පඩි පෙළ නැග දුෂ්කර ක්‍රියාව සැමරීමට තැනූ කුඩා කාමරයට ඇතුළු වුණෙමු.
හිත ගැස්සෙන තරමට සංවේගයක්! කළුවර අතරින් බෝසතුන් ගේ දිරාපත් වුණු
ශරීරය පෙනේ. එය රන්වන් පැහැයෙන් දිලිසේ. අඳුර අතරින් හඳුන්කූරු සුවඳ
දැනේ. හින්දු භක්තිකයෝ දෙදෙනෙක් ඒ අසල
හිඳගෙන සිටිති. බෝධි සත්ව පිළිරුවට නමස්කාර කොට පහළට පැමිණ නිසල තැනෙක
හිඳගෙන
බුද්ධානුස්සති භාවනාවෙහි යෙදුණෙමි. අර සංවේගය හා ගුප්ත බව අතුරුදන් වී
සිත අලෝකවත්
වූවා වැනි ය.
තිලකා නන්දනී ගුණසේකර හෝරා යතුර නාද වෙනු ඇසී මම පිබිදුනෙමි. කන් යොමා අසා සිටියෙමි. මහ
හඬින් නැගෙන “ටාං” ශබ්දය මිස වෙලාව හරි හැටි නොපෙනෙයි. කොට්ටය යටට
අතරුවා ජංගම දුරකථනය ගෙන බැලුවෙමි. පාන්දර 3.45 යි . නැවත ඇස පියන්නට
වේලාවක් නැති තරම්. මම කොට්ටය ඇඳ වතට හේත්තු කොට ඊට හාන්සි වීමි.
විඩාපත් ගත මෙන්ම දෙනෙත ද නිදිබරය. තව මොහොතකින් දොරට පිටින් තට්ටු කර
“ ගුඩ් මෝනින් තේ...ගන්න උණුවතුර ගෙනාවා “ ෂෙහැම් ගේ ළමා කටහඬ ඇසෙනු
ඇත.
මම බලා සිටියෙමි. පාන්දර 4.00 ද නාද වනු ඇසේ. ෂෙහැම් නැත. මම නැගිට
විදුලි බුබුළ දැන්වුවෙමි. අම්මා පොරෝණය යටට වී නිදිය . කෝ අයියා ...?
කාමරයේ අම්මාත් මමත් පමණි. අපේ ගමන් බෑග අපිළිවෙලකට තැන තැන විසිරී ඇත.
මොහොතකට වික්ෂිප්ත වූ සිතට.....සියල්ල වැටහෙයි. මේ ලංකාවයි! අපේ නැවතුම
යි! කුමක් දෝ පාලුව මුසු සාංකාවක් හිතට නැගේ. නිදිබර ගතිය කෙමෙන් පහවී
යයි. අද මාර්තු 18 යි. අප ලංකාවට ආවේ 17 වැනිදා පාන්දර. දින 12 ක්
තිස්සේ හුරු පුරුදු වූ ජීවන රටාව අද වෙනස් වී ගොසිනි.
සැවැත්නුවරට ගිය ශී‍්‍ර ලාංකික වන්දනා නඩයක් ඡායාරූපය- රුවන් තරස්වින්
|
මම සිතින් මාර්තු 5 වැනිදා සොයා ගියෙමි. පාන්දර 2.30 යි .අයියාත් මමත්
අම්මා කැටුව කටුනායක ගුවන් තොටුපලට ආවේ පාන්දර 1.00 වෙන්නටත් පෙරය.
ඇවිදීමට අපහසු අවුරුදු 96 ක් වූ අම්මා රෝද පුටුවේ තබාගෙන මම ඉදිරියෙන්
.අයියා අපේ ගමන් මලු තබාගත් ටේරාලිය තල්ලු කරගෙන මා පිටුපසිනි. අපේ
උර මත රැඳුන ඒකම හැඩය සහ පාට රැගත් බෑග අපේ කණ්ඩායමේ අනන්‍යතාව හෙළි
කරයි. ටිකින් ටික රතු බෑග ගුවන් තොටු පලට ඇදී එයි. සාමූහික හැඟීම හිතට
පහසුවක් ඇති කරයි . “ අන්න සුමංගල හාමුදුරුවෝ “ අයියා , අත දිගු කර
පෙන්වයි. සෙනග අතරින් ඇදී ගොස් අපි හාමුදුරුවන්ට නමස්කාර කළෙමු. “ බුදු
සරණයි “ ඒ ගැඹුරු කටහඬ හිත සුවපත් කරයි. අපේ ගමනට හොඳම හොඳ
ආශිර්වාදයක්!
අසූවක් වූ අපේ නඩය නව දිල්ලිය බලා ආවේ පෙරවරු 10.00 ටයි. පළමු දවස
විවේකයෙන් ! සල්ලි මාරු කරගන්න...අවශ්‍ය රෙදි වැනි යමක් මිලදී
ගන්න....සංවිධායක මහතා අප නව දිල්ලියේ වීදියකට රැගෙන ගියේය. දඹදිව
සංචාරයේ මුල් දවස ඒ අනුව ගෙවී ගියේය. රාත්‍රි කෑමෙන් පසු පොඩි “පොකට්
මීටින් “ එකක් හෙට දවසේ වන්දනා කරන ස්ථානය , ඇඳගෙන යායුතු ඇඳුම , පූජා
කළ හැකි දේවල් සම්බන්ධව එතැනදී අප දැනුවත් කිරීම සිදුවිය.
උදෑසන 4.00 ට නැගිට සූදානම් වී , තේ පානය කර 5.00 වන විට හෝටලය ඉදිරියේ
ඇති වායු සමීකරණය කළ බස් රථ දෙකට නැගී හිමි අසුනේ වාඩිවිය යුතුය.
අම්මාට නැගිටින්න අමාරු උනත් ඔසොවා ගෙන යද්දී වේදනාවක් දැනුනත් අම්මා
මේ සියල්ලට අනුගත වූයේ සතුටිනි. ශ්‍රද්ධාවෙනි. හිමිදිරි පාන්දර මීදුම
අතරින් ඇදී යන බස් රථයේ හිඳගෙන අපේ කණ්ඩායමේ සිටි ස්වාමීන් වහන්සේ සමග
තිසරණ සහිත පංචශීලය සමාදන් වී කරණීය මෙත්ත සූත්‍රය සජ්ජායනය කරද්දී
සිතට දැනෙන සිසිල අප්‍රමාණය.
අපේ වන්දනාවේ මුල්ම දවස ගෙවී ගියේ සංකස්ස පුරයේය. සංකස්ස පන්සලේ පොඩි
හාමුදුරුවෝ එහි ඉතිහාසය විස්තර කරති. තම මෑණියන්ට යුතුකම් ඉටුකරලීම
සඳහා බුදුපියාණන් වහන්සේ දෙව් ලොවට වැඩම කර ආපසු සංකස්ස නුවරට මැණික්
ඉණිමග දිගේ බැස ආ ලෝක විවරණ අවස්ථාව සවනත ගැටෙද්දී සිතා ගත නොහැකි
අපූර්ව සතුටක් සිතට නැගෙයි.
එතැනින් සංකස්ස චෛත්‍යය ළඟට ! “කවුරුවත් උඩට නගින්න එපා පාගන්න යන්න
එපා “ සංවිධායක මහතාගේ විධානයට කව්රුත් එකඟ වේ. එහෙත් සමහර කණ්ඩායම් වල
වන්දනාකරුවන් චෛත්‍යය ඉහළට ඇවිද යනු පෙනේ.
අපේ දෙවැනි දවස බරණැස ඉසිපතන මිගදායේය. ඒ පවිත්‍ර භූමියේදී අපට හමු වූ
දසසිල් මෑණියෝ මුළු හවස් කාලයම ගත කළේ අපව තැනින් තැන කැඳවා ගෙන යමින්
හා විස්තර කියා දෙමිනි. එතුමියගේ හීන්....කටහඬ දැනුදු සිහියට නැගේ.
අවුරුදු දෙදහස් පන්සිය ගණනක් ආපස්සට අපව කැඳවා ගෙන යෑමේ ශක්තියක් ඒ
කටහඬ තුළ ගැබ්වී තිබිණි. හවස 6.00 ට මූලගන්ධකුටි විහාරයේදී දම්සක්
පැවතුම් සූත්‍ර දේශනාවට සම්බන්ධ වීම ජීවිතයේ අමතක නොවන මොහොතකි. බුද්ධ
ප්‍රතිමාවක් නොව ජීවමාන බුදු සමිදු අප දෙස බලා සිටින්නා සේය. නෙත් තෙත්
වීම වළකා ගත නො හැකිය. පිරිත් සජ්ජායනයෙන් පසු පේළියට ගොස් ස්වාමීන්
වහන්සේ ඉදිරියේ හිස පහත් කර සධාතුක කරඬුවෙහි ආශිර්වාදය ලබා ගත්තෙමු.
සාදු! සාදු! දෙතොල් අතරින් පිටවේ.
අපේ සංචාරයේ සතරවැනි දවස බුද්ධගයාවයි. දිවා අහරින් පසු අප වෙනුවෙන්
කුලියට ගනු ලැබූ ජීප් රථ 10 ක නැගී දුර්ගේෂ්වරී බලා ගියෙමු. නේරංජනා
නදියේ දිය බිඳ කුදු නැත. මේ කාලයට එහි දිය සිඳෙන බැව් රියැදුරු තැන
කීය. දූවිලි අතරින් ඇදී යන ජීප් රථයේ කව්ලු අතරින් ඈත කඳු පේළිය නෙත
ගැටේ. “අනේ ..බෝසතාණන් වහන්සේ අප වෙනුවෙන් මේ පරිසරයේදී මොනතරමේ දුකක්
වින්දාද” දුර්ගේෂ්වරී පන්සලේ ලූන්ශූ හිමියෝ සිනා මුසු මුහුණින්
ආලින්දයේ වැඩ සිටිති. අපි පඩි පේළියෙහි හිඳගෙන රණවරා තැම්බූ වතුර හකුරු
සමග පානය කළෙමු. එය විඩාපත් ගතට දිව ඔසුවකි. පඩි පෙළ නැග දුෂ්කර
ක්‍රියාව සැමරීමට තැනූ කුඩා කාමරයට ඇතුළු වුණෙමු.
හිත ගැස්සෙන තරමට සංවේගයක්! කළුවර අතරින් බෝසතුන් ගේ දිරාපත් වුණු
ශරීරය පෙනේ. එය රන්වන් පැහැයෙන් දිලිසේ. අඳුර අතරින් හඳුන්කූරු සුවඳ
දැනේ. හින්දු භක්තිකයෝ දෙදෙනෙක් ඒ අසල හිඳගෙන සිටිති. බෝධි සත්ව
පිළිරුවට නමස්කාර කොට පහළට පැමිණ නිසල තැනෙක හිඳගෙන බුද්ධානුස්සති
භාවනාවෙහි යෙදුණෙමි. අර සංවේගය හා ගුප්ත බව අතුරුදන් වී සිත අලෝකවත්
වූවා වැනි ය.
ඉන් පසු අප ගියේ සේනානි ගමටයි. සුජාතා සිටු මාලිගය, කිරිපිඬු පූජා කළ
ස්ථානය , සත් සතිය ගත කළ ස්ථාන ආදිය එහිදී වන්දනා කළෙමු. හින්දු පොඩි
දරුවෝ අප පසු පසින් එති.
සමහරු මුදල් ඉල්ලති. සිංහලෙන් කථා කරති. මහා බෝධියේ ස්වාමීන් වහන්සේලා
තම අධ්‍යාපන කටයුතු වලට උදව් කරන බවද ඔව්හු පවසති. අපේ කණ්ඩායමේ
සියල්ලෝම ශක්ති ප්‍රමාණයෙන් එම අධ්‍යාපන කටයුතු වලට උදව් කළෙමු. පසුදා
දවසම ශ්‍රී මහා බෝධිය අසලය. අපි පාන්දරින් නැගිට මුළුතැන් ගෙට ගොස්
දානය සඳහා අප ගෙනා භාණ්ඩ භාර දී කිරිපිඬු සකස් කිරීමට උදව් කළෙමු. කජු
කපා හකුරු සූරා කිරි පෙරා ඉතිපි සෝ ගාථාව සජ්ජායනය කරමින් කිරි පිඬු
සකස් කිරීමට ද උදව් කළෙමු. සිල් ඇඳුමින් සැරැසී හරියටම උදේ 5.30 ට
හෝටලය ඉදිරිපසින් ශ්‍රී මහා බෝධිය වෙතට පෙරහැරේ ගමන් කළෙමු.
කිරිපිඬු භාජනය සියල්ලන්ගේම හිස මතින් වැඩම කිරීමට සංවිධායකවරුන්
උනන්දු විණ. විහාරයට යෑමට සියල්ලන්ම රෝද පුටු නැවතුම් පළ දිගේ ඇවිද
ගියෙමු. කොච්චර ලේසිද? රෝද පුටුවේ බ්‍රේක් තද කර එය අල්ලාගෙන සිටිද්දී
...පහළට ....පහළට ..පුටුව ඇදීයයි. අයියා තනි අතකින් හැඬලය අල්ලා ගෙන
සිටී.
අප අෂ්ටාංග ශීලයෙහි පිහිට වු ස්වාමීන් වහන්සේ බෝධි පූජාවක්ද මෙහෙය වූහ.
දාන වේලාව එනතුරුම අපි ස්වාමීන් වහන්සේගේ ගැඹුරු දේශනාවේ දැහැන් ගත වී
සිටියෙමු. හමා එන මඳ සුළ¼ගට බෝ පත් එක දෙක සිලි සිලියෙන් ඇද වැටේ.
තායිලන්ත, බුරුම, ශ්‍රාවක ශ්‍රාවිකාවෝ කඩිසරව ඒවා අහුලති. “මෙන්න මගේ
උකුලටම එකක් වැටුණා ..” අම්ම මහත් පී‍්‍රතියෙන් නිය තුඩින් අල්ලා ගත්
බෝ පත්‍රය අපට පෙන්වයි. දහසක් සෙනග මැද රෝද පුටුවෙහි හිඳින අම්මා කැපී
පෙනෙයි. කාගෙත් නෙත් ඒ කෙරෙහි යොමුවෙයි. කැමරා එහෙන් මෙහෙන් දැල්වෙයි.
සමහරු ළඟට පැමිණ වයස අසාම ආශීර්වාද කරති. ප්‍රශංසා කරති.
සමහර පිටරැටියෝ වයස අසා පුදුමව නමස්කාර කරති. සිංහල වන්දනාකරුවෝද අප
අසලටම පැමිණ අපගේ ගමන අගය කරති. අපට පින්දෙති. සිතට අමුතුම ;;ධර්යයක්
ඇති වෙයි. “ඔයාලගෙ වචන අපිටත් හරිම හයියක් “ අපිත් අමාරුවෙන් වචන පිට
කළෙමු. එතරම්ම ඒ මොහොත හැඟීම්බරයි. එදින දහවල් දානය මහා බෝධියේ
ස්වාමීන් වහන්සේලාට සහ සිල් ගත් නඩයටද පූජා කිරීමෙන් පසු දුගී මගී
යාචකාදීන්ටද දානය පිරිනැමිණ. දානය පිළිගැනීමෙන් පසු අප පූජා කිරීමට ලබා
ගත් අටපිරිකර පූජා කිරීමටද අවස්ථාව ලැබුණි. එදින මුළු හවස් වරුවම ශ්‍රී
මහා බෝධිය අසල ගත කිරීමට අපට අවස්ථාව ලැබිණ. ධර්ම දේශනා අසමින්, පිරිත්
සජ්ජායනා කරමින්, භාවනා කරමින් ගත කළ එම දිනය වඩාත්ම තදින් සිතේ ඇඳුණු
දිනයයි.
පසු දින විශාලා මහනුවර බලා ගියෙමු. එය වඩාත් හැඟීම් බර දිනයක් විය.
බිම්බිසාර රජු සිරකළ ස්ථානය දෙව්දත් තෙර ගල පෙරලූ ස්ථානය, ගැල් 500
එරුණු ස්ථානය හා නාලන්දාව දැක බලා ගැනීමටද හැකි විය. ගිජ්ජකූටය බලා
විදුලි පුටු සංචාරය වැඩි දෙනෙක් භාර ගත්තේ විනෝදයටද මුසු වෙමිනි. එහිදී
හදිසියේම කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ දැකීමෙන් සිතට
සැනසිල්ලක් දැනිණ. මේ සියලු ස්ථානයන්ම දුෂ්කර ඒවා වන නිසා අම්මාට
බස්රිය තුළම රැඳී සිටීමට සිදුවිය.
අපේ නඩය වන්දනා ගමනින් ශ්‍රද්ධාව සේම විනෝදයද ලැබීමට උත්සුක වන බව
දැනුනේ එහෙන් මෙහෙන් බොදු ගුණ ගී හඬ ද ශ්‍රවණය වූ බැවිනි. එහෙයින් ගමනේ
දුර කිසිවෙකුට නොදැනිණ.
මේ වෙන විට අප කෙමෙන් ඉන්දීය දේශ සීමාවෙන් ඔබ්බට ලංවී සිටියෙමු.
නේපාලයත් ඉන්දියාවත් අතර වෙනස එහි දී තදින්ම දැනිණ.
අපේ ඊළඟ දිනය ගත වුණේ කුෂිනගර් යනුවෙන් හැඳින්වෙන කුසිනාරා නුවර
පිරිනිවන් මංචකය වැඳ පුදා ගැනීමටයි. මීටර් හයක් පමණ උසැති සැතපෙන බුදු
පිළිමය පිරිනිවන් මංචකය විදහා පායි. දේවාතිදේව වූ බ්‍රහ්මාති බ්‍රහ්ම
වූ බුදු පියාණෝ ඉදිමුණු සිරිපතුලින් යුතුව පිරිනිවන් මංචකයේ වැඩ
හිඳිති. එය දකින ඕනෑම දැඩි සිතක් වුවද තෙත් වනු නිරනුමානය. ඉකි ගැසීමක්
ලෙසින් පිටවන්නට ආ කඳුළ ආපසු හදවත රිදුම් දෙවමින් පපු කුහරය තුළට ඇදෙනු
දැනේ.
“අනේ බුදු පියාණෙනි..අපි තවමත් මේ සංසාර කතරේ වල්මත්ව ඉබාගාතේ
සැරිසරන්නෙමු. ඔබ වහන්සේ ගේ ධර්මය හැර අන් සරණක් කොහිද “ නැවත හදවත දිය
කරවමින් අර සැඟවුණු කඳුළ දෙනෙතින් පිටව කම්මුල දිගේ නිදහසේ ගලා යයි.
පේළියට දෙන්නා බැගින් සිටගෙන අප පුද පිණිස ගෙනා සිවුරු පූජා කළෙමු.
කකුත්‍ථා නදිය දැකීමෙන්ද නැවත අර හදවත සිරවීම ඇතිවිණි. සමිඳු පුද පිණිස
ආනන්ද හිමියෝ පැන් රැගෙන වඩිනවා පෙනෙන්නාසේය.
අපේ තවත් දිනයක් වෙන්වුණේ ලුම්බිණිය නැරඹීම පිණිසයි. සංවිධායකවරයා
සිදුහත් උපත ගැන සිත් ගන්නා අන්දමින් විස්තර කරයි. මහාමායා දේවිය පැන්
පොකුණ අසල නැවතී. සුදු සිනිඳු දුහුල් සළුව මෑත්කර රන්වන් හස්ත
යුග්මයෙන් වතුර දෝතක් ගනු මනසට පෙනේ. අප ඉන් පසුව වන්දනා කිරීමට ගියේ
සැවැත් නුවරටයි. ජේතවනාරාම විහාරයේ ස්වාමීන් වහන්සේගේ මුවින් තිරසාර
ගැඹුරු හඬින් බුදු ගුණ හා අතීත විස්තර ගලා එයි.
අප ඔබමොබ ඇවිද ගියේ ද භක්තියෙනි. ශ්‍රද්ධාවෙනි. බුදු හිමියෝ වසර
විසිපහක පමණ කාලයක් වැඩ වාසය කළ බිමේ වැලිකැට පෑගීම ද දුෂ්කර කාරියකි.
ආනන්ද බෝධිය ඉදිරියේ සෙනෙග වැතිරී නමස්කාර කරති. පාරෙන් එහා අහස උසට
ඉදිවුණු කහ පැහැති බුදුරුව නොසෙල්වී ජේතවනාරාමය දෙස බලා හිඳිති. “
පින්වත් ආනන්දය, සියල්ලම අනිත්‍ය දහමට නතු වී යන සැටි බලන්න.
නෙත් විදහා බලන්න. සියලු සංස්කාරයෝ අනිත්‍යයහ” බුදු වදන් මගේ සවණත
ගැටේ. මේ සියලු ශ්‍රද්ධා සිතිවිලි පසු පස, හටගත් සියල්ල නැසී වැනසී යන
බවද සිතට දැනීම වැළැකිය නොහැකිය. “ බුදු හිමියනි, ඇතිව නැතිව යන මේ
ජීවිතයේ යථාර්ථය දකින්නෙමි. ඔබ වහන්සේ උදෙසා කළ හැකි ලොකුම පූජාව එයයි
“ බුදු සමිඳුගේ සුගන්ධ කුටිය ....! හදවත මොහොතකට නැවතෙයි . පටාචාරාව ,
කිසාගෝතමිය, අනේපිඬු සිටුතුමා, මේ සියල්ල මණ්ඩපය අසල වන්දනා කරනු සිතට
නැඟේ. අප සිටින තැන පවා අමතකව ගොස් , බුදු සමිඳු ගුණ සුවඳ පමණක් හිතේ
ඉතිරි වී ඇත.
පසුවදා සැවැත්නුවර පන්සලේදී සාංඝික දානය පිරිනැමුවෙමු. අට පිරිකර
පූජාවෙන් පසු හවස් වරුවෙහි සර්වඥ ධාතු වන්දනාවට හා බෝධි පූජාවට සහභාගි
වුණෙමු. අපි පේළියට ගමන් කර සර්වඥ ධාතු වන්දනාවට හා බෝධි පූජාවට සහභාගි
වුණෙමු.
අපි පේළියට ගමන් කර සර්වඥ ධාතුන් වහන්සේ වන්දනා කර සධාතුක කරඬුව හිස මත
තබා ආශිර්වාද ලබා ගතිමු. අම්මාට ධාතුන් වහන්සේ දැක ගැනීමට මුල්වර බැරි
වුවත් දෙවැනි වර ළඟටම ගොස් සිත් සේ වැඳ පුදා ගැනීමට හැකිවීම සතුට
දනවන්නක් විය.
ඊළඟ දිනය අග්‍රා වෙත! අප ටජ්මහල් බිමට ගිය මුත් ඇතුළට ගොස් නැරඹීමට
කාගෙත් උනන්දුවක් පෙනෙන්නට නොවීය. ෂාජෙහාන් රජුගේ සිත මුම්ටාස් දේවිය
වෙත බැඳි තිබූ අයුරු. ඒ සුවිසල් මැදුර දෙස බැලීමෙන් වුවද පෙනේ.
අපේ වන්දනාවේ ඉතිරි දිනය දිල්ලි සිරි නැරඹීමටත් සාප්පු සවාරි වෙතත්
යොමු කෙරිණි. තම පවුල්වල අයට අවශ්‍ය යමක් මිලදී ගැනීමට කව්රුත් පාහේ
උනන්දු වූ බව පෙනෙන්නට තිබිණ.
අවසන් රාත්‍රිය දිල්ලියේ “ ශ්‍රී ලංකා වන්දනාකරුවන්ගේ “ නැවතුමෙහි ගත
කළෙමු. එම පන්සලේ වැඩ වසන ස්වාමීන් වහන්සේ බෝධි පූජාවක් ද පවත්වා සැමට
ම ආශිර්වාද කළහ. මඳ සුළඟේ බෝපත් සිලි සිලිය අතරින් අපි වන්දනා කළෙමු.
වන්දනා නඩයේ කව්රුත් පාහේ ශක්ති ප්‍රමාණයෙන් එම පන්සලට ආධාර කළහ. දින
12 ක් තිස්සේ අපට කෑම උයා දුන් උදව් උපකාර කළ සේවක දරුවන්ට රියැදුරු
මහතුන්ට මුදල් එකතු කර තෑගි කළෙමු. 16 වැනිදා නව දිල්ලියෙන් චෙන්නායි
බලා පැමිණි අපි ඉන් පසුව කටුනායක ගුවන් තොටුපලට පාන්දර 3.15 වනවිට
පැමිණියෙමු.
සාර්ථක වන්දනා ගමනකින් පසු නිරුපද්‍රිතව මව්රට ඒම සතුටක් වුවත් කුමක්
දෝ සංවේග ජනක පාලුවක් ද සිත පුරා දැවටී තිබේ.
හෝරා යතුර නැවත හඬ දෙයි. “ මදැයි පැය තුනක් විතර ආයිමත් දඹදිව ගියා “
දින 12 ක් තිස්සේ අත්විඳි “ බුදුගුණ සුවඳ “ පිළිබඳ මතකයද , නොබිඳෙන
ශ්‍රද්ධාවද හදවත මැදම නිදන් වී ඇති සෙයකි. ඒ “ මතක සුවඳ “ දිවි ඇති
තෙක් සිත සුවඳවත් කරනු නිරනුමානය! |