සැහැසි සිත් සුමට කළ
අසමසම හික්මවන්නා
ඉමදූව දිවෙලේගොඩ පුරාණ විහාරවාසී
ගාල්ල ශ්‍රී ලංකා ධර්මදූත මහ පිරිවෙනේ
කනංකේ විජිත නන්ද හිමි
උත්තරීතර නව අරහාදී බුදුගුණ අතර සයවැනි ගුණය වන ‘අනුත්තර පුරිසධම්ම
සාරථි’ ගුණයෙන් ප්‍රකට වන්නේ දමනය කිරීමට අපහසු දරුණු පුද්ගලයන් දමනය
කිරීමේ කුසලතාවයි. බුදුරදුන් විවිධාකාර වූ එවැනි පුද්ගලයන් දමනය කළේ
‘වාග් මාලාව‘ හෙවත් කරුණාබර වචන උපයෝගී කරගෙන ය. උත්තරීතර ශාස්තෘවරයෙකු
වන උන්වහන්සේ සියලු සතුන් කෙරෙහි අපමණ දයාවෙන් හා අනුකම්පාවෙන් ක්‍රියා
කොට ඔවුන් මෙම දුක් සහගත සසර කතරින් මුදවා ගැනීමෙහිලා ක්‍රියාකළ බව
බුද්ධ චරිතය දෙස අවධානය යොමු කිරීමේදී මැනවින් ප්‍රකට වෙයි.
‘අදණ්ඩේන, අසත්ථේන’ යන පාඨයට අනුව බුදුරජාණන් වහන්සේ විවිධ පුද්ගලයන්
දමනය කරනු ලැබුවේ දඬුවමින් හෝ ආයුධයකින් නොව, වාග් මාලාවෙනි. ඇතැම්
දෙනා තව කෙනෙකු දමනය කිරීම හෙවත් හික්මීම සඳහා දඬුවම වැනි විවිධ
ක්‍රමෝපාය භාවිතා කරති. බුද්ධ කාලයේ දී පවා ඇතැම් ආගමික නායකයන්,
ගුරුවරුන් වැනි බොහෝ දෙනා තම අනුගාමිකයන් යහමඟකට යොමු කිරීම සඳහා විවිධ
අයුරින් දඬුවම් ද යොදා ගෙන ඇති බව දැක ගත හැකි වුවද බුදුරදුන්
අංගුලිමාල, සච්චක, තුන්බෑ ජටිලයන්, ආලවක, අදින්න පුබ්බක, නන්දෝපනන්ද,
නාලාගිරි ඇතා ආදි මිනිස්, තිරිසන්, යක්ෂ වැනි බොහෝ දෙනා දඬුවම් උපයෝගි
කර නොගෙන, කරුණා භරිතව වචනයෙන් දමනය කර ඇති වග පෙනී යයි.
කොසොල් රට පාලකයා වූ පසේනදී කොසොල් රජුගේ පුරෝගිතයා වූ භාර්නව
බමුණාගේත් මන්නානි බැමිණියගේත් එකම පුත්‍රයා වූ අහිංසක කුමරු කුඩා
අවධියේ පටන් දිසාපාමොක් ඇදුරුතුමා යටතේ සෑම ශිල්පයක්ම මැනවින් ගුරු
භක්තියෙන් යුතුව හදාරන අතර කුමරු කෙරෙහි ඊර්ෂාවෙන් පසු වූ ශිෂ්‍යයන්
කිහිප දෙනකු ගුරුවරයාට කේලාම් කියා ඔවුන්ගේ යහපත් ගුරු සිසු සබඳතාව බිඳ
දැමූ පසු දිසාපාමොක් ඇඳුරුතුමා කුමරුගෙන් පළි ගැනීම පිණිස ගුරු පඬුරු
වශයෙන් ඇඟිලි දහසක මාලයක් ගෙනැවිත් පුදන ලෙස නියෝග කළේය. ගුරු පූජාව
නොපිරිහෙලා ඉටු කිරීමට පෙළඹුණු අහිංසක කුමරු දිනෙන් දින දරුණු වී අවසන
අංගුලිමාල නම් විය. මිනිසුන් මරා ඇඟිලි කපාගෙන ගුරු පූජාව වෙනුවෙන්
දහස් වැනි ඇඟිල්ලද කපා ගැනීම සඳහා සූදානම් ව සිටිය දී ඔහුගේ මව ඔහු
සොයා පැමිණෙමින් සිටියාය. අප තිලෝගුරු බුදුපියාණන් වහන්සේ මහා
කාරුණාවෙන් මොහු ආනන්තර්ය පාප කර්මයක් සිදු කොට අපායගාමී වන්නට යන බව
දැන, එයින් ඔහු මුදා සියලු දුකින් එතෙර වීම සඳහා මාර්ගය පහදා දුන්හ.
අංගුලිමාල පසුව පැවිදිව මහරහත් භාවයට පත් විය.
මෙලෙස අතිශය දරුණු චරිතයක් බවට පත්ව සිටි අංගුලිමාල දමනය කිරීමට
බුදුරදුන්ට හැකි වූයේ කාරුණික වාග් විලාශය නිසා යි. මෙවැනි පුද්ගලයන්
දමනය කිරීමට වෙනත් අය ආයුධ අතට ගැනීම, සාමාන්‍ය ස්වභාවයයි. එහෙත් බුදු
ගුණ හමුවේ ඕනෑම දරුණු අයකු සන්සුන්, දැමුණු පුද්ගලයකු බවට පත්වන ආකාරය
මෙයින් තහවුරු වෙයි. මෙලෙස මනුෂ්‍යයෝ පමණක් නොව දරුණු යක්ෂයෝ ද බුදු
ගුණ හමුවේ අවනත වූහ. දිනක් අලව්නුවර ආලවක යක්ෂයා විසූ භවනට බුදුරදුන්
වැඩම කළ අවස්ථාවේදී ඔහු එහි නොවීය.
ටික වේලාවකට පසුව යක්ෂයා පැමිණ නොයෙක් බුදුහිමියන් බිය ගැන්වීම සඳහා
උපක්‍රම භාවිතා කළද, නික්ඛම සමණ, පිවිස සමණ (ශ්‍රමණය නිකමෙව්, නැවත
පැමිණෙව්) යනාදී ලෙස උන්වහන්සේ වෙහෙස ගැන්වීම සඳහා ක්‍රියා කළ සාර්ථක
නොවූ පසු පරම්පරාවෙන් පැවත එන ප්‍රශ්න කිහිපයක් යක්ෂයා බුදු රදුන්ගෙන්
විමසීය.
කිංසූධ විත්තං පුරිසස්ස සෙට්ඨං
කිංසූ සුචින්නෝ සුඛමාවහාතී
කිංසූ හවේ සාධු තරං රසානං
කතං ජීවිං ජීවිත මාහු සෙට්ඨං
(ඉතා වැදගත් ධනය කුමක්ද? කවර හැසිරීමක් සැපයට හේතු වේද? ඉතා මිහිරි රසය
කුමක්ද? කෙසේ ජීවත් වීම ශ්‍රේෂ්ඨ ද? යනු ඒ ප්‍රශ්න හතරයි. එයට පිළිතුරු
දෙන බුදුරජාණන් වහන්සේ
සද්ධී ද විත්තං පුරිසස්ස සෙට්ඨං
ධම්මෝ සුචින්නෝ සුඛමාවහාතී
සච්චං හවේ සාධුතරං රසානං
පඤ්ඤා ජීවිං ජීවිත මාහු සෙට්ඨං
ශ්‍රද්ධාව ඉතා වැදගත් ධනයයි. ධර්මය අනුව හැසිරීම සැපයට හේතු වෙයි.
සත්‍යය ඉතාම මිහිරි රසයයි. පඤ්ඤාවෙන් යුතුව ජීවත්වීම ශ්‍රේෂ්ඨ ය.
මෙසේ ඇසූ සියලු ප්‍රශ්න වලට පිළිතුරු දුන් පසු, යක්ෂයා අපරිමිත බුදුගුණ
හමුවේ හික්මීමට පත්විය. එපමණක් ද ;නාව දෙව්දත් හිමියන් විසින්
තිරිසන්ගත සතකු වූ නාලාගිරි හස්ති රාජයාට රා කළ සොළොසක් පොවා බුදුරදුන්
මැරීම සඳහා යැවූ විට අපරිමිත බුදුගුණ හමුවේ ඒ නාලාගිරි හස්තියා ද දමනය
විය.
මේ ආකාරයට මනුෂ්‍යයන් පමණක් නොව යක්ෂයන් හා තිරිසන් සතුන්ද අප
බුදුපියාණන් වහන්සේ හමුවේ දමනය වූ අයුරු බුද්ධ චරිතයේ බොහෝ සිදුවීම්
දෙස බැලීමේ දී පෙනී යයි.
අවි ආයුධ හෝ දඬුවමකින් තොරව සත්වයන් දමනය කිරීමේ ගෞරවය හිමිවන්නේ, බුදු
රදුන්ට ය. බුදුරදුන් ගේ කරුණාවන්ත, සුමියුරු වචන මාලාව මගින් කොතරම්
දරුණු අය වුවුද ඉතා කීකරු අය බවට පත් වූ බව පෙනෙයි. ඇතැම් පුද්ගලයන්
පැවිදිව මහ රහත් ඵලයට පවා පත් වූ බව අංගුලිමාල තෙරුන්ගේ කථා වස්තුව
මගින් ද සනාථ වෙයි.
නව අරහාදී බුදුගුණ අතර ‘පුරිසදම්ම සාරථි’ නම් වූ උත්තරීතර ගුණය සමාජ
යහපතට, පුද්ගලයන්ගේ අධ්‍යාත්මික අභිවෘද්ධියට කොතරම් ඉවහල් වූයේද යන්න
ඉතා හොඳින් පැහැදිලි වෙයි. මේ කරුණු අනුව ලොව පහළ වූ ආගමික හා දාර්ශනික
නායකයන් අතර බුදුරදුන් උත්තරීතර ශාස්තෘවරයකු බව, පැහැදිලිය.
|