UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

මහාවංසය හා මහින්දාගමනය

මෙම ශිලා ලේඛනය අනුව අශෝක රජු ප්‍රකාශ කරන ආකාරයට ධර්මවිජය ප්‍රතිපත්තිය පහදන ධර්මදූත පිරිසක් ක්‍රි. පූ. 260 දී ලංකාවට පැමිණ ඇත. මෙම ප්‍රතිපත්තිය තවදුරටත් ක්‍රියාත්මක කරමින් අසල්වාසී රාජ්‍යවලට වෛද්‍ය පහසුකම්ද සපයා ඇත. මනුෂ්‍යයින් සඳහා පමණක් නොව සතා සිවුපාවුන් උදෙසා ද බෙහෙත් ද්‍රව්‍ය යැවූ රටවල් අතර ශ්‍රී ලංකාවද අයත් ය. ඒ බව කාල්සි 2 ලිපියෙහි හා ෂාබස්ගර්හි ලිපියෙහි ද සඳහන්ව ඇත. ‘දේවානම්පිය පියදසී රජහුගේ සෑම විජිතයෙහිද සොළී, පාඬි, සත්‍යපුත්‍ර, කේරළ පුත්‍ර, තාමුපර්ණී යන සාමන්තර රාජ්‍යවලද අන්තියෝග යොන් රජුහුගේ රාජ්‍යයෙහිද හා ඒ අන්තයෝග යොන් රජහුගේ සියලුම රජුන්හට අයිති රටවල්ද දේවානම්පිය පියදසී රජුහු විසින් මනුෂ්‍ය චිකිත්සාය, පශු චිකිත්සාය යි දෙවදෑරුම් වූ චිකිත්සාවක් සලස්වන ලදී.

ඉන්දියාවේ ධර්මාශෝක අධිරාජ්‍යයාගේ කාලවකවානුවේදී ධර්මදූත කණ්ඩායම් දෙකක් අවුරුදු දහයක් තුළදී ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවට කරුණු ඉතිහාසගත වී තිබේ. මින් පළමු ධර්මදූත පිරිස අශෝක රජුගේ රාජභිෂේකයෙන් 08 වැන්නේදී ද, දෙවන පිරිස රාජාභිෂේකයෙන් 18 වැන්නේ දී ද පැමිණ ඇත. අශෝක රජු තම රාජාභිෂේකය ක්‍රි.පූ. 268 දී පවත්වා තිබේ. ක්‍රි.පූ. 260 දී පිහිටු වනු ලැබූ ගිරිනාර් 13 ලිපියෙහි ඔහු දක්වා ඇත්තේ රාජාභිෂේකයෙන් 08 වැනි වර්ෂයේදී කාලිංග යුද්ධය කළ බව හා ඉන් ඇති වූ මනුෂ්‍ය ඝාතනය හේතුවෙන් දිග්විජය අත්හැර ධර්මවිජය ප්‍රතිපත්තිය තමන් අනුගමනය කරන බවය.

ඊට අදාළව අසල්වාසී රාජ්‍ය වෙත ධර්ම දූතයන් පිටත්කර ඇති බවද පවසයි. මෙලෙස ධර්ම දූතයින් පිටත්කර යැවූ රටවල් පිළිබඳව එහි මෙලෙස දක්වා ඇත.

‘අංති යොගෙනා චතාලි ලාජිනා තුලමයෙ නාම අංතෙකිනෙ නාම මකා නාම අලිකය ෂුදලෙ නාම නීචම් චොඩා පංටියා අවං තංබපංනියා හෙවා මෙවා’ යනුවෙනි. මිසරයේ ටොලමි පිලඩෙල් පස් (ක්‍රි.පූ. 285 - 247) සිරියාවේ හා බටහිර ආසියාවේ ඇන්ටියාකොස් තියොස් (ක්‍රි.පූ 261 - 246) උතුරු අපි‍්‍රකාවේ සයිරන් හි මගාස් (ක්‍රි.පූ 285 - 258) මැසිඩෝනියාවේ ඇන්ටිගෝනස් ගොනාස් (ක්‍රි.පූ. 277 - 239) උතුරු මැසිඩෝනියාවේ එපිරස් හි ඇලෙක්සැන්ඩර් (ක්‍රි.පූ. 277 - 255) සහ චෝල, පාණ්ඩ්‍ය, තම්බපණ්ණිය මෙලෙස ධර්මදූත කණ්ඩායම් යැවූ රටවල් ය.

මෙම ශිලා ලේඛනය අනුව අශෝක රජු ප්‍රකාශ කරන ආකාරයට ධර්මවිජය ප්‍රතිපත්තිය පහදන ධර්මදූත පිරිසක් ක්‍රි. පූ. 260 දී ලංකාවට පැමිණ ඇත. මෙම ප්‍රතිපත්තිය තවදුරටත් ක්‍රියාත්මක කරමින් අසල්වාසී රාජ්‍යවලට වෛද්‍ය පහසුකම්ද සපයා ඇත. මනුෂ්‍යයින් සඳහා පමණක් නොව සතා සිවුපාවුන් උදෙසා ද බෙහෙත් ද්‍රව්‍ය යැවූ රටවල් අතර ශ්‍රී ලංකාවද අයත් ය. ඒ බව කාල්සි 2 ලිපියෙහි හා ෂාබස්ගර්හි ලිපියෙහි ද සඳහන්ව ඇත. ‘දේවානම්පිය පියදසී රජහුගේ සෑම විජිතයෙහිද සොළී, පාඬි, සත්‍යපුත්‍ර, කේරළ පුත්‍ර, තාමුපර්ණී යන සාමන්තර රාජ්‍යවලද අන්තියෝග යොන් රජුහුගේ රාජ්‍යයෙහිද හා ඒ අන්තයෝග යොන් රජහුගේ සියලුම රජුන්හට අයිති රටවල්ද දේවානම්පිය පියදසී රජුහු විසින් මනුෂ්‍ය චිකිත්සාය, පශු චිකිත්සාය යි දෙවදෑරුම් වූ චිකිත්සාවක් සලස්වන ලදී. මිනිසුන්ට හිතවත් වූත්, තිරිසනුන්ට හිතවත් වූත් ඖෂධ වර්ග යම් යම් තැනෙක්හි නොවී නම් ඒ ඒ සියලු තැනට යවන ලදී. ඒ ඒ තන්හි රෝපණය කරන ලදී. එසේම මුල් ජාති, ඵල ජාති යම් තැනෙක්හි නොවීනම් ඒ ඒ සියලු තැනට යැවීමද ඒ ඒ සියලුම තැන්හි රෝපණය කරන ලදී’. (කාල්සි 02 ලිපියෙනි)

තමා විසින් යුක්තිය හා සාධාරණත්වය උදෙසා කරන කටයුතු අන්‍යයන්ට දැන ගැනීමට සැලැස්වීමද එසේම තමන්ගේ මහත් වූ පොදු සමාජ සේවා කටයුතු හා සදාචාර වර්ධනය කටයුතු ද කරගෙන යන අතරතුර ශ්‍රී ලංකාද්වීපය වැනි අසල්වාසී රාජ්‍යයන්ටත් බුදුදහම හඳුන්වා දිය යුතු යැයි අශෝක රජු කල්පනා කරන්නට ඇත. මෙම ධර්මදූත ප්‍රතිපත්තිය කිසිදු ආගමකට විශේෂ කොට කරනු ලැබුවක් නොව යුද්ධ කෝලාහල අතහැර අනුකම්පාව පදනම් කොට ඇති කරනු ලැබූ විශ්ව සාධාරණ ධාර්මික ප්‍රතිපත්තියකි.

මහාවංසයේ දක්වා ඇති ආකාරයට ශාසනයේ ඇති වූ අර්බුදකාරී අවස්ථාවකින් පසු පැවැත්වූ තෙවන ධර්ම සංගායනාවෙන් අනතුරුව මහින්ද මහරහතන් වහන්සේ ප්‍රධාන පිරිස ශ්‍රී ලංකාවට පැමිණ ඇත. අශෝක අධිරාජ්‍යයාගේ රාජභිෂේකයෙන් 09 වැන්නේ දී පැන නැගුණු ශාසන අර්බුදය වර්ෂ 07 ක් කල් පැවති බව සඳහන් ය. එහිදී තෙවන ධර්ම සංගායනාව සිදුවිය. බුද්ධ වර්ෂ 234 ක් වූ දුරුතු මැදි පොහෝදින ආරම්භ වූ සංගායනාව නව මසක් මුළුල්ලෙහි පවත්වා රාජභිෂේකයෙන් 17 වැන්නේ දී බු.ව. 235 වප් මැදි පොහෝ දින නිමවන ලදී. බෞද්ධ ධර්මදූත කණ්ඩායම් ද පිටත්කර හරින ලද්දේ ය. සංගායනාවෙන් අනතුතරුව විවිධ රටවලට ගිය ධර්මදූත පිරිස්වල කාර්යභාරය වූයේ බුදුදහම ප්‍රචාරය කර හැරීමයි. මේ අනුව මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රධාන පිරිස අශෝක රජුගේ අභිෂේකයෙන් 18 වැන්නේ දී ශ්‍රී ලංකාවට වැඩම කළහ.

මෙලෙස සංවිධානාත්මක ලෙස ලක්දිව බුදුසමය පිහිටුවීම ඇතිවූයේ අශෝක රජුගේ ධර්මවිජය ප්‍රතිපත්තියේත්, තෙවැනි සංගායනාවේදී ප්‍රධාන තැනක් ගත් මොග්ගලීපුත්ත තිස්ස හිමියන් ප්‍රධාන භික්ෂූන් වහන්සේලාගේ ධර්මදූත ප්‍රතිපත්තියේත් බලපෑමෙන් බව ප්‍රකාශ කළ හැකි ය.

ලක්දිව තිස්ස රජු හා ඉන්දියාවේ අශෝක රජු සම්බන්ධය අනුව ලැබුණු ධර්මවිජය පණිවුඩය අනුව බුදුදහම සංවිධානාත්මක ලෙස පිහිටුවීමට අනුබලයක් විය. එහෙත් මොග්ගලීපුත්තතිස්ස ආදී භික්ෂූන් වහන්සේලාගේ ධර්මදූත ව්‍යාපාරයේදී මහින්ද හිමියන් ලංකාවට ධර්මදූතයෙකු වශයෙන් එවීමට හේතුවූයේ අශෝක රජු හා තිස්ස රජු අතර පැවති මිතුරු සම්බන්ධයැයි කිව හැකිය.

මහාවංසයේ දක්වෙන තොරතුරු අනුව මිහිඳු හිමියන් ලංකාවට පැමිණ ඇත්තේ අශෝක රජුගේ රාජාභිෂේකයෙන් 18 වැන්නේ වන අතර තිස්ස රජු රජ බවට පත්ව ඇත්තේ ද එම වර්ෂයේදී ය. තිස්ස රජු අශෝක රජුගේ ‘අදෘෂ්ට මිත්‍රයෙකු’ බවද සඳහන් ය.

ඓතිහාසික කරුණු අනුව ඉතා පැහැදිලිව සඳහන් කළ හැක්කේ ක්‍රි.පූ. 260ට පූර්වයෙන් එනම් කාලිංග යුද්ධයට පෙර අශෝක රජු දිග් විජය ප්‍රතිපත්තිය අනුගමනය කළ බවය. එබැවින් ක්‍රි.පූ. 260 දී කාලිංග යුද්ධයට ප්‍රථම අශෝක රජු අන්‍ය රජුන් හා මිත්‍ර සම්බන්ධතා ගොඩනගා ගන්නා ලදැයි සිතීම උගහටය.

මින් පෙනෙන්නේ අශෝක හා තිස්ස අතර ගොඩනැගුණු මිත්‍රත්වය, රාජ්‍යතාන්ත්‍රික මිත්‍රත්වයක් බවත් එය සිදු වූයේ අශෝක රජු ස්වකීය ගිරිනාර් ලිපිය මගින් ප්‍රකාශ කරන ආකාරයට ක්‍රි. පූ. 260 දී බවය.

මහින්දාගමනය පිළිබඳව දීපවංශයෙහි අන්තර්ගත තොරතුරු අනුව මිහිඳු හිමිපාණන් ලක්දිවට වැඩම කළේ තිස්ස රජුගේ රාජ්‍යයෙන් 12 වර්ෂයක් හා 07 මසක් ගිය තැනේදී බව මුඛ පරම්පරාගත පැරණි පුවතක්ද වෙයි.

‘තිස්ස ස්සම අභිසිත්තෙ සත්ත මාසෙ අනූනකෙ මහින්දො ද්වාදසෙ වස්සෙ ජම්බුදීපා ඉධාගතා (දීප වංශය - 12 පරිච්ඡේදය 39 ගාථාව)

දීප වශංයෙහි දැක්වෙන මෙම සඳහන අනුව මිහිඳු හිමියන් ලක්දිවට වැඩම කරන විට තිස්ස රජු රජකමට පත්ව අවුරුදු දොළොසක් හා මාස හතක් ඉකුත්ව තිබුණේ නම් ඔහු රජ බවට පැමිණවිය යුතුව තිබුණේ ක්‍රි.පූ. 263 දී වෙයි. අශෝක හා තිස්ස අතර ක්‍රි.පූ 260 දී ධර්මවිජය මිත්‍රතා ගොඩනැගුණු බවට වංශකථාවන්හි ‘අදෘෂ්ට මිත්‍ර’ පාඨය කරුණු තහවුරු කෙරෙන බැවින් දීපවංසයේ මෙම පාඨය ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් ලෙස ඉස්මතු වෙයි.

ලංකාවේ වංශකතා රචනා වීමට පෙර ඒවා මුල් ඉතිහාසයේ මුඛ පරම්පරාගතව තිබීම හේතුවෙන් අශෝක රජුගේ ධර්ම විජය ක්‍රියාවලියත් ලංකාවේ බුද්ධ ශාසනය පිහිටුවීමේ ක්‍රියාවත් යන ව්‍යාපාර දෙක එකට පටලවා ගෙන ඇති බවට කරුණු පැහැදිලිව පෙනේ. මේ අනුව විමර්ශනශීලිව බැලීමේදී පෙනී යන්නේ සමකාලීන ව්‍යාපාර දෙකම එක්කොට වංශකතාකරු එක් සටහනක් නිර්මාණය කොට ඇති බවයි. මෙලෙස එක් සටහනක් නිර්මාණය කිරීමට යාමේදී අශෝක රජුගේ ධර්මදූත මෙහෙවර මගින් ගොඩනැගුණු අදෘෂ්ට මිත්‍රත්වය මූලික කොට ගැනීම තුළින් පසුකලෙක සිදු වූ බෞද්ධ දුත මෙහෙය ඒ වෙනුවට ඉදිරිපත් කර දක්වමින් කරුණු පටලවා මෙම ඓතිහාසික සිද්ධිය වාර්තාගත කොට ඇති බව පැහැදිලි වේ.

මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරීන් හෙළිකළ අන්තර්කාලීන ශිලා ලිපි අනුව උත්තිය රජු දවස මහින්දාගමනය සිදුව ඇති බව මේ වනවිට හෙළිදරව් වී ඇත. මිහිඳු හිමියන් වැඩ විසූ මිහින්තලයේ ලෙන් ආශි‍්‍රත ආදිතම ශිලා ලිපි තිස්ස රජුට අයත නොවීමත් ඒවා උත්තිය රජුගේ වීමත් මෙහිලා සුවිශේෂයෙන්ම සඳහන් කළ යුතු කරුණකි.

පොසොන් පුර පසළොස්වක පෝය

පොසොන් පුර පසළොස්වක පෝය ජූනි 25 වන දා සිකුරාදා අපරභාග 04.14 ට ලබයි.
26 වනදා සෙනසුරාදා අපර භාග 5 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූනි 25 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය
ජූලි 04 වනදා
ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජුනි 25

Second Quarterඅව අටවක

ජූලි 04

New Moonඅමාවක

ජූලි 11

First Quarterපුර අටවක

ජූලි 18

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]