UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පනස් නව වසරක් පුරා බොදු හදවත් පුබුදු කළ

බෙල්ලන්විල පෙරහර පූජෝත්සවය

ඇසළ උත්සවයේ අතීතය බුද්ධ කාලයටත් පෙර දවස තෙක් දිවයන්නකි. ඓතිහාසික තොරතුරු අනුව දඹදිව මෙවැනි උත්සවයක් පැවති බවට නොයෙක් සාක්‍ෂි දක්නට ලැබේ. ඉන්දියාවේ පැවති බොහෝ දෑ ලංකාව කෙරෙහි බලපාන ලද ආකාරය ද ඉතා ප්‍රකටය. අනුරාධපුර යුගයේ දී ඇසළ උළෙල සාමාන්‍ය සැණකෙළියක ස්වරූපයෙන් පැවති බවට ද තොරතුරු දක්නට ලැබේ. පසු කාලීනව බුදු දහමේ බලපෑම මත එය ආගමික ස්වරූපයක් ගන්නා අයුරු දක්නට ලැබේ. ඒ අනුව ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ මුල් කරගෙන දළදා පූජෝත්සවයක් ලෙස මුළුමනින්ම ආගමික ස්වරූපයකින් මෙය සිදු කොට ඇත. කාලයාගේ ඇවෑමෙන් තත්කාලීන රජවරුන්ගේ මැදිහත්වීම නිසා දෙවියන් උදෙසා කෙරෙන උපහාර පූජාවක් වශයෙන් දේවාල පෙරහරද මෙයට සම්බන්ධ වන්නට ඇතැයි සිතිය හැකි ය. කෙසේ නමුත් හිංසා සහගත ස්වරූපයත් හා හුදු විනෝදාත්මක ස්වරූපය මුළුමනින්ම ඉවත්ව බුදු දහමේ බලපෑම මත ඇසළ උත්සවය ඇසළ පෙරහර බවට පත් වූ බව කිව හැකි ය. ශ්‍රී ලාංකික ජනතාව මෙයින් අවිහිංසක වින්දනයක් හා ආගමික ආස්වාදයක් ලබා ගන්නා ලදී. මුළු වසර පුරා දෛනික කටයුතු වලින් ඔද්දල් වුණු සිත් සතන් පී‍්‍රනනය තුළින් ඇසළ උත්සවය බෞද්ධ ජනජීවිතයට මහත් අස්වැසිල්ලක් ගෙන දුන්නාට සැකයක් නැත. පුරාණයේ පටන් ශ්‍රී ලංකාවේ පැවත එන ඇසළ උත්සව, ඇසළ පෙරහර රාශියකි. මහනුවර, දෙවිනුවර, කතරගම, රත්නපුර යනාදී ඓතිහාසික සිද්ධස්ථාන වල පැවැත්වෙන ඇසළ උත්සව ඒ අතර ප්‍රධාන තැනක් ගනී. මේ හැරෙන්නට බෙල්ලන්විල ආදි කොට දිවයිනේ නොයෙක් ප්‍රදේශ වල විවිධ තරාතිරම් වලින් ආරම්භ කොට පත්වාගෙන යනු ලබන ඇසළ පෙරහර රාශියක් ඇති බව ප්‍රකටය.


බෙල්ලන්විල රජමහා විහාරාධිපති බෙල්ලන්විල ධම්මරතන නා හිමියන් සහ විහාරාධිකාරි මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නා හිමියන් සධාතුක කරඩුව සමග.

මෙම පෙරහර පුණ්‍යෙ‍ාත්සවය එහි පැරණි සම්ප්‍රදායන් නොඉක්මවමින් පවත්වාගෙන යාම ඉතා වැදගත් කාර්යයකි. පුද සිරිත් ඉටු කිරීම් වශයෙන් පවත්වනු ලබන මෙම පෙරහර උත්සව තුළින් පොදු ජනතාව ලබනුයේ මහත් මානසික ශාන්තියකි. එකට එක්ව සාමූහික ක්‍රියාදාමයක් වශයෙන් සිදු කරන මෙම පූජෝත්සව නිසා ගොඩනැඟෙන මානව හිතවාදී ස්වරූපය ඉතා වැදගත් ය. අඛණ්ඩව රැක ගන්නා සිරිත් විරිත් නිසා අපගේ ජාතික අනන්‍යතාවයටද මහත් පිටුවහලක් ලැබේ. විශේෂයෙන්ම පෙරහර පූජෝත්සව සඳහා මූලික දායකත්වය දෙන පාරම්පරික දේශීය නැටුම් කලාව සුරක්‍ෂිත වීමට හා පෝෂණයට ද මහත් පිටුවහලක් මෙයින් ලබා දේ. අපේ සංස්කෘතිය, අපේ කලාව, කෙතරම් උසස් වූවද ඒවා ප්‍රදර්ශනය සඳහා වේදිකාවක් නොලැබේ නම් කලා කරුවා දිරිමත් නොවේ. ඒ සඳහා මෙබඳු ඇසළ පෙරහර උත්සව හොඳ වේදිකාවක් බව සඳහන් කළ යුතු ය.

මෙම උදාර පරමාර්ථ රාශියක් මුදුන් පැමිණවීම බෙල්ලන්විල ඇසළ පූජෝත්සවයෙන් සිදු කෙරේ. දශක පහකුත් වසර 09 ක් පුරා මෙම ඓතිහාසික පෙරහර ශ්‍රී ලාංකේය ජන හදවත් අමන්දානන්දයට පත් කොට ඇති බව නොරහසකි. බෙල්ලන්විල රාජමහා විහාරය ශ්‍රී ලංකාවේ ඓතිහාසික සිද්ධස්ථාන අතර ප්‍රමුඛස්ථානය ගන්නා පුණ්‍යභූමියකි. පෞරාණික දෙතිස් ඵලරුහ බෝධීන් වහන්සේගේත් එම බෝ සෙවනේ පිහිටි ශ්‍රී විෂ්ණු මහා දේවාලය ප්‍රධාන දේවාල සමූහයත් නිසා ලක්‍ෂ සංඛ්‍යාත බැතිමතුන්ට බෙල්ලන්විල, පුණ්‍යභූමියක් මෙන්ම අභය භූමියක් බවට ද පත්ව ඇති බව කිව යුතු ය. පන්සල ආගම දහමටත්, අධ්‍යාපනයටත්, කලාවටත්, සංස්කෘතියටත්, කේන්ද්‍රීය වූ මධ්‍යස්ථානය වේ. මෙම මතයෙහි ඉතා තදින් එල්බ සිටි බෙල්ලන්විල රාජමහා විහාරාධිපතිව වැඩ සිට මින් 25 වසරකට පෙර අපවත් වී වදාළ බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් 1950 බෙල්ලන්විල ඇසළ මහා පෙරහර ආරම්භ කරන ලදහ. ඒ වන විටත් සාමාන්‍ය දුරුතු පෙරහරක් වශයෙක් කාලාන්තරයක් මුළුල්ලේ මෙම පෙරහර පැවති බව පැරැන්නන්ගෙන් අපි අසා ඇත්තෙමු. බෙල්ලන්විල විහාරස්ථානය මනා සේ දියුණු කළ නාහිමිපාණන් වහන්සේ ඇසළ පෙරහරෙහි නිර්මාතෘවරයා වශයෙන් සිදු කළ සේවය ඉමහත් ය. නිර්මාණ කුසලතාවයෙන් හා බහුජන හිතකාමී බවෙන් යුතු අසාමාන්‍ය ක්‍රියාවලියක නිරත වූ ශ්‍රී සෝමරතන නාහිමිපාණන් විහාරස්ථානය සමාජ අවශ්‍යතා සපුරාලන ආයතනයක් විය යුතු බව තරයේම පිළිගන්නා ලදහ. එනිසා එයට සරිලන අධ්‍යාපනික හා සංස්කෘතික සේවා රාශියක් උන්වහන්සේ විසින් ආරම්භ කළහ. බෙල්ලන්විල ඇසළ පෙරහර ද එවැන්නකි. මෙම පෙරහර නින්දගම් හා රාජකාරී ක්‍රමය මත සිදුවන්නක් නොවේ. වත්මන් සමාජ ආර්ථික රටාව දෙස බලන විට බෙල්ලන්විල පෙරහර පුරා 59 වසක් කල් පවත්වාගෙන ඒමට හැකිවීම ශ්‍රී සෝමරතන නාහිමියන්ගේ උදාර අධ්‍යාසයම හේතු වූවාට කිසිදු සැකයක් නැත.


වාහල්කඩ

පුරා 58 වසක් මුළුල්ලේ පවත්වාගෙන එනු ලබන බෙල්ලන්විල ඇසළ උළෙල ආරක්‍ෂාව පිළිබඳ අවිනිශ්චිත වකවානු වලදී පවා අඛණ්ඩව පවත්වාගෙන එන ලදී. එය කිසිදු අඩුවකින් තොරව පැවැත්වීම සඳහා මේ වන විට කටයුතු සංවිධානය කොට ඇත. මෙම මහා ඇසළ උත්සවයෙහි අපි දන්නා සුවිශේෂී තාවයක් ඇත. එනම් පෞරාණික චාරිත්‍රවිධීන් නොඉක්මවා ඒ සඳහා ප්‍රමුඛත්වයක් දී ක්‍රියා කිරීමයි. ඒ නිසා මෙය සාමාන්‍ය පෙරහර සංදර්ශනයක් නොව පෙරහර පූජෝත්සවයක් බවට පත්ව ඇති බව කිව යුතු ය. ඒ අනුව මෙහි ප්‍රමුඛත්වය හිමිවන්නේ බුද්ධ වන්දනාව සඳහා ය. ප්‍රථමයෙන්ම තෙරුවන් පිළිබඳ කෙරෙන උපහාරයක් වශයෙනුත් අපවත්වී වදාළ ඇසළ පෙරහර පූජෝත්සවයේ නිර්මාතෘ වන බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නාහිමිපාණන් වහන්සේට කෘතවේදීභාවය පළ කිරීම සඳහා ගුණානුස්මරණ පින්කමකින් මෙහි කටයුතු ඇරඹීම 1985 වර්ෂයේ සිට අරඹන්නට යෙදුණි. වර්තමාන බෙල්ලන්විල රාජමහා විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නාහිමිපාණන් වහන්සේගේත්, විහාරාධිකාරී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති කෝට්ටේ කල්‍යාණී සාමගී‍්‍ර ධර්ම මහ සංඝසභාවේ අනුනායක මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමිපාණන් වහන්සේගේත් පූර්ණ අධීක්‍ෂණය යටතේ වසරින් වසර බෙල්ලන්විල ඇසළ පෙරහර උළෙල නව මුහුණුවරකින් යුතුව සංවිධානය කෙරේ. ගුණානුස්මරණ පින්කම්මාලාව අවසානයේ දී ආරම්භ කරනු ලබන්නේ සති පිරිත් දේශනයයි. එය සැබවින්ම ධර්මයේ ආශිර්වාදය හා ආරක්‍ෂාව රට දැය වෙනුවෙන් ලබාදීමකි. එම සති පිරිත් දේශනාව පැවැත්වෙන අතර සුබ මොහොතින් කප් සිටුවීම සිදුකරන අතර සතිපිරිත් දේශනයේ දේවදූත පෙරහර පැවැත්වෙන්නේ ඉන් පසුවය. කුඹල් පෙරහර ගෙවදීම සිදු වන්නේ ද මෙදිනමය. ඉන් අනතුරුව විහාර භූමිය තුළ ගමන් ගන්නා මල් පෙරහර දින හතරක් මුළුල්ලේ පවත්වමින් රත්නත්‍රය සඳහා පූජා පවත්වා දෙවියන්ට පින් අනුමෝදන් කිරීම සිදු කරනු ලැබේ. මේ අනුව සමස්ත පෙරහරම තෙරුවන් වන්දනාවට ප්‍රමුඛත්වය දී සැකසී ඇති අයුරු විශිෂ්ටය. ඉන් අනතුරුව පාවාඩ පෙරහරේ සිට මාලිගාවේ පෙරහර හෙවත් සර්වඥධාතූන් වහන්සේ අඩංගු සධාතුක කරඬුව පෙරටු කොටගත් ධාතු පෙරහර ඉදිරියෙන් ගමන් ගනී. දේවාභරණ රැගත් සතර මහා දේවාල වලට අයත් පෙරහර සතරකින්ද යුතුව පංච මහා පෙරහකින් බෙල්ලන්විල ඇසළ පෙරහර සමන්විත වේ. එසේම අවසාන රන්දෝලි මහා පෙරහරින් පසුව දවල් පෙරහර හෙවත් දියකපන පෙරහර පවත්වා දිය කැපීමේ චාරිත්‍රය සිදු කොට ගරා යක් නැටුමෙන් හා දේව දානයෙන් පසු ඇසළ පෙරහර පූජෝත්සවය නිමාවට පත් කරනු ලැබේ. මෙසේ සුපුරුදු පිළිවෙළකට අනුව චාරිත්‍ර මූලික කොටගෙන ක්‍රමික ස්වරූපයකට අනුව බෙල්ලන්විල ඇසළ උළෙල මෙවරද සංවිධානය කොට තිබේ. මේ අනුව දළදා පෙරහරට සමාන අයුරින් සංවිධිත වූ මෙම මහා පෙරහර මෙරට පමණක් නොව විදේශයන් හි ද කීර්තියට පත්ව ඇති අතර ලංකාවේ සිව් දිගින් පැමිණෙන බැතිමතුන්ගෙන් බෙල්ලන්විල පුද බිම ඇසළ උත්සව සමයෙහි පිරී ඉතිරී යන අයුරු දක්නට ලැබේ.

බෙල්ලන්විල වාර්ෂික ඇසළ පෙරහර උත්සවය ඇරඹී මේ වන විට සතියක් ඉක්මගොස් ඇත. අපවත්වී වදාළ ශ්‍රී සෝමරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ගුණානුස්මරණය සඳහා සිදුකරනු ලබන ප්‍රාප්ති දානමය පින්කම මෙවර සිදු කරන ලද්දේ ඓතිහාසික සේරුවාවිල පූජාභූමියේදී ය. පසුගිය මස 18, 19 දෙදින තුළ එය පැවැත් වූ අතර අගෝස්තු 02 වන දින සති පිරිත් දේශනය ඇරැඹිණි. මෙවර පෙරහර පූජෝත්සවයෙහි මල් ‍ෙපරහර අගෝස්තු මස 9, 10, 11 සහ 12 යන දිනවලදී පැවැති අතර 13 වන දින පාවාඩ පෙරහර ද, 14 වන දින රන්සිවිලි පෙරහර ද පවත්වනු ලැබේ. අගෝස්තු මස 15 වන දින රන්දෝලි මහ පෙරහර පවත්වා 16 වන දින දහවල් පෙරහරින් පසු දිය කැපීමේ චාරිත්‍රය ද එදිනම පස්වරුවේ පැවැත්වෙන ගරා යක් නැටුමෙන් හා මහා දේවදානයෙන් පසු මෙවරද බෙල්ලන්විල ඇසළ පෙරහර රටට හා දැයට ආශිර්වාද කරමින් නිමාවට පත් කෙරෙනු ඇත.

 

නිකිණි අව අටවක පෝය

නිකිණි අව අටවක පෝය අගෝස්තු 13 වන දා බ්‍රහස්පතින්දා අපරභාග 12.53 ට ලබයි.
14 වන දා සිකුරාදා පූර්ව භාග 11.42 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු 13 වන දා බ්‍රහස්පතින්දා ය.
මීළඟ පෝය අගෝස්තු 20 වන දා බ්‍රහස්පතින්දාය.

 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 13

New Moonඅමාවක

අගෝස්තු 20

First Quarterපුර අටවක

අගෝස්තු 27

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 4

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]