UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සිවුර දැකපු ගමන් ම අපට සිහියට එන්නෙ මේ අර්හත් ධජය බවයි. ඒ කියන්නෙ කායික සංවරකම, මානසික ව තැන්පත් බව සහ ප්‍රඥාව සංකේතවත් කෙරෙනව කියන එකයි. ප්‍රඥාව නිසා භික්ෂුව කිසිම දේකට ඇලෙන්නේ නෑ. උන්වහන්සේ දන්නව වෙනස් වෙන බව. හැම දේ ම ජීවත් වෙනකම් විතරයි කියන බව. ජීවිතය කියන්නෙ කිසිදාක නොසිතූ, නොපැතූ දේවල් ඕනෑ ම වෙලාවක, මොනයම් ම තැනකදී වුණත් එළඹිය හැකි විවෘත දෙයක් බව. ආශාවන්ට වහල් වුවොත් කවමදාවත් සෑහීමකට පත්වෙන්න බැරිවෙන බව.

නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
සම්බාධෝයං ඝරා වාසෝ - රජස්සා යතනං ඉති
අබ්භෝකාසෝ ව පබ්බජ්ජා - ඉතිදිස්වාන පබ්බජි
සුත්ත නිපාත මහා වර්ගය පබ්බජ්ජා සූත්‍රය

පින්වත්ති,

ඔබ හැම දෙනාමත් දන්නව සිවුර ලෝකයට හඳුන්වා දෙන්නෙ බුදුරජාණන් වහන්සෙ, මේ රටේ පුංචි ම ළමයෙක් වුනත් දන්නව සිද්ධාර්ථ කුමාරය ගිහිගෙයි කළකිරිල පැවිදි වෙස් ගත්ත කියන බව. මේ පැවිදි වෙස් ගත්තෙ කෙස් කපල තවුසන්ගෙ වස්ත්‍ර දැරීමෙන්. බුදුරජාණන් වහන්සෙගේ කාලෙ නොයෙක් ජාතියෙ තාපසයො හිටිය.

සිරුරට දුක් දීමෙන් සත්‍යාවබෝධය ලබන්න අදහස් කළ සමහරු හිටියෙ නිරුවතින්. තවත් සමහරු තණපත්වලින්, ගස් පොතුවලින් වගේ ම සතුන්ගෙ හම්වලිනුත් විළිවසා ගත්ත. මේ අතරට එකතු වෙච්ච සිදුහත් තාපසතුමාට සහම්පති මහා බ්‍රහ්මය අටපිරිකර පූජා කළ බවයි ප්‍රසිද්ධ කතාව.

සිවුර බුදුරජාණන් වහන්සෙ උන්වහන්සේගෙ ශ්‍රාවකයන්ට අනුදැන වදාළ නිල වස්ත්‍රය ලෙස අපි කෙටියෙන් මතක තියා ගනිමු. එය හදා ගැනීමට නිර්දේශ කෙරුණෙ පහසුවෙන් හොයාගන්න තියෙන රෙදි කැබලිවලින්. එදා පහසුවෙන් ම රෙදි කෑලි හොයා ගන්න තිබුණෙ අමු සොහොන්වල. නැතිනම් විසිකරපු තැන්වල වගේ ම නාන තොටුපළවල්වල. මේව කොහොමත් අපිරිසුදු කිසිම වටිනාකමක් නැති රෙදි කෑලි. ඒව එකට මූට්ටු කෙරුණෙ පිළිවෙළකට. ඒක තමයි මගධ රටේ මහ වෙල්යායෙ නියරවල් දාල තිබුණ පිළිවෙළ. ඒ විදිහටයි සිවුරකට රෙදි කෑලි එකතු කරන්නෙ. ටිකෙන් ටික කල් ගතවෙන කොට නොයෙක් අය තම තමන්ගේවත් පොහොසත්කම්වල හැටියට වටිනා වස්ත්‍ර ලබා දුන්න. හාමුදුරුවරු ඒ රෙදිවලිනුත් සිවුරු මහල පෙරෙව්වත් කවමදාවත් සිවුර පසුබිමේ තියෙන ගැඹුරු අර්ථයන් අමතක වෙන්න දුන්නෙ නෑ.

සිවුර දැකපු ගමන් ම අපට සිහියට එන්නෙ මේ අර්හත් ධජය බවයි. ඒ කියන්නෙ කායික සංවරකම, මානසික ව තැන්පත් බව සහ ප්‍රඥාව සංකේතවත් කෙරෙනව කියන එකයි. ප්‍රඥාව නිසා භික්ෂුව කිසිම දේකට ඇලෙන්නේ නෑ. උන්වහන්සේ දන්නව වෙනස් වෙන බව. හැම දේ ම ජීවත් වෙනකම් විතරයි කියන බව. ජීවිතය කියන්නෙ කිසිදාක නොසිතූ, නොපැතූ දේවල් ඕනෑ ම වෙලාවක, මොනයම් ම තැනකදී වුණත් එළඹිය හැකි විවෘත දෙයක් බව. ආශාවන්ට වහල් වුවොත් කවමදාවත් සෑහීමකට පත්වෙන්න බැරිවෙන බව. ඒ නිසා උන්වහන්සේ තුළ ඇතිවෙන්නෙ නෙක්ඛම්ම සංකල්පනා.

කාම සම්පත් හඹා නොයන කෙනෙකුගෙ සිතිවිලි. උන්වහන්සේල කාම සම්පත් අත්හැරිය, අත්හරින පැත්තට නැමුණ කෙනෙක්. තරහ සිතිවිලි නැති කෙනෙක්. ඒ වෙනුවට මෛත්‍රී සිතිවිලි වඩන කෙනෙක්. හිංසන සිතිවිලි තියෙන කෙනෙක් නෙමෙයි. කාරුණික සිතින් හැම දෙයක් ම රැකබලාගන්න සූදානම් කෙනෙක් කියන එකයි. ඉතින් බලන්න කොයි තරම් ගැඹුරු අරුතක් සිවුරකින් වටවෙලා තියෙනවද කියල.

ඔබ දන්නව නොයෙක් පරමාර්ථ මුදුන් පත්කර ගන්න ඇඳුම් සකස් කර ගැනෙනව. ඒත් සිවුර සැකසෙන්නෙ ඇඳුමකින් බලාපොරොත්තු විය හැකි මූලික ම අවශ්‍යතා ඉටුකර ගැනීමට පමණයි. ඒ තමයි සීතලෙන්, උණුසුමෙන් සිරුර රැක ගැනීම, මැසි මදුරුවන්ගෙන්, සුළඟෙන් සහ අවුවෙන් රැකවරණයක් සලසා ගැනීම, සිරුරෙහි ආවරණය කොට තබාගතයුතු තැන් ආවරණය කර ගැනීම කියන මේ කාරණා තුන, අද කාලෙ ගිහි ජනතාවගෙ ඇඳුම් විලාසිතා එක්ක ගත්තහම බලන්න සිවුර කොයි තරම් සරල ද කියල.

ඔබ දන්නව ඇඳුමෙන් කෙනෙකුගෙ රැකියාව, තරාතිරම, පන්තිය, සංස්කෘතිය, ජීවත්වන ප්‍රදේශය ආදි විස්තර දැනගන්න පුළුවනි. ඒත් සිවුරෙන් එකවර ම එහෙම කියන්නත් බැහැ. සිවුර පොරවගෙන මොනව කළත් කවුරුත් කතා කරන්නෙ හාමුදුරුවනේ කියල. අද කාලෙ භික්ෂූන් වහන්සෙල නිරත වෙන කටයුතු හරිම සංකීර්ණ වුනත්, සිවුරක් පොරව ගෙන කවර වගකීමක් දැරුවත් මූලික වශයෙන් උන්වහන්සෙ භික්ෂුවක්. ඒ නිසා අනෙක් සියල්ල ඊට දෙවෙනියි. පැවිදිකම රැකගෙන ඊට පස්සෙයි අනෙක් ඒවයේ යෙදෙන්න වෙන්නෙ.

සිවුරු පඬු පොවන්නෙ සාමාන්‍ය ගිහි වස්ත්‍රවලින් වෙනස් වෙන්න වුවමනා නිසා. පඬු පැහැය සාමාන්‍ය ව්‍යවහාරයෙන් ගත්තොත් පාණ්ඩු පාට. ඒ කියන්නෙ දැක්ක ගමන් කට ඇදවෙනව. නැවත හැරිල බලන්න හිතෙන්නෙ නෑ. ආශාවෙන්, අයිති කරගන්න, අල්ලගන්න අදහසින් බැලෙන්නෙ නෑ. එදා ඉඳල ම හාමුදුරුවන්ගෙ පාටත් එය තෝරා ගැනීමට හේතුවත් ඒකයි. හාමුදුරුවො කියන්නෙ දැනගෙන, දැකල කළකිරුණ කෙනෙක්.

අද සමහර විට අපේ තරුණ පොඩි හාමුදුරුවරු එච්චර නොහිත, කවුදෝ එක්ක අමනාපෙන් වගෙ කියනව අපි මහණ උනේ කළකිරිල නෙමෙයි කියල. බුදුහාමුදුරුවන්ගෙ කාලෙවත් හැම කෙනෙක් ම මහණ වුනේ කළකිරිල නෙමෙයි. හැබැයි උන්වහන්සෙල පැවිදි වුනාට පස්සේ ධර්මය ඇසුරු කරල ඇත්ත ඇති සැටියෙන් දැකල කළකිරුණ. සසර කතරක්, දුක් සයුරක් හැටියට දැකල කොයි අතකට ගියත් වෙහෙසෙ, පීඩාවෙ, අතෘප්තියෙ ඉවරයක් නෑ කියන එක දැකල කළකිරිල.

මාතෘකා ගාථාවෙ සඳහන් වෙන විදිහට ගිහි ගෙදර ජීවිතය සම්බාධ නැත්නම් පටලැවිලිවලින් පිරුණ එකක්. පැවිද්ද අහස වගේ නිදහස්. අමුතුවෙන් කතා කළයුතු නැහැ ගිහි ගෙදරක තියෙන පටලැවිලි. ධර්මය දැකීමට මේ සරල අත්හදා බැලීම ප්‍රයෝජනයට ගන්න පුළුවන්.

මේ සඳහා ඉතිහාස ගත ආදර්ශයක් 2003 අවුරුද්දෙ ප්‍රංශයෙදී සිදු වූ බව වාර්තා වෙනව. පළමුවෙනි දකුණු අපි‍්‍රකානු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා ලෝකෙ වැඩිම කාලයක් බන්ධනාගාරගත ව හිටිය රාජ්‍ය නායකයෙක්. එතුම නිදහස ලබල කලකට පස්සේ 2003 අවුරුද්දෙ ප්‍රංසෙට ඇවිත් තිබුණ රාජ්‍ය අමුත්තෙක් ලෙස එතුමාගෙ සහායක ධූරයට පත්කරල හිටිය ප්‍රංශ නිලධාරිය මුලින් ම අහල තියෙනව මොකද්ද එතුම වෙනුවෙන් සූදානම් වියයුතු වැදගත් ම දේ කියල. එතුමාගෙ ඉල්ලීම වෙලා තිබුණේ ‘මට නිකම් ටිකක් වාඩිවෙලා ඉන්න ඉඩ හරින්න’ කියන එකයි.

මේ ‘නිකම් ටිකක් වාඩි වීම’ අත්හදා බලපු පැරණි ම කෙනෙක් තමයි බුදුරජාණන් වහන්සෙ. සය අවුරුද්දක් දුෂ්කර ක්‍රියාකළ උන්වහන්සෙ එයින් සත්‍ය අවබෝධ කරගන්න බැරි බව දැනගත්ත ම නිකන් ටිකක් වාඩිවෙනව. ඒ කියන්නෙ ගතත් හිතත් දෙක ම සැහැල්ලුවෙන් තියාගෙන තැන්පත් වෙනව. ඉතින් මේක කාට ද කොතෙන්දී ද කරන්න බැරි? නෙල්සන් මැන්ඩෙලාට හොඳට මතකයි හිරගෙදරදි අරව මේව හිතල වැඩක් නැති නිසා, හැම ජාතියෙම සිතිවිලිවලින් හිත නිදහස් කරගෙන මේ නිකන් වාඩිවී සිටීම කොයිතරම් වාර ගණනක් කරගත්ත සුවදායක දෙයක් ද කියල.

‘නිකම් වාඩිවීම’ අපේ ගිහි පැවිදි කාගෙත් උරුමයක්. අපට හුරුපුරුදු, කවුරුත් අනිවාර්යයෙන් අත්හදා බැලිය යුතු හොඳ, දැහැමි අභ්‍යාසයක්. එතෙන්දි පුළුවනි ඉඳගැනීම අත්දකින්න.

සැහැල්ලු සන්සුන් මනස කොයිතරම් ආශිර්වාදයක් ද කියල දැනගන්න. හිත ඒ වෙලාවෙ සතුටෙන් නම් තියෙන්නෙ, බලන්න පුළුවනි කොහොම ද මේ තත්ත්වය උදාවුනේ. ඒ ස්වභාවය හිතේ දිග්ගස්ස ගන්න අනුගමනය කළයුතු පිළිවෙළ මොකද්ද කියලා. නිස්කලංකව දැකල, සතුටු සිතක් නඩත්තු කරගන්න කටයුතු කරන්න. හිත තියෙන්නේ නොසතුටෙන් නම් නොසතුට කොයි තරම් නම් අප්‍රසන්න දෙයක් ද, ඒ මානසික ස්වභාවය මතු වෙන්නෙ මොන හේතුවලින්ද කොහොමද ඒ හේතු වෙනස් කරන්නෙ කියල දකින්න. ඒ විදිහෙ අත්හදා බැලීමක් තුළින් ප්‍රසන්න, සන්සුන් මානසික පරිසරයක් ගොඩනගා ගැනෙනව නම් ඒ තමයි බෞද්ධ ජීවිතය. ඉතින් සිවුර ගැන මේ තරම් කතා කරන, මේ තරම් සිවුරුවලට අතගහන මේ දවස්වල සිවුර හා බැඳුණ ගැඹුර තේරුම් අරගෙන ගිහිපැවිදි හැම කෙනෙකුගෙ ම ආකල්පවල අවශ්‍ය තැන්වල වෙනස්කම් කරගන්න සැළකිළිමත් වුනොත් වාසනාවක්.

හැම දෙනාටම තෙරුවන් සරණයි.

ඉල්පුර පසළොස්වක පෝය
ඉල්පුර පසළොස්වක පෝය නොවැම්බර් මස 2 වනදා සඳුදා පූර්වභාග 1.52 ට ලබයි. 3 වනදා අඟහරුවාදා පූර්වභාග 00.42 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 2 වන දා සඳුදාය.

මීළඟ පෝය නොවැම්බර් 9 වනදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 02

Second Quarterඅව අටවක

නොවැම්බර් 09

New Moonඅමාවක

නොවැම්බර් 16

First Quarterපුර අටවක

නොවැම්බර් 24

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]