පෙරහර සංස්කෘතිය රැක ගැනීම
අද දින අප පත්‍රයේ වැඩි ම ඉඩ ප්‍රමාණයක් වෙන් කැරැ ඇත්තේ
මහනුවර ඇසළ පෙරහර වෙනුවෙනි. එය එ සේ ම විය යුතු ය. හෙළයේ මහා
සංස්කෘතික මංගල්‍යය වන මහනුවර ඇසළ පෙරහර පිළිබඳ ව කතා කිරීම අප
ගේ වගකීමකි. එය අප ගේ වගකීමක් වන්නේ කෙ සේ දැයි පැහැදිලි කැරෙන
ලිපියක් මෙහි 17 වන පිටුවේ පළකොට තිබේ. මහාචාර්ය ජේ.බී.
දිසානායක විසින් ලියන ලද එහි සඳහන් කරුණු කිහිපයක් පාඨකයන් ගේ
විශේෂ අවධානයට යොමු කිරීමට කැමැත්තෙමු.
“මහනුවර දළදා පෙරහැර ආගමත් කලාවත් දේශපාලන බලයත් මනා ව සංයෝග
කරන මහෝත්සවයකි’’.
“පළමුව එය ශ්‍රී ලාංකික බෞද්ධයන් බුදුන් වහන්සේටත් දළදා
වහන්සේටත් දෙවි දේවතාවන්ටත් දක්වන අපමණ ගෞරවයත් , ශ්‍රද්ධාවත්,
භක්තියත් හෙළි කරයි .”
“දෙවනුව එය පාරම්පරික කලාකරුවන්ගේ කලා කුසලතා උත්කර්ෂවත්
ආකාරයෙන් පෙන්නුම් කරයි. කාලාන්තරයක් තිස්සේ උඩරට පෙදෙසේ
ගුරුකුල වශයෙන් පරම්පරාවෙන් පරම්පරාවට පවත්වා ගෙන ආ නැටුම්
ගැයුම් වැයුම් මෙහි දී ප්‍රදර්ශනය කෙරේ. රජ දවස කලාකරුවන්ට මේ
සඳහා කුලී නොගෙවිණ. ඉඩම් කඩම් ලැබිණ”
“තෙවනුව එය රජතුමා සතු දේශපාලන බල මහිමය ජනතාව හමුවේ පෙන්නුම්
කරයි. රජතුමාගේ රාජධානියට අයත් විවිධ කොට්ඨාස පාලනය කරන
දිසාවේවරු හා නිලමේවරු මෙදාට මහනුවරට ඇවිත් පෙරහැරේ ගමන්
කරමින් සිය රාජ පාක්ෂික භාවය දක්වති. ඒ ඒ පළාත්වල කොඩි මෙහි දී
ප්‍රදර්ශනය කෙරේ. “
“සිව්වනුව එය වැස්ස අනුකරණය කරයි. වැස්ස ලබා ගැනීමට නම් වැස්ස
අනුකරණය කළ යුතු යැයි පැරැන්නෝ සිතූහ. වැස්ස වහින්නට කලින් එන
හෙණ ගැසීම්, විදුලිය කෙටීම්, වැහි වලාකුළු ආදිය මේ පෙරහැරේ
දක්නට ලැබේ. මේ පෙරහැර අවසන් වන්නේ වැසි පොද වැටෙන පරිදි දිය
කැපීමේ මංගල්ලයෙනි .”
මේ අනුව බලන කල , දළදා පෙරහර කොතරම් අර්ථාන්විත සංස්කෘතික
උළෙලක් ද යන කාරණය වටහා ගැනීමට පුළුවන. එ බැවින් මෙහි ඇති
විචිත්‍රත්වය දෙස පමණක් බලා සතුටුු විය යුතු නැත.
දෙවන රාජසිංහ රජු ගේ සිරකරුවකු ලෙස ක්‍රි.ව. 1660 සිට 1679
දක්වා මෙ රට විසූ රොබට් නොක්ස් නමැති ඉංගී‍්‍රසි ජාතිකයා
විසින් ලියූ ‘ලංකාද්වීපය පිළිබඳ ඓතිහාසික විස්තරය ‘ නමැති
ග්‍රන්ථයෙහි ද මහනුවර ඇසළ පෙරහර ගැන සඳහන් කැර ඇත. එම
විස්තරයෙන් කොටසක් අපි මෙහි උපුටා දැක්වීමට කැමැත්තෙමු “
“මෙම පෙරහර දිවා කාලයෙහි එක් වාරයක් ද රාත්‍රි කාලයෙහි තවත්
වාරයක් දැයි දෙවාරයක් ම නගර ප්‍රදක්ෂිණා කරන්නේ ය. මෙම උළෙල
අමාවක් දා පටන් පුර පසළොස්වක් දා දක්වා සකල උත්සව ශ්‍රී
විභූතියෙන් යුක්තව පවත්නේ ය.”
“මෙම උත්සව සමයෙහි දෙවොල් කෝවිල් කරා පැමිණ දේව ස්තොත්‍ර
පවත්වන්නා වූ ද, නැටුම් ගැයුම් බලා පී‍්‍රති ප්‍රබෝධයට පත්
වන්නා වූ ද නා නා විධ ජනතාවගෙන් සමස්ත නගර ප්‍රදේශය ම අතුරු
සිදුරු නැතිව ජනාකීර්ණ වන්නේ ය. දේවාල ජන සන්නිපාතයෙන් උත්සන්න
වෙති. පුර පසළොස්වකට දෙතුන් දවසක් තබා ඒ ඒ දේවාලයන්හි දෙවියන්
වැඩමවන “රන්දෝලි “ සරසා එක් එක් දෙවියන් හට අයත් ආයුධ හා ආබරණ
ඒවායේ තබා, රිදී කළයක් ගෙන ගංගා තීර්ථයට සඳපානේ ගමන් කොට “ දිය
කපා “ එම රිදී කළයට පැන් පුරවා ගෙන පෙරළා දේවාලයට එති. එම පැන්
කළය ඊළඟ වර්ෂයේ උත්සවය පැවැත්වෙන තුරු ඒ ඒ දොවාලවල සුරැකි ව
තබනු ලැබේ. ඇසළ උත්සවය ද මෙතෙකින් සමාප්ත වේ . “
“අනාදිමත් කාලයක සිට රටේ හා රට වැසියන් ගේ ශුභ සිද්ධිය සඳහා
වර්ෂයක් පාසා ම පවත්වනු ලබන මෙම පෙරහර වර්ෂ 1664 දී පවත්වන්නට
මහ රජතුමා ඉඩ නො දුන්නේ ය. එහි ප්‍රතිඵලයක් වශයෙන් දෝ එම
වර්ෂයෙහි රජුට විරුද්ධ ව මහ කැරැල්ල ඇති වූයේ ය. එයින් පසු
කිසි ම වර්ෂයක පෙරහර අවලංගු කැර ලන්නට මහ රජු බිය විය .”
“ මෙම පෙරහර කාලය තුළ හත් අට දවසක් මුළුල්ලේ නගරයේ ඒ ඒ තැන්හි
පවත්නා නැටුම්, ගැයුම්, විජ්ජා , විකාර බොහෝ ය. එම විකාර මෙහි
විස්තර කිරීමට තරම් නො වූ කිසි ම තේරුමකට නැති මෝඩ විගඩම් ය. “
රොබට් නොක්ස් ගේ මේ සටහන ද ඉතා වැදගත් ය. එයින් පැවැසෙන්නේ
මහනුවර ඇසළ පෙරහර එදා පැවැති ආකාරය පමණක් ම නො වේ. මෙය ,
ආගමත්, කලාවත්, දේශපාලන බලයත් මනා ව සංයෝග කරන මහෝත්සවයක් යැයි
මහාචාර්ය ජේ.බී. දිසානායක ශූරීන් දක්වන අදහස ද එයින් තහවුරු
කැරේ. එ බැවින් මේ මහා සංස්කෘතික මංගල්‍යය අනාගතයට රැගෙන යෑමට
අවශ්‍ය කටයුතු යෙදීම අප සියලු දෙනා ගේ යුතුකම ය.
ඇසළ පෙරහර සංස්කෘතිය අනාගතයට රැගෙන යෑම සඳහා ඇති ලොකු ම බාධකය
පාරම්පරික කලාකරුවන් බිහිකිරීම පිළිබඳ ගැටලුවයි. අභාවයට යමින්
තිබෙන ගුරුකුල ක්‍රමය වෙනුවට පාරම්පරික ශිල්පීන් බිහි කැරෙන
වෙනත් සාර්ථක වැඩ පිළිවෙළක් අපට තිබිය යුතු ය. දුරකථන කෙටි
පණිවුඩ මඟින් කලාතරු බිහි කිරීමේ උත්සාහයක නිරත ව සිටින
බහුතරයක් ශ්‍රී ලාංකිකයන්ට පාරම්පරික කලාව පිළිබඳ හැඟීමක්
නොමැති තරම් ය. මේ තත්ත්වය වෙනස් කිරීමට ජාතිකානුරාගී වත්මන්
සමාජ වාතාවරණය උපයෝගී කැර ගැනීමට පුළුවන . |