ධම්මපද
සැහැල්ල - 6 වන කොටස
බණ්ඩාර මඩුගල්ලේ
උට්ඨානෙනප්පමාදෙන සඤ්ඤමෙන දමෙන ච
දීපං කයිරාථ මේධාවී -යං ඕඝො නාභිකීරති
නුවණැත්තා දිරිමත් ව - නොපමාව දවසරී - තුන් දොරින් සුසංවර - හේ පමා
නැත්තේ ය. සසර කතරේ නැගෙන කෙළෙස් සැඩ පහරකට - යට නොවී අමා මහ - නිවන
ලැබ ගන්නේ ය.
හිතවතුනි, පමා නැති - දිරිය ඇති තැනැත්තා - මේ ලොවේ ජීවිතය - සරුසාර කර
ගනී. ඒ සමග පරලොව ද - සැප ලබා ගන්නේ ය. අනතුරුව අමා මහ - නිවන වෙත
යන්නේ ය.
26. පමාද මනුයුඤ්ජන්ති බාලා දුම්මේධිනො ජනා
අප්පමාදං ච මෙධාවී ධනං සෙට්ඨංව රක්ඛති
මෝඩයෝ පමා වේ - ගිලී ගෙන පව් කරති. තැනැත්තෝ ‘නොපමාව‘ පින් දහම් කර
ගනිති.
හිතවතුනි, මෝඩයෝ - කුසලයට පමා වී - කම් සැපට ගිජු වෙමින් - දිවා රෑ පව්
කරති. නැණැති සැදැහැති දනෝ කුසලයට නොපමාව - කම් සැපට ගිජු නොවී - දිවා
රෑ පින් කරති. මේ අනුව මෝඩයෝ අපා දුක් විඳ ගනිති. නැණැත්තෝ දෙව් මිනිස්
දෙගතියේ සැප විඳිති.
27. මා පමාද මනුයුඤ්ජේථ මා කාමරති සන්ථ වං
අප්පමත්තෝ හිඣායන්තෝ පප්පෝති විපුලං සුඛං
පමා වේ නො ඇලෙන්න. කාමයේ නො ගැලෙන්න. පස් කම්හි නොගිලෙමින් - සිත
හසුරුවා ගන්න. බණ භාවනා කෙරෙහි නොපමාව යොමුවන්න. මහා සැපයක් එයින් ඔබට
අත් වන්නේ ය.
හිතවතුනි, කාමයේ - ගිලී ගත් තැනැත්තෝ - නිසැක ලෙස අති මහත් - දුකට පත්
වන්නෝ ය. නිතර ගුණ දහම් වෙත නැඹුරු වන තැනැත්තෝ - නිසැකව ම අති මහත් -
සැප අත් විඳින්නෝ ය.
28. පමාදං අප්පමාදෙන යදානුදති පණ්ඩිතො
පඤ්ඤාපාසාද මාරුය්හ අසොකො සොකිනිං පජං
පබ්බතට්ඨො ව භුම්මට්ඨෙ ධීරො බාලෙ අවෙක්ඛති
සැදැහැ ඇති නැණැත්තෝ - නොපමාව පෙරටු කොට - කුසල් රැස් කරන විට - පමා
ගති දුරස් වේ. එසේ මනසින් උසස් තැනට යන නැණැත්තෝ - පව් කරන ලෝකයා - දෙස
කුළුණැසින් බලති.
හිතවතුනි, නැණැත්තෝ - කුසලයට පමා නැත. නුවණ අඩු තැනැත්තෝ කුසලයට පමා
වෙති. පින්කරන නැණැත්තෝ පව් කාරයන් දෙසට හෙලන්නේ නිරතුරුව කුළුණුබර වූ
නෙතකි.
මතු සම්බන්ධයි
|