UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පාරමී ධර්ම

බුදු දහමේ ඉගැන්වෙන දාන, සීල ආදී පාරමී ගුණ මිනිස් ජීවිත හැඩගස්වා ගැනීම සඳහා යොදාගැනීම තුළින්, මෙලොව මෙන්ම පරලොව ද යහපත් කර ගත හැකි ය. පෞද්ගලික ජීවිතය බැබළීමට පත් කරවන, කිතු ගොස විහිදුවන, උත්තරීතර පාරමී ගුණධර්ම, සසර දුක් නසා ලෝකෝත්තර සැපත වූ, නිවන් මඟට එළඹීමේ දොරටු විවෘත කර දෙයි.

මිනිස් ලොව ජීවත්වන කොයි කවුරුත්, තම තමන්ගේ ජීවිත උසස් තත්ත්වයකට පත් කර ගැනීමට කැමැති ය. එය ධන බලයෙන්, නිල බලයෙන්, උගත්කමින් හෝ ගුණවත් බවින් ලබන උසස් බවක් විය හැකි ය. එසේ කුමන ක්‍ෂේත්‍රයකින් හෝ උසස් බවක් හිමිකර ගැනීමට නම්, ඒ සඳහා දීර්ඝ කාලයක් තිස්සේ, ක්‍රමවත් ක්‍රියා මාර්ගයක් අනුගමනය කරමින්, උද්යෝගීවත්ව, ඇපකැපවීමෙන් යුතුව ක්‍රියා කළ යුතු වේ. එසේ ක්‍රියාත්මක වන පුද්ගලයාට තමාගේ අරමුණ සාර්ථක කර ගැනීමට හැකිවෙයි.

තුන් ලොවටම අති ශ්‍රේෂ්ඨ තත්ත්වය, ලොවුතුරු බුද්ධත්වය ලැබීම ය. නමුත්, එය ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. ඒ සඳහා ඉමහත් වෙහෙසක් දරමින් සුවිශේෂ ගුණ දම් රැසක් පුරමින් සාරසංඛ්‍යා කල්ප ගණනක් මුළුල්ලේ සසර සැරි සැරීමට සිදුවන අන්දම, බුදු දහමේ දැක්වෙයි. එම ක්‍රියා මාර්ගය, පාරමිතා (පාරමී) ධර්ම නමින් හැඳින්වෙයි. මෙකී ගුණ සමුදාය ඒවා පිළිපදින තැනැත්තා, පරම (ශ්‍රේෂ්ඨ) තත්ත්වයට පමුණුවාලන බැවින් ද, සසර නමැති සාගරයෙහි පරතෙර වූ නිවනට යොමු කරවන බැවින් ද, පාරමිතා (පාරමී) නම් වෙයි.

සම්මා සම්බුද්ධත්වය පතන බෝධිසත්වයන් වහන්සේ, තම අති දුෂ්කර අරමුණ ඉටුකර ගැනීම සඳහා, පුරන පාරමිතා දහයක් බුදු දහමේ දැක්වෙයි. ඒ මෙසේ ය.

දානං සීලංච තෙක්ඛම්මං
පඤ්ඤා විරියෙන පංචමං
ඛත්ති සච්ච මදිට්ඨානං
මෙත්තුපෙක්ඛා ඉමෙ දස

(දාන, සීල, නෙක්ඛම්ම, ප්‍රඥා වීර්යය ඛන්ති, සච්ච, අධිෂ්ඨාන, මෛත්‍රී, උපේක්‍ඛා)

මෙම සෑම පාරමිතා ධර්මයක්ම පාරමී, උප පාරමී පරමත්ථ පාරමී යනුවෙන් කොටස් තුනකට බෙදෙන අතර ඒ අනුව පාරමිතා තිහක් වේ. පාරමී යනුවෙන් භෞතික ධන සම්පත් අඹු දරුවන් ආදී සියලු බාහිර වස්තු සමූහය, නිරපේක්‍ෂකව බුද්ධත්වය පතා කැපකිරීම් හැඳින්වේ. උපපාරමී යනුවෙන් දැක්වෙන්නේ තම ඇස්, කන්, අත, පය, වකුගඩු ආදී ශරීරාංග ගැන අපේක්‍ෂාවෙන් තොරව පාරමී පිරීමයි. තම සම්පූර්ණ ජීවිතයම කැපකිරීම, පරමත්ථ පාරමිතාවයි.

බුදු දහමේ ඉගැන්වෙන දාන, සීල ආදී පාරමී ගුණ මිනිස් ජීවිත හැඩගස්වා ගැනීම සඳහා යොදාගැනීම තුළින්, මෙලොව මෙන්ම පරලොව ද යහපත් කර ගත හැකි ය. එබැවින්, ඒවා වෙන වෙනම අධ්‍යයනය කිරීම වැදගත් වෙයි. දානය මෙලොව පරලොව හිත සුව සලසන පින්කමක් වන අන්දම තේරුම් ගෙන දන්දීමෙන් මෝහය දුරු වෙයි. අභ්‍යන්තර සංවරය ඇති වී බෝධිසත්ව ගුණෝපේත චින්තනයක් සඳහා පදනම වැටෙයි. සීලය නිසි අයුරු රකින විට සිත කය වචනය සංවරව හික්මීම ගෙන දෙයි. පස්කම් සැප කෙරෙහි දක්වන, ආශාව සත්ත්වයාගේ සසර ගමන දිගු කිරීමට, ඔහු සසර බැඳ තැබීමට හේතුවන ප්‍රධාන වන ක්ලේශයකි. එබැවින්, පස්කම් සැප කෙරෙහි දක්වන ආශාව, ඇල්ම දුරුකොට, කම්සැප විඳීමෙන් ඈත්වීම නිවන් මඟ හෙළි කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය ය.

හරි වැරැදි තේරුම් ගෙන, නිවැරැදි මඟෙහි ගමන් කිරීමට ප්‍රඥාව මහෝපකාරී වෙයි. ප්‍රඥාවෙන් තොර බුදු දහමක් නැති අතර භාග්‍යවතුන් වහන්සේ දේශනා කර වදාළේ ස්වකීය ධර්මය ප්‍රඥාවන්තයන් සඳහා මිස අඥානයන් සඳහා නොවන බවයි. එක් එක් තැනැත්තා තම නුවණ දියුණු කර අවබෝධ ලබා ගත යුතු ය.

චින්තනයෙන් නුවණ දියුණු කර ගත හැකි ය. එසේ දියුණු කර ගත් නුවණ චිත්තාමය පඤ්ඤා යනුවෙන් හැඳින්වෙයි. කියැවීම, ශ්‍රවණය ආදිය තුළින් සුතමය ඤාණය වර්ධනය වෙයි. භාවනාව මඟින් දියුණු කර ගන්නා නුවණ භාවනාමය පඤ්ඤා නමින් හැඳින්වෙයි. මෙසේ වර්ධනය වූ ප්‍රඥාවන්ත බව ජීවිතය ආලෝකවත් කරවයි, බබළවයි.

පුද්ගලයකු විසින් ලැබිය යුතු දියුණුව ආධ්‍යාත්මික හා බාහිර වශයෙන් දෙවැදෑරුම් වේ. ඒ සඳහා කුසීතකම් ඉවතදමා උද්යෝගීමත් තැනැත්තකු බවට පත්කරවාලීමට ඉවහල් වන්නේ වීර්යයි. වීර්යයවන්ත පුද්ගලයා දියුණුවට පත්ව සාර්ථක සමාජ ජීවිතයක් ගත කරයි.

මේ සඳහා ඔහු සතු ආරම්භය, ඉදිරිපත් වීම, නිරතවීම යන ත්‍රිවිධාකාර වීර්යය මහෝපකාරී විය. ඉතා සුළු දෙයට පවා කෝපවී විශාල කරදර ඇති කර ගැනීම බොහෝවිට සමාජයේ දක්නට ලැබෙන දුර්වලතාවයකි. ඒ හේතුවෙන් ගමේ, රටේ, සමාජයේ සාමය තුරන්ව යනු ඇත. මේ තත්ත්වය මැඩපවත්වාගෙන සහජීවනයෙන් ක්‍රියාකිරීම ඛන්ති (ඉවසීම) ගුණයෙන් යුතු පුද්ගලයාගේ සිරිතයි. ඉවසීමට පුරුදු වූ පුද්ගලයා සමාජය සමඟ ආරාවුල්, වියවුල්, ගැටුම් ආදිය ඇති කර නොගන්නා අතර සැනසිල්ලේ ජීවත් වේ. බෞද්ධ ප්‍රතිපදාව (සච්ච) සත්‍ය ගවේෂණය අරමුණු කර පිළියෙළ වූවකි. ඒ අනුව බෞද්ධයා සත්‍යවාදියකු විය යුතු ය. ඒ අනුව ප්‍රතිපත්තිගරුක බෞද්ධයා කිසිවිටෙක බොරු නොකියයි.

පොරොන්දු කඩකිරීමෙන් හා අනුන් රැවටීමෙන් වළකියි. පන්සිල්වල ඇතුළත් හතරවන ශික්‍ෂාපදය රැකීමෙන් මෙම ගුණාංගය (සච්ච) ආරක්‍ෂා කළ හැකි වේ. අධිෂ්ඨානය යනු කිසියම් අරමුණක් ඉටු කර ගැනීම සඳහා ඇති කර ගත් සිත වෙනස් නොකොට ඒ අයුරින්ම පවත්වා ගෙනයමින් ක්‍රියාත්මකවීමයි. මෙම ගුණාංගය වඩන පුද්ගලයා ලෞකික ජීවිතය දියුණුවට පත් කර ගන්නා අතර ආධ්‍යාත්මික ගුණවගාවෙන්ද උසස් දියුණුවක් අත්පත් කර ගනී. බෞද්ධ ප්‍රතිපත්තිය තමා කෙරෙහි දක්වන හිතවත්කමට සමාන හිතවත්කමක් සියලු සත්ත්වයා කෙරෙහිම පතුරුවාලීමයි.

මේ ගුණය මෛත්‍රී (මෙත්තා) ගුණය යනුවෙන් දැක්වේ. මෛත්‍රිය වඩන උතුමෝ, හිතවත් අහිතවත්, සතුරු මධ්‍යස්ථ ඇදී හැමදෙනා කෙරෙහිම සිත, කය, වචනය යන තුන්දොරින්ම, හිත සුව පතති. භාවනාවක් වශයෙන් ප්‍රගුණ කරති. උපේක්‍ෂාව යනු පි‍්‍රයමනාප අපි‍්‍රය හා අමනාප ලෙස සැලෙන සියලුම පුද්ගලයන් වස්තූන් කෙරෙහි සම සිත් ඇති කර ගැනීමයි. එවැනි පුද්ගලයෝ සමාජයේ පැසසුමට මෙන්ම ජනපි‍්‍රයභාවයට පත්වෙති. බුදුදහමේ ඉගැන්වෙන පාරමිතා ගුණධර්ම පෘථග්ජන මිනිසාගේ ලෞකික ජීවිතය හැඩගස්වා ගැනීම උදෙසා යොදා ගත හැකියි.

මෙකී අති උතුම් ගුණ සමුදාය ස්වීයත්වයෙන් තොරව දයාව, කරුණාව, ආදරය පෙරටු කොටගෙන සමාජය සනසවා යහපත උදාකිරීමට භාවිතා කළ හැකි ය. දාන සීල ගුණධර්ම ජීවිතයේ පදනම බවට පත්කරගනිමින් අත්‍යප්තිකර ලෙස කම්සැපෙහි ඇලීම වළක්වා සුචරිතවත් කරයි. ප්‍රඥාව වර්ධනය වූ මිනිසා වරද නිවරද මනාව අවබෝධ කර ගනිමින්, සමාජයට යහපතම ඉටු කරයි. අලසබවින්, කුසීතකමින් මිනිසා මුදා, උද්යෝගීවත් කාර්යක්ෂම, කලට වේලාවට තම කටයුතු කිරීමට ශක්තිය ලබා දෙයි.

මිනිස් සිත් සතන් තුළ, ඉවසීමේ ගුණය පුරුදු පුහුණුකොට විවිධ වූ, විෂ්ම වූ සමාජය තුළ, සුළු දෙයට පවා කිපී, අර්බුධ ඇති කර ගැනීම වළක්වා සාමකාමී බව උදාකරයි. සමාජය තුළ ව්‍යාප්තව ඇති වංකභාවය, අනුන් රැවටීම වැනි දුර්ගුණ දුරුකොට අවංක සමාජයක් බිහිකිරීම සඳහා, සත්‍යය ගරුක වීම තුළින් හැකිවේ.

ස්ථිර අධිෂ්ඨානයෙන් යුතුව යහපත් අරමුණු ඔස්සේ ක්‍රියාකාරීවන මිනිසා මෙත්තා, උපේක්‍ඛා ගුණාංගයෙන් යුතුව අසහනයෙන් මිදී, ලෞකික සැප සම්පත් තුළින් ආඪ්‍ය වේ. මෙසේ, පෞද්ගලික ජීවිතය බැබළීමට පත් කරවන, කිතු ගොස විහිදුවන, උත්තරීතර පාරමී ගුණධර්ම, සසර දුක් නසා ලෝකෝත්තර සැපත වූ, නිවන් මඟට එළඹීමේ දොරටු විවෘත කර දෙයි.

බක් අමාවක පෝය

බක් අමාවක පෝය අප්‍රේල් 13 වන දා අපර භාග 05.11 ට ලබයි. 14 වන දා බදාදා අපරභාග 05. 58 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අප්‍රේල් 13 වන දා අඟහරුවාදාය.

 මීළඟ පෝය අප්‍රේල් 21 වනදා බදාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

අප්‍රේල් 13

First Quarterපුර අටවක

අප්‍රේල් 21

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 28

Second Quarterඅව අටවක

මැයි 06

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]