UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

මාතර නාවිමන ඉතිහාසගත පුරා වෘත්තයන්ට සම්බන්ධ ග්‍රාමයකි. නිල්වළා ගංගාවට සමීපව කඳු පෙළකට මැදිව සුන්දර වටාපිටාවකින් යුත් මෙම ග්‍රාමය වඩාත් ප්‍රකටව ඇත්තේ නාවිමන ගිරි කන්දරාරාම පුරාණ විහාරස්ථානය හෙවත් නාවිමන පුරාණ මහා විහාරය හේතුවෙනි.


බුදුන් වහන්සේ ආටානාටිය සූත්‍රය දේශනා කළ අයුරු දැක්වෙන මූර්තියක්

රුහුණේ නාග පරපුරෙත් නාග ගෝත්‍රයත් නාග යන යෙදුම් සහිත නම් ඇති රජ කුලයත් නාවිමන ඉතිහාසයට මහත් වූ ආලෝකයක් සපයයි.

පුරා විදු අධිකාරින්ගේ බලවත් අවධානයට ලක්වූ නාවිමන ද්විභාෂා ටැම්ලිපිය සහ නාවිමන තොටුපල ද නාවිමන ගැන කරුණු දක්වන විට අමතක කළ නොහැකිය. නාවිමන පුරාණ විහාරස්ථානය නාගස් සමූහයක් මැද පිහිටා තිබූ බව කියන පුවතද සැලකිය යුත්තකි.

සියම් නිකායේ මල්වතු පාර්ශ්වයට අයත් මෙම විහාරස්ථානය තොටගමුව සඟ පරපුර නියෝජනය කරන අතර මෙහි ඉතිහාසය 1792 දක්වා ඈතට දිව යයි.

විහාරයේ මුල්ම නාහිමියන් වන්නේ දීයගහ පියදස්සි හිමිපාණන් ය. ඉන් අනතුරුව හුංගංගොඩ සුමනතිස්ස නාහිමියන්ද නාවිමන සමිද්ධි නාහිමියන්ද විහාරාධිපති පදවියට පත්විය. නාවිමන සමිද්ධි නාහිමියන්ගේ යුගයේදී මෙම විහාරස්ථානයේ මෙන්ම ප්‍රදේශයේද ආගමික හා සංස්කෘතික පුනර්ජීවය සඳහා සුවිශාල සේවාවක් සිදු කෙරුණු අතර සුවිසල් ජනතා සේවාවක්ද ප්‍රදේශයට දායාද කෙරිණි.


විහාරස්ථානයේ දසුනක්

ශත වර්ෂාධික කාලයක් ආයු වළදා උන් වහන්සේ අපවත් වන විට එම ආධිපත්‍ය යටතේ ගාල්ල කච්චුවත්ත දීපදුත්තාරාම පුරාණ විහාරය, කොළඹ තලවතුගොඩ සුගතාරාම පුරාණ විහාරයද විය. එම ශිෂ්‍ය පිරිස් අතර ගරු මෙදේරිපිටියෙ තපස්සි ස්වාමීන් වහන්සේ කොළඹ ආනන්ද විද්‍යාලයේ ධර්මාචාර්ය ධූරය හොබවමින් තලවතුගොඩ සුගතාරාම පුරාණ විහාරයේ ඉමහත් ශාසනික මෙහෙවරක් ඉටු කරයි. දැනට නාවිමන ගිරිකන්දාරාරාම පුරාණ විහාරයේ විහාරාධිකාරි ධූරය හොබවන්නේ පූජ්‍ය යටලමත්තේ විපස්සි ස්වාමින් වහන්සේ ය.


විහාරාධිකාරී යටලමත්තේ විපස්සි හිමි

ඉපැරණි නටබුන් විහාරය වෙනුවට 1938 වසරේ නව විහාර කර්මාන්තය ඇරඹිණි. කුඩා කඳු දෙකක් අතර අති සුන්දර පරිසරයක පිහිටි මෙම විහාරය දෙස් විදෙස් බැතිමතුන්ගේ ජනාදරයට පාත්‍ර වී ඇත.

ප්‍රධාන බුද්ධ මන්දිරය අතිරේකව කුඩා විහාර මන්දිරය , පිවිසුම් දොරටුවේ මකර තොරණ, දෙවන තෙවන කුඩා විහාර, පැරණි අලංකාර බෞද්ධ සිතුවම් හා ප්‍රතිමාවන් සහ ලක්දිව කිසිදු විහාරයක දක්නට නැති අන්දමට ආටානාටිය සූත්‍ර දේශනා පිළිබිඹුව සුවිශේෂ වේ. දස පාරමිතා දැක්ම ද තවත් විශේෂිත නිර්මාණයක් වේ.

අන්‍යාගමික විදේශිකයන්ගෙන් පවා මේ විහාරයේ අලංකාරය ගැන මහත් පැසසුම් ලබා ඇත. ප්‍රසිද්ධ රූපවාහිනි සේවයක සවනක් රැස් වැඩ සටහනද ඉකුත්දා පැවතියේ මෙහිය.


විහාර මන්දිරය

ජාතික ආගමික ප්‍රබෝධය උදෙසා මහත් මෙහෙයක් සිදු කෙරෙන දකුණු ලක පමණක් නොව මුළු රටේම ප්‍රකට නාවිමන පුරාණ මහා විහාරය අවශ්‍ය බලධරයන්ගේ නොමද අවධානයට යොමුව මහත් උවමනාවෙන් සුරැකිය යුතු වටිනා සිද්ධස්ථානයකි.

 

 

 

 

 

ඇසළ අව අටවක පෝය
ඇසළ අව අටවක පෝය ජූලි මස 15 වන දා බදාදා පූර්ව භාග 03.27 ට ලබයි.
16 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 3.07 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ජූලි මස 15 වන දා බදාදා ය.

මී ළඟ පෝය ජූලි මස 21 වන දා අඟහරුවාදා ය.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 15

New Moonඅමාවක

ජූලි 21

First Quarterපුර අටවක

ජූලි 28

Full Moonපසෙලාස්වක

අගෝස්තු 5

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]