කේ.ආර්.එම්. ගුණසේකර
වීදාගම මෛත්‍රෙය ස්වාමීන් වහන්සේ විසින් රචිත ලෝවැඩ සඟරාව සිංහල
සාහිත්‍යාවලියේ දක්නට ලැබෙන අග්‍රගණ්‍ය බෞද්ධ උපදේශ කාව්‍යයකි. එසේ
වූවද මෑතක සිට මේ මා හැඟි කාව්‍යය පිළිබඳව දුර්මත පළවනු දක්නට ලැබේ.
වරෙක අපේ ප්‍රකට කවියකු විසින් පවසන ලද අදහසක් වූයේ ලෝවැඩ සඟරාව
ළමයින්ට ඉගැන්විය යුතු නැති පොතක් බව ය.
බෞද්ධ භික්‍ෂූන් වහන්සේ නමක විසින් ලෝවැඩ සඟරාව පිළිබඳව තම අදහස් සති
අන්ත පුවත්පතක් වූ ඉරිදා ලක්බිමට පවසා තිබිණ. දෙල්දූවේ ඤාණසුමන නම් ඒ
උගත් හාමුදුරුවන්ගේ එම අදහස් පළවී තිබුණේ 1998 සැප්තැම්බර් මස 13 වන
ඉරිදා ලක්බිම පුවත් පතෙන් ය. ථෙරවාදී බෞද්ධ භික්‍ෂූන් වහන්සේ නමක
විසින් නොදැක්විය යුතු තත්ත්වයේ අදහස් හැටියට ඒවා අප සිත් සසල කරයි.
ප්‍රශ්නකරුගේ එක් පැනයකට පිළිතුරු දෙන උන්වහන්සේ මෙසේ පවසා ඇත.
ලෝවැඩ සඟරාවේ තියෙන්නෙ ආගමික උපදේශ, එයිනුත් වැඩි හරියක් කාමය එපා කරවන
උපදේශ. එම උපදේශවල තිබෙන්නෙ ගිහියන් පැවිද්දන් බවට පත්කරන අපරිණත
මාර්ගෝපදේශ ලෙසයි මට පේන්නේ.
මෙසේ පවසන ඤාණසුමන හිමියන් ලෝවැඩ සඟරාවේ දැක්වෙන කරුණු හා අදහස් සඳහා
යොදාගෙන ඇත්තේ, ‘වීදාගම චින්තනය’ යන යෙදුමයි. ඒ විශේෂ යෙදුමෙන්
උන්වහන්සේ පොතින් දෙන උපදේශ පිළිබඳ උපහාසාත්මක හැගීමක් ගම්‍ය කරැවීමට
අදහස් කරන බවක් ද පෙනේ. උන්වහන්සේ මෙසේ ද පවසා ඇත.
ලෝවැඩ සඟරාවේ එන ධර්මෝපදේශ හා ඉදිරිපත් කරන රටාව පොදුවේ ගෙන බලන විට
සැප විඳින ගිහි සමාජය කෙරේ හටගත් තදබල ඊර්ෂ්‍යාවකැයි මට හිතෙනවා.
වීදාගම චින්තනය යනු අතිශයින්ම අකාරුණික සුචරිත වාදයක් ලෙසද, එය කම්සැප
විඳින අය කෙරේ හටගත් තදබල ඊර්ෂ්‍යාවක ධ්වනියක් ලෙසද, වෛරය, ඊර්ෂ්‍යාව
හා වැඩි සිල් ප්‍රදර්ශනය කරන අන්තවාදයක් ලෙසද දෙල්දූවේ ඤාණසුමන හිමියන්
විසින් දක්වනු ලැබ ඇත. උගත් බෞද්ධ භික්‍ෂූන් වහන්සේ නමක විසින් පළ කරන
ලද හෙයින් මෙබඳු අදහස් අපේ සමාජය කෙරෙහි දැඩි ලෙස බලපෑම් කරමින් පැතිර
යනු නොඅනුමාන ය.
ලෝවැඩ සඟරාව පිළිබඳව දෙල්දූවේ ඤාණසුමන හිමියන්ගේ අදහස් පිළිබඳව විමසා
බැලීමට ප්‍රථම ග්‍රන්ථයෙහි අන්තර්ගතය සම්බන්ධයෙන් මඳක් විමසා බැලීම
අවස්ථානුකූලයැයි අපට හැඟේ. සාම්ප්‍රදායානුකූලව තෙරුවන් නැමදීමෙන්
අනතුරුව කම්පල (කර්ම විපාක) දක්වන වීදාගම හාමුදුරුවෝ එහි ලා විශේෂ
වශයෙන් පින්කම් කළ නොහැකි කාල අටක් දක්වති.
“සියල් සසර දුක් දුරුකැරැ නොයෙකී
අසල් කරන මොක් සිරිසැප නිසැකී
සියල් සතුනි පින් කරවයි මුනිකී
නොකල් අටකි පින්කම් කළ නොහැකී”
යනුවෙන් දැක්වෙන කවියෙන් කියැවෙන්නේ පින්කම්, කුසල කර්ම ක්‍රියා නොකළ
හැකි කාල හෙවත් අවස්ථා වශයෙන් ගැනෙන උත්පත්ති ස්ථාන අටය. ඒ කරුණු අට
එක් කරුණකට එක් කවිය බැගින් යොදා පැහැදිලි කැරෙයි. ඒ අට පිළිවෙළින්
මෙසේ දැක්වෙයි.
1. නිරය, 2. තිරිසන් ජාතිය, 3. ප්‍රේත ලෝකය, 4. පිටසක්වල, 5. අඳ, ගොළු,
බිහිරිව ඉපදීම, 6. අරූපී බ්‍රහ්ම ලෝකවල ඉපදීම, 7. මිසදිටු
(මිථ්‍යාදෘෂ්ටික) වීම, 8. අබුද්ධෝත්පාද කාලය.
පින් නොකිරීම නිසාද පව්කම් කිරීම නිසා ද අපාගතව සත්ත්වයන් විඳින දුක්
පිළිබඳව පැහැදිලි කරන ලෝවැඩසඟරා කතුවරයා පින් කිරීමට අපේ සිත් සතන්
පොළඹවන්නේ, ඒ සඳහා සුදුසු කාලයෙහි සුදුසු ලෙස අප ඉපිද ඇති බව අවධාරණය
කරවමිනි. අප බුද්ධෝත්පාද කාලයක මනුෂ්‍යයන්ව උපත ලබා සිටීම පින් කිරීම
සඳහා ලබා ඇති අනිවාර්ය වූ අංගද්වයයි. එහෙයින් මේ ලද අවස්ථාවේ පින්
හෙවත් කුසල් නොකළහොත් පව්කම්වලට යොමුවීමෙන් ඉදිරි භවයන්හි අපායාදී පින්
නොකළ හැකි ස්ථානයන්හි උපත ලබන බව පැහැදිලි කෙරෙයි.
බුදුදහම අනුව සත්ත්වයා කර්මය දායාද කොටගෙන ඇත. මෙතැන දී පින්පව් දෙකම
පිළිබඳව සැලැකේ. පින නිසා සසර ගමනේ දී සැපද පව නිසා දුක ද ඇතිවේ.
සම්මුති සත්‍යයට අයත් දුකින් තොරව සැප ලබා, පරමාර්ථ සත්‍යයට අයත් නිවන්
සැපතට පත්විය හැකිවන්නේ අපායාදී ලෝකවල උපතින් තොරවුවහොත් ය. ඒ සඳහා
උත්සාහවත් විය යුතු ආකාරය පිළිබඳව ලෝවැඩ සඟරාවෙන් පැහැදිලි කෙරෙයි.
ලෝවැඩ සඟරාව ලිවීමෙන් වීදාගම හිමියන් විශේෂයෙන් බලාපොරොත්තු වන්නේ
බුද්ධෝත්පාද කාලයක මිනිසත් බව ලැබ ඉපිද සිටින අප නිවන කරා යොමු කිරීම
ය. ඒ සඳහා පුද්ගලයා කුසල් රැස් කළ යුතු ව ඇත. කුසල් රැස් කිරීමට
මිනිසත් බව ලැබ ඉපැදීම විශේෂ වාසියකි.
එහෙයින් මනුෂ්‍යාත්මභාවයේ දී සත්ත්වයා සතර අපාවල ඉපදීමට ඇති පවින්
දුරුවී පින්කම්හි යෙදිය යුතු වෙයි. සතර අපාවල උපත ලද හොත් එයින් ගැළ වී
යළි මනුෂ්‍යාදී සුගතියක ඉපදීම ඉතා දීර්ඝ කාලයකට නොහැකි බව ලෝවැඩ
සඟරාවෙන් පැහැදිලි කැරෙයි. පින් නැත්තාට කුසල් දහම්හි යෙදිය නොහැකි ය.
පින සසර ගමනෙහි දුකින් තොරව යෙදීමටත් කුසලය සසර ගමන අවසන් කර
නිර්වාණාවබෝධයටත් ඉවහල් වෙයි. මේ නිසා ලෝවැඩ සඟරාව ලිවීමෙන් මෛත්‍රිය
හාමුදුරුවන්, කම්සැප විඳින ගිහි සමාජය කෙරෙහි ඊර්ෂ්‍යවක් දැක් වූ බවක්
කිසිසේත් කිව නොහැකි ය.
පිසුණු කියා සඟ දෙනමක් වෙනස් කොට
පැසුණු එකෙක් නිරයේ කල්පයක් සිට
මුහුණු කුණුව තව පේතව විඳි ගැහැට
පිසුණු බසක් නොකියවූ අද පටන් සිට
කේළාම් කීමෙහි බලවත් විපාක දැක්වීම සඳහා ලෝවැඩ සඟරාවෙහි ලියැවුණු ඉහත
සඳහන් කවියේ කේළාම් කී තැනැත්තාත් කේළාම් ඇසීම නිසා භේද වූ දෙදෙනෙක් යන
තිදෙනාම භික්‍ෂූහු වෙති. එසේ පැහැදිලිව සඳහන්ව තිබීයදීත් ගිහියන්ට
පමණක් ලියැවුණු කෘතියක් ලෙස ලෝවැඩ සඟරාව හැඳින්වීම අර්ථවත් නොවේ.
එමෙන්ම පව්කම් හා පින්කම් ගිහියාට පමණක් නොව පැවිද්දට ද බලපාන බව අමතක
නොකළ යුතු කරුණකි.
ලෝවැඩ සඟරාවෙහි දැක්වෙන අදහස්, ‘වීදාගම චින්තනය’ යනුවෙන් උපහාසාත්මක
ලෙස හැඳින්වීම ද සාවද්‍ය බැව් අපට හැඟේ. බුද්ධානුශාසනය හෙවත් බුද්ධ
දේශනය කැටිකොට කියැවුණු ගාථාවක් ධම්මපදයට ද අයත් වේ.
“සබ්බ පාපස්ස අකරණං -
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝදපනං -
ඒතං බුද්ධාන සාසනං”
යන මේ ගාථාව හා බැඳුණු ධර්ම කරුණුවලින් ලෝවැඩ සඟරාව කිසිසේත් අනුගත
නොවේ. එම ගාථාවේ අර්ථය හා අනුගතවම මේ කාව්‍ය ග්‍රන්ථය ලියැවී ඇති බව
පැහැදිලිව පෙනේ. පුද්ගලයා සියලු පව් නොකළයුතු (සබ්බපාපස්ස අකරණං) බව
ලෝවැඩ සඟරා රචකයා විසින් දක්වනු ලැබ ඇත්තේ පාප කර්මවල ආදීනවද ගෙනහැර
දක්වමිනි. පුද්ගලයා පිනට හෙවත් කුසලයට පෙළැඹවීමද ලෝවැඩ සඟරවෙන් මනාසේ
කැරෙයි.
“ගොරතර මරු එනු එනු දැක වෙතටා
පරමාදව ඉන්නේ ඇයි පිනටා”
යනුවෙන් සිත පිනට යොමු කැරෙයි. එයින් නොනැවැත මෙසේ ද දැක්වෙයි.
“සියල් සතුන් මරු ගෙන යනවා දැක
කුසල් නොකර ඉදිනේ ඇයි නොව සැක”
මෙයින් ගම්‍ය වන්නේ මරණය නම් වූ දුකෙන් ගැළවීමට ඇති මඟ කුසල් ඉපදවීම
බවයි. මරණය ඇතිවන්නේ උපත නිසා ය. උපත නැතිවූවොත් මරණයක් ද නැත. උපත නතර
කොට සසරින් මිදිය හැක්කේ කුසල් ඉපදවීමෙනි ‘කුසලස්ස උපසම්පදා’ යන්න හා
මේ අර්ථ අනුගත වෙයි.
පව හා පවෙහි අයහපත හෙවත් විපාක දක්වා පින හා පිනෙහි පල දක්වා දස
අකුසලින් මිදී දස කුසල කර්මයන්හි යෙදෙමින් නිවණට යොමුවිය යුතු ආකාරය
පැහැදිලි කෙරෙන විට දාන, ශීල, භාවනාදී කුසල කර්මයන්හි යෙදෙන විට සිත
පිරිසුදු වන බවද ලෝවැඩ සඟරාවෙන් ගම්‍ය වෙයි. “සචිත්ත පරියෝදපනං” යන
ගාථා පාදය හා ලෝවැඩ සඟරාව අනුගත වන බවද පැහැදිලි කරුණකි. ඒ අනුවද ලෝවැඩ
සඟරාවෙන් කියැවෙන දේ ‘වීදාගම චින්තනය’ යන අමුතු නමකින් හැඳින්විය
යුත්තක් නොව, බුද්ධානුශාසනයටම අයත් කරුණු බව අප වටහා ගත යුතු ය.
ගිහියන් පැවිද්දන් බවට පත් කරන අපරිණත උපදේශ ලෝවැඩ සඟරාව පුරා ඇතැයි
ඤාණසුමන හිමියන් කරන ප්‍රකාශය කටුක වූවකි. චණ්ඩ වූවකි. පැවිදිබවට
පත්වන්නේ ගිහියන්ම බව උන්වහන්සේ නොදන්නා සේය. පැවිදිව උපත ලබන්නෝ
නැත්තාහ. ගිහිව උපත ලබන්නන් අතරින් සමහරෙක් පැවිදි වෙති. ගිහියන්
පැවිදි දිවියට ගැනීම සඳහා කවුරුන් හෝ උත්සාහ ගැනීම සාවද්‍ය කාර්යයක්
නොවේ.
කාමයෙහි ආදීනව ඇසීමෙන් හා කියැවීමෙන් ගිහි දිවිය හැර පැවිදි වන්නෝ ටික
දෙනෙකි. කාමයෙහි ආදීනව කොපමණ දුරට විස්තර කොට දුන්නක් සියලු දෙනාම
කාමයෙන් ඉවත් වන්නේ හෝ පැවිදිවන්නේ නැත. එහෙත් කාමයෙහි ආදීනව හා
කාමයෙහි වරදවා හැසිරීමේ විපාක පැහැදිලිව ප්‍රකාශ කැරෙන විට සමාජයේ
විවිධ තත්ත්වයේ පුද්ගලයන් යම් යම් ප්‍රමාණයකින් කාමයෙහි වරදවා
හැසිරීමෙන් වළකින අතර සමහරු කාමයට දැඩි සේ ලොල් වීමෙන් ඉවත්ව කාමාශාව
තරමක් දුරට හෝ ලිහිල් කර ගනිති. එයින් පුද්ගලයාට මෙන්ම සමාජයට ද යහපතක්
සිදුවනු මිස අයහපතක් සිදු නොවේ.
කම්සැප පිළිබඳව ලෝවැඩ සඟරාවේ සඳහන් අදහස් වීදාගම මෛත්‍රෙය හිමිපාණන්
විසින් තමාගේ හිතුමතයට අනුව දක්වනු ලබන බොල් මතිමතාන්තර නොවේ. ඒවා බුදු
මුවින්ම පිට වූ ත්‍රිපිටකාගත ධර්මයන්මය. ලෝවැඩ සඟරාවට ඇතුළත් එබඳු කර්ම
රාශිය අතරින් කිහිපයක් පිළිබඳව මඳක් විමසා බැලූ විට එය සනාථ වෙයි. පසක්
වෙයි.
ගෞතම බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයෙහි විසූ අරිට්ඨ නමැති හික්‍ෂුවක
තුළ කාමය පිළිබඳව ඇති වූ සාවද්‍ය අදහස හෙවත් දුර්මතය පිළිබඳව දැනගත්
සර්වඥයන් වහන්සේ ඒ දුර්මතය වටහා දෙනු සඳහා කාමයෙහි ආදීනව දක්වාලූයේ
උපමා ඇසුරු කොටගෙනය.
මතු සම්බන්ධයි
|