේ ගල් කණු කිහිපයක්, ගල් ඔරුවක්, හා ළිඳක නටබුන් පමණි. මේ පින්බර පොසොන් සමයේ අප කවුරුත් අනුස්මරණය කරන දීපප්‍රසාදක, අනුබුදු, මිහිඳු මහ රහතන් වහන්සේ මෙරට ස්ථාපිත කළ බුද්ධ ධර්මය ඉතා සීග්‍රයෙන් ව්‍යාප්තව ගිය බව ඉතිහාසය ගවේෂණයෙන් අනාවරණය වේ. මේ නවමු සංස්කෘතික, ආගමික පුනර්ජීවනයට රාජකීය අනුග්‍රහය සපයනු ලැබූයේ ක්‍රිස්තු වර්ෂ 245 සිට 207 දක්වා ලක්රජය හෙබ වූ දේවානම්පියතිස්ස රජතුමාය. සම්බුදු දහමෙහි චිරස්ථිතිය සඳහා මූලික කටයුතු ඉටු කළ දේවානම්පියතිස්ස රජතුමා එවක භික්‍ෂූ සංඝයා වෙත අවශ්‍ය සියලු ප්‍රත්‍යයන් සැලසීමට යුහුසුලු විය. එහි එක් ප්‍රතිඵලයක් වශයෙන් මහාපාලී දානශාලාව අපේ ඉතිහාසයට එක් වු බව මහාවංසයෙන් මෙසේ අනාවරණය වේ.

“භික්ෂු සංඝයා කැටිව මෙහෙණින් හට බත් ගන්නා පිණිස මහා උපහාර ඇති සියලු උපකරණයෙන් යුත්, එළඹ සිටි පිරිවර ජනයා ඇති, මහා පාලී නම් බත්හලද, එසේම භික්‍ෂූන් දහසකට අවුරුදු පතා පිරිකර සහිත වූ උතුම් පවාරන දානයක්ද, නාග දිවයින, දඹකොළ වෙහෙර ද, එම පටුන් හි තිස්ස මහා විහාරය ද, පාචීනාරාමය ද යන මේ කර්මාන්තයන් ලංකා වාසි ජනයා හට වැඩ කැමැත්තා වු පින් පැණ ගුණ ඇති ලංකේන්ද්‍ර වු ඒ දෙවන පෑ තිස් රජතෙමේ පළමුවන හවුරුද්දෙහිම කරවී “

මහාපාලී දාන ශාලාව මෙලෙස දෙවන පෑ තිස් රජ දවස ආරම්භ වුවද, සිරිලක රජ පැමිණි විවිධ නරපතියනගේ නොමඳ සැලකිල්ලට පාත්‍ර වූ වග ඓතිහාසික තොරතුරුවලින් හෙළිවේ. පළමුවන උපතිස්ස, මහානාම, ධාතුසේන, පමුවන හා දෙවන අග්ගබෝධි, ශිලාමේඝවණ්ණ යන නරපතිහු රාජකීය අනුග්‍රහය ලබා දී මෙම දන්සල පවත්වා ගෙන ආහ. පළමුවන දාඨෝපතිස්ස රජතුමා මහා පාලි දාන ශාලාවෙහි බත් ඔරු සමග සෙසු බොහෝ වස්තු දමිළයනට දුන් බව සඳහන්ය. පසුව රජපත් දෙවන කාශ්‍යප, දෙවන දාඨෝපතිස්ස, පළමුවන අග්‍රබෝධි යන රජවරුන් මහත් පරිශ්‍රමයක් දරා මෙම දාන ශාලාවෙහි දියුණුවට කටයුතු කර ඇති බව ඉතිහාසයේ දැක්වේ. සොළීන් විසින් පුළුස්සා විනාශ කර තිබු මහාපාලී දන්සිල යළි යථා තත්ත්වයට පත්කර මහ දන්වැට සුරක්‍ෂා කරනු වස් පස්වන මිහිඳු රජතුමා ක්‍රියා කර තිබේ.

ක්‍රිස්තු වර්ෂ පස්වන සියවසේ සිරිලකට පැමිණි චීන දේශාටක පාහියන් භික්‍ෂුව අනුරාධපුරය පිළිබඳව කරනු ලබන විස්තරය ද මහාපාලී දාන ශාලාව පිළිබඳව හදාරන කල්හි වැදගත් මූල‍්‍රාශ්‍රයක් වෙයි.

මෙය හැර නුවර සිටින පන්දහසක් හෝ හය දහසක් හෝ පමණ අයට ආහාර දෙයි. මේ උදවිය අහාර වුවමනා වූ විට තමන්ගේ පාත්‍ර රැගෙන නියම කළ එක්තරා ස්ථානයකට ගොස් පාත්‍රවල අල්ලන තරම් පුරවා ගෙන එත්. මේ විස්තර කරනුයේ මහාපාලී දන්සලට වැඩම කරන භික්‍ෂූ සංඝයා දානය ලබාගත් ආකාරයයි.

අනුරාධපුර රාජධානියේ පරිහානියට සමගාමීව කාලයාගේ ඇවෑමෙන් අනුරාධපුර නගරය වල් වැදෙත්ම ආගමික සෙසු ස්ථාන මෙන් මහාපාලී දාන ශාලාවද වල් බිහි ව නෂ්ටාවශේෂ බවට පත්විය. බ්‍රිතාන්‍ය පාලන සමයේ මෙරට පුරාවිද්‍යා නිලධාරියකුව සිටි එච්.සී.පී. බෙල් මහත්මා මෙම ස්ථානය සොයා ගත් අතර විධිමත් පුරාවිද්‍යා පර්යේෂණයකට ලක්කොට එය නිශ්චිත වශයෙන් ප්‍රකාශයට පත් කිරීම සිදුවුයේ මහාචාර්ය, සෙනරත් පරණවිතාන සූරීන් විසිනි. දැනට ශේෂව ඇති ගොඩනැගිල්ල දිගින් අඩි 128 ක් හා පළලින් අඩි 120 පමණ වේ. මුලින් සඳහන් කළ මෙහි ඇති ගල්ඔරුව දිගින් අඩි 27 පමණ වන අතර පළලින් අඩි 5 පමණය. ගොඩනැගිල්ලෙහි ගිනිකොණ කෙළවරෙහි සිට වතුර බැස යාම පිණිස ගල් පුවරු ඇසුරින් කළ කාණුවකි. අඩි 5 ක් පමණ දුර ජලය කාණුව දිගේ ගලාගෙන ගොස් අඩි 8 ක් පමණ සතරැස් වළකට වැටෙන සේ සකසා තිබේ.

සමස්තයක් වශයෙන් ගත් කළ ඊට සුදුසු ගෘහ නිර්මාණ ශිල්ප ක්‍රම භාවිත කරමින් ගොඩනඟන ලද මහඟු නිර්මාණයක් ලෙස මහාපාලී දානශාලාව හඳුන්වා දීමට පිළිවන.

පාදක සටහන - හය දහසක් භික්‍ෂූන්ට දන් සැපයූ මහාපාලී
දන්සල 1999.05.03 සිළුමිණ,
විමලසේන විතානපතිරණ

පොසොන් පුර පසළොස්වක පෝය

පොසොන් පුර පසළොස්වක පෝය ජූනි 25 වන දා සිකුරාදා අපරභාග 04.14 ට ලබයි.
26 වනදා සෙනසුරාදා අපර භාග 5 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූනි 25 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය
ජූලි 04 වනදා
ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජුනි 25

Second Quarterඅව අටවක

ජූලි 04

New Moonඅමාවක

ජූලි 11

First Quarterපුර අටවක

ජූලි 18

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]