UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

 ලේක්හවුස් මිහින්තලා ආලෝක පූජාව

මෙය මිහින්තලා ආලෝක පූජාව ආරම්භ කිරීම හා ඒ ආශි‍්‍රත ලේක්හවුස් සමාජ සත්කාරයන් පිළිබඳ කදිම විස්තරයකි. ලේක්හවුස් ආයතනය 1963 දී මිහින්තලා ආලෝක පූජාව ආරම්භ කරන ලද්දේ කොළඹින් රැගෙන ගිය විදුලි ජනක යන්ත්‍ර දෙකක් ආධාරයෙන් බවද මෙහි සඳහන් කළ යුතුය. එසේ ආරම්භ කළ මේ සද් කාර්යයට ලංකා විදුලි බල මණ්ඩලය ද පසුව එක් විය. අද වන විට ලංකා විදුලි බල මණ්ඩලයට මෙහි සම අනුග්‍රාහකත්වය හිමි වී තිබේ.

මිහින්තලා ආලෝක පූජාව ලේක්හවුස් ආයතනයේ ජාතික මෙහෙවරක් බව රටේ බොහෝ දෙනා දනිති. එහෙත් එහි ඉතිහාසය නිවැරැදි ව දන්නෝ ඉතා අල්ප යැයි කීම බොරුවක් නොවේ. ඒ නිසා එහි ඉතිහාසය ගැන අප කතා කළ යුතුය. මෙහිදී, ලේක්හවුස් ආයතනය මිහින්තලා ආලෝක පූජාව පැවැත්වීමට ඉදිරිපත් වූයේ ඇයි ද යන්න වැදගත් ප්‍රශ්නයකි. ඊට පිළිතුරු ලබා ගැනීමට මිහින්තලා ආලෝක පූජාවට සමගාමීව 2005 වසරේ අප පැවැත් වූ දීපව්‍යාප්ත රචනා තරගය සඳහා කුඩාවැව , ගල්අමුණ ශ්‍රී ධර්මෝදය දහම් පාසලේ අයේෂා මධුෂාණී ඉදිරිපත් කළ රචනාවේ කොටස් කිහිපයක් උපුටා දැක්වීමට කැමැත්තෙමි.

(මේ රචනාව 2005 / 6/21 වන දින බුදුසරණ පුවත්පතේ පළ විය.)

“ඓතිහාසික අතින් මෙන් ම ආගමික අතින් ද පුරාවිද්‍යාත්මක අතින් ද අගයෙන් කිසිම ස්ථානයකට හෝ සිද්ධස්ථානයකට දෙවෙනි නොවන නමුත් මීට වසර හතළිස් පහකට (2005 වසර අනුව ) පමණ පෙර බැතිමතුන් මිහින්තලා පුදබිම වන්දනා කිරීමට පැමිණියේ උදේ දහවල් හෝ සන්ධ්‍යා කාලයේ අඳුරු වැටෙන තෙක් පමණි. මන්දයත්, රාත්‍රී කාලයේ අඳුරින් පුදබිම වැසී යන බැවිනි. පුන් පොහෝ දිනක වුවද බැතිමතුන්ට මැද මළුවට හෝ උඩ මළුවට යා ගත නොහැකි වීම නිසා එහි අරුමයක් නොවීය. මේ නිසා අනුරාධපුරය වැඳ පුදාගෙන මිහින්තලාවට ආවේ ඉතා සුළු පිරිසකි. මා වැඩිහිටියන් ගෙන් අසා දැනගත් අන්දමට 1956 - 57 කාලයේ මිහින්තලය හතරමං හන්දියේ තිබුණේ එක සිල්ලර කඩයකි. මුවෝ රංචු පිටින් නිදැල්ලේ පුදබිමේ ඇවිද ගියෝය. උන්ට කිසිවෙක් හිරිහැර කළේ නැත. එකල අනුරාධපුරය පැරැණි නගරය කඩා බිඳ නව නගරය ඉදිකරමින් තිබුණත් කාගේවත් අවධානය මිහින්තලා පුදබිම වෙත යොමු නොවීය. කෙසේ වෙතත් මේ නිසා ශ්‍රී ලාංකිකයන්ට ඉතා උතුම් පොහොය දිනයක් වන පොසොන් පොහොය දින රාත්‍රී කාලයට මේ ඓතිහාසික පුද බිම මුළුමනින්ම අඳුරින් හා වන සතුන්ගෙන් ගහණ වූ ස්ථානයක් ලෙස පෙනී ගිය නිසා වන්දනාකරුවන් වැඩි ගණනකට මිහින්තලාව වන්දනා කිරීමට උපකාරී වී මෙය වැඩි දියුණු කරීමේ පරමාර්ථයෙනුත්, අනුබුදු මිහිඳු හිමියන් ගෙනා ධර්ම ප්‍රචාරක වැඩපිළිවෙල දියුණු කිරීමට ආධාර කිරීමේ පරමාර්ථයෙනුත් ලේක්හවුස් ආයතනය මූලික වී ඉහතින් සඳහන් කළ අන්දමට 1963 පොසොන් පුර පසළොස්වක පොහෝ දින මෙම ආලෝක පූජාව ආරම්භ කරන ලදී.

දිගින් දිගටම ආලෝක පූජාව ගැන සඳහන් කළ යුත්තේ ‘බුදුසරණ ‘ පත්‍රයත් මිහින්තලා ආලෝක පූජාවත් දෙකක් නොව එකක් ම වන බැවිනි. එකකින් එකක් ඌනපූරණය කරයි. බුදුසරණ උපත මිහින්තලා ආලෝක පූජාවයි. මිහින්තලාව වන්දනාවට පැමිණෙන ජනතාවගේ බොදු හැඟුම් තව තවත් උද්දීපනය කරලීමට උදව්දීම, ඔවුන්ට මිහින්තලයේ දී කියවීමට වටිනා යමක් ලබාදීම, (ධර්ම දානය උතුම්ම දානය සේ බුදු දහමේ සැලකේ) අනුබුදු මිහිඳු මා හිමිපාණන් ශ්‍රී ලංකාවට ගෙන ආ ධර්ම ප්‍රචාරක වැඩ පිළිවෙළ දියුණු කිරීම, වඩා ශික්ෂාකාමි ජනතාවක් බිහි කිරීම, ක්‍රියාකාරි බෞද්ධ පත්‍රයක් නොමැතිවීමේ අඩුපාඩුව සම්පූර්ණ කිරීම ආදි වටිනා අරමුණු මෙම පත්‍රය ආරම්භ කිරීමේදී ලේක්හවුස් ආයතනය සැලකිල්ලට ගත් බව ස්තුති පූර්වකව ගෞරවයෙන් සඳහන් කළ යුතුය.

“දිවංගත ජනාධිපති ආර්.පේ‍්‍රමදාස මහතා (1978 වසරේදී එතුමා අග්‍රාමාත්‍ය පදවිය හෙබවීය.) මිහින්තලා පුද බිමට ස්ථිර විදුලි ආලෝකය ලබාදීම මෙහිදී සිහිපත් නොකළහොත් එය අඩුවක් සේ පෙනේ. මිහින්තලා ආලෝක භාරය නමින් අරමුදලක් ඇරැඹිණ. එමගින් මේ ආලෝක පූජාව දැනට පවත්වා ගෙන එනු ලබයි “

“1986 වසර වන විට මිහින්තලා ආලෝක පූජාව එම ප්‍රධාන කටයුත්තටත්,ලේක්හවුස් ආයතනයේ මෙහෙයවීමෙන් ශීල ව්‍යාපාරයක් මෙන් ම සිල් ගන්නා ළමයින් සදහා අවශ්‍ය සිල් රෙදි හා උදේ දවල් දාන මාන සපයා දීමටත්, දීප ව්‍යාප්ත රචනා තරගයක් හා උතුරු මැද පළාතේ ළමයින් සදහා කථික තරගයක් පැවැත්වීමටත් සිමා වී තිබූ නමුත්, 1990 දී තවත් පොදු සේවාවන් රැසක් ඇතුළත් වන අයුරින් එය පුළුල් කෙරිණි.”

ඒ අනුව 1990 පොසොන් ආලෝක පූජාව හා එක්ව “ බුදුසරණ “ පත්‍රයේද සහය ඇතිව මිහින්තලේ කම්මලන්කුලම විදුහලට කුඩා විද්‍යාගාරයක් පරිත්‍යාග කෙරිණ. මේ නිසාම එම ගම්මානයට විදුලි බලය ලැබුණු අතර මාර්ගය ද සංවර්ධනය කෙරිණ. 1991 දී මිහින්තලා මහා විද්‍යාලයට ‘දිනමිණ - බුදුසරණ’ පුස්තකාලය ‘අංග සම්පූර්ණ ගොඩනැගිල්ලක් ද සහිතව ප්‍රදානය කෙරිණ. 1992 දී මිහින්තලා රජයේ රෝහලට ‘දිනමිණ - බුදුසරණ ‘ රෝහල් වාට්ටුව සියලු අංග උපාංග වලින් සමන්විතව ප්‍රදානය කෙරිණ.

“1993 වසරේ මිහින්තලා කනිටු විදුහලට දිනමිණ බුදුසරණ වඩු කාර්මික මධ්‍යස්ථානයක් ලබා දුන් අතර වන්දනාකරුවන්ගේ ප්‍රයෝජනය සඳහා නවීකරණය කරන ලද මිහින්තලේ දිනමිණ - බුදුසරණ, විශ්‍රාම ශාලාව ඉදි කෙරිණ. 2005 වසරේ එම පොදු ජන සේවාව ලෙස මිහින්තලයේ කටුපොත ග්‍රාමයට “අතුරු මිතුරු ළදරු පාසල් ප්‍රදානය කරන ලදී “

මෙය මිහින්තලා ආලෝක පූජාව ආරම්භ කිරීම හා ඒ ආශි‍්‍රත ලේක්හවුස් සමාජ සත්කාරයන් පිළිබඳ කදිම විස්තරයකි. ලේක්හවුස් ආයතනය 1963 දී මිහින්තලා ආලෝක පූජාව ආරම්භ කරන ලද්දේ කොළඹින් රැගෙන ගිය විදුලි ජනක යන්ත්‍ර දෙකක් ආධාරයෙන් බවද මෙහි සඳහන් කළ යුතුය. එසේ ආරම්භ කළ මේ සද් කාර්යයට ලංකා විදුලි බල මණ්ඩලය ද පසුව එක් විය. අද වන විට ලංකා විදුලි බල මණ්ඩලයට මෙහි සම අනුග්‍රාහකත්වය හිමි වී තිබේ.

මිහින්තලා , ආලෝක පූජාව ආරම්භ කිරීම පිළිබඳ පුවත 1963 ජුනි මස 04 වන දා දිනමිණ මෙසේ වාර්තා කැර තිබිණ.

“මෙවර පොසොන් උත්සවය මිහින්තලා ප්‍රදේශයේ ඉතා උසස් අන්දමින් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. මේ මස 05 වන දා 6 වන දා සහ 7 වනදාත් රාත්‍රිය මුළුල්ලේම මහාසෑය, අම්බස්ථල චෛත්‍යය , මිහිඳු ගුහාව, ආරාධනාගල, නාග පොකුණ කණ්ඨක චෛත්‍යය සහ මිහින්තලා කඳු මුදුනට යන මාර්ගය ද ඒකාලෝක වෙයි.

ලේක්හවුස්හි එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම මගින් මිහින්තලේ පැවැත්වෙන මේ පොසොන් උළෙලට දිවා රෑ පැවැත්වෙන ධර්මානුශාසනා මාලාවක් ද භක්ති ගීතද පිරිත් දෙසුම් ද මිහිඳු ධාතු හා නිදන් වස්තු ප්‍රදර්ශනයක්ද ඇතුළත් වෙයි.”

1963 වසරේ පොසොන් පුර පසළොස්වක පොහොය ජුනි මස 6 වන දිනට යෙදී තිබිණ. එදින දිනමිණ පුවත්පතෙහි ආලෝක පුජාව පිළිබඳව ප්‍රවෘත්ති දෙකක් මුල් පිටුවේ පළ විය. එයද මිහින්තලා ආලෝක පූජා ඉතිහාසය ගැන කතා කිරීමේදී ඉතා වැදගත් ය. මෙය එක් ප්‍රවෘත්තියකි.

“මීට අවුරුදු 2270 කට පෙර පොසොන් පෝදා ලංකාවට බුද්ධාගම ගෙන ආ මිහිඳු මහ රහතන් වහන්සේ දෙවන පෑතිස් රජු හමු වු මිහින්තලේ අද වන්දනා කරුවන්ගෙන් පිරී ඉතිරි යයි.

“මීට අවුරුදු දෙදාහකට පමණ පෙර මහානාග රජු විසින් බුදුන් වහන්සේගේ ඌර්ණ රෝම ධාතුන් වහන්සේ තැන්පත් කොට තැන වු මිහින්තලේ මහා සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු දැන් ආරම්භ ඇත. “

“මෙවර මිහින්තලේ විශේෂයක් වනුයේ ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම මගින් මුළු මිහින්තලයම විදුලි බුබුලු වලින් ආලෝකමත් කිරීමයි. අදත් හෙටත් මිහින්තලා ප්‍රදේශයෙහි දිවා රෑ මුළුල්ලේ ශබ්ද විකාශන යන්ත්‍ර මාර්ගයෙන් කෙටි ධර්මානුශාසනාවන් ද පැවැත්වේ.”

මේ වසරේ මිහින්තලා ආලෝක පුජාව පවත්වනු ලබන්නේ 48 වන වරටය. ලේක්හවුස් ආයතනය ලංකා විදුලිබල මණ්ඩලයේද සම අනුග්‍රහයෙන් යුතුව මිහින්තලා රජ මහා විහාරාධිපති හා භාරකාර නුවරගම් පළාතේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක නාමල්වැවේ ධම්මකීර්ති ශ්‍රී රතනසාර නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් හා මිහින්තලා පූජා නගර සංවර්ධන කමිටුවේ සභාපති තැපැල් හා විදුලි සංදේශ නියෝජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ මෙහෙවීමෙන් ඇරැඹි මෙවර මිහින්තලා ආලෝක පූජාව ඊයේ (24 වනදා) ඇරැඹිණි. ජනාමධ්‍ය හා තොරතුරු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන අද දින උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මැතිතුමා සහභාගි වේ. හෙට දින උත්සවය ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ (ලේක්හවුස්) සභාපති බන්දුල පද්මකුමාර මහතා, ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති විද්‍යා අමරපාල මහතා හා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.කේ. හේරත් යන මහත්වරුන් ගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතය.

පොසොන් පුර පසළොස්වක පෝය

පොසොන් පුර පසළොස්වක පෝය ජූනි 25 වන දා සිකුරාදා අපරභාග 04.14 ට ලබයි.
26 වනදා සෙනසුරාදා අපර භාග 5 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූනි 25 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය
ජූලි 04 වනදා
ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජුනි 25

Second Quarterඅව අටවක

ජූලි 04

New Moonඅමාවක

ජූලි 11

First Quarterපුර අටවක

ජූලි 18

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]