UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

කතුවැකිය ගැන පාඨක ඔබ විමසිල්ලෙන් ද ?

කතුවැකියක් නැති පුවත්පත නැවියෙක් නැති නැවක් බඳුය. නැවේ ගමන සාගර ජලය මත සේ පුවත්පතේ ගමන පුවත් මතය. ලේඛන මතය. නැව මකර කටට වැටී විනාශ වන බව අපේ පැරැන්නෝ කියත්. නැව මකර කටට යා නොදී හසුරුවන්නට මාලිමාව උපකාරී වෙයි. එසේම පුවත්පත ප්‍රපාතයටද අභිවෘද්ධියටද යන්න පෙන්වන මාලිමාව කතුවැකියයි.

ලෝකයේ සතිපතා පළවන එකම බෞද්ධ පත්‍රය, ධර්ම භාණ්ඩාගාරයක්, සාරධර්ම සංග්‍රහයක් යන අභිමාන උප පද හිමි බුදුසරණට ද වසර හතළිස් පහක දීර්ඝ ඉතිහාසයක් ඇත. එදා මෙදා තුර කතුවැකි බෞද්ධ දර්ශනය මුල් කොට විවිධ ඉසව් දෙසට පාඨක, ලේඛක මනස යොමු කරවා ඇත. බහු ආගමික වූත්, ධනේශ්වර වුත්, කාමභෝගී ආකල්පයන්ගෙන් නොබිඳුනු දේශපාලන, ආගමික කලිකලහයන් හීන් සීරුවේ ඇදී යන සමාජයක ආරම්භක අරමුණින් බැහැර නොවී වඩ වඩාත් සාරගර්භසේම, හිතන්නට හිතෙන කතු වැකි දැන් දැන් අපි දකිමු.

කතු වැකි වල ගුණාත්මක වටිනාකම් මංතීරු කීපයකට බෙදා සාකච්ඡා කළ හැකියි.

විවාදපන්න විය හැකි බොහෝ මතවාද සමග නොගැටී කතුවැකියෙන්ම පිළිතුරු දී උපේක්‍ෂාවීම.

ආර්ථික දේශපාලන, අරමුණු වලින් බැහැර වීම.

ආගමික , ආර්ථික, දේශපාලනික, සාමාජික, සෞඛ්‍ය, අධ්‍යාපන, කවර ක්ෂේත්‍රයක ප්‍රවෘත්තියක් ප්‍රමුඛ කර ගත්තේ මුත් අදහස් සමාලෝචනයෙන් පසු ස්වයං යෝජනාවකින් ස්වමතය ඉදිරිපත් කරමින් අවසාන කිරීමත් එහි සංයමයක් පරිණත බවත් විද්‍යාමාන වීම.

නෛතික හා සදාචාරාත්මක මායිම් නොඉක්මවීම.

දෛනික පුවත් පත්වල පළවෙල ලිපි, රූපවාහිනී ගුවන් විදුලි, වැඩසටහන් , විශේෂ ප්‍රකාශන ග්‍රන්ථ, තුළින් සමාජ ශෝධනයෙහිලා ඉටුකරන කාර්ය භාරයන් ගෙන් වන වැඩ අවැඩ පිළිබඳ අදහස් දැක්වීමට ඉදිරිපත්වීම.

එකී සංසිද්ධීන් උණුසුම්, සංවාදශීලි, පි‍්‍රයශීලි වියත් බසකින් සංක්‍ෂිප්තව ඉදිරිපත් කිරීම.

විශ්ව ව්‍යාපී දාර්ශනිකයින්, චින්තකයින් , ආගමික නායකයින්, ලේඛකයින් දක්වන නූතන හෝ පැරැණි කවර අදහසක් උධෘත කළද බෞද්ධ දර්ශනයට ගලපා සත්‍ය මේ යැයි ස්ඵුට කිරීම.

පුවත් මතුරන ජපමාලයක් නොවී ජනවිඤ්ඤාණය පුළුල් කරන තක්‍ෂලාවක් වීම.

මෙසේ වුවද, කතුවැකියේ සාරහාර බව පුවත්පත පුරාම විහිදෙන්නේ දැයි යන ප්‍රශ්නය විමසන පාඨක මනසක රෝපණය විය හැකිය. එපමණකින් ම එසේ නොවේ. පිළිතුර එයයි. බුදුසරණ ඉදිරි ගමන පෙළගස්වන ඉඟිය විශේෂයෙන් ලේඛකයින් හඳුනාගත යුතුය.

වාර්තාමය ස්වරූපයෙන් ඔබ්බට ගිය බොදු මනස සම්මර්ශනයකට යොමුකරන ලේඛන වලට වඩා දහම් කරුණු ඉගැන්වීමට යන පෙළපොත් සේ, නිබන්ධන සේ, රචිත, බෞද්ධ ශාස්ත්‍රිය ලිපි කොතෙකුත් පළවේ. මේ කරුණු බුදුසරණ පුවත්පතට පමණක් සීමා වුවක් නොවේ. දහම් කරුණක් සම්මර්ශනය කොට ඉන් ලබන අත්දැකීම පාඨකයා වෙතට දීමට අද බොහෝ ලේඛනත්, දේශනත් සමත් නොවේ. බෞද්ධයාගේ මානසික තත්ත්වය උසස් කිරීමට දේශනයත්, ලේඛනයත් නව ආරක්ගත යුතු බවයි, අප මේ කියන්නට උත්සාහ කරන්නේ. ලෝකයත් සමඟ සසඳන කල බෞද්ධ ජන විඤ්ඤාණය ඉහළ තැනක පවතී.

ශාස්ත්‍රීය විෂයානුබද්ධ ඥානය සේ ම,දේශපාලන, පරිගණක නව තාක්‍ෂණ ශිල්ප, ආර්ථික විශේෂඥතා ක්‍රීඩා, වෛද්‍ය, රසායන, යුද්ධ ශිල්පාදී කවර අංශයක වුවද සිංහලයා අද ලෝකයේ ඉදිරි පෙළ අසුනේමය. අන්‍ය ආගමිකයින් හා උරගා බලන කල ලාංකීය බෞද්ධයාගේ ත්‍රිපිටකය හා බැඳුණු දහම් දැනුම ද උසස්ය. ඒ ගැන විවාදයක් නැත. බෞද්ධයා ඔසවා තැබිය යුතු ඊළඟ පියවර ගැනයි මේ සංවාදය. ලාංකීය බෞද්ධයාගේ දහම් දැනුමත්, ආගමට නැඹුරු වීමත්, අගය කළ යුතුය.මේ පසුබිම ඇති කිරීමට ලේඛකයින් , දේශකයින් වෙහෙස නොගත් බවත් නොකියමු.

භ ාවනාවෙන් ලබන අත්දැකීමක් වචනයෙන් කීම අසීරුවන්නාසේ, දහම් දැනුම දීමට ශාස්ත්‍රීය ලිපි ලියනවාට වඩා, දහමින් පොහොසත් සම්මර්ශන ඥාන ගවේෂණයක යෙදෙන විදග්ධ බෞද්ධයින් අරමුණු කොට ලේඛනයේ යෙදීම එතරම් සූකරද සරල ද නොවේ.

එනමුදු බුදුසරණ කතුතුමනි, මේ අසිරු වූ කාලීන අවශ්‍යතාව සපුරාලීමට එහිලාද පෙරමුණ ගත යුතුය. එවන් ලේඛන වලට ඉඟිකොට, අතවනා , මඟ පෙන්වා ඇති මුත් ලේඛකයින්, පාඨකයින් අවධි නොවූයේ ඇයි? යන ගැටලුව ද අප හමුවේ වෙයි. සාරධර්ම සෝදා පාළුවෙන් නග්න වන සමාජයේ ලේඛකයින්, පාඨකයින් විශෝධනය කොට ඔසවා තැබිය යුත්තේත්, මඟ පෙන්විය යුත්තේත්, කතුවැකි තුළින්ම යැයි කීමට ඉඩ දෙනු මැනවි.

කතුවැකි එකක් හෝ ඔබේ අවධානයට යොමු කිරීමෙන් කියන්නට තතනන කරුණු වියත් අප සහෘදයන්ට පහසුවෙන් වැටහේවි.

“බෞද්ධ වූ අප කොතනද යන්න පෙන්වන්නකි. 2009.05.08 දිනැති “ තමාගේ හතුරා තමාමය “ යන කතුවැකිය. මෙරට විසූ පඬිරුවනක් වන ගණේගම සරණංකර නා හිමියන් ගේ 1973 පළවූ කෘතියක් අගය කරමින් එයින් උපුටා දැක්වීමක් මෙසේය.

“මේ රටේ බෞද්ධයින් දැනට බුද්ධාගම අදහාගෙන යන කාලයෙන් පෙනී යන්නේ වැඩිකල් නොගොසින් බුදුන් වහන්සේ බලාපොරොත්තු වුදාට වඩා හාත්පසින් වෙනස් වු ඇනහිලි, ක්‍රමයක් බවට බුද්ධාගම පරිවර්තනය වන බවයි.”

අද මේ මෙසේ වී නැද්දැයි කතුවැකියෙන් ප්‍රශ්න කරයි.

“ජිගච්ඡා පරමා රෝගා “ 2010.03.23 දිනැති කතුවැකිය පසුගිය දිනක මව විසින්ම කළු ගඟට දරුවෙකු විසි කිරීමේ පුවත අරබයායි. ලෝකයාගේම අවධානය පැතිකඩ කීපයකට එයින් යොමු කරයි.

මවු සෙනහසේ උත්තරීතර භාවය මෙසේ කෙලසුනේ ඇයි කියන පැනය අසයි. සාරධර්ම පිරිහීමට දරිද්‍රවතාව හේතුවන බවත්, අප රටේ සමාජ සත්කාර ආයතන වල නිදිබර ඇස් අවධි කරවීමත් කතුවැකියෙන් කර ඇත. අද සඳරුවන් නැතිමුත්, හෙට දින පුෂ්පලතාලා සඳරුවන්ලාගේ රැකවරණය කා අතේද?

ළදරු මරණයකින්, සිර මැදිරියකින් සමාජ අර්බුද අවසන් නොවන බව කතුවැකිය අපිට කියයි.

බෞද්ධකම කොයිබටද? මවුකම කොයි බටද? යන කරුණ සම්මර්ශනයටයි දහසක් කතුවැකි අතරින් උක්ත කතුවැකි දෙක උධෘත කළේ.

විමසන්නට, විමසිලිමත්වන්නට ලියන දේ තුළ යමක් තිබිය යුතුය.බෞද්ධ ඔබ විමසන්නේ දේශනයෙන්, ශ්‍රවණයෙන් ,සජ්ඣායනයෙන්, සම්මර්ශනයෙන්, භාවනාවෙන් නිවන දෙසට යන පාරය. ඒ වැඩිදුරක නොවේවා!

සමාජගත දුකෙන් මිදීමට මෙන්ම සංසාර ගත දුක නම් වු පංච උපාදානස්කන්ධ දුකෙන් මිදීමටද ඔබ ලියන අකුර හේතුවේවා

පොසොන් පුර පසළොස්වක පෝය

පොසොන් පුර පසළොස්වක පෝය ජූනි 25 වන දා සිකුරාදා අපරභාග 04.14 ට ලබයි.
26 වනදා සෙනසුරාදා අපර භාග 5 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූනි 25 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය
ජූලි 04 වනදා
ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජුනි 25

Second Quarterඅව අටවක

ජූලි 04

New Moonඅමාවක

ජූලි 11

First Quarterපුර අටවක

ජූලි 18

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]