UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

කාන්තා උපත පිළිබඳ ආගමික මතිමතාන්තර

නො නො සිතිය යුතු වස්තු සතරක් පිළිබඳව බුදුදහම නිර්දේශ කර ඇත. එම වස්තු සතර නම් බුද්ධ විෂය , කර්ම විෂය, සත්ව විෂය හා ලෝක විෂය යි. මේ කරුණු පිළිබඳව සිතීම වෙහෙසකරය, නැති නම් උමතුභාවය ලැබීමට කරුණක් වනු ඇත. එහෙත් අවශ්‍ය අවස්ථාවන්හි ඒ විෂයයන් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා නො කළාම නොවේ.

මෙහි දී කාන්තා උපත පිළිබඳ බුද්ධ දේශනාවත් අන්‍ය ශාස්තෘවරු කාන්තා උපත පිළිබඳ දැක්වු මතිමතාන්තරත් ගෙනහැර දැක්වීමට අදහස් කරමි.

ක්‍රිස්තුන් වහන්සේගේ මතය වූයේ ලෝකය දෙවියන් වහන්සේගේ මැවීමක් බව ය. ඒ ලෝකය මැවීමේ කාර්යයට උන් වහන්සේ සතියක කාලයක් මිඩංගු කළහ. ඒ අනුව කාන්තාව ද දෙවියන් වහන්සේගේ මැවීමකි. පරණ තෙස්තමේන්තුවට අනුව පෘථිවියෙහි පළමු වරට මැවුයේ ආදම්ය. පෘථීවියේ ආදම් හුදෙකලාව වෙසෙන නිසා දෙවියන් වහන්සේ ආදම්ගේ සහායට ඔහුගේම ඉලඇටයක් ගෙන කාන්තාවක මවා ඇයට “ඊවා” යැයි නම් කොට ආදම්ගේ සහකාරිය බවට පත්කළහ. මේ කතා පුවතින් පැහැදිලි වන්නේ දෙවියන් වහන්සේ ද පුරාෂාධිපත්‍යය පිළිගෙන කාන්තාව ද්විතීය ස්ථානයට පත්කොට ඇති බවයි.

ගී‍්‍රක දේව ඇදහිල්ල අනුව කාන්තාවගේ ලොව පහළවීම චමත්කාර ජනක කතා පුවතෙකි. ගී‍්‍රකයන්ගේ ජුපිටර් දෙවියා දෙවි මිනිසුන්ගේ අධිපතියාය. ඔලිම්පීසය ඔහුගේ රජදහනයි. ගී‍්‍රකයන්ගේ කාමයට අධිපති දෙවියා “ඉරෝස්” නම්වේ. මහදෙවියාගේ අණ පරිදි ඉරෝස් මනුලොව කඳු හෙල්, ගංගා, මුහුද හා සියලු සත්ව වර්ගයා මැවීය. ප්‍රොමිත්‍යුස් හා එමිත්‍යුස් දදෙන ඉරෝස්ගේ සහායකයෝය. මිනිසා මැවීම සඳහා මේ දෙදෙනාට නියම කළේය. ඔවුහු මැටියෙන් මිනිස් රුවක් මවා එයට ජීවය දෙන්නැයි ඉරෝස් මහදෙවියාට යාඥා කළහ. ඔවුන්ගේ යාඥාව බලාපොරොත්තු ආකාරයෙන්ම ඉටු විය. මැටි රූපයට ප්‍රාණය ලැබිණි. ප්‍රොමිත්‍යුස් මිනිසා කෙරෙහි අතිශයින් පැහැදීමට පත්ව වෙන කිසිවකුටවත් නුදුන් ත්‍යාගයක් දීමට කල්පනා කළේය. එහෙත් හැම දෙයක්ම සතුනට දී තිබුණ නිසා දීමට දෙයක් ඉතිරි වී නො තිබුණි. ඒ නිසා මිනිසාට ගින්න පරිත්‍යාග කළේය. මහ දෙවියාට නො දන්වා මිනිසාට ගින්න පරිත්‍යාග කළ නිසා ප්‍රොමිත්‍යුස් සිරගත කළේය. ‍ෙබාහෝ කලකට පසුව හර්ක්‍යුලිස් විසින් පොමිත්‍යුස්ව නිදහස් කරගත්තේය.

ගින්න නිසා මිනිසා ඉතා සැපවත් දිවිපෙතෙක් ගත කළේය. ලෙඩ දුක් ඇති නොවීය. ඒ නිසා මරණය ද ඇතිවූයේ කලාතුරකිනි. ජුපිටර් දිනක් මනුලොව දෙස බලද්දී මිනිසා ඉතා සැපවත්ව වෙසෙන බව දුටුවේය. මේ නිසා ජුපිටර්ට ඇතිවුයේ බලවත් ඊර්ෂ්‍යාවෙකි. ප්‍රොමිත්‍යුස් දුන් ගින්දර පිළිගැනීමෙන් මිනිසා වරදක් කර ඇති බව සිතුවේය. එහෙයින් දේව සභාව කැඳවා මිනිසාට කවර දඬුවමක් දිය යුතු දැයි විමසීය. මිනිසාට දඬුවම් වශයෙන් කාන්තාවක මවා මනුලොවට යැවිය යුතු යැයි දේව සභාව සම්මත කළාය. ඒ කාන්තාව මැවීමට දෙව්ලොව විශ්වකර්මයා වන ගිෆෙස්ටස්ට භාර කළේය. ඔහු ශෝභා සම්පන්න කාන්තාවක මැවීය. ඇයට “ පැන්ඩෝරා” යන නාමය තැබීය. ඇයව මනුලොවට ගෙන යන්නට මහ දෙවියාගේ පුත්‍ර මර්ක්‍යුරිට භාර කළේය. ඔහු පැන්ඩෝරා ද කැටුව මිනිස්ලොවට විත් ඇය ප්‍රොමිත්‍යුස්ට දුන්නේය. ඔහු ඇයව ප්‍රතික්ෂේප කළා පමණක් නොව එමිත්‍යුස්ට ද ඇයට අතවත් නො තබන ලෙස දැන්වීය. එහෙත් එමිත්‍යුස් ඇය පිළිගත්තේය. දින කීපයක් සතුටින් කල් ගෙවූහ.

දිනක් ඉතා අලංකාර පෙට්ටියක් රැගෙන මර්ක්‍යුරි නැවත පැමිණියේය. එම පෙට්ටිය එමිත්‍යුස් පැන්ඩෝරා යුවලට භාරදුන් ඔහු පෙට්ටිය විවෘත නො කොට සුරැකිව තබාගන්නැයි කියා යන්නට ගියේය. පෙට්ටිය ඇර එහි ඇත්තේ මොනවාදැයි බැලීමට පැන්ඩෝරාට තද ආශාවක් ඇතිවිය. එහෙත් එමිත්‍යුස් එයට විරුද්ධ විය. ස්වාමියාගේ විරුද්ධත්වය ද නොතකා පැන්ඩෝරා පෙට්ටිය විවෘත කළාය. එහි වුයේ මිනිසුන්ට දඬුවම් දීමට මහදෙවියා විසින් බහාලන ලද ඊර්ෂ්‍යා ක්‍රෝධ මාන්නාදිය හා නොයක් රෝග කාරක විෂබීජයන්ය. එම විෂබීජ කුඩා සතුන් වශයෙන් පෙට්ටියෙන් පිටවී නරයන් සපාකෑම නිසා රෝගාබාධ මෙන්ම රණ්ඩු සරුවල් ද ඇතිවිය.

මෙයිනුත් පැහැදිලි වන්නේ පුරුෂයාට පසුව ස්ත්‍රිය පහළ වූ බවත් ඇය නිසා පී‍්‍රතිමත් නිරෝගි මනුෂ්‍ය සංහතිය විපත්තීන්ගෙන් ගහණ ලෙඩදුක් වලින් පිරි මිනිස් සංහතියක් බවට පරිවර්තනය වූ බවත්ය. ගී‍්‍රක ඇදහීම්වලින් ද පුරුෂාධිපත්‍යය ඉස්මතු වී ඇති බව පෙනේ. හින්දූන්ගේ ශිව පාර්වතී කතාවෙන් ද පෙන්නුම් කර ඇත්තේ පුරුෂාධිපත්‍යයයි. විෂ්ණු දෙවියන්ගේ බිරිඳ ශි‍්‍රයාකාන්තාව ද පහළ වී ඇත්තේ පසු කලෙක මුහුද කළඹන අවස්ථාවේ දීය. බ්‍රාහ්මණ යුගයේ දී ක්‍රමයෙන් කාන්තාව ගෙයි මුල්ලට ම ඇද දමා තිබිණි.

බෞද්ධ මතය මීට ඉඳුරාම වෙනස්ය. බුදු දහම නිර්මාණ වාදය සපුරා බැහැර කරයි. එසේම සියලු සංස්කාර ධර්මයන්ගේ අනිත්‍යත්ත්වයට ප්‍රකාශ කරයි. ලෝකය ද සංස්කාර ගණයට අයත්ය. මේ නිසා ලෝකය ද අනිත්‍යත්වයට ගොදුරු වී කාලාන්තරයක දී විනාශ භාවයට පත්වෙයි. එසේ විනාශ වනුයේ ඛ්ඹ්රුගේ තේජස වැඩිවීමෙනි. සප්ත සූර්යොද්ගමන සුත්‍රයෙහි ඒ පිළිබඳ විස්තර සඳහන්ව ඇත. මේ විනාස වීම එක වතාවක සිදුවන්නක් නොව කාලාන්තරයෙන් කලාන්තරය සිදුවෙයි. එසේ විනාස වන වාරයන් ද අනන්තය. සප්ත සූර්යෝද්ගමනයෙන් විනාස වු ලෝකය සම්පත්තිකර වර්තාවක් ඇතිවී එන ජලය ක්‍රමයෙන් මිදී නැවත ලෝකය වැඩීමට ආරම්භ වෙයි. එම කාලයේ ඉර හඳ ඇතිවීමටත් පෙරාතුව බඹලොවින් චුත වූ බ්‍රහ්මයෙක් මෙහි උපදී. ඔහු අකාස චාරීව පී‍්‍රතියම අනුභව කර වාසයි කරයි. ශරීරාලෝකයෙන් ම අඳුර දුරුවෙයි. කාලාන්තරයක් වසන ඔහුට තවත් අය මෙහි ඇත්නම් හොඳයයි සිතෙයි. කල් යත් යත් බඹලොවින් චුතවන බ්‍රහ්මයෝ මෙහි පහළවෙති. ඒ ගැන මුල් බ්‍රහ්මයා වැරදියට හිතාගෙන තාම සිතු නිසා මේ අය පහළ වී යයි සාවද්‍ය මැවුම් වාදයක් ඇතිකර ගනී.

බ්‍රහ්මයන්ගේ ස්ත්‍රී පුරුෂ භේදයක් නැත. පී‍්‍රතිය ම අනුභව කරමින් සිටින නිසා මළ මුත්‍ර පහකිරීමේ අවශ්‍යතාවයක් ද නැත. කාලාන්තරයක් මෙසේ ගතවන විට එක් අයෙක් ඝන වේගෙන එන පොළවෙන් ටිකක් ඇගිල්ලට ගෙන අනුභව කරයි. එය ඉතා රසවත් නිසා ලෝලත්වයක් ඇතිවෙයි. පසුව අනිත් අය ද මේ භූ®මි පප්පටකය කෑමට පුරුදු වූහ. මේ නිසා ආහාර පිළිබඳ ආශාව ඇතිවී ආකාශ චාරීව සිටීමට නො හැකි වෙයි. ශරීරාලෝකය ද පහව යයි. ක්‍රමයෙන් සංවර්ධනය වන පොළවට පාත්වෙයි. ඔවුහු පොළව රසය කා ජීවත් වෙති. පොළව තවත් ඝණ වන විට බදාලතා නමැති වැල් වර්ගයක් හට ගනී. මිනිස්සු ඒ වැල් කා ජීවත් වූහ. ඊට පසු ස්වයංජාත හැල් ඇති වෙයි. එවිට මිනිස්සු ඒවා කමින් ජීවත් වූහ.

දළ අහාර ගන්නට පුරුදු වූ විට මළ මුත්‍ර පහකිරීමේ අවශ්‍යතාව ඇතිවිය. එවිටව සමග පසමග ඇතිවෙයි. පසමග හෙවත් යෝනිය සමහරුන්ට පුරුෂ නිමිත්තත් සමහරුන්ට ස්ත්‍රී නිමිත්තත් ඇතිවිය. එහි අමුතු මැවීමක් නැත. ස්වාභාවිකවම ඇතිවන්නකි. යෝනි විෂමත්වය නිසා උස් පහත් භේදයක් නොවීය. ඊළඟට ඔවුනොවුන්ගේ යෝනි දැකීම නිසා කාමාසාව ඇතිවී සංසර්ග කාර්යයන් සිදුවී ප්‍රජනන ක්‍රියා පද්ධතිය ද ආරම්භ විය. බුදුදහම අනුව මේ ක්‍රමික විකාශනය අනුව බලන විට පුරුෂයාය කියා විශේෂ වරප්‍රසාද හිමිවී නැත.

ප්‍රජනන කාර්යයන් සිදුවීමට පටන්ගත් පසු දරු ගර්භයක් පිහිටීමට මව ඍතුවීම ස්ත්‍රී පුරුෂ එක්වීම හා ගන්ධබ්බයෙක් එළඹීම යන කරුණු තුන සම්පූර්ණ වී තිබිය යුතුය. ගර්භාෂයක කළල රූපයක් ඇතිවූ විට එහි පළමුවෙන්ම පහළ වන්නේ කාය භාව වස්තු යන දශක තුනය. කාය යනු ශරීරයයි. භාව යනු ස්ත්‍රී භාව හා පුරුෂ භාවයි. වස්තු යනු හෘදයවස්තු රූපයයි. මෙහිදී ස්ත්‍රී භාවය හෝ පුරුෂ භාවය පහළ වන්නේ ඒ උපදින සත්වයාගේ කර්මානුරූපව බව ධර්මයෙහි ඉගැන්වේ.

මේ කරුණු අනුව සලකා බලන විට බුදුදහමට අනුව ස්ත්‍රී පුරුෂභාවය උසස් පහත් යැයි බෙදීමට පිළිවන්කමක් නැත. වෙනසකට ඇත්තේ කාන්තා පක්ෂයට විශේෂිත දුක් කීපයක් විඳීමට සිදුවීමයි. ප්‍රජනන කාර්යයේදී ඇතිවන වේදනාව ආදි දුක්ය.

කාන්තාව හා පුරුෂයා නැතුව ලෝකයේ පැවැත්මක් නැත. සත්ව සංතතිය ඇති නොවන බැවිනි. මේ නිසා කාන්තාවට හෝ පුරුෂයාට හෝ හුදෙකලාව ජීවත්විය නො හැක. මැවුම් වාදයේ දීද පුරුෂයකුට කාන්තාවක නැතුව පැවැත්මක් නැති බව වැටහී පුරුෂයාගේ ඇටයකින් හෝ කාන්තාවක මැවීමට උත්සුක වී ඇත. කාන්තාව යනු ලෝකයෙහි ගර්හිත වස්තුවක් නොව ඔවුනොවුන්ට සහජීවනයෙන් විසීමට පහළවී ඇති වටිනා වස්තුවෙකි.

පොසොන් පුර පසළොස්වක පෝය

පොසොන් පුර පසළොස්වක පෝය ජූනි 25 වන දා සිකුරාදා අපරභාග 04.14 ට ලබයි.
26 වනදා සෙනසුරාදා අපර භාග 5 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූනි 25 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය
ජූලි 04 වනදා
ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජුනි 25

Second Quarterඅව අටවක

ජූලි 04

New Moonඅමාවක

ජූලි 11

First Quarterපුර අටවක

ජූලි 18

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]