UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සදහම් දැනුම

ප්‍රශ්නය - කාම ලෝකයෙහි (මනුෂ්‍ය - සදෙව් ලොව) විපාක දෙන කුසල කර්ම පිළිබඳ ව පැහැදිලි කරන්න

පිළිතුර - එම ගණයට අයත් කුසල කර්ම 10 ක් වේ.

1. දානය, 2. සීලය, 3. භාවනාව, 4. අපචායනය, 5. වෙය්‍යාවච්ච (වතාවත් කිරීම) 6. පත්තිදාන (පින්දීම) 7. පත්තානුමෝදනා (අනුන්ගේ පින දැක සතුටුවීම), 8. ධර්ම ශ්‍රවණය, 9. ධර්ම දේශනය, 10. දෘෂ්ටිය සෘජු කිරීම (තමා ඇසූ දහම නිවැරැදි අයුරින් අවබෝධ කිරීම) යන මේවා ය. දානය නිසා ධනය ලැබේ. සීලය නිසා කීර්තිය අභීත බව හා සැප සම්පත් ලැබේ. භාවනාව මගින් මනා සිහිය රූප අරූප ලෝකවල උපත ලැබීම හා අභිඤ්ඤා පාදක කොට විමුක්තිය ලැබේ. (පත්තිදාන) පින්දීමෙන් භෝග සම්පත් හා පරිවාර සම්පත් ලැබේ. (අපචායන) වැඩිහිටි උපස්ථානයෙන් - නිරෝගි සැප, කීර්තිය, උසස් ජන්මය ආදී විපාක ලැබිය හැකි ය. වතාවත් කිරීමෙන් පිරිවර සම්පත් ලැබේ. ධර්ම ශ්‍රවණය නැණවත් බවට හේතු වේ.

ප්‍රශ්නය - බුදුදහම ‘අධිකාරිමය’ චින්තනයට දැඩි ලෙස විරුද්ධ වූ සම්‍යග් මාර්ගයකි. පැහැදිලි කරන්න.

පිළිතුර - බුදුන් වහන්සේ තමා හැර අන් කිසිවකු හෝ කිසිවක් අධිකාරිමය වශයෙන් සැලකීමට සම්පූර්ණයෙන් ම විරුද්ධය හ. (අත්ත සරණා අනඤ්ඤසරණා) මිනිස් චින්තන ඉතිහාසයේ අසමසම ප්‍රස්තුයක වූ මෙම මූලධර්මය උන්වහන්සේ කාලාම සූත්‍රයෙහි දී මෙසේ පැහැදිලි කරති. ‘කාලාමයෙනි! ආරංචියෙන් හෝ පරම්පරාවෙන් ආ නිසා හෝ ‘මෙහෙමලු’ යන කට කථා නිසා හෝ මේ අපගේ පිටක (ආගමික ග්‍රන්ථ) සම්ප්‍රදාය යැයි සිතීමෙන් හෝ තර්ක හේතුවෙන් නය හේතුවෙන් හෝ මේ කාරණය යහපත් වශයෙන් පෙනේ්යැයි කල්පනා කිරීමෙන් හෝ මෙය අප සිතා බලා සතුටින් ගත් දෘෂ්ටියට ගැළපේ යැ යි සිතීමෙන් හෝ මොහු සුදුස්සකු යැයි සැලකීමෙන් හෝ මොහු අප ගේ ගුරුවරයා යන හැඟීමෙන් හෝ නොපිළිගත යුතුය. යම් විටෙක මෙය අයහපත් ය. අකුසලය වරද යැයි ඔබට ම වැටහෙන්නේ ද එවිට එය අතහැර දමන්න. එසේම යම් විටෙක මෙය යහපත් ය. කුසලය නිවැරැදි යැයි ඔබට ම වැටහෙන්නේ ද? එවිට එය පිළිගෙන පිළිපදින්න.

අනුන් ගේ ඉගැන්වීම් පමණක් නොව තමන් වහන්සේ ගේ් ඉගැන්වීම් පවා කෙනකු විසින් පිළිගැනීමට පෙර ගවේෂණයට භාජනය විය යුතු බව පැහැදිලි කළහ. විමසිලිමත් භික්ෂුව තමන් වහන්සේ ගේ් සම්බුද්ධත්වය පිළිබඳ ව පවා සත්‍යෙක්ෂණය කර බැලිය යුතු බව කියා සිටීමට තරම් උන්වහන්සේ තමන් වෙත යොමු කරගතයුතු ඤාණය පිරිසුදු විය යුතු බව අවධාරණය කළහ. තමන් වහන්සේ සර්වඥ යැයි අන් අය කියා සිටි අවස්ථාවල දී තමන් සර්වඥ (තුන් කාලයේ ම) සියල්ල දන්නා කෙනෙකු) වන බව උන්වන්සේ පැහැදිලිව ම සඳහන් කළ අතර, එහෙත් තමා සියලු දෙය ම දන්නේ ය යන කරුණ මත පිහිටි අධිකාරමය ස්වරූපයක් තමා තුළ නැති බව පැහැදිලි කළහ. තමන් වහන්සේ පිරිනිවීමෙන් පසුව ශාසන ක්‍ෂේත්‍රය තුළට කිසිදු ආකාරයක අධිකාරියක් ඇතුලු වීමට ඉඩ නොතබමින් උන්වහන්සේගෙන් පසු නායකත්වය සඳහා කිසිවකු නම් කිරීම ප්‍රතික්ෂේප කළහ. ධර්මය පමණක් එක ම අධිකාරය ලෙස සැලකිය යුතු බව දෙසූ උන්වහන්සේ එය තමන් ගේ ද ගුරු තනතුරෙහි තබා ගත්හ.

ප්‍රශ්නය - බුදුරජාණන් වහන්සේ තමන් විභජ්ජවාදියකු හෙවත් අදහස් පැහැදිලිව බෙදා වෙන්කොට විශ්ලේෂණය කොට (විභිජ්ජවාදෙහං නාහං එකං සාවදො ම. නි 11) දක්වන්නකු බවත් හැම ප්‍රශ්නයකට සෘජු (කෙළින්ම) පිළිතුරු දිය නොහැකි බවත් දැක්වූහ. උන්වහන්සේ ගේ දේශනා නය (පිළිවෙළ) පැහැදිලි කරන්න.

පිළිතුර - දෛනික ජීවිතයෙහි දී බොහොමයක් අනවශ්‍ය දාර්ශනික ප්‍රශ්න පැන නගින්නේ අපේ භාෂාවේ යෙදෙන සංකල්පවල අපහැදිලි හා පටලැවිලි ස්වභාවය නිසා බව අවධාරණය කළ බුදුන් වහන්සේ එම නිසා චින්තනයෙහි ද භාෂාව භාවිත කිරීමෙහි දී ද නිරවුල් බව සහ පැහැදිලි බව අනුගමනය කිරීම ඉතා වැදගත් බව සඳහන් කරති. උන්වහන්සේ දහම් දෙසීමෙහි දී මතුවන ගැටලු ආකාර සතරකට බෙදා දක්වති. (1) සමහර ප්‍රශ්නවලට කෙළින් ම පිළිතුරු දිය හැකි ය. (එකං සව්‍යාකරණීය) ලෝකය අනිත්‍යදැයි කෙනෙකු ඇසුවහොත් එයට කෙළින්ම ‘ඔව්’ කියා පිළිතුරු දිය හැකි ය. (2) සමහර ප්‍රශ්නවලට පිළිතුරු දීමට ප්‍රථම ඒවා විශ්ලේෂණය කළ යුතු ය. නැතහොත් කොටස්වලට කඩා බැලිය යුතුය. (විභජ්ජව්‍යාකරණිය) සචේතනික කර්ම කිරීමෙන් පුද්ගලයකු හොඳ ජන්මයක උපත ලබන්නේ දැයි කෙනෙකු ඇසුවහොත් එයට පිළිතුරු වශයෙන් කිව යුත්තේ සචේතනික කර්ම කිරීමෙන් නරක ජන්මයකද උපත සිදුවිය හැකි බවත් ය.

(3) සමහර ප්‍රශ්නවලට පිළිතුරු දීමට පෙරාතුව ප්‍රශ්නය ඇසූ තැනැත්තාගෙන් ප්‍රති ප්‍රශ්නයක් අසා පැහැදිලි කොට ඒ අනුව පිළිතුරු දිය යුතු ය. (පටිපුච්ඡාකරණිය) යම්කිසි පුද්ගලයකු උස් ද මිටි දැයි කෙනකු ඇසුවහොත් එයට ප්‍රශ්නයක් වශයෙන් කාට සාපේක්ෂකවද? කියා ඇසිය යුතුය. (4) කුමන අන්දමකින්වත් පිළිතුරු දිය නොහැකි ප්‍රශ්න වර්ගයක් ද ඇත්තේ ය. (ඨපනීය) මක් නිසාද ඒවා පදාර්ථ දෝෂයන්ට හසුවන නිසා ය. පහන් දැල්ලක් නිවී ගිය පසු ඒ පහන් දැල්ල ගියේ කොහාට ද? යැයි කෙනකු ඇසුවහොත් ඊට පිළිතුරු දිය නොහැකි ය. මන්ද පහන් දැල්ල කියා පැහැදිලි ව යම්කිසි දෙයක් මුල සිටම නො තිබුණු නිසා ය.

පොසොන් පුර අටවක

පොසොන් පුර අටවක පෝය මැයි 30 වනදා සෙනසුරාදා අපරභාග 9.43 ට ලබයි. 31 වනදා ඉරිදා අපරභාග 8.19 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි 31 වනදා ඉරිදාය.

පොසොන් පසළොස්වක පෝය ජුනි 7 වනදා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 31

Full Moonපසෙලාස්වක

ජුනි 07

Second Quarterඅව අටවක

ජුනි 15

New Moonඅමාවක

ජුනි 22

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]