උපකාරක පන්ති තහනම
ඉරිදා දිනයන් හි පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීම තහනම් කැරෙන
නීති සම්පාදනය කිරීම සඳහා දැරූ උත්සාහයට වත්මන් ආණ්ඩුක්‍රම
ව්‍යවස්ථාව බාධකයක් වූයේ යැයි පසුගිය වප් පුර පසළොස්වක පොහොය
දා හොරණ ප්‍රදේශයේ විහාරස්ථානයක පැවැති උත්සවයක දී
අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා පවසා තිබේ. දරුවන්
දහම් පාසල් අධ්‍යාපනයට යොමු කිරීම පිණිස ගත් එම තීරණය,
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නැතැයි නීතිපතිවරයා විසින්
පෙන්වාදීම නිසා අතහැර දැමූ බව ද අගමැතිවරයා එහි දී ප්‍රකාශ කැර
ඇත.
එහෙත් අපට ඇති ප්‍රශ්නය නම්, ඉරිදා දිනයන්හි පෞද්ගලික උපකාරක
පන්ති පැවැත්වීම තහනම් කොට, දහම් පාසල් අධ්‍යාපනය අනිවාර්ය කළ
පමණින් යහපත් ප්‍රතිඵල ලබාගත හැකි ද යන්න ය. එ බඳු තහනමක්
ක්‍රියාත්මක කළහොත් සෑම නිවසක් ම උපකාරක පන්තියක් බවට පත්වීමට
ද ඉඩ තිබේ. එය කෙ තරම් සංකීර්ණ සමාජ ප්‍රශ්නයක් ද? දහම් පාසල්
අධ්‍යාපනය අනිවාර්ය කළ විට සියලු දරුවන්ට සම අවස්ථා ලබාදීමේ
වගකීම රජයට පැවැරේ.
අපට අවශ්‍ය බුදු දහම පිළිබඳ සම්ප්‍රදායික උගතුන් බිහි කිරීම නො
ව දැහැමි පුද්ගලයකු බිහි කිරීම ය. එය සම්ප්‍රදායික ආයතනයකින්
හෝ සම්ප්‍රදායික ගුරුවරයකුට කළ හැකි යැයි අපි නො සිතමු. බුදු
දහම ඉගැන්වීම කෙ තරම් අසීරු කාර්යයක් දැයි අවබෝධ කැර ගැනීම
පිණිස ‘මානසික සුවතාව‘ නමැති බෝගොඩ ප්‍රේමරත්න මහතා ගේ කෘතියේ
සඳහන් කරණු කිහිපයක් මෙහි උපුටා දක්වනු ලැබේ.
‘බුදු දහම ඉගැන්වීමේ එක ම අරමුණ අප ඇසුරට එන අන් අය ගේ හිත
සුවපත් කිරීමයි. ඒ සඳහා බුදු දහම උගන්වන අප ගේ සිතත් සුවපත් වූ
සිතක් විය යුතු යි. ඔබත් ඔබේ සිසු දරුවනුත්, මේ මොහොතේ එක ම
පරිසරයක රැස් වී සිටිනවා වාගේ ම එක ම මානසික පරිසරයක ජීවත් වන
තත්ත්වයක් ඇති කැර ගත යුතු යි.’
‘බුදු දහම ඉගෙනුමේ අරමුණ මානසික සුවතාව හෙවත් දුක් කරදරවලින්
හිත නිදහස් කැර ගැනීම බව කෙටියෙන් හඳුන්වන්න පුළුවන්. ස්වභාව
ධර්මයට පටහැනි ව හිත හැසිරවීම දුකට මූලික හේතුව බව කිව හැකි
යි. ඒ නිසා හිත වැඩ කරන විධි දැන හඳුනා ගෙන, හරි හැටියට හිත
හසුරුවා ගැනීමට පුරුදු – පුහුණු වීම බුදු දහම ඉගෙනුමේ අරමුණ
යි. අපේ සිසු දරුවන් දැනුම ලබා ගන්න පුරුදු වෙලා ඉන්නේ
ගුරුවරුන් කියන දේට ඇහුම් කන්දී පොත පත කියවා බලා. මේ
දෙවිධියෙන් ම කෙරෙන්නේ, තමන්ගෙ ජීවිතයට පිටින් තියෙන දේවල් ගැන
ඇහැට පේන විධියට, කනට ඇහෙන විධියට දැන ගැනීමයි. බුදු හිමියන්
මේ දේවල් හඳුන් වන්නේ ‘පරතෝ ඝෝසෝ’ කියා ය. අනුන් ගේ ‘කතාබහ’
කියන ශබ්ද ශාස්ත්‍රය හරහා ගලා එන අදහස්. මෙය බුදු දහම ඉගෙන
ගැනුම වන්නේ නැති බවත් උන්වහන්සේ අවධාරණය කොට තිබෙනවා.’
බුදු දහම ඉගෙනීම හා ඉගැන්වීම ඉතා සියුම් බුද්ධිමය ව්‍යායාමයක්
බව මේ කරුණු අනුව පැහැදිලි ය. එහෙත් දහම් පාසල් අධ්‍යාපනය සඳහා
සුදුසු ආකෘතියක් ගොඩනැඟීමට අප තවමත් සමත් ව නොමැත. එ සේ තිබිය
දී දහම් පාසල් අධ්‍යාපනය අනිවාර්ය කළ පමණින් යහපත් ප්‍රතිඵල
බලාපොරොත්තු විය නො හැකි ය.
මෙහි දී අවධානයට ගත යුතු කරුණු රාශියක් තුඹුල්ලේ සීලක්ඛන්ධ
හිමියන් ලියූ ‘අස්ගිරි මහා විහාරයේ ප්‍රභවය’, විකාශය හා
තදානුබද්ධ අධ්‍යාපන සම්ප්‍රදාය නමැති කෘතියෙහි ඇතුළත් ය. එහි
එක් ඡේදයක් පාඨක අවධානය පිණිස මෙ සේ උපුටා දක්වමු.
පොදුවේ බලන විට නූතන භික්‍ෂු අධ්‍යාපනයේ පවත්නා අඩුපාඩු එමට ය.
ඒ බව කාගේත් පිළිගැනීමයි. විද්‍යොදය, විද්‍යාලංකාර පිරිවෙන්
විශ්වවිද්‍යාල තත්ත්වයට පත් වනතුරු ආරක්‍ෂා වුණු, පෝෂණය වුණු,
වර්ධනය වුණු සම්ප්‍රදායික ප්‍රාචීන අධ්‍යාපනය මෙන් ම ථෙරවාද
අධ්‍යාපන සම්ප්‍රදාය මේ සියවසෙහි මැද භාගයෙන් පසු ක්‍රමයෙන්
අඩාල විය. රජයේ විභාග පටිපාටිය හා සම්බන්ධ වීම ද මේ පරිහානියට
හේතු විය. පිරිවෙන් දෙක විශ්වවිද්‍යාල තත්ත්වයට පත් කරන විටත්
විශ්වවිද්‍යාල තත්ත්වයේ උසස් මට්ටමක ඒවායෙහි අධ්‍යාපනය
පැවතුණි. මෙම පිරිවෙන් නමින් පමණක් පිරිවෙන් වූව ද අධ්‍යාපන
මට්ටමින් විශ්වවිද්‍යාල තත්ත්වයෙන් පැවතුණු බව එකල පිළිගැනීම
විය. මෙ සේ දෙ පිරිවෙන් මෙම විශ්වවිද්‍යාල තත්ත්වයෙන් පැවතියේ
එහි පවත්වාගෙන ආ උසස් මට්ටමේ සම්ප්‍රදායික අධ්‍යාපන ව්‍යුහය
නිසා ය. මේ හේතුවෙන් පිරිවෙන් දෙකට විශ්වවිද්‍යාල නාමය දෙමින්
1959 දී රජය ක්‍රියා කළේ බෞද්ධ සංස්කෘතිය ආරක්‍ෂා වන පරිදි
පාළි, සංස්කෘත, තර්කන්‍යාය යන පාරිවෙණික අධ්‍යාපනය වඩාත්
පුළුල් කොට ඒ පිළිබඳ තවදුරටත් පර්යේෂණ පවත්වමින් ධර්ම විනය
දෙකට මුල් තැන දෙන පැරැණි ථෙරවාද බෞද්ධ අධ්‍යාපන සම්ප්‍රදාය
ශක්තිමත් කිරීමට යි. එහෙත් ඒ උදාර අරමුණු ඉටු නො වී ය. බාහිර
විභාග ක්‍රම, සම්ප්‍රදාය, අනුකරණය යන හේතු නිසා මෙම තත්ත්වය
උදාවුණු බව පැහැදිලි ය. එම විශ්වවිද්‍යාල ද හුදෙක් පාළි,
සංස්කෘත, බෞද්ධ දර්ශනය වැනි විෂයයන් සඳහා සාමාන්‍ය මට්ටමේ
උපාධි දෙන ආයතන හෙවත් අනෙකුත් විශ්වවිද්‍යාල තත්ත්වයට ම පත්
විය. ඊට ඇතුළත් වන භික්‍ෂූන් වහන්සේ යථොක්ත විෂයයන් පිළිබඳ
සාමාන්‍ය මට්ටමේ දැනුමක් ලැබීම විනා ඉන් ඔබ්බට නො ගොස්
උපාධියක් ලැබීමෙන් පමණක් සෑහීමකට පත් වූ හ. මේ නිසා පැරැණි
අධ්‍යාපනය සම්බන්ධ කොට භික්‍ෂු ආකල්පයන්ට ගැළපෙන අයුරින්
පිරිවෙන් අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතාව දැනට
කාලයක සිට ම පැවත එයි.’
එ සේ නම් අප ආරම්භ කළ යුත්තේ කොතනින් ද? |