නාරාවිල පැට්රික්
කර්ම සංකල්පය පොදුජන වහරෙහි ද, වෙසෙසින් ම බෞද්ධ දර්ශනයෙහි ද බෙහෙවින්
පුළුල් ලෙසත්, ගැඹුරු ලෙසත් සංවාදයට ලක්වී ඇති ආකාරය රහසක් නොවේ. බුද්ධ
දේශනාවේ දී සාකච්ඡාවට බඳුන් වී ඇති අයුරින් පෙනෙන්නේ, බුදුන් වහන්සේ
අන් හැම තැනකදීම මෙන්ම, කර්මය පිළිබඳ සාකච්ඡා කරන තන්හිදීත් ගුරුමුෂ්ටි
නොතබා ම ඒ ගැන අර්ථකථනය කර ඇති බවයි.
ඇතැම් විට මළපොතේ අකුරක් නොදන්නා බෞද්ධයා පවා, තමන්ගේ ජීවිතය පිළිබඳ
නොයෙක් ප්‍රශ්න වලදී ඒවා විග්‍රහ කරන්නට කර්ම සංකල්පය යොදා ගත් ආකාරය
සිත් ඇදගන්නා සුළුය. “දැන් ඉතින් කරන්න දෙයක් නෑ කරුමෙ විඳවන්න වෙයි,
මේව ඉතින් අපේ කරුමෙටම වෙන එවුව තමයි, මුං ඉපදිලා ඉන්නෙ අපේ කරුමෙට
අපිව ම කන්ඩ, ඔය ඉතින් අපි ලබා උපන් හැටි තමයි. කළ කළ දේ පල පල දේ, කරන
කලට පව් මීරිය මී සේ - විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ,” වැනි යෙදුම්
අපේ ජනතාව අතර භාවිතයට ගොස් ඇත්තේ පුරුද්දක් හැටියට පමණක් ම නොවේ. දිගු
කලක් තිස්සේ අත්දුටු බුදුදහමේ බලපෑමෙනි. එපමණක් නොව කර්මය හා අපේ
ජීවිතයත් අතර පවත්නා අනන්‍ය සහසම්බන්ධතාවේ ප්‍රතිඵලයක් වශයෙනි. ඇත්තටම
මේ සම්බන්ධතාව ක්‍රියාත්මක වන්නේ කවර ආකාරයෙන්ද?
මෙහිදී කර්ම යන්නෙහි මූලිකාර්ථය තේරුම් බේරුම් කර ගැනීම අත්‍යන්තයෙන්
වැදගත් ය. එනම් එහි මූලිකාර්ථය ක්‍රියාව යනුයි. ප්‍රායෝගික සිංහල
ශබ්දකෝෂයේ කර්මය යන්නට තේරුම් 13 ක් දී ඇත. ඒ සියල්ල ක්‍රියාව යන්න
පාදක කොට පවතී. එබැවින් කර්මය යන්නෙහි මූලිකාර්ථය ක්‍රියා අර්ථයෙන් කවර
හැටියකින් වත් වියුක්තව ගෙන කතා කළ නොහැකි ය. බුදුදහමෙහි කර්මය පිළිබඳ
අර්ථකථනයන්හිදී එයට ගම්භීර හෙවත් දාර්ශනික අර්ථයක් විනිවිද ගොස් ඇති බව
පෙනේ. කර්මය යන්න වඩාත් සරලාර්ථයෙන් තේරුම් ගෙන එහි කර්මණ්‍ය භාවය
නිරවුල් කර ගත හැකි වන්නේ ක්‍රියාව යනු යොදා ගැනීමෙනි යි සිතමි.
සාමාන්‍ය තත්ත්වයෙන් මොහොතක් පීලි පැන, ක්‍රියාවේ මූලික ලක්‍ෂණයක්
ඇතැයි කියන්නට සිතේ. එනම් ස්වයංක්‍රීයත්වයයි. අප මොහොතකට වත් ගණන්
නොගන්නා විශ්ව ශක්තියේ ක්‍රියාකාරීත්වය තුළ ඇත්තේ මේ ස්වයංක්‍රීයත්වය
නොවේද? අනාදිමත් යුගයක එය තේරුම් ගත නොහැකිව සිටියාහු එයට දේවත්වයක්
ආරෝපණය කළහ. විශ්ව ක්‍රියාකාරීත්වය යනු කුමක්ද? එනම් පඤ්ච මහාභූත
ක්‍රියාකාරීත්වයයි. එනම් අවකාශය තුළ පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන භූත
ගුණයන්ගේ පැවැත්මේ ස්වභාවයයි. නූතන භෞතික විද්‍යාව මගින් හඳුන්වාදී
ඇත්තේත් භූත ගුණ විද්‍යාව ම මිස අනෙකක් නොවේ. එහෙත් භෞතික විද්‍යාවේදී
භූත ගුණ හඳුන්වා ඇත්තේ තාපය, ආලෝකය, ශබ්දය, චුම්බකත්වය, විද්‍යුතය,
ද්‍රව්‍ය ගුණ ආදී විසිනි.
විශ්ව ශක්තිය උපරිමයෙන් ආකෘතිගත වී ඇති අවස්ථාවක් ලෙස සෞරග්‍රහ මණ්ඩලය
දැක්විය හැකි ය. එහිදීත් ප්‍රමුඛත්වය ලැබෙන්නේ සූර්යයාට ය. එයට හේතුව
පඨවි ආපෝ, තේජෝ, වායෝ කියුවත්, තාපය, ආලෝකය, චුම්භකත්වය, විද්‍යුතය ආදී
විසින් කියුවත් ඒ සියල්ලේ දී සූර්යයාට පීතෘත්වයක් ඇති බව පිළිගත හැකි
නිසයි. සූර්යයා විෂයයෙහි අඩංගු විශ්ව ශක්තිය කෙතරම් ප්‍රබල ද කියතොත්,
එය විශ්ව ශක්ති ප්‍රභවය වෙතියි කියන්නට තරම් විශ්වය පාලනය කිරීමේ
හැකියාවෙන් යුක්ත වනු ඇතැයි සිතීමේ සාධාරණත්වයක් ඇත. ලොව බිහි වූ
මුල්තම ආගම සූර්යා වන්දනාව බව සාධනය කරන්නට හේතු දැක්විය හැක්කේ මේ
නිසා ය.
ඉහත දැක්වුණු විවරණයට අනුව විශ්ව ශක්තියත්, මිනිසාත් අතර අනන්‍ය
සබඳතාවක් ඇතැයි පෙනේ. එනම් මිනිසා යනු විශ්ව ශක්ති පුඤ්ජයක් හෙවත්
අංශුවක් වන බවයි. විශ්ව ශක්ති අංශූන්ගේ එක්තරා සංයුතියක ප්‍රතිඵලයක්
විසින් ජීව ඉතිහාසයේ යම් දිනක ඒක සෛලී ජීවියෙක් බිහි වූයේ ය. ඒ
ජීවියාගේ දීර්ඝකාලීන පරිණාමයෙන් මානවයකු බිහි වූ ආකාරය ජීව, රසායන,
මානව ආදී විද්‍යා ඇසුරින් තේරුම් ගත හැකි වනු ඇතැයි සිතේ. එකී පරිණාමයේ
දී ස්වයංක්‍රීය කාර්යවලියක් ද සිදුවුණු බව සිතන්නට අවකාශ ඇත. දියුණූ,
තියුණුව මනසකින් යුත් ජීවියකු පරිණාමයට ගියේ කවර අවස්ථාවේදී දැයි
කියන්නට නම්, තවත් කෙතරම් පර්යේෂණ පැවැත්විය යුතු දැයි කීම විද්‍යාඥයන්
සතු වගකීමකි. කෙසේ වෙතත් අද අපට මිනිසා යනු කවරෙක් දැයි හඳුන්වා දෙන
අර්ථකථනයක් ලැබී ඇත. එනම්, “මනසින් උසස් වූයේ මිනිස් නම් වේ” යනු යි.
පරිණාමයට යන අතර මනසක් ලබා, මනසින් උසස් වූ මිනිසාට අද සිතින් සිතන්නට
පුළුවන, කටින් කතා කරන්නට පුළුවන, කයින් වැඩ කරන්නට පුළුවන. අපි ඒවා
මානසික ක්‍රියා, වාචසික ක්‍රියා සහ කායික ක්‍රියා නමින් හඳුන්වමු. අප
සිතින් සිතන්නා සේම, ඒ සිතට නිරායාසයෙන් සිතෙන්නටත් පුළුවන. සිතින්
සිතා කටින් කතා කරන්නා සේම, ඒ කටින් ම නිරායාසයෙන් කතා කෙරෙන්නටත්
පුළුවන. සිතින් සිතා කයින් නොයෙක් ක්‍රියා කරන්නාක් සේ ම, ඒ කයින් ම
නිරායාසයෙන් නොයෙක් ක්‍රියා කෙරෙන්නටත් පුළුවන. මෙසේ සිතින් හෝ වචනයෙන්
හෝ කයින් හෝ කැරෙන ක්‍රියා ස්වයංක්‍රියා ලෙස හඳුන්වනු හැකි ය. අප කරන
ක්‍රියා හෝ අපෙන් කැරෙන ක්‍රියා කුසල පාක්‍ෂික හෝ අකුසල පාක්‍ෂික
වන්නටත් පුළුවන.
නියත වශයෙන්ම නියම කර්මය වන්නේ කවර තත්ත්වයක් තුළ දැයි තේරුම් ගැනීමට
සුපතළ පහත දැක්වෙන විවරණය වැදගත් වනු ඇත. “චේතනාහං භික්ඛවේ කම්මං
වදාමි, චේතයිත්වා කම්මං කරෝති, කායේන, වාචාය, මනසා.”
(ධම්මසංගණිද්වාරකථා)
“අදාළ අරමුණු ඔස්සේ සිතින් සිතා, කයින්, වචනයෙන් සහ සිතින් කර්ම කරනු
ලැබේ.” කුසල පාක්‍ෂික ක්‍රියාවකින් කරන්නාටත්, විඳින්නාටත් ලැබෙන
ප්‍රතිඵලය යහදායක ය. අකුසල පාක්‍ෂික ක්‍රියාවකින් කරන්නාටත්,
විඳින්නාටත් ලැබෙන ප්‍රතිඵලය අයහදායකය. කුසල පාක්‍ෂික හෝ අකුසල
පාක්‍ෂික ක්‍රියාවක ප්‍රතිඵලය කෙබඳු දැයි ධම්මපදය මෙසේ දක්වයි.
“පුඤ්ඤං චේ පුරිසෝ කයිරා - කයිරාථොතං පුනප්පුනං
තම්හි ඡන්දං කයිරාථ - සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ” (ධම්මපද 118)
“යම් පුද්ගලයෙක් පිනක් කරන්නේ නම් නැවත නැවත කරනු මැනවි. ඒ පින කෙරෙහි
කැමැත්ත ඇති කරගනු මැනවි. පින් රැස් කිරීම සැපයට හේතු වෙයි.”
“පාපං චේ පුරිසෝ කයිරා - න තං කයිරා පුනප්පුනං
න තම්හි ඡන්දං කයිරාථ – දුක්ඛෝ පාපස්ස උච්චයෝ” (ධම්මපද – 117)
“යම් පුද්ගලයෙක් පවක් කරන්නේ නම් එය නැවත නැවත නොකරනු මැනවි. එයට
කැමැත්තක් නොදක්වනු මැනවි. පව් ගොඩගැසීම දුකකි.”
ජීවිතයත් කර්මයත් අතර පවත්නා අනන්‍ය සබඳතාව අනුව බලන විට, සපුරා ම
කර්මය විසින් මිනිසා පාලනය කරනු ලබන බව කීමේ අසාධාරණයක් නැත. ඒ බව
බුදුන් වහන්සේ මෙසේ වදාරති. “කම්මස්සකා මානව සත්තා කම්මදායාදා
කම්මයෝනි, කම්මබන්ධු, කම්මපටිසරණා. කම්මං සත්තේ විභජති යදිදං
හීනප්පණිතතාය.” – චුල්ලකම්මවිභංගසුත්ත.
“මානවකය, ලොව සියලු සත්ත්වයෝ කර්මය තමන් සතු ධනය කොට ඇත්තාහු වෙත්.
කර්මය ම දායාද කොට සිටිත්, කර්මය ම සතරාකාර උපතට හේතුවයි. සත්වයෝ
කර්මයම සිය නෑයා කොට සිටිත්. කර්මය එකම පිහිට කොට සිටිත්, කුසලාකුසල
කර්මයම සත්වයන් උසස් පහත් ආදී භේදයට පත් කරයි.”
යෝනිසෝමනසිකාරයෙන් යුතුව මොහොතක් සිතා බැලුවොත් සියලු සත්ත්වයෝ
කම්කරුවෝ නොවෙත් දැයි සිතේ. එනම් කර්මකාරකයෝ ය. නිරන්තරයෙන්ම අප
කවුරුන් හෝ ජීවත් වන සීමිත වාතාවරණයකදී පවා අපට කීදෙනෙක් දකින්නට
ලැබෙත් ද? අපි කෙතරම් පිරිසක් සමග සිතින්, කයින් හා වචනයෙන් සබඳතා
පවත්වමුද? මෙය අප කාගේත් නිරන්තර අත්දැකීමක් නොවේ ද? එක් අතකින් අප මේ
කරන්නේ ජීවිතය සමග පොරබැදීමක් නොවන්නේ ද? එහෙත් ඒ කුමක් සඳහා ද?
ජීවත්වීම සඳහාම වන්නේ ය. එකල්හි මේ ජීවන සටනේ දී අපට ලැබෙන ප්‍රතිඵලය
වන්නේ අප කළ කුසලකර්ම හා අකුසලකර්මයන්ගේ ආනිශංසය හා විපාකයම බව අපට
අත්දකින්නට ලැබෙන බව අමුතුවෙන් එළිදරවු කළ යුතු රහසක් නොවේ.
කෙසේ වෙතත් අපේ ජීවිත කුසලකර්ම හා අකුසලකර්ම අතර දෝලනය වන්නක් බව පෙනේ.
එහිදී කුසලකර්මයන්ගේ පැත්තට බර වැටෙත් ම සිත තුළ සැනසිලිදායක පහන් බවක්
ඇති වන බව අත්දකින්නට ලැබේ.
එසේම අකුසලකර්මයන්ගේ පැත්තට බර වැටෙන විට ඒ අනුපාතයෙන් සිතට දැනෙන සහනය
හෝ නිවීම අපට නොදන්වා ම අප වෙතින් පලායනු ද නියත ය. අවසන් විසින්
කියතොත්, අපේ අකුසලකර්මයන්ගේ බලය, කුසල කර්මයන්ගේ බලයෙන් මැඬලා ඒවාට
හිස ඔසොවන්නට අවකාශයක් නොදෙන අනුපාතයට අපට සහනය සැලසෙන එක් ආකාරයක්
ධම්මපදය මෙසේ දක්වයි.
“යස්ස පාපං කතං කම්මං - කුසලේන පිථීයති
සෝ ඉමං ලෝකං පභාසේති – අබ්භාමුත්තෝව චන්දිමා” (ධම්මපද 173 )
“යමෙකු කළ පාපය හෙවත් අකුසලය, කුසලයෙන්, වැසී යේ ද, හෙතෙම වලාපටලයෙන්
නිකුත් පුන්සඳ මෙන් මෙලොව එළිය කරයි.”
මේ ගාථා ධර්මය බුදුමුවින් නිකුත් වී ඇත්තේ අඟුල්මල් තෙරුන් නිමිති
කරගෙන ය. අඟුල් මල් සොරහු කැපූ ඇඟිලි ගණන මෙතෙකැයි නැත. දහස ගණන් ගත්තේ
බෙල්ලේ එල්ලා ගත් මාලයෙනි. අතන මෙතන කුණුව ගිය ඇඟිලි ගණන එයට අයිති
නැත.
කුසලධර්මයන්ගේ මහිමය සිය 22 වැනි පැදියෙන් වඩාත් සරල බසින් ලෝවැඩ සඟරාව
දක්වන්නේ මෙසේ ය.
“ඉස ගිනි ගත්තකු එගිනි නිවන ලෙස
කුසලට මඳකුත් පමා නොවනු මිස
මෙසසර අත්හැර නොයන මෙදුක් රැස
වෙසෙසින් නැත අත් හරිනා උපදෙස” |