UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

බුදුරදුන් පෙන්වා දුන් නිදහස

නිදහස් සංකල්පය පිළිබඳ සියලු අර්ථකථනයන් අභිබවා සර්වසම්පූර්ණ, සව¢කාලීන අමිල වටිනාකමින් යුත් ධනාත්මක චින්තන සම්ප්‍රදායක් මිනිසාට දායාද කර දෙනු ලැබුවේ අති උතුම් ගෞතම බුදුරජාණන් වහන්සේ විසිනි. ක්‍රි.පූ. හයවන සියවස කාලපරාසය තුළ මිථ්‍යාදෘෂ්ටික ආගම් 62 කින් පමණ වල්මත්ව හසරක් නුදුටු එදා භාරත සමාජයට ශාරීරික හා මානසික නිදහස අත්පත් වූයේ බුද්ධ ධර්මය තුළිනි. සාරසංඛ්‍ය කල්ප ලක්ෂයක ගුණ නුවණ පූර්ණය තුළින් සියලු යථාර්ථය විනිවිද දුටු බුදුපියාණන් මිනිසාගේ ලෞකික ලෝකෝත්තර නිදහස ජනිතවන්නේ මනෝ මූලික කුසල චිත්ත ධාරාවන් වඩා වර්ධනය වීමේ පදනම මත බව අවධාරණය කළ සේක. සියලු ලෞකික බැඳීම් වලින් තොර ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙන් යුත් මධ්‍යම ප්‍රතිපදාව නැමැති යතුර, මිනිසාගේ් සියලු බාදක දොරටු විවෘත කොට විමුක්තිය සලසා දෙනු ඇතැයි උන්වහන්සේ පැවසූ සේක.

අන්තෝජටා - බහිජටා හෙවත් අධ්‍යාත්මික හා බාහිර වශයෙන් ලොව පවත්නා සියලු අවුල් වියවුල්වලින් මිදි නිදහස් ජය මාවතේ අග්‍රඵල නෙලීමට තුඩුදෙන ප්‍රධාන සාධකය නම් මිනිසා අති උතුම් මෙම මාර්ගයට පිවිසීම බව තථාගතයන් වහන්සේ අනුදැන වදාළහ. මුලු තුන් ලෝ ධාතුව ඇතුළත් අති පුළුල් පරාසයක පැතිර පවත්නා ඒකායන සත්‍යය අනිත්‍ය, දුක්ඛ, අනාත්ම නමැති ත්‍රිලක්ෂණ ධර්මයයි. අප මෙය සරලව තේරුම් ගත් කළ පැහැදිලි වනුයේ මම, මගේ කියා අප හඳුන්වාගනු ලබන පංචස්කන්ධය හෙවත් ශරීරය සහ ඉන් පරිබාහිර රූප, ශබ්ද,ගඳ සුවඳ, රස, නීරස, ස්පර්ෂ ධර්ම සියල්ල මනෝ ධාතුව සමගින් ක්‍ෂණ භංගුර හෙවත් මොහොතින් ඇතිවී නැතිවී යන ස්වභාවයෙන් යුත් ධර්මතාවක් බවකි. මේ අනුව අප සියලු දෙනාම ජීවත්වන්නේ මායාකාරි අඳුරු ලොවක නිශ්චිත අරමුණකින් තොර අන්ධයන් පිරිසක් මෙන් බව පැහැදිලි කරුණකි.

අනන්ත භව කතර මිනිය නොහැකි දුක් කන්දරාවන් විඳිමින් මිනිසා මිරිඟුව ඔස්සේ හඹා යන්නේ අවිද්‍යා හා තණ්හාව ප්‍රධාන කොට ඇති සෘනාත්මක චින්තන මාරාවන්ගෙන් නිදහස්වීමට තම මනස යොමු නොකරන බැවිනි. මිනිසා පෞද්ගලිකව තමන්ට වින කරන මානසිකත්වයෙන් නිදහස් වූ කළ නිරායාසයෙන්ම සමාජය යහමඟට යොමුවනු ඇත. ගිහිගෙය අතහැර පැවිදිව හෝ අනගාරිකව මැඳුම් පිළිවෙතට පිවිස සීල, සමාධි, ප්‍රඥා වඩා සියලු කෙළෙසුන්ගෙන් මිදී නිර්වාණ ධර්මය සාක්ෂාත් කර ගැනීම එක් ක්‍රම වේදයකි. ගිහිව අඹුදරුවන් පෝෂණය කරමින් සමාජය තුළ දැහැමි දිවි පෙවෙතක් ගත කිරීම දෙවන ක්‍රමයයි.

මිනිසා ඇතුළු සියලු සතුන්ම නිදහස තරම් අගය කරන වෙනත් විකල්පයක් ලොව දක්නට නැත. එසේ නම් ප්‍රථමයෙන් අප කළයුතුවන්නේ තමන්ටම තමන් පි‍්‍රයමනාප වන ආකාරයට අපගේ චිත්ත චෛතසික හා කි‍්‍රයාකාරි දිවිපැවැත්ම හසුරුවා ගැනීමට උත්සාහවත්වීම බව අමුතුවෙන් කිව යුතු නොවේ. අපගේ සිත් සතන් බුදුදහමින් පෝෂණය වූ තරමට මානසික, වාචසික සහ ශාරීරික වශයෙන් අප තුළින් සම්පේ‍්‍රක්ෂණය වන හිතකාමී පාරිශුද්ධ අදෘෂ්‍යමාන කිරණ විශේෂ අප සමාජයට පමණක් නොව සමස්ත විශ්වයටම වාසනා සහිත ආශිර්වාදයක් වනු ඇත. බුදුරජාණන් වහන්සේ ප්‍රධාන මහරහතුන්වහන්සේ වැඩසිටි කාල වකවානුව තුළ දෙවි බඹුන් පමණක් නොව ස්වභාවධර්මය පවා මිනිසාගේ යහ පැවැත්ම උදෙසා මහෝපකාරී විය.

මෙම කරුණු කාරනා සාවද්‍ය හා බොළදයැයි ඉවත නොදැමිය හැකි ලෙස වත්මන් ලොව නවීන විද්‍යා පර්යේෂණ නිරීක්ෂණ, හා නිගමන තුළින් සාධක සහිතව ඔප්පු වී හමාරය. එබැවින් නූතන ලොව විද්වතුන් බුදුදහම කෙරෙහි පැහැදී ධාර්මික ජීවන පැවැත්ම කෙරෙහි වැඩි නැඹුරුවකට යොමුවන බව ජනමාධ්‍ය තුළින් අපට පැහැදිලි වන කරුණකි. ක්‍රි.ව. 2050 කාල සීමාව ළඟාවන විට මිත්‍යාදෘෂ්ටික ආගම් සියල්ල අභාවයට පත්වන අතර බුදුදහම ඉතා වැදගත් ක්‍රියාකාරී ආගමක් ලෙස ජනතා සිත් සතන් තුළ සනිටුහන් වන බවට පළ කලේ ආතර් සී. ක්ලාක් නමැති විද්වතානන්ය.

යථෝක්ත කරුණු කෙරෙහි අවධානය යොමුවන විට පැහැදිලි වන ප්‍රධාන ලක්ෂණය නම් මිනිසා ධාර්මිකවන ප්‍රමාණය අනුව ඔහුට සියලු යහපත සැලසෙන බවකි. පෘථග්ජන මිනිසා රාග, ද්වේෂ, මෝහ, ඊර්ෂ්‍යාව, ක්‍රෝධ, මදමාන, ජරා, ව්‍යාධි, ශෝක, මරණ යනාදි ගිනි එකොළසකින් දැවෙමින් අසහනකාරී ජනතාවක් බවට පත්ව ඇත්තේ සිය හදවත් ගුණනුවනින් පිරිහී ඇති බැවිනි. එවැනි සමාජයක මිනිස් හා සත්ව ඝාතන, ස්ත්‍රී දූෂණ, හොරමැරකම් සහ විවිධ දූෂණ වංචා රජයන බව රහසක් නොවේ. රට, දැය, සමය සහ බස කෙරෙහි ද්‍රෝහි සහගත මොවුන් පරගැතිබවෙන් යුතු පිටරටට ආවඩන දහවල් සිහින මවමින් සව¢පිත්තල ලොවක ජීවත්වන හරසුන් බොළඳ නාමමාත්‍රික මිනිස් පිරිසකි.

එදා හෙළ රජදවස සිංහල ජාතිය තුළින් වහනය වූ ධාර්මික නිදහස් සිල් සුවඳ පමණක් නොව පැරැණි බෞද්ධ වෙහෙර විහාර නටබුන්, වැව් හා වාරි කර්මාන්ත යනාදී සංස්කෘතික සංකේත අදත් අප තුළ ජාතිකාභිමානය දැනවීමට සමත්ව ඇත. රට කරවන නායකත්වය තුළින් රටේ සැබෑ ජීවනාලිය පිළිබිඹු විය යුතුය. ජාතියේ නිදහස් නිවහල් ශක්තිමත් ආරක්ෂිත පදනම තුළින් රට ජාතියට වින කරන විජාතික මාර බලවේග පාලනය කළ යුතුය. සාරධර්ම මූලික හර පද්ධතිය අධ්‍ය්‍යාපන, සංස්කෘති, ආර්ථික හා සමාජ ක්ෂේ්ත්‍ර තුළ ක්‍රියාකාරීවීම තුළින් ජාතික චින්තනය ජන සමාජය තුළ තහවුරු කළ යුතුව ඇත. සියලු විද්‍යුත් හා මුද්‍රිත ජනමාධ්‍ය ජාතියේ ප්‍රාර්ථනා කුළුගන්වන මුර දේවතාවන් බවට අනිවාර්යයෙන්ම පත්විය යුතුය.

මෙසේ පාලක පාලිත දෙපාර්ශ්වය සියලු වාදභේද දුරැලා සමඟි සංධානයෙන් එකමුතුව රට, ජාතිය සංවර්ධනය පිණිස කටයුතු කරනු දැක්ම අපේ පරම අභිලාෂය බව දන්වනු කැමැත්තෙමු.

නවම් අව අටවක පෝය

නවම් අව අටවක පෝය පෙබරවාරි 5 වන දා සිකුරාදා අපර භාග 5.23 ට ලබයි. 6 වන දා සෙනසුරාදා අපරභාග 05.25 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 05 වන දා සිකුරාදා ය.

මී ළඟ පෝය පෙබරවාරි 13 වන දා සෙනසුරාදා ය..


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 05

New Moonඅමාවක

පෙබරවාරි 13

First Quarterපුර අටවක

පෙබරවාරි 22

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 28

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]