සදහම් දැනුම
වහුමුවේ
විජයවංස නා හිමි
ප්‍රශ්නය - භෞතික හා අධ්‍යාත්මික ක්‍ෂේත්‍රයන්හි ක්‍රියාත්මක වන නියාම
ධර්ම පහක් (5) ක් ගැන බුදු දහමෙහි ඉගැන්වෙයි. එම නියාම ධර්ම පිළිබඳව
විවරණයක් කරන්න.
පිළිතුර - සියලුම භෞතික හා අධ්‍යාත්මික සංසිද්ධි (ක්‍රියාදාමයන්) මේ
සාධාරණ නියාම ධර්ම පහ ඇසුරෙන් විවරණය කළ හැකිය.
එනම් උතු නියාම අජීව (පණනැති) වස්තූන් පිළිබඳ භෞතික නියාමයකි. ඒ ඒ සෘතු
වලට සුළං හැමීම, වර්ෂාව ලැබීම, නිසි කලට සෘතු උදාවීම ඒ ඒ කාලගුණ සෘතු
වලට ආවේණික වෙනස්කම් හා සිද්ධි වර්ෂාව හා සුළඟ හමන ආකාරය උෂ්ණත්වයෙහි
ස්වභාවය ආදිය මේ නියාමයට අයත්වෙයි.
අනුරාධපුර සමාධි පිළිමය |
බීජ නියාමය - ඇට වර්ග හා බීජයන්ගේ ස්වභාවය විවරණය වෙයි. වී ඇට වලින්
ගොයම් වැවීම උක්ගස් හා මී පැණිවල ඇති මිහිරි රසය ඇතැම් පලතුරු වල ඇති
විශේෂ ලක්ෂණ ශෛල හා පාන පිළිබඳ විද්‍යාත්මක න්‍යාය සහ නිවුන් දරුවන්ගේ
සමානතා ආදිය ඊට ඇතුළත් කළ හැකිය.
කම්ම නියාම - කර්ම සහ විපාකය පිළිබඳ නියාමය යි. කුසල හා අකුසල කර්ම නිසා
හොඳ හා නරක විපාක ලැබේ. ජලය පහත් තැනට ගලා බස්නා මෙන් කර්මය ද අවස්ථාව
ලද විටක විපාක දෙයි. එය පරිත්‍යාගය හා දඬුවම යන ක්‍රමයට නොව ආවේණික
ධර්මතාවක් වශයෙන් සිදුවෙයි. මෙම ධර්මතාව ඉර හඳ උදාවීම මෙන්ම ස්වභාවිකය.
කර්ම විපාකය පිළිබඳ නියාමය එයයි. (ක්‍රියාව) කර්මය තුළම (සන්තති)
පැවැත්මේ ධර්මතාවයද අන්තර්ගත වෙයි. අපේ විවිධ අත්දැකීම් පෞරුෂ ලක්ෂණ හා
රැස් කෙරෙන දැනුම අපේ මනසෙහි සටහන් වෙයි. මේ අත්දැකීම් හා චරිත ලක්ෂණ
සසර පුරා සැරිසරයි.
ධම්ම නියාම- ධර්තාමවයෙහි නියාමයයි. බෝසත්වරයකු අවසන් වරට ලොව උපත ලබන
විට සොබාදහමෙහි ඇති වන වෙනස්කම් මෙන්ම ගුරුත්වාකර්ෂණය හා එබඳු
ස්වභාවධර්ම නීති ආදියේ නිදසුන් කොට දැක්විය හැකිය.
චිත්ත නියාම - මනසෙහි (ගතිය) නියාමය පූර්ව ජන්ම සිහිකිරීම්, දිවැස්
ඇතිබව අනාගත ඥානය, පරචිත්ත විජානනය වැනි අධි මානසික ශක්තීන් ඊට නිදසුන්
කොට දැක්විය හැකිය.
මෙම පහෙන් උතු නියාමය බීජ නියාමය හා ධම්ම නියාමය මිනිස් නුවණින් හා
චිත්ත බලයෙන් තරමක් දුරට පාලනය කළ හැකි බව සත්‍යයක් වුවද එසේ කිරීම
යාන්ත්‍රික බවක් ඇති කරයි. ගින්න ස්වභාවයෙන් ම, දවන සුළු හා දැඩි සීතල
මිදෙන සුළුවුවද සමහර මිනිසුන් උවදුරකින් තොරව ගිනි මත ගමන් කරන්නට සමත්
වූහ. චිත්ත නියාමයද බෙහෙවින් යාන්ත්‍රික නමුත් බෞද්ධ භාවනා ක්‍රම මගින්
එය පාලනය කිරීම අරමුණු කෙරෙයි. කම්ම නියාමය ස්වයංක්‍රීය වන අතර කර්මය
බලගතු වූ විට මිනිසාට අවශ්‍ය වුවද එහි ක්‍රියාකාරීත්වය වැළක්විය
නොහැකිය. එහෙත් සම්මා දිට්ඨිය හා අධිෂ්ඨානය මගින් තම අනාගතය හැඩ ගස්වා
ගතහැකිය. නිරතුරු කුසල කර්ම කිරීම් මගින් අකුසල කර්ම විපාක දීම මග
හැරවිය හැකිය. කර්මය බෙහෙවින් සංකීර්ණ නියාමයක් බැවින් එහි ‘යථාභූත ඤාණ
දර්ශය’ බුදුරජාණන් වහන්සේ තමන් විසින්ම හඳුනාගනී. බෞද්ධයන්ගේ අරමුණ විය
යුත්තේ කම්ම නිරෝධයයි.
යමක නපුරු සිතින් කතා කළහොත් ක්‍රියා කළහොත් ගැල අදින ගවයා පසුපස එන
රිය සක මෙන් දුක ඔහු පසුපසම එයි. මේ දහමට අනුව බෞද්ධ කර්ම
විග්‍රහයෙහිදී වැදගත්වන්නේ සිතයි. අපේ වචන හා ක්‍රියා අනිවාර්යයෙන්ම ඒ
මොහොතේ ඇතිවන සිතිවිලි වලින් වර්ණවත් වෙයි. සිත නොහික්මුණ විට කායික
ක්‍රියාද නොහික්මුණ ක්‍රියාය. කතාවද නොහික්මුණ කතාම වෙයි. සිත හික්මුණු
තැන ගත සිත හික්මෙයි.
පෙල දහමට අනුව බෞද්ධ කර්ම නියාමයේ පළමු පියවරයි මේ.
ප්‍රශ්නය - තුන් දොරින් කරන ක්‍රියා මේ අනුව (සිත මූලික වූ) කර්ම ගණයට
ඇතුලත් වෙයි. මෙම කර්ම (පින් - පව්) කුසල් අකුසල් වශයෙන් වෙන්ව යන
පරිමාණය පැහැදිලි කරන්න.
පිළිතුර - කම්ම (කර්ම) යන වචනයේ තේරුම ක්‍රියාව යන්නයි. සිතා මතා
(චෙතයිත්වා) කරන ඕනෑම කායික වාචසික හෝ මානසික ක්‍රියාවක් කර්ම ලෙස
හැඳින්විය හැකිය. එසේම කුසල අකුසල වශයෙන් සංයුතියට බැඳී සිටින්නේ් මේ
චේතනා මුල්කොට ගත් සියලු ක්‍රියාවෝ පමණකි. අචේතනික හා අසංවේදී ක්‍රියා
(සිතුවිලි වලින් තොර) වචනාර්ථයෙන් ක්‍රියා වුවද කර්ම ගණයට නො ගැනේ.
කර්මයක් වීමට ඉතාම අවශ්‍ය වන අංගය වන චේතනාව නොමැති හෙයිනි.
කුසලා කුසල කර්මයන්ගේ සමුදයට (හට ගැනීමට) නිධානත්‍රයක් හේතුවන බව
බුදුරජාණන් වහන්සේ වදාළහ. ලෝභ, දෝස, මෝහ යනුවෙන් අකුසල පක්ෂයටද අලෝභ
අදෝස අමෝහ යනුවෙන් කුසල පක්ෂයටද දැක්වූයේ ඒ චේතනායි.
යං භික්ඛවෙ ලොභකතං කම්මං
ලෝභජං ලොභ නිදානං ලොභ සමුදයං
තං කම්මං අකුසලං තං කම්මං
සාවජ්ජං තං කම්මං දුක්ඛ විපාකං
මෙසේ නිධානත්‍රය හෙවත් චේතනා තුනකින් කුසල් හා අකුසල් වශයෙන් ප්‍රමාණ
කොට කර්මය වෙනම විවරණය කොට ඇත. තවද කුසලා කුසල විග්‍රහයෙහිදී
බුදුරජාණන් වහන්සේ චේතනාව සාවද්‍ය හා නිරවද්‍ය බව විපාකය ප්‍රමාණ
වශයෙන් ගෙන දේශනා කිරීමයි. ක්‍රියාවක ඵලය හෙවත් විපාකය සුඛ සහගත නම්
ක්‍රියාවද කුසලයක් වෙයි. විපාකය දුක් සහගත නම් අනිවාර්යයෙන්ම එය
අකුසලයක් ම වෙයි. චේතනාවද සාවද්‍ය වෙයි.
ප්‍රශ්නය- බුදු දහම විසින් මෙහෙයවනු ලබන ශ්‍රාවක තෙමේ ‘පින් කිරීම’
මගින් සසර පැවැත්මද (ලෞකික සම්පත්) විමුක්තිය (නිර්වාණගාමී) අරමුණු කොට
ගත්තහු කුසල කි‍්‍රයා මගින්ද විමුක්ත පුද්ගල තෙමේ (මගඵලලත්) ‘සම්පන්න
කුසල’ තත්ත්වයෙන් ද සමාජ කාර්ය විෂයෙහි (සංසාරික පැවැත්ම තුළ) පූර්ණ
වශයෙන් සහභාගී වන බව දේශනා පාලියට අනුව පිළිගත හැකිය. විවරණය කරන්න.
පිළිතුර- කෙලෙස් ගිනි නිවා ශාන්ත වූ නිවන් පසක් කර ගැනීම බුදු සමයේ
ලෝකෝත්තර පරමාර්ථයයි. කෙළෙස් ගිනි නිවීම සඳහා පාදක වූ නිතිරීති සමූහය
තුළින් නිවී සැනසුන ලෞකික සමාජයක පදනම වැටෙයි. ලෝකෝත්තර සැපත කරා යන
මාර්ගය ලෞකික සමාජයෙහි සංස්කෘතිය තුළින් වැටී ඇත. ‘එතාදිසානි කත්වාන
සබ්බත්ථ මපරාජිතා සබ්බත්ථ සොත්ථිං ගච්ඡංති’ මෙලොව පරාජිතයෙකුට පරලොව
සුවපත් වීමක් ද නැත.
‘පින්’ යනුවෙන් හැඳින්වෙන්නේ කුමක්ද? අං.නි. අට්ඨක නිපාතයේ
‘පුඤ්ඤභිඝන්ද සූත්‍රය’ තෙරුවන් සරණයාමත් පන්සිල් රැකීමත් පින් ඉපදෙන
කරුණු බව සඳහන් කරයි. පස් පවින් වැළකීම පින වශයෙන් සැලකෙන්නේ ඇයිද?
යන්න පූඤ්ඤභිසන්ද සූත්‍රයේ මෙසේ දැක්වෙයි.
ප්‍රාණඝාතයෙන් වැළකුණු ආර්ය ශ්‍රාවකයා අප්‍රමාණ සත්ත්වයනට අභය දෙයි.
‘පාණාතිපාතා පටි විරතො අරියසාවකො අපරිමාණං සත්තානං අභයං දෙති. අවෙරං
දෙති. අව්‍යාපජ්ඣං දෙති’ අවෛරය දෙයි, නිදුක් බව දෙයි’ මේ දුන් දැයට
තමන්ද හිමිකරුවෙකු වෙයි. දේවතා සංයුක්තයේ ‘වනරොප’ සූත්‍රය මල්ඵල උයන්
වතු වැවීම වන වගාව, ඒ දඬුපාලම් කරවීම, පැන්හල් පොකුණු ගෙවල් කරවාදීම,
පින් වැඩෙන සුගතියට මිනිසා ගෙන යන පුණ්‍ය කි‍්‍රයා ලෙස හඳුන්වයි. ඒ
අනුව ‘පින්’ සමාජ ආර්ථික ක්‍ෂේත්‍රයෙහි ‘විකසිත’ ප්‍රබුද්ධ ක්‍රියාකාරී
පුද්ගලයෙකු තනන සංකල්පයක් බව පෙන්වා දෙයි.
කුසල් නම් අලෝභ, අදෝස, අමෝහයන් විසින් මෙහෙයවනු ලැබ කෙරෙන මිනිස්
ක්‍රියා සමූහයයි. කුසල් දහම්හි සසර සුගතිභව ලබාදීමේ මෙන්ම කෙළෙස්
ප්‍රහීණ කර විමුක්තිය ලබා දීමේත් බලශක්තියක් ඇති සැටි ‘සාලෙය්‍යක’
බමුණු ගම්වැසි ගෘහපතීන්ට බුදුරදුන්ගේ දේශනයකින් හෙළිවෙයි.
අධම්ම චරියා විෂම චරියා හේතුවෙන් අගතිගාමී වන අතර ධම්මචරියා සමචරියා
හේතුවෙන් ප්‍රාර්ථනා පරිදි සුගතිගාමී විය හැකි බවත් එසේ නැතිව
(ආශ්‍රවක්ෂය) සියලු කෙලෙස් නැසීම බලාපොරොත්තු වන්නේ නම් මෙලොව දීම එය
ලබාගත හැකි බවත් මේ සූත්‍ර දේශනාවෙහි කියැවේ. මෙසේ පින භවගාමී
අපේක්ෂාවන් සමෘද්ධිමත් වන අතර ‘කුසල’ සංසාරික සුගති සැප ලබාදීමේ
ශක්‍යතාව ද ඇතිව විමුක්තියට මග පාදන බව ඉතා පැහැදිලිය.
ප්‍රශ්නය - සැදැහැවතකු තෙරුවන් වන්දනා කරන විට පංචංගික වන්දනා නමින්
පසඟ පිහිටුවා වන්දනා කරයි. මෙම ‘පංච පතිට්ඨිතා වන්දනා’ මොනවාද?
පිළිතුර - පංචංගික වන්දනා නම් ස්ථාන පහක් පොළොව ස්පර්ශ කරමින් වැඳීමයි.
එනම් නළල, බාහුදෙක, දෙදණ යන අවයව පස පොළොව ස්පර්ශ කිරීමෙන් වන්දනා
කිරීමයි.
ප්‍රශ්නය - සෑම ‘පැවිදි ගිහි’ බෞද්ධ ශ්‍රාවකයෙකුම, දිවා රෑ දෙකේහි
මෙනෙහි කළයුතු ‘පංච අභිණහං පච්චවෙක්ඛිතබ්බං’ කරුණු පහක් ධර්ම ග්‍රන්ථවල
සඳහන් වෙයි. ඒ මොනවාද?
පිළිතුර - නිතර මෙනෙහි කළ යුතු ධර්ම පහකි.
මම උපත උරුමව සිටිමි
රෝග උරුමව සිටිමි
මරණය උරුමව සිටිමි
පි‍්‍රය අයගෙන් වෙන්වීම
උරුමව සිටිමි
කර්මය (කුසල / අකුසල) උරුමව ඇත්තෙක්මි මෙසේ දිවා රෑ මෙම ධර්ම මෙනෙහි
කිරීමෙන් කාම, භව, විභව යන තෘෂ්ණාව ප්‍රහාණය කිරීම සිදුවෙයි.
|